විනෝද් ලා කාලෙකට පස්සේ එකතු වුනේ විනෝද චාරිකාවක් යන්න. විවාහ වෙලා එක එක පැති වලට වෙලා හිටපු මිතුරු නඩේ තම තමන්ගේ බිරින්දෑවරුන්වත් එකතු කරගෙන ගමනට එකතු වුනේ දවස් තුනක් යනකල් තිබුණ හැමදේම අමතක කරලා දාලා. යතුරු පැදි පහකින්, ජෝඩු හයක් ගමනට ඉස්සර බැලුවේ අවුරුදු හතරකට විතර පස්සේ ලැබුණ සන්තෝසේ පුරවගෙන.
ඒත් විනෝද්ගේ බිරිඳ වුන ශමාලි හිටියේ ඒ සැහැල්ලුවෙන් නෙවෙයි. ව්‍යාජ හිනාවක් එක්ක සැහැල්ලුව පෙන්න උත්සාහ කලත් ඇගේ අභ්‍යන්තර බිඳීම හැමෝටම පෙනුනා.
“උඹේ ගෑණි මොකක් හරි අවුලකද බං ?”
උදේට කන්න නැවතුනාම සාරංග විනෝද්ට ලං වෙලා ඇහුවෙත් ඒ නිසා.
“නෑ .. ඒකිට මොන අවුලක්ද?… ඔය ඉන්නේ..”
“ඒකි ඉන්නේ නම් මේ ලෝකේ නෙවෙයි වගේ… අපේ විහාරත් ඇහුවා… චාපත් ඇහුවලු ..”
“පිස්සුද බං… ගෙදර අස්සේ ඉඳලා ඉඳලා එලියට බැස්සට පස්සේ ඒකිට ඔය දෝදු ගතියක් ඇති.. ඒක හරි හයි ..”
විනෝද්ගේ ප්‍රතිචාර ගැන නොරිස්සුමක් දැණුනත් සාරංග ඉන් එහා කතා කලේ නෑ. හැබැයි විහාරාට සාරංග කීව දේවල් නම් කිව්වා.
“මං ශේප් එකා කතාවක් දාලා බලන්නම් .. බොරුවට හිනා වෙවී ට්‍රිප් ගිහිල්ලා වැඩක් තියෙනවදා?..”
දවල්ට කාලා ඉවර වෙලා කට්ටිය නාන තැනක් හෙව්වා. එතැනදී හරි ඉක්මනට ඒකට උදව් කලේ ශමාලි. ශමාලි සිතියමත් බලලා, එතනට යන පාරවල් ගැනත් කිව්වා. හැමෝම ඒ ගැන බලාගෙන හිටියේ පුදුමෙන්.
“ශමාලි මාරයිනේ..”
කට්ටිය එහෙම කියනඔට ශමාලි හරි ආඩම්බරෙන් හිනා වුනා. ඒත් විනෝද්ට ඒ හිනාව සහ ඒ සිදුවීම් හරි බරක් විදියට දැනුනේ. තමන් එක්ක විවාහ වෙලා අවුරුදු දෙකක් ගත වුනත් හරි ශමාලි මෙහෙම ගමනක් යන්න සැලසුමක්වත් තිබිලා නැති බව විනෝද් දන්නවා. එහෙම එකේ ශමාලි මේ දේවල් ගැන දන්නේ කොහොමද කියලා විනෝද්ට පැහැදිලි වුනේ නැහැ.
ශමාලි කීව තැන නාන්න සුදුසුම සුව පහසු, ආරක්ශිත තැනක් කියලා හොඳටම පෙනුනාට පස්සේ මිතුරු නඩයේ හැමෝම ශමාලිව ඉහලින් අගය කරන්න ගත්තා. ඒත් එක්කම ශමාලි පිරිස එක්ක දොඬමලු වෙන්න ගත්තා. යන මඟ දිගට තියෙන නවාතැන් පලවල් ගැන, නවතින්න සුදුසු ගමනාන්ත ගැන විතරක් නෙවෙයි ගමන් පටන් ගන්න ඕනි වෙලාව ගැනත් ශමාලිට අදහසක් තිබුණා.
