මහේල අරන්දර ඔහුගේ කාර්‍යාලය යැයි සිතියහැකි කියුබිකල් එකක් තුළට රිංගගත්තේය. මටද එහි පැමිණෙන්නට කීවේය. එසේ නම් මේ විසල් හෝටලයද ඔහුගේය. වසර ගණනාවක් ලංකාවේ පොළවේ පය ගසන්නටවත් නොපැමිණි ඔහු මේ සියල්ල ගොඩ නඟා ඇත්තේ කෙලෙසදැයි මට වැටහෙන්නේ නැත. ඔබටද වැටහෙන්නේ නැති වග දනිමි. එහෙත් අපට එය නොවැටහුණාය කියා දැන් විමසන්නට කෙනෙක්ද නැත.
මම ඔහු පසුපස්සෙන් කියුබිකල් එක තුළට රිංගා ගත්තෙමි. මට මහේලගෙන් ඇස් ඉවතට ගන්නට නොහැකි වූවා වන්නට ඇත. ඒ තුළ වූ අනෙක් දෑ කුමක්දැයි පවසන්නට තරම් දැනීමක් මට තවම නැත. මහේල අරන්දර යෝධයෙකු සේ මා දෑස් තුළට රිංගා සිටින්නේය.
ගැහැණු ලේසියකට දේවල් වලට ඇබ්බැහි නොවන බව ඔබට කියන්නට මට සිතේ. ඉබාගාතේ ඇවිද යන සිතුවිලි සමඟ උන්නා මිසෙක මටද එහෙමට කියන්නට ඇබ්බැහියක් වූයෙ නැත. එහෙත්, අහම්බකාරක දවසක මහේල අරන්දර නැමැත්තාගේ ඇබ්බැහිය මගේ ජීවිතයට විත් ඇලවුණේය. ඉන් මිදෙන්නට පහසු වූයේ නැත. ලේසියෙන් ඇබ්බැහි නොවන ගැහැණු, ඇබ්බැහි වූ පසු ඒ ඇබ්බැහිය අත් හැරීමට සෑහෙන්නම කල් ගන්නා බව ඔබට කියන්නට මට සිතෙන්නේ එබැවිනි. වසර එක , දෙක, තුන ගෙවී ගොස් තවමත් මහේල අරන්දර ගේ ඇබ්බැහිය මා උමතු කරවමින් ඉන්නේය.
එහෙත්, එහෙව් ගැහැණුන්ම ඇබ්බැහියන් අත් හැරි විට යළි එවන් ඇබ්බැහියක් වූවාදැයි සැක සිතෙන තරමටම අත් හැර දමන බවද පැවසිය යුතුය
මහේල අරන්දර විෂයෙහි ලා මට එවන් අත් හැරීමක් කරන්නට හැකි වන්නේ කවදාදැයි නොදනිම. එහෙත්, එවන් අත් හැරීමක් කලහොත් මහේල යනු කවුරුන්දැයි මා නොදන්නා තරමටම මම දැඩි වන බව පමණක් දනිමි
“ඕකේ අසේකා….”
කල්පනා දැහැනෙන මම බිමට වැටුණි. මහේල උන්නේ මා දිහා සරදම් සිනහවක් හෙලාගෙනය. මම එය වගකට නොගෙන උන්නෙමි
” කලින් වැඩ කලේ කොහොමද කියන්න මම දන්නේ නෑ.. ඒත් දැන්, මාත් එක්ක ඉන්නකොට සිහියෙන් ඉන්න …”
මට ඒ වචන කෙතරම් රිදවනවාදැයි ඔබට අමුතුවෙන් කිව යුතුනැත.
“සොරි සර්…”
“ඉට්ස් ඕකේ.. උදේට කාලද ?”
“ඔව් සර් …”
“ගුඩ් … මේසේ ඉස්සරහ ඔහොම ඉඳගෙන ඉන්න ඕනි නැහැ… පහසු ඇරේජ්මන්ට් එකක ඉන්න … අර ස්ක්‍රීන් එක පේන විදියට ….”
මහේල ඉන් පසුව කීවේය. මම උන් අසුනේම හරි බරි ගැසී හිඳගත්තෙමි. මට එතැනින් නැගිට වෙන තැනකට යන්නට තරම් සවියක් තිබුණේ නැත.
මහේල අරන්දර නම් මේ දේහදාරී පිරිමියා අසේකා පණ්ඩිතරත්න ලෙසින් වන යුවතියව මින් පෙර නොදන්නා සේ හැසිරෙන්නේ කෙලෙසද ?
