~ ~ ~ වර්තමානය ~ ~ ~
මහේල අරන්දර පිළිබඳව එහෙන් මෙහෙන් ඇසුණා මිසෙක පසුදින ඔහු පිළිබඳව වැඩි විස්තරයක් කතා බහට ලක් වූයේම නැත. එහෙත් අද දිනයේ කොයි යම් හෝ වෙලාවක මහේල මෙහි පැමිණේවිය යන විශ්වාසය මගේ සිත තුළ විය. එහෙම දැනෙන සංවේදනයන් ගැන මට කොහොමටත් විශ්වාසය.
එහෙත් සවස් වන තුරුම ඔහු පැමිණි වගට ආරංචියක් හෝ වූයේ නැත. දිනය පුරා ඔහුගේ සිහියෙන් සිටිමින් මා අතින් වෙන්නට ගිය අත් වැරදීම් කිහිපයක්ම අපේ අංශ ප්‍රධානියාගේ නෙත ගැටුණ වගට ඇඟවීම ලැබුනි. ඉන් පසුව මම මහේල දැකීමේ බලාපොරොත්තු ක්ශය කර දමන්නට තීරණය කලෙමි.
සවස සේවා මුර මාරු කර ගැනීමට පෙර මම අවසන් ඇණවුම සකස් කරමින් උන්නෙමි. ජසින්තාද පැමිණ උන්නාය. ඇය මගෙන් පසු සේවා මුරයට සූදානමින් සිටින්නීයය.
එක්වරම මුළුතැන්ගෙය තුළ වූ පරිසරය වෙනස් වන වග දැනුනේ ජසින්තාද වහා පසෙකට වූ නිසාය.
“සර් … එන්න සර් …”
අදහන්න, මහේල අරන්දර සුදු පැහැ පැති බිත්තිය පසු කරමින් මා වෙත ඇවිද එමින් උන්නේය. සුදු පැහැ ලිනන් කමිසයකට ඩෙනිම් කලිසමක් හැඳ කළු පැහැ සැහැල්ලු පාවහන් යුගලක් පැළඳ මා වෙතට ඇවිද එන්නේ මගේල අරන්දර මදැයි තහවුරු කරගන්නට මම ජසින්තා දෙස බැලුවෙමි. ඇය මාද ඉක්මවා යන බියපත් බවකින් බලා සිටින්නේ කිමදැයි මට වැටහුණේ නැත.
මම යළි ඉදිරිය බැලුවෙමි. පිළිවෙලකට සකසා ඇති රැවුල මහේලගේ මුහුණට පණ්ඩිත පෙනුමක් එක් කර ඇතැයි මට සිතුණි. ඔහු උන්නාට වඩා දේහධාරීව ගොස් තිබුණි.
“අල්ලලා ගිලිනවා මම ඈ…”
අතීතයේ දවස් වල මහේල නිතරම එලෙස පැවසූ ස්වරයම මගේ හිස තුලවාදනය විය. දැන් නම් ඔහුට මා අල්ලා ගිල දැමීම ඉතා පහසු වනු ඇත.
එලෙස ගිල දමා, ඔහු තුළට වී සිටින්නට ලැබේනම් එයද මට සැපයකි.
මා මේ සිතමින් සිටින්නේ මොනවාදැයි ඔබටද සැක ඇති බව දනිමි. එහෙත් දැන් මගේ ලෝකය වටා කැරකෙන්නේ මහේල අරන්දර පමණි. මට අවැසි වන්නේද ඔහු පමණි. ඒ නිසා ඔබ සිතන්නේ කුමක්දැයි සිතමින් මට දැනෙන දේ ඔබට නොකියා ඉන්නට මට සිතෙන්නේ නැත.
මහේල එක එල්ලේම ඇවිද එන්නේ මා වෙතටය. මම වියළී යන දෙතොල් තෙත්ව තබා ගන්නට උත්සාහ කලෙමි. සකස් කරමින් උන් කෝපි කෝප්පය ගැන මට වගක් වූයේ නැත. මම ඔහු දෙසම පමණක් බලා උන්නෙමි.
“මෙයාද ?”
“ඔව් සර් …”
“හෙට ඉඳන් රිලීස් කරන්න .. උදේ නවයට ලොකේශන් එකට ඇරලවන්න ..”
“හරි සර් …”
“කස්ටමට් හොට් කොෆී ඉල්ලුවම කෝල්ඩ් කොෆී දීලා හරියන්නේ නෑ..”