“කොහොමද අනේ ඔයා මේවා දන්නේ… හරි ශෝක් …”
විහාරා එහෙම කියනකොට ශමාලි විනෝද්ගෙන් ඇස් හංගගෙන හිනා වුනා. ඒත් ඒ වෙනකොට හීතල වතුරට වෙලා උන්නත් තමන්ගේ අභ්‍යන්තරයේ යම් පිලිසීමක් තියෙන බව විනෝද්ට වැටහුණා. ඒත් විනෝද් ප්‍රශ්නයක් ඇති කර නොගෙන ඉවසුවා. අනෙක් ජෝඩු සන්තෝසෙන් වතුරේ බැහැලා සැහැල්ලුව හොයද්දී ශමාලියි විනෝදුයි ඔහේ එහෙ මෙහෙ පීන පීන හිටියා. වැඩි වෙලාවක් නොගිහින් ශමාලි වතුරෙන් ගොඩ වෙලා නුදුරුන් තිබුණ ගලක් උඩට වෙලා විනෝද් දිහාව බලාගෙන හිටියා.
එදා රෑටත් ශමාලිගේ පිළිවෙලට තමයි වැඩ කෙරුනේ. නවතින්න සුදුසු සුව පහසු කබානා කිහිපයකට ශමාලි පාර කිව්වා. එතැන උන්න කෙනෙක් ශමාලි එක්ක බොහොම හිතවත්කමින් කතා කරනවා දැක්කම විනෝද්ගේ ඉවසමීම කුඩු පට්ටම් වුණා.
විනෝද් ශමාලිවත් ඇදගෙන එක කබානා එකක් ඇතුලට ගියේ ඉක්මන් ගමනින්. සිදුවීම හරියට නොදැක්කා වුනත් අනෙක් පිරිසත් ඒ පස්සෙන්ම ගියා.
විනෝද් ශමාලිව පුටුවක් උඩට තල්ලු කරලා ඇයව මැදිවෙන්න දෑත් තියාගෙන ඇගේ මූණටම නැඹුරු වුනා. අනෙක් අය එක පාරටම සිද්ද වෙන්න යන දේ හිතාගන්න බැරුව එහෙමම නැවතුනා.
ශමාලි විනෝද්ට කියන්න උත්සාහ කලේ කලබල නොවී ඉන්න කියලා. ඒත් විනෝද්ගේ ඉවසීම බොහොමයක් දුරට ඉවර වෙලයි තිබුනේ.
” බඳින්න කලින් මොකෙක් එක්කවත් අෆෙයාර් තිබිලා නෑ කියලා ඇයි මට බොරු කිව්වේ..”
විනෝද්ගේ හඬ උස් ව ඇහෙනකොට සාරංග කබානා එකේ දොර වහලා දැමා. ශමාලි උන්නේ අපහසුවෙන්, විනෝද්ගේ මිතුරු කණ්ඩායම ඉස්සරහ අත් විඳින්න වෙන සිදුවීම ගැන ලැජ්ජාවෙන්.
“මේ..විනෝද්.. අපි එළියට යන්නම්.. උඹ ඕක හෙමින් සීරුවේ කතා කරපං …”
කට්ටිය එලියට යනකොට ශමාලි අඬන්න පටන් අරගෙන. විනෝද් ඒ කඳුලු එක්ක එරෙව්වේ කෝපයෙන්. අවුරුදු දෙක තුනක් තිස්සේ තමන්ව මුලාවේ දාපු එක ගැන විනෝද් උන්නේ උමතු කෝපයක.
ශමාලි කලේ දිගින් දිගටම අඬපු එක. විනෝද් දෙතුන් වතාවක්ම ශමාලිට අත උස්සන්න ගියත් පුටුවේ ගුලි වෙලා තමන් දිහාව බලාගෙන ඉන්න ශමාලිගේ ඇස් විනෝද්ව මෙල්ල කරා.