ගැහැණියක ලොවෙන් සඟවා ගන්නා සියල් සුන්දරත්වය විඳ ඉන් සැනහුණු නෙත් අසේකා පණ්ඩිතරත්නව මෙතරමින් නොතකා ඉන්නේ කෙලෙසද?
” හරි … ඇස් යුවර් විශ් …”
මහේලද මට ඉදිරියෙන් උන් අසුන තිරය පිහිටුවා තිබූ දෙසට හරවාගෙන ඉරියව් සකසා ගත්තේය.
” ChOcO ManiA “
තිරයේ එලෙසින් වැටුණේ කලු පැහැ අකුරෙනි.
” මොකද හිතෙන්නේ ?”
මහේල විමසුවේය. මට සැබැවින්ම කිසිත් සිතුණේ නැත. මම ඔහු දෙස බලා යළි තිරය දෙස බැලුවෙමි. චොකෝ මේනියා ලෙසින් එය කියවා ගත්තෙමි. චොකලට් සම්බන්ධ යම් දෙයක් බවට ඉඟිය දැනුණි. මම එය එලෙසින් යන්තමින් කීවේමි. මහේල සරදම් සිනහවක් පෑවේය. හිස සැලුවේය.
අප සමුගන්නට පෙර දින මහේල මට ඔහුගේ නවතම ව්‍යාපාරික අදහසක් ගැන පවසන්නට ඇතැයි කීවේය. මේ එය විය හැක. මට එලෙසද සිතෙන්නේය. අසේකා පණ්ඩිතරත්න කෙතරම් නම් උමතුවකින් සිටින්නේද ?
“ගුඩ්… මට චොක්ලට් ෆැක්ටරි එකක් දාන්න ඕනි …. කිරිබත්ගොඩ ටව්න් හොට් , හෑන්ඩ් මේඩ් චොක්ලට් බාර් එකක් දාන්න ඕනි …. හෑන්ඩ් මේඩ් චොක්ලට් කියන එක පිස්සුවක් කරන්න ඕනි… ඒකයි චොකෝ මේනියා ඇතුලේ තියෙන්නේ …”
මහේල අරන්දර , දෙවියනේ ඔබ උමතුවෙන්ද ? මට එක්වරම සිතුණේ එයය. අනෙක් සියල්ලම කරන්නට හැකි බව හෝ සිතුවත්, චොකලට් නිශ්පාදන කර්මාන්තශාලාවක් ….,
කැන්ඩොස් සහ එඩ්නා හැරුණු විට ලංකාවේ ඇති චොක්ලට් සන්නාමයන් හෝ මොනවාදැයි නොදන්නා යුවතියක ඉදිරියේ මොහු මේවා කියවන්නේ කිනම් උමතුවකින්ද?
අනෙක් අතට, එතරම් ආයෝජනයක් කල හැකි කාලයද මේ ?
” සර් …”
“යස් …”
මහේලගේ කතාව මැදට පැන්නෙමි. ඔහු ව්‍යාපාර ලෝකය තුළට පිවිසියේ කවදා සිටදැයි මම නොදන්නවා වුවද, මෙලෙස අවදානම් ගැනීමට ඉස්සර වෙන්නට දිය නොහැක. ඉන් විනාශව යන්නේ ඔහු පමණක් නොවේ. ඔහු බාරකාරීත්වය දරන සියළු ආයතන සහ ඒවායේ සේවකයන්දය.
” මේක ටිකක් අවදානම් වැඩියි නේද ? “
” ඔයාට සමහරවිට අමතක ඇති අසේකා… මහේල අරන්දර , ජීවිතේ අම්බානෙකට අවදානම් ගත්තු මිනිහෙක් … කොටින්ම නම විතරක් දැනගෙන උන්න කෙල්ලෙක්ට ආදරේ කරන්න තරමට අවදානම් ගත්ත මිනිහෙක් …..” .
වසර ගණනාවක් ආපසු අතීතයට මා උස්සා විසි කරන්නට ඒ වචන සමත් විය. රිදුම් අපමණ දැනෙද්දි මම පපුව මිරිකා ගත්තෙමි. අරන්දර පොඩි පුතාගේ ඇස් වල වූයේ ගින්දරම පමණක් බව මම ඔබට පැවසුවාට වරදක් නැත.