ඔහු ඉනික්බිති මා දෙසට දබරැඟිල්ල පාමින් කීවේය. අදහන්න, මා සිහි විසඟව යා හැකිව තිබුණි. මහේල අරන්දර ගේ මැජික්මය දෑස් මා විනිවිද ගියේය. කිසිඳු තිගැස්මක්වත් නැතිවම ඔහු ඒ විනිවිද යාමට ඉඩ ද දුන්නේය.
එසේනම් ඔහු මා හඳුනාගත්තේ නැතිවා විය යුතුය. එසේ නොවන්නට වසර හයකට පසුව මුණ ගැහෙන අසේකා පණ්ඩිතරත්න ඉදිරියේ ඔහුට එතරමට නොසැලි සිටින්නට නොහැක. අප එකිනෙකා කෙරෙන් වෙන් වූවාට පසු කුමක් සිදු වූවද, මහේල මට දිවි හිමියෙන් ප්‍රේම කල බවට මට සැක නැත.
” අසේකා.. ඔය කොෆී එක …”
ජසින්තා එවර මා සමිපයටම විත් උන්නාය. මම යළි පියවි සිහියට එළඹියෙමි. එහෙත් කල යුත්තේ කුමක්දැයි සිහි එලවා ගන්නට මට හැකි වූයේ නැත.
“කෝ .. මම ඕක රෙඩි කරන්නම්…”
ජසින්තා වහා ඉදිරිපත් වූවාය. මම පසෙකින් වූ උස බංකුවේ හිඳ ගත්තෙමි. මහේල් අරන්දර , එසේනම් ඔබ මා දමා එතරමට දුර ගොසින් ය. ජසින්තා මගෙන් කුමක් විමසුවාදැයි මට ඇසුණේ නැත. එහෙත් මම ඇයට මොනවාදෝ පිළිතුරු දුන්නෙමි.
“අසේකා එච් ආර් එකෙන් කෝල් එකක් ….”
කිසිවෙකු එලෙස පවසනතුරුම මම උන්නේ මහේල මා හඳුනා නොගත් ශෝකය මා තුළම මිහිදන් කරගන්නට උත්සාහ කරමිනි.
“අසේකා .. හෙට උදේ ඉඳන් ඔයාව කිචන් එකෙන් ටෙම්පරි රිලීස් කරනවා .. හෙට උදේ හරියටම අටට ඔයා ලොබි එකේ ඉන්න. මිස්ටර් සදීර ඔයාව ඩ්‍රොප් කරාවි ලොකේශන් එකට …”
මානව සම්පත් කලමණාකරණ අංශයෙන් පැමිණි ඇමතුමේ අගල් මුලක් මට වැටහුණේ නැත. ඔබටද වැටහෙන්නට විදියක් නැත. මම ඒ පිළිබඳව විමසුවෙමි.
” ඔයාට උදේට තමයි වැඩි විස්තර දැනගන්න වෙන්නේ ළමයෝ … මහේල සර් දැනට ඉන්ෆෝර්ම් කලේ එච්චරයි …”
ඇසුණේ කුමක්දැයි තහවුරු කරගන්නට මම යළි එය කාගේ දැනුම්දීමක්දැයි කියාද විමසුවෙමි.
“මහේල සර් අසේකා … අලුත් බොස් ….”
මම රිසීවරය ඉතා තදින් අල්ලා ගත්තෙමි. එවර ඔහු කුමක් වෙනුවෙන් සූදානම් වන්නේදැයි වැටහෙන්නේ නැත. මා හඳුනා නොගත් ලෙස කල රඟපෑමට ඔහු ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ කර යැවිය යුතුය.
“අසේකා… හෙලෝ…”
“හරි මිස් .. මම එහෙම කරන්නම්…”
“හරි.. ඔයා ටූ වීක්ස් වලට වගේ ඇඳුම් මොනා හරි රෙඩි කරගන්න හොඳේ ?”
“සති දෙකකට ?”
“ඔව් .. සර් එහෙමත් කිව්වා…”
විමසූ කිසිවකට පැහැදිලි පිළිතුරු ලැබුනේ නැත. සති දෙකක් සඳහා ඇඳුම්ද රැගෙන මම මහේල අරන්දර සමඟ අපායට වුවද යන්නට සූදානම් ය. එහෙත්, ඔහු මෙතරම් ඉක්මනින් මෙවැන්නක් සිදු කරන්නට යන්නේ කෙලෙසද ?
මෙවැන්නක් කියා මා අදහස් කරන්නේ ඔහු මා විවාහ කරගෙන සති දෙකක මධු සමයක් සඳහා කොහේ හෝ යන්නට් සූදානම්ව සිටීමය.
දැන් ඔබ සිනාසෙන බව ටමට සැක නැත. එහෙත්, මහේල අරන්දර ට සති දෙකක් තිස්සේ මා සමඟ් අන් කරන්නට යමක් නැත. එසේනම් ඔහු අවසානයේ පැමිණ ඇත.
මම නවාතැනට පැමිණියේ පියඹාගෙනය. මහේල ට මා අමතකව ගොස් නැත. ඔහු මේ කලකට පසු පැමිණ ඇත්තේ යළි මා කැටුව යන්නටය යන හැඟීමෙන් මිදෙන්නට මට හැකි වූයේ නැත.
මම හීටරයේ වතුර එකක් රත් කලෙමි. නූඩ්ල්ස් පැකැට්ටුවක් තම්බා ගත්තෙමි. ලූණු, තක්කාලි දමා බිත්තරයක ඔම්ලට් එකක් සකසා ගත්තෙමි. පසුගිය දින කිහිපයේම නොදැනුණ උද්‍යෝගයෙන් රාත්‍රී ආහාරය ගත්තෙමි.
දැනෙන නැවුම් බව ගිලිහෙතැයි මට වූයේ බියකි. එනිසාම චරිත අත්තලගේ ගේ කලකට පෙර හුරු පුරුදු ගීත වාදනය කලෙමි.
දැන් සති දෙකක් සඳහා ඇඳුම් සකසා ගත යුතුය. තාත්තා ට සහ නිර්මලී නැන්දාටද මේ ගැන කිව යුතුය. එහෙත් මහේල අරන්දර සමඟ මේ ගමන යන වග සැඟවිය යුතුයැයි මම ඊළඟට තීරණය කලෙමි. ඇතැම් විට එලෙස පැවසුවහොත් තාත්තා මහේල සොයා යන්නට වුවද බැරි නැත.
මම ජේ බී එල් එකේ හඬ වැඩි කලෙමි. නාන කාමරය තුළ පැය භාගයකට වැඩි වෙලාවක් ගෙව්වෙමි. හිස කේ තුවායෙන් ඔතාගෙන අල්මාරිය විවෘත කරගත්තෙමි.
” කැමති ඕනි එකක් අඳින්න අසේකා …. ඔයා මට කොහොමත් ලස්සනයි …හැබැයි .. මං ආසම නම් ඇඳුම් මුකුත් නැතුව ඉන්නවට … එතකොට මට මගේ කෝලම් කෙල්ලෝ දෙන්නව ඇති වෙනකල් ඉඹින්න පුළුවන් නේහ්…”
මට සිනහ නැඟිණි. ළමැඳට ගුලි ව සිටින්නට මහේල අරන්දර ට තිබූ අසීමාන්තික ලෝබකම සිහිවිය. කඳු මුදුන් සිඹින්නටද, නිම්න මත වැතිරෙන්නටද ඔහුට වූයේ දඟකාර නොහික්මුණු නොඉවසිල්ලකි
මම ඩෙනිම් කලිසම් පහක් නවා ඇඳ මත තැබුවෙමි. ස්ලැක් කලිසම් දෙකක්ද, පොකට් කලිසම් දෙකක්ද නවා ඒ ගොඩටම තැබුවෙමි.
ටී ශර්ට් සහ කමිස හයක් නවා තැබුවෙමි. ගවුම් තුනක් ගත්තෙමි. රාත්‍රී ඇඳුම් තුනක් ගත්තෙමි.
අනෙක් ඇඳුම් සියල්ල වෙනම කුඩා බෑගයක ඇසිරුවෙමි. තුවායක් සහ ඇතිරිල්ලක්ද දමා ගත්තෙමි.
අල්මාරිය වසා දමා රෙදි සියල්ල බැගයට දමා අවසන් කරන්නට වැඩි වෙලා ගියේ නැත.
ආලේපන සහ අනෙක් සුකුරුත්තම්ද ඒ බැගයටම දමා ගත්තෙමි.
සියල්ල අවසන් කර බෑගය වැසීමට පෙර යමක් සිහි විය. මම යළි අල්මාරියේ අනෙක් අර්ධය විවෘත කලෙමි.
තුන් සිත දැහැන් ගත විය.
” හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ….”
චරිත අතලගේ ගයන්නට පටන් ගෙන තිබුණි. අර පෙර කී ජංගම දුරකථනය යළි පණ ගන්වාගෙන මම ඇඳට වැටුනෙමි.
| අපේක්ෂා ගුණරත්න |