“හරි.. හරි.. මං මුකුත් කියන් නෑ… මට ඇත්ත කියනවා… ඊට පස්සේ මම තීරනය කරන්නම් මොකද්ද කරන්නෙ කියලා…”
විනෝද් පසෙකින් ඉඳගත්තා. ශමාලි විනෝද් දිහා බැලුවේ ඉවසීම ඉල්ලන බැල්මකින්. ඒත් විනෝද් උන්නේ ඇස් වලින් ගින්දර පිට වෙන බැල්මක් එක්ක.
අන්තිමේදී ශමාලි කතා කරන්න ගත්තා.
” මම ඕලෙවල් වෙනකල් ඉස්කෝලේ ගියේ ගමේ ඉස්කෝලේට… එහෙ ඉන්න කාලේ ඉඳන්ම හවස් වරුවට මම කලේ සිතියම් හදාගෙන මල්ලිත් එක්ක ගම වටේ රවුම් ගහපු එක.. අම්මා කොච්චර බැන්නත්, ගැහුවත් මට ඒක ගානක් වුනේ නෑ… මල්ලි නිතරම මගේ හයියට හිටියා,.. අපි දෙන්න පොඩි කඳු නැග්ගා.. ඇල පාරවල් දිගේ උඩ යට ඇවිද්දා, පීනුවා… ඕලෙවල් ඉවර වෙලා ගමේ උන්න කාලේ මල්ලිගේ යාලුවෝ කට්ටියකුත් අපිට එකතු වුනා.. ඊට පස්සේ අපි එහා ගමේ තිබුණ පොඩි කැලෑවක කූඩාරම් ගැහුවා…
ඒකෙන් පස්සේ අම්මයි තාත්තයි මාව ආයේ ගමේ තියාගන්නෙ නෑ කියලා නුවර ලොකු අම්මලාගේ ගෙදර නැවැත්තුවා ඒලෙවල් වලට…. මල්ලි ඊට පස්සේ අවුරුද්දේ නුවර ආවා ඒලෙවල් වලට…. ඊට පස්සේ අපි දෙන්නයි, මල්ලිගේ යාලුවෝ දෙන්නෙකුයි පේරාදෙනිය කැම්පස් එකේ එක්ස්ප්ලෝර ටීම් එකකට එකතු වුනා… අපිට සෑහෙන්නම දේවල් ඉගෙන ගන්න ලැබුනා…
කොහොමහරි කට්ට කාලා පේරාදෙණියේ සයන්ස් ෆැකල්ටියටම ගියා මම.. මල්ලි ඉන්ජිනියරින් ආවේ…. ඊට පස්සේ මල්ලිට එයාලගේ බැජ් එකේ හයිකින් ආගම කරගත්තන් සෙට් එකක් හමු වුණා… මල්ලි ඒ සෙට් එකට මාවත් ගත්තා… ඒ අවුරුදු දෙක තුන අපි ඇති වෙනකල් රට වටේ ඇවිද්දා…. මම සෝලෝ ගියපු අවස්තාත් තිබුනා…
මම කැම්පස් අවුට් වුණා… ජොබ් එකක් ලැබුනේ නැති නිසා මම නුවර ඉඳගෙන එහෙ ඉන්ටර්නැශනල් ස්කූල් එකක උගන්නන ගියා.. අම්මලාත් ඒකට අකමැති වුනේ නැහැ…..
අතේ සල්ලි වැඩි වෙනකොට අපි මාසෙට වතාවක් හරි රෝන්දයක් ගැහුවා… එතකොට මල්ලිලාත් ඔන්ලයින් වැඩ…. ඔය අතරේ මල්ලිගේ යාලුවෙක් මගෙන් කැමැත්ත ඇහුවා.. මම ඒකට අකමැති වුන නිසා එයා අපි එක්ක ඇවිදින්න එන එක නැවතුනා… මල්ලිත් ඒකට මුකුත් කිව්වේ නෑ….
