හඳ එළිය වැටිලා තිබිච්ච පාර පැහැදිලිව පෙනුනා.දෙපැත්තේ කැලෑවෙන් රැහැයියො කෑ ගහන සද්දෙත් වවුල්ලු කෑගහන සද්දෙත් ඇහුනා.අපි අද මේ ආපු ගමන ගැන අපි ටික දුරක් යනකන් කල්පනා කළා.
” ඇත්තටම අපි කතා කළේ මනුස්සයෙක් එක්කද..ඉර එළිය වැටුනහමත් මේ දොර ඇරගෙන එන්නේ ඒ මනුස්සයාමද..තමන්ගේ අත් දෙක මොලය පාවිච්චි කරලා කරන්නේ මොනවද..මේ කරන්නේ ගබ්සාවක් නෙමෙයිද..මේ කරන්නේ මිනීමැරුමකට අනුබල දීමක් නෙමෙයිද…”
බැරිම තැන මම රාජරත්නම්ගෙන් ඇහුවා..
“ඔව් ඩොක්ටර් මේක මාර ප්‍රශ්නයක්.. නීතිය ක්‍රියාත්මක කරවන නිලධාරියෙක් හැටියට මට දැන් මෙච්චර දෙයක් දැනගෙන නිහඬව ඉන්නත් බෑ.. ඒත් මේක සාක්ෂි රහිතව මට ඔප්පු කරන්න විදිහකුත් නෑ..”
“ඔව් රාජා මමත් ඒ ගැන හිතුවා.මේක අපි එළිකලත් නිකම්ම නිකං කට වචනයක් විතරයි.කිසිම සාක්ෂියක් අපි ගාව නෑ.ඔය ආරි කියන ගෑනු කෙනා වුණත් අපි දන්නේ නෑ හෙට උදේ වෙනකොට ඔතන ඉඳීද නැද්ද කියලා.අනික අපි හොඳටම දන්නවා මේක ව්‍යාපාරිකයෙක් සම්බන්ධ වෙලා කරන දෙයක් නෙමෙයි කියලා.ඒ හින්දා මේ වැඩේ මෙතනින් නවත්තන්න හිතෙන්නේ නැද්ද..”
මම එහෙම කිව්වහම රාජරත්