මඟ (නො) හැරුණු ..

ලොකු දුවගේ උපාධි ප්‍රධානෝත්සවයට ලීලාවයි, කපිලවයි එක්කගෙන යන්න ඕනි කියලා කිව්වේ ලොකු  දුව. ලොකු දුව එහෙම කිව්වාම මම හිතාගන්න බැරුව ඒ දිහා බලාගෙන හිටියා. තිස්ස වුනත් ලොකු දුව දිහා පුදුමෙන් බලාගෙන ඉන්න බව මං දැක්කා.

” පාස් දෙකයි නේද පුතේ ලැබෙන්නේ?”

තිස්සට අහන්න මතක් වුණාට මට එහෙම දෙයක් විමසන්න මතක් වුණේවත් නැහැ. 

“මම තව දෙකක් හොයාගත්තා තාත්තා.. මං එහෙම කලොත් ඒක ඔය දෙන්නට ප්‍රශ්නයක් ද ? …”

තිස්ස මගේ දිහා බලනකොට මං කලේ ඉවතක්  බලාගෙන ඉඳගත්ත එක.

“ඇයි පුතේ ඔයා එක පාරටම එහෙම හිතුවේ ?”

තිස්සට මගේ  කෝපය සහ නොරිස්සුම මුහුණෙන්ම පෙනෙන්න ඇති. තිස්ස ඉවසීමෙන් ලොකු දුවගෙන් ඇහුවා. ලොකු දුව අපිදෙන්නටම පේන තැනක වාඩි වුණා.

“ඔයයි අම්මයි දෙන්නා මල්ලියි මායි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලා අපි දෙන්අ දන්නවා තාත්තේ… ඒකේ කිසිම සැකයක් නෑ… උදේ ඇහැරුණ වෙලේ ඉඳන් නින්දට යනකල් , සමහරවිට හීනෙන් පවා ඔයාලා බිස්නස් එක ගැන සැලසුම් හදනවා ඇති … ඒ වෙනුවෙන් මහන්සි වෙන බවත් අපි දන්නවා…”

තිස්ස නිහඬව අහගෙන හිටපු නිසා මාත් කිසිම දෙයක් කියන්න ඉස්සර වුනේ නැහැ .

” අවුරුදු විසි ගාණක් ඇතුලත ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා ඉන්න තැන ගැන අපි දෙන්නම හරි ආඩම්බරයි අම්මේ… ලංකාවේ එක්ස්පෝර්ට් ගාර්මන්ට් මාර්කට් එකට ඔයාල දෙන්නාගේ ගයිඩන්ස් එක යටතේ එකතු වෙන ප්‍රඩක්ට් ලිස්ට් එක ආයේ ආයෙම අලුත් වෙනකොට අපිට ඇත්තටම ආඩම්බරයි… ඒ ඔක්කොටම වඩා ෆැක්ටරි විස්සක මිනිස්සු දහ දාහක් විතර , ඒ අයගේ පවුල් වල අය පනස්දාහක් විතර මෙච්චර කල් ඔයාලාගේ හය්යෙන් ජීවිත හදාගෙන තියෙනවා….

කොටින්ම අපේ කැම්පස් එකේ, අපේ බැජ් එකේ වගේම සීනියර් බැජ් වලත් උන්න සමහර ළමයින්ගේ අම්මලා එයාලට උගන්නන්න අම්මලාගේ ෆැක්ට්‍රි වල වැඩ කරලයි සල්ලිහොයලා තිබ්බේ.. 

ඒ අය ඒ ගැන නිහතමානීව කියනකොට මට දැණුන ආඩම්බරය ගැන කියන්න වචන නෑ අම්මා……”

මම කඳුළු පිහිදගත්තා. ලොකු දුව ඇවිල්ලා මගේ ඔඩොක්කුවට ඔලුව තියාගෙන සෙටියේ දිගෑඳුණා.  දුව ඒ තරම් ළඟ ස්පර්ශයක් විදියට දැණෙනකොට කවදාවත් නොදැනුණ ලෝබකමක් මට දැනෙන්න ගත්තා. මං හෙමින් සීරුවේ දුවගේ ඔලුව පිරිමදින්න පටන් ගත්තා. 

” ඒ ඔක්කොම ඒ විදියට වෙද්දී මල්ලියි මායි මතක ඇති කාලේ ඉඳන් මාරම හිස්කමක උන්නෙ අම්මේ…. ලීලා අම්මා මෙහෙ ආව දවස මට හොඳට මතකයි … මම අට වසරේ දෙවෙනි විභාගේ සිංහල පේපර් එක ලියලා ආව දවසේ …   ඊට පස්සෙන්දා ලීලා අම්මගේ පුතා වුණ කපිල මාමා එයා බඳින්න උන්න ගෑණු ළමයත් එක්ක තාත්තා මුණ ගැහිලා රස්සාවක් ඉල්ලන්න ආවත් මතකයි… පහල ගෙදර දීලා ඒ දෙන්නව මෙහෙ නවත්තගන්න ඔයාලා දෙන්නා කතා කරපු හැටිත් මතකයි මට…

පහුවෙනිදා උදේ ඉඳන්ම ලීලා අම්මා හින්දා අපි ජීවිත ගෙවපු විදිය වෙනස් වුනා අම්මා……

එදා ඉඳන් අපි උදේට පාන් කාලා ඉස්කෝලේ ගියේ නෑ… එක පිඟානක බත් දාගෙන ලීලා අම්මා අපි දෙන්නටම වදෙන් පොරෙන් කැව්වා… 

ඉස්කෝලේ ගෙනියන කෑම පෙට්ටියෙ  සැන්ඩ්විච් වෙනුවට එක එක කෑම පිරුණා. 

කන්න ආසයි කියන කෑම පහුවෙනිදා ඒ පරක්කුවෙන්ම අපිට හම්බුණා….

හවසට ඉස්කෝලේ ඇරිලා ආවම ක්ලාස් යන්න කලින් ෆෘට් ජූස් එක විතරක්  බීලා  යන්න දුන්නේ නෑ. අපි වෑන් එකෙන් බහිනකොටම  ලීලා අම්මා කෑම ලෑස්ති කරගෙන ඉන්නේ… 

හවසටත් එහෙමයි… ක්ලාස් ඇරිලා ආවම මොනවම හරි අලුත් කෑමක් තිබුණා…

ඒ කාලේ වෙනකොට මට ගෙදර එපා වෙමින් තිබුණේ අම්මේ… මල්ලිවත් බලාගෙන හැමදේම කරගන්න වුන එක මට හරි මහන්සි වෙල එපා වෙලා තිබුණේ.. සමහරවිට ලීලා අම්මා නාව නම් මම මේ තරම් දුර නේන්නත් තිබුණා….

මම පිළිගන්නවා, අපි අපේ වගකීම් දරාගන්න ඕනි… ඒත් ඒ වයසට ඒක මට අමාරු වුණා ..

ඊළඟට කපිල මාමා.. තාත්තා කාර් එක එයාට දීලා අපිව ක්ලාස් එක්ක යන්න, ඉස්කෝලේ එක්ක යන්න කියනකොට මම ඒලෙවල්ස් … අම්මාලා දන්නේවත් නෑ.. මට කුණු බිත්තරේකින් ගැහුව පිරිමි ළමයෙක්ගේ ගෙදර ට ගිහිල්ලා කපිල මාමා කතා කරලා ඇවිල්ලා තිබුණේ…. ඊට පස්සේ ඉඳන් කපිල මාමා පුදුම සැලකිල්ලෙන් හිටියේ ….

ඒ විතරක් නෙවෙයි , මල්ලිටයි මටයි බීච් යන්න ඕනි වුණාම, මියුසිකල් වලට යන්න, පාර්ටි වලට යන්න හැමදේම කලේ කපිල මාමා…

අම්මට කිව්වම අම්මා කිව්වේ කපිල මාමා ලවා ඇරලවගන්න පුතේ කියලා …සමහර දාට අපි පාර්ටි ඉවර වෙලා එනකල් කපිල මාමා කා පාර්ක් එකේ නිදි අම්මේ….”

මම තිස්ස දිහා බැලුවා. තිස්සගේ මුහුණේ තිබුණේ කලකිරීමක්. වේදනාවක්. මම කෙළ පිඬක් එහෙමම ගිල්ලා.

” ඊට පස්සේ මම කැම්පස් ගියා … ඒ හැම සති අන්තේකම කපිල මාමාට මාව එක්කන් එන්න යන්න කියලා තාත්තා කියලා තිබුණා… ඔයා දන්නවද තාත්තා ., ඒ නැන්දා බබා ලැබෙන්න හොස්පිට්ල් ඇඩ්මිට් කරපි දවසෙත් කපිල මාමා මල්ලිව පාර්ටි එකකට ඇරලවලා තිබ්බා…

අනෙක් පැත්තෙන් ලීලා අම්මා, හැමදාම මම කැම්පස් යනකොට එක එක ජාති හදලා මගේ අතේ පිරෙව්වා… 

ඔයාලා දන්නවද, එයාගේ පැණි වළලු එකට අපේ උන් කොච්චර ආසද කියනවා නම්, සඳුදා මම යනකොට බැජ් එකේ උන් මඟ බලනවා ගේට් එක ළඟ….

මේ ඔක්කොම වගේ, ඒ සැප ඒ තරමින් අපි දෙන්නට ලැබුණේ ඔයාලා දෙන්නා මහන්සි වෙලා, නැහිලා, දේවල් කැප කල නිසා කියලත් අපි දන්නවා අම්මේ….

හැබැයි ලීලා අම්මයි, කපිල මාමයි වගේ දෙන්නෙක් නොලැබෙන්න ඒ සැප සම්පත් ඒ තරම් සුව පහසුවෙන් අපිට නොලැබෙන්ම තිබුණා අම්මා….”

මම ලොකු දුවගේ ඔලුව අතගාන එක නැවැත්තුවේ නෑ.

” ඔයායි, තාත්තායි නැතුව මට ජීවිතයක් නෑ අම්මා … ඒත් කොන්වර්කේශන් එක දාට ඒ දෙන්නත් එක්කන් යන්න හිතෙනවා … ඒක අම්මලාට හිතට බරක් නම් අපි ඒක අතාරිමු…. මං කියන්නේ මෙච්චර කල් මං  වෙනුවෙන් කල හැමදේටම ස්තූතියි කියන්න ඊට වඩා අවස්ථාවක් නැති වේවි..  ඒ දෙන්නම මැරෙනකල් ඒ සතුට තියේවි ….”

මම තිස්ස දිහා බැලුවා.

” ඔයා හවස් වෙලා ගිහින් ඇඳුම් පැලඳුම් ඕනි විදියට බලලා  අරන් දෙන්න පුතේ ….  ඔයා මේ හිතන පතන විදිය ගැන ආඩම්බර වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ… අම්මයි මායි දෙන්නම ඔයා ගැන හරි ආඩම්බරයි පුතේ …”

මම තිස්සගේ හඬට එකඟ වුණා. අපිට මඟ ඇරෙන්න ගිය හැම තැනකම් දරුවන්ගේ ජීවිතේ අල්ලන් උන්න මිනිස් වෙස් ගත්ත දෙවියන් ගැන සැනසීමක් දැනුණා.

මින් ඉස්සරහට ජීවිතේ මඟ හැරුණු තැන් හය්යෙන් අල්ලගන්න තීරණය කලා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles