“මට ඔයාව මාර වෙනස් චරිතයක් විදියට පේන්නෙ”
අලුතෙන්ම අද හවස ගත්ත ලස්සන පින්තූරෙ ෆේස්බුක් අප්ලෝඩ් කරාට පස්සෙ ආව ඒ මැසේජ් එක ආව අකවුන්ට එක නුපුරුදු බව ශාර්යා තේරුනා. ලස්සන කෙල්ලෙක් ගෙ ෆොටෝ දැක්කම ඉතින් ඕනම මනුස්සයෙක් මෙහෙම එවන එක සාමාන්‍ය දෙයක් උනාට මේ නුපුරුදු අකවුන්ට් එකකින් ආව මැසේජ් එකේ මොකක් හරි සුපුරුදු බවක් තියෙන බව ශාර්යා නොතේරුනා නෙවෙයි.
“තැන්ක්‍යු” කියල යැව්වට, ආයෙම මැසේජ් එකකින් “ඔයා මාව දන්නවද?” කියල අහන්න හිතුනත් ශාර්යා ඒක හිතෙන් අතෑරියෙ ඕනවට වඩා කතාව දිග්ගස්සගන්නෙ මොකටද කියල
“අඳුරගන්න පුලුවන්ද කවුද කියල?”
තමන් මැසේජ් කරන වැඩේ අතෑරියට එහා පැත්තෙ ඉන්න මනුස්සයනම් ඒක අතාරින්න නෙවෙයි ඉන්නෙ කියල ශාර්යා නොතේරුනා නෙවෙයි.
“සොරි, මම ඔයාව දන්නවද? ඇත්තටම මට අඳුනගන්න බෑ”
“පොඩ්ඩක් කල්පනා කරල බලන්නකො” හිනා මූණු දෙකක් එක්ක ඒ පණිවිඩේ ආවට ඒ කවුද කියල ඇත්තටම ශාර්යා හිතාගන්න බෑ.
“සොරි, මට ඇත්තටම අඳුනගන්න බෑ. ඔයා කවුද කියල කියනවද ප්ලීස්?”
“එහෙනං අද කියන්නෙ නෑ. හම්බුනාම කියන්නකො” කියල එහා පැත්තෙන් නිල් පාට සලකුණ නොපෙනී ගියත් ශාර්යා තව විනාඩි කීපයක්ම ඔන්ලයින් ඉඳගෙන කල්පනා කරෙ මේ කවුරු වෙන්න පුලුවන්ද කියල. කොච්චර හිතුවත් කිසිම කෙනෙක්ව ඔලුවට එන්නෙ නැති එකේ ශාර්යා නිදාගන්න ගියේ හෙට ලෙක්චර්ස් හන්දා.
ශාර්යා අවුරුදු විසි අටක්. කැම්පස් ගිහින් ඉවරවෙලා රස්සාවක් කරන අතරවාරෙම ශාර්යා පෞද්ගලික විශ්ව විද්‍යාලයක තවත් උපාධියක් හදාරමින් උන්නෙ රස්සාවෙ ඉහලට යන්න ඒව උවමනා වෙන හන්දමයි.
සති අන්තෙ හැමදාම උදේ අටේ ඉඳල හවස දෙක විතර වෙනකම් තියෙන ලෙක්චර්ස් වලට ශාර්යා දිගටම ගියා. පෞද්ගලික විශ්ව විද්‍යාලයක් උනාට හැමෝම එක්ක හොඳට හිනාවෙලා කතා බස් කරන ශාර්යා එතන ඕන තරම් යාලුවො හිටියා.
“හෙලෝ, අඳුනගන්න පුලුවන්ද?”
ලෙක්චරර් එනකම් ක්ලාස් එකේ වාඩිවෙලා හිටිය ශාර්යා ලඟට ආවෙ මිට මාසෙකට විතර කලින් එකට වැඩ කරපු ප්‍රොජෙක්ට් එකක ශාර්යාගෙ ගෘප් එකේම හිටිය බෝයි කෙනෙක්. බෝයි කෙනෙක් කිව්වට මලින්ද තමන්ට වඩා සෑහෙන වැඩිමල්, ඉස්කෝලෙ යන වයසෙ දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් වග ශාර්යා නොදන්නව නොවෙයි.
“ලස්සන ෆොටෝස් අප්ලෝඩ් කරනවනෙ එෆ් බී එකේ. කවුද බෝයි ෆ්‍රෙන්ඩ් ද ගන්නේ?”
මලින්ද එහෙම ඇහුවෙ අමුතුම හිනාවක් මූනෙ තියාගෙන. ඒ හිනාව වැඩිපුර බර හිතවත්කම පැත්තටද මනමාලකම පැත්තටද කියල තේරුම්ගන්න උත්සහ කරන ගමන් ශාර්යා මලින්ද අහපු දේට උත්තර දුන්න.
“බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියනම් ඔයිට වඩා ලස්සන ෆොටෝ ගනීවි නේද?”