~ ~ ~ අතීතයට ~ ~ ~
මා රැකියාවෙන් ඉවත් වූ බව දැනගත් අම්මා සහ අයියා පරළ වූහ. එය මම බලාපොරොත්තුවෙන් උන් නිසා වගක් නැතිවා සේ සිටින්නට මට හැකි විය. මට ඊළඟ රැකියාවක් ගැන අදහසක් තිබුනේ නැත. මම මල් සැකසුම් ආයතනයක මල් සැකසුම්වරියක් ලෙස සේවය කරන්නට අයදුම් පත් දමා උන්නෙමි. ඒ දැම්මේ ආශාවටය. එහෙත් ඒ පිළිබඳව පුහුණුවක්වත් නොමැති නිසා මට ඉන් කැඳවීමක් ලැබේයැයි විශ්වාසයක් වූයේ නැත.
නොසිතූ ලෙස දින දෙකකට පසු එළැඹි ඉරිදාවේ ඇමතුමක් ලැබුණි. කිරිබත්ගොඩ ” චමත්කාර ෆ්ලෝරා” වෙතිනි. සඳුදා උදෑසන නවයට සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන්නයැයි දැනුම් දුන්නේය.
මම ඇමතුම විසන්ධි කලේ සැහැල්ලුවෙනි. නොවැටහුණු හේතුවකින් ඒ සැහැල්ලුව පරයා යන බරක් දැනුණි. මෝටර් සයිකලය පෙරලාගෙන පදික වේදිකාවේ වැටී උන් තරුණයා සිහි විය. ඔහු කවුරුන්දැයි වත් දැන උන්නා නම් සමාව ඉල්ලන්නට හෝ අවස්ථාවක් ලැබේ. එහෙත් මේ පසුතැවීම සදාකාලිකවම ඉතුරු කල ඔහු අතුරුදන් වී ගොසිනි.
සඳුදා මම නිවසින් පිටත් වූයේ අම්මාට කිසිවක් නොපවසමිනි. ඇයද කිසිවක් විමසුවේ නැත. ගම්පහින් කෝච්චියට නැග්ගෙමි. කැලණියෙන් බැස්සෙමි. කැලණියෙන් 138 බසයකට ගොඩ වී හරියටම චමත්කාර ෆ්ලෝරා ඉදිරියෙන්ම බැස ගත්තෙමි.
නවයට විනාඩි පහක් තියා මා ලොබියේ හිඳ උන්නෙමි. නවයයි පහට මා සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවුණි.
පෞද්ගලික විශ්ව විද්‍යාලයක ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව උපාධියක් ඇතිව , ඇඟලුම් කර්මාන්තශාලාවක තත්ව පරීක්ශකවරියකද සෙවය කලේ ඇයිදැයි ඔවුහු මගෙන් විමසුවේ නැත. ඒ වෙනුවට අත්දැකීම් සහිතව රැකියාවට බඳවා ගන්නාතුරු පුහුණු සේවිකාවක් ලෙස සේවයට බැඳෙන්නට ඇති හැකියාව විමසූහ. තෝරාගතහොත් කිරිබත්ගොඩ අවට නවාතැනකට එන්නට හැකිදැයි විමසූහ. මුල් මාස තුන සඳහා හතලිස් දහසක වැටුපක් ප්‍රමාණවත්දැයි විමසූහ. මම ඒ සියල්ලමටම එකඟ වීමි. නිවසින් පිටතට විත් මල් අස්සේ දැවටෙමින් කරන්නට වෙන මේ රැකියාව දැන් දැන්ම හිතට ගෙන එන්නේ නැවුම් බවකි.
” මහේල සර් ඒවිද ?
මා සමඟ කතා කරමින් උන් දෙදෙනාගෙන් කෙනෙකු ඇමතුමක් ගෙන කාගෙන්දෝ විමසුවේය. ඔහුට පිළිතුරක් ලැබෙන්නට ඇත.
“පොඩ්ඩක් ඉන්න වෙනවා මිස් අසේකා. සර් එන ගමන් .. එයාටත් ඔයාට කතා කරන්න ඕනිලු..සර් ඕකේ උනොත් ඔයාට හෙට් ඉඳන්ම වැඩ කරන්න එන්න පුළුවන් … ඉස්සරහට සීසන් නිසා හාර්ඩ් වර්කින් ටයිම් එකක් එන්නේ…”
මම හිස සැලුවෙමි.
පැය භාගයක් පමණ ඉන්නට ඇත. මා උන් කැබිනයේ දොර විවෘත වනු ඇසුණි. මම ආපසු හැරී නොබලා උන්නෙමි.
” සොරි ෆොර් ද ඩිලේ.…… ඩොක්ටර් ලේට් වුණා….”
මා තිගැස්සෙන තරමේ හඬක් ඇසුණි. ආපසු හැරී නොබලාම ඔහු මා ඉදිරියට එනතුරු උන් ඉරියව්වේම උන්නෙමි.
| අපේක්ෂා ගුණරත්න |