දවසක් අපි බයික් වලින් මීමුරේ යන්න ආවා… මල්ලිගේ අර යාලුවත් එදා ආවා.. ඌ මඟදී බීලා මල්ලි එක්ක රණ්ඩුවක් පැටලුණා.. දෙන්නා ගහ ගත්තා…. අර මල්ලි මල්ලිව තල්ලු කරා. මල්ලි වැටුණා…
එදා ඉඳන් මේ අවුරුදු හතරම මල්ලි එක තැන… අර මල්ලි ඇප පිට නිදහස් වුනා… ඒත් එයාට ඩිප්‍රෙශන් ආවා… සූසයිඩ් කරගන්න ගියා.. ඒ සෙට් එකේම අපි එක්ක උන්න නංගි කෙනෙක් එයාව බැඳලා ඕස්ට්‍රේලියා අරගෙන ගියා.. ඒ ගිය අවුරුද්දේ.. ඒ නංගී මට කතා කරනවා.. දැන් ඒ මල්ලි සෑහෙන්නම හොඳයිලු… ඉඩක් ලැබුන ගමන් කරන්නේ අපේ මල්ලිව සනීප කරගන්න නියුරොලොජිස්ට්ලාව හොයන එකලු…..
මල්ලිව ඕස්ට්‍රේලියා ගෙන්නගන්න කියලා ඉන්නේ දැන් …”
ශමාලි දිග හුස්මක් එක්ක කතාව නැවැත්තුවා.
විනෝද් කිසිම දෙයක් කිව්වේත් නැහැ.
” ඊට පස්සේ මගේ රෝන්දේ ජීවිතේ නැවැත්තුවා මම.. කොටින්ම මගේ ජීවිතේට එන කිසිම කෙනෙක්ට ඒ ගැන කියන එකත් නැවැත්තුවා… පරණ ෆේස්බුක්,ටික් ටොක් අකවුන්ට් ඩිලීට් කරලාම දැම්මා…. මල්ලිට එහෙම වුනේ මං නිසා කියලා හිතෙන එක නැවතුනේ නෑ… ජොබ් කිහිපයකටම ගියත් මට වැඩ කරන්න බැරි වුනා..
ජොබ් එකක් නොකරනවා නම් වැඩිය හොඳයි කීව නිසයි මම ඔයාව බඳින්න හා කිවේ…”
එහෙම කියලා ශමාලි විනෝද් දිහා බැලුවා. විනෝද්ගේ ඇස් වල කඳුලු තෙත ශමාලිට පෙනුනා.
“ඒත් මං ඔයාට ආදරේ කරන්න ගත්තා… දවසින් දවස මට ඔයාට ඒ ගැන කියන්න හිතුනා.. ඒත් බය හිතුනා… ඒ හිරකරගෙන ඉන්න අතීතේ ඔයාට කියලා සැනසීමෙන් දවසක් හරි ගෙවන්න මට හරියට ඕනි වුනා… මං මේ ගමන ආවේ ඒ ආසාවෙන් වගේම, අර කීව බයත් එක්ක ….”
විනෝද්ට ඉන් එහා ඈතින් ඉන්න පුලුවන් වුනේ නැහැ.
“ඉස්සෙල්ලාම මල්ලිව සනීප කරගමු. ඊට පස්සේ නෝනාගේ හීන පස්සේ දුවමු …”
පහුවෙනිදා උදේ මේ කතාව අහපු සාරංගලා දන්න කියන හැම සම්බන්ධතාවයක්ම ශමාලිගේ මල්ලි වෙනුවෙන් යොදවන්න පොරොන්දු වුනා. ඒ වගේම තම තමන්ගේ බිරින්දෑවරුන්ගේ ජීවිත වලත් එහෙම අඳු කතා තියෙනවාද කියලා අහලා බලලා එළියක් හදන්න තරමේ ඉවසීමක් හදාගන්න තීරණය කලා.
-අපේක්ෂා ගුණරත්න-