“ආහ් ඒ කියන්නෙ තාම කොල්ලෙක් නැද්ද?”
“නෑනෙ අප්පා, බැරිද කෙනෙක් හොයල දෙන්න?” සුපුරුදු කෙලිලොල් කම, හිතවත්කම වචන ඔස්සේ වැක්කෙරෙද්දි ශාර්යා ඒක සාමාන්‍ය දෙයක් විදියට දැක්කට මලින්ද ඒක භාර ගත්තෙ වෙනස් විදියකට.
“ඔයා මාර ඕපන් මනුස්සයෙක්. ඒකනෙ මම කිව්වෙ මට ඔයාව මාර වෙනස් චරිතයක් විදියට පේන්නෙ කියල”
ඒ වෙලාවෙ තමයි ශාර්යා තේරුම් ගියේ ඊයෙ තමන්ට අර විදියට මැසෙන්ජර් එකේ පණිවිඩයක් එව්වෙ වෙන කවුරුවත් නෙවෙයි මලින්ද කියල. ඒත් මලින්ද ඇයි වෙන අකවුන්ට් එකකින් තමන්ට පණිවිඩ එවන්නෙ? මලින්ද තමන්ගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවනෙ. ඒ ප්‍රශ්නෙ අහනවද නැද්ද කියල හිත හිත ඉද්දි තමයි මලින්දම ඒ කතාව කියල ඉවර කරන්න හිතුවෙ.
“ඔයා බලනව ඇතිනේද මම ඇයි ෆේක් අකවුන්ට් එකකින් මැසේජ් කරේ කියල. ඒක දිග කතාවක්. අහන් ඉන්න පුලුවන් නම් ලෙක්චර්ස් ඉවර වෙලා කොෆි එකක් බොන්න යන්ද?” අහක දාන්න බැරිවෙච්ච මලින්දගෙ ඒ ආරාධනාව ශාර්යා නොහිතපු තරම් දුර ගියා.
කොෆි ශොප් වල, රෙස්ටුරන්ට් වල හම්බෙලා “වයිෆ් මාව මාර විදියට නංගා සැක කරන්නෙ, මම ලෙක්චර්ස් එන්නෙ ඇත්තටම මට ඩිග්‍රී එකක් කරන්න ඕන හන්ද නෙවෙයි ගෙදර අපායක් වගේ හන්දා” කියන මලින්දගෙ වේදනාකාරී විවාහ ජීවිතයේ දුක අහන්න ගිය ශාර්යා අන්තිමේ නැවතුනේ සති අන්තවල හෝටල් කාමරවල මලින්ද එක්ක තනිවෙලා.
“දූ ඉඳියෙ නැත්තම් මම මෙලහකට කාව්‍යාව දාලා දහපාරක් ඔයා ලඟට ඇවිත් බබා”
“ආදරේ කියන්නෙ අයිතිකරගන්න එකම නෙවෙයිනෙ අයියෙ, අපි මෙහෙම හිටියත් මම ඔයාට ආදරෙයි” කියල ශාර්යා කිව්වෙ ඇත්තටම. ශාර්යා උන්නෙ ආදරේ කියන මායාවෙන් වැහිච්ච හීන ලෝකෙක. ඒ හීන ලෝකෙ ඇතුලෙ ශාර්යා තමන්ව දැක්කෙ උත්තම ගැහැණියෙක් විදියට. වේදනාකාරී විවාහයක හිරවෙලා ඉන්න පිරිමියෙක්ගෙ හිත සනසන ආදරබර ගැහැණියක් විදියට.
ඒත් ඒ හීනෙන් ශාර්යා ඇහැරෙන්න උනේ නොහිතපු මොහොතක.
“ෆීලින් ඕව්සම් විත් මයි ලවින් ෆැමිලි” කියල වයිෆ්වයි බබාවයි තුරුලු කරගෙන මලින්ද එෆ් බී ෆොටෝ එක ලඟ ශාර්යා තිගැස්සුනා.
තමන්ටත් නොකිය ඔස්ට්‍රේලියා ගිය මලින්ද කෙනෙක්වද තමන් විශ්වාස කරේ කියන ප්‍රශ්නෙ ශාර්යා ගිහින් නැවැත්තුවෙ ඩිප්‍රෙශන් වලට මානසික උපදේශනය ලඟ.
“ඇයි මට මෙහෙම බොරු කලේ?” කියල ශාර්යා දාපු එක මැසේජ් එකකටවත් රිප්ලයි කරන්න මලින්ද තවදුරටත් ශාර්යාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියෙ නෑ. රස්සාව ප්‍රශ්නයක් කරගෙන, ඉගෙනීම මග නවත්තගෙන ශාර්යා ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්නව කියලවත් තමන්ගෙ ලවින් ෆැමිලි එක්ක ඔස්ට්‍රේලියාවෙ සන්තෝසෙන් හිටිය මලින්ද දැනගෙන හිටියෙ නෑ.