සමාව..

” මොනවද ළමයො ඔය මිදුලේ දූවිලි අවුස්සන්නෙ ඔච්චර ? ” 

පද්මා මිදුලට බැස්සේ ඉමේශා මිදුල අතුගාන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට

” ඒ හැටි දූවිල්ලක් නෑනෙ අම්මේ.පාන්දර වැස්සේ ” 

ඉමේශා උත්තර දෙනකොට පද්මා ආයෙම මූණ හකුල ගත්තා

” වැස්සට වැඩක් නෑ.මගෙ නහයත් එක්ක දනවා.අනෙ මන්දා ගෙවල් වල කොහොම හැදුනද කියලා මිදුලක් අතුගා ගන්නවත් තේරෙන්නෙ නෑනේ දැන් ළමිස්සියන්ට ” 

නැන්දම්මගෙ මේ ගෝරනාඩුව ඉමේශාට අරුමයක් නෙමෙයි උනත් ඇය හිටියෙ ඉවසීමේ සීමාවේ ගැට්ටේ

” ඉමේශා. ඔයා මෙන්න මෙහෙට එන්නකො. අම්මේ , ඉමේශා හරියට අතු ගාන්නේ නැත්තම් ඔයාම අතු ගාන්නකො එහෙනම් ” 

අසංක කිව්වේ කලබලයක් නැතුව.අසංකගෙ වචන වලට අවනත වෙච්ච ඉමේශා ඉදල බිත්තියට හේත්තු කරලා හෙමින් සීරුවෙ ගෙට එනකොට පද්මා හිටියේ ගල් ගැහිලා

” හහ්.. බැඳලා මාස කීයද  ? මගෙ කොල්ලවත් මට නැති කරන්න හදන්නේ ” 

පද්මා කුටු කුටු ගානකොට ඉමේශා නෑහුන ගානට කුස්සියට ආවා

” ඔයා ඕවා හිතන්නෙපා. අපෙ අම්මගෙ හැටි ඔහොම තමයි ” 

අසංකගෙ හඬේ තිබ්බෙ පසුතැවීමක්. ඒත් එයාටත් කරන්න දෙයක් නෑ කියලා ඉමේශා ඒ වෙනකොට තේරුම් අරගෙනයි තිබ්බේ

අසංක වැඩට ගියාට පස්සේ ඉමේශා පොතකුත් අරගෙන ඇඳට ආවේ පොත් කියවන එක ඉමේශාගේ ආසම දෙයක් නිසා. ඒකටම හරියන්න අසංක ඉස්සර ඉඳලම ඉමේශාට වැඩි පුරම තෑගි දීලා තිබුනෙත් පොත්මයි

” හහ්.. කුමාරි හාමි දැන්ම වැඩ පටන් අරගෙනද අම්මේ ” 

ටික වෙලාවක් ඇහුනේ අසංකගේ අක්කගෙ හඬ.නැන්දම්මට වඩා නෑනා එක්කයි වසන්න අමාරු කියලා ඉමේශා දැන ගත්තෙ විවාහ වෙලා මාස දෙක තුනක් යනකොටමයි

” අනේ මන්දා ඉසංකා..මල්ලි නම් හරියට වෙනස් වෙලා.මං මොනා කරත් වැරදියි ” 

පද්මා කියන්නෙ මවා ගත්තා හැඬුමකින්

” අම්මා අම්මට ඕන හැටියට මේ ගෙදර ඉන්න. ඒවට අකමැති අයට ගෙවල් දොරවල් හදන් යන්න කියන්න. හහ්.එනකොට දෑවැද්දට රත්තරන් රිදී අරන් ආවා වගෙනේ හැසිරෙන්නේ ” 

මහා ලොකුවට නැතත් පුළුවන් හුඟක් දේවල් ඉමේශා දෑවැද්දට අරගෙන ආවේ අසංක එපා කියද්දිමයි. ඉමේශා ගෙනාපු අලුත්ම අල්මාරියක් ඉසංකා එයාගෙ ගෙදරට අරගෙන ගියේ මහ ගෙදර අල්මාරිය ඉමේශාට බලෙන්ම වගේ දීලා. ඒවත් අමතක උන ගානට ඉසංකා කතා කරන්නෙ කොහොමද කියලා ඉමේශාට හිතා ගන්න බැරිවුනා.

” දරුවන්ට යුතුකම් කරාට පස්සේ උන්ට අපෙන් වැඩක් නැති වෙනවා. කසාද බැන්දට පස්සේ ඉතිං නෝනව ලොකුයිනේ ” 

පද්මා මේ උස් හඬින් කතා කරන්නේ තමන්ට ඇහෙන්න කියලා ඉමේෂා හොඳටම දන්නවා.

” ඔය නටන නැටුම් නං වැඩි කල් නටන්න හම්බවෙන්නේ නෑ අම්මේ. එහෙම කොහොමද පිටින් ඇවිල්ලා අම්මට සද්දේ දාන්නේ ” 

තවත් මොන මොනවදෝ කියපු ඉසංකා පැය දෙක තුනකට පස්සේ පිටවෙලා ගියත් ඉමේෂා කාමරයෙන් එළියටවත් ආවේ නෑ. අනවශ්‍ය කතා වලට පැටලිලා රණ්ඩු ඇති කරගෙන හිත් නොහොඳකම් තියා ගන්නවා වෙනුවට හැමෝම එක්ක හොඳින් ඉන්නයි ඉමේෂාට ඕන උනේ.

” අද අපේ අක්කා මෙහෙ ආවද ?” 

අසංක ඇහුවෙ හවස ගෙදර ආව ගමන්

” ඔව් උදේ ඇවිත් ගියා “

” මට හිතුනා ” 

” ඇයි අසංක මොකද උනේ ?” 

ඉමේශා ඇහුවේ මුකුත්ම නොවුන ගානට

” අක්ක මට උදේ කෝල් කරලා බැන්න මම ඔයාට විදියට ඕන නටනවා කියලා .මම එයාට තේරුම් කරලා දුන්නා එහෙම නටවන්න මම පොඩි එකෙක් නොවෙන විත්තිය.මෙහෙ ඇවිල්ලා ඔයාට මොනව හරි කිව්වද ? ” 

” නෑ.. මට නම් මොකුත්ම කිව්වේ නෑ. මාත් එක්ක හොඳට කතා කරලා ගියේ ” 

ඉමේශා එහෙම උත්තර දුන්නත් ඒ කියන්නේ  ඇත්ත නොවෙන බව අසංක දන්නවා.  

”  දැන් ඉතින් බැඳලා අවුරුද්දක් විතර වුන එකේ දරුවෙක් මල්ලෙක් ගැන හිතුවොත් හොඳයි ” 

එක දවසක් උදේ කුස්සියේ උයන ගමන් පද්මා කිව්වේ අහක බලාගෙනමයි

” අපේ නෑදෑයෝ එහෙම යන එන වෙලාවට අහනවා මුකුත් වෙනසක් නැද්ද කියලා තාම. දානෙ ගෙදරකට බණ ගෙදරකට ගියත් එච්චරයි ” 

” තව ටිකක් මෙහෙමම ඉඳලා සල්ලි කීයක් හරි ඉතුරු කරගෙන අපි ඒ ගැන හිතනවා අම්මේ ” 

ඉමේෂා කිව්වේ ඇහෙන නෑහෙන ගානට 

” අපෝ.. මොන මූසල කතාවක්ද ඒ. ළමයෙක් හදන්න එහෙම නැකත් බල බල ඉඳලා හරි යනවද ? ගෙවල් වලටත් වගතුවක් නෑ ඔහොම හිතන ගෑනු නම් ” 

පද්මාට ඒ වචන ටික කියලා ඉවර කරන්න හම්බවුණේ නැහැ.

” අම්මේ ” 

කෝපාන්විත හඬකුත් එක්ක කුස්සියේ දොර ළඟ හිටගෙන හිටියේ අසංක 

 ” අපි දෙන්නගේ පෞද්ගලික තීරණයක් ගැන ඔය විදිහට ප්‍රශ්න කරන්න ලැජ්ජ නැද්ද අම්මේ ? ” 

” නෑ ඉතින් මම කිව්වෙ මේ… ” 

” මම තවදුරටත් අම්මා එක්ක හැදුන පොඩි එකා නෙමෙයි කියන එක අම්මා දැන් තේරුම් ගන්න ඕනේ. කසාද බැන්දට පස්සේ අපි වෙනම පවුලක්. ඒ පවුල ඇතුලේ අපිට ඕන තීරණ අපිට ඕන වෙලාවට ගන්න අපිට නිදහස තියෙන්න ඕනේ . එහෙමයි කියලා අපි අම්මව නොබලා ඉන්නේ නැහැනේ ” 

” ඒ උනාට ඉතින් නෑදෑයන්ට මම එපැයි උත්තර දෙන්න ” 

පද්මා කිව්වෙ බැරිම තැන 

” ඉතින් අම්මා මොකටද කාටවත් උත්තර දෙන්න යන්නේ ? අපේ ප්‍රශ්න අපි බලාගන්නම් කියලා ඔය අහන අයට කිව්වම ඉවරයි. කීයක් වත් ඉතුරු කර ගන්නේ නැතුව ළමයෙක් හදාගෙන ඒ ළමයට කන්න බොන්න දෙන්නේ එයාලගේ සල්ලි වලින්ද ? ” 

” අසංක දැන් ඔය ඇති ” 

ඉමේෂා අසංකගේ අතින් ඇදගෙන කුස්සියෙන් එළියට යන්න හැදුවේ කතාව දුරදිග යයි කියලා බයටමයි.

” හරි ඒ ඔක්කොම පැත්තකින් තියමු. අම්මා ඉමේෂාට මේ විදියට සලකන්නේ අම්මට ආච්චි සලකපු විදිය අමතක වෙලාද ? ” 

අසංක එක එල්ලේම පද්මා දිහා බලාගෙන එහෙම ඇහුවා

” මුලින්ම අක්කා ඉපදුනාම, පරම්පරාව ගෙනියන්න පුතෙක් ඕනේ කියලා ආච්චි ඇවිල්ලා අම්මාව මරාගෙන කන්න හැදුවේ නැද්ද ? අම්ම දෑවැද්දක් ගෙනාවෙ නෑ කියල ආච්චි මැරෙනකම්ම අම්මට අනම් මනං කිව්වේ නැද්ද ? ඒවට අම්මගේ හිත රිදුනේ නැද්ද ? ” 

පද්මා කුස්සියේ තිබුන පුටුවකට වාරු උනේ අතීතය මතක් කරන ගමන්

” මම අම්මලගේ කැමැත්ත ඇතුවයි ඉමේශාව කසාද බැන්දේ. එහෙම එකේ ඉමේෂා මේ ගෙදරට ආවහම එයාට පිට කෙනෙක් වගේ සලකන කොට එයා මේ තරම් ඉවසන එක ගැන අම්ම සතුටු වෙන්න. හදිසියේ හරි අක්කගේ නැන්දම්මා අක්කට මේ විදිහට කරොත් අම්මට කොච්චර දුකයිද ? ඇයි අම්මට බැරි ඉමේශාට තමන්ගේ දුවෙකුට වගේ සලකන්න හැමතිස්සේම වැරදි හොයන්නේ නැතුව ? ” 

අසංක අන්තිම වචන ටික සංසුන් හඬින් කියනකොට පද්මාට ඉවසගෙන ඉන්න බැරි වුනා. පද්මා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා ඇවිත් ඉමේෂාගේ අත් දෙකෙන් අල්ල ගත්තා

” මට සමාවෙන්න මගේ දුවේ ” 

පද්මා ඒ වචන ටික පිටකර ගත්තේ හැඬූ කඳුලෙන්.

More Stories

Don't Miss


Latest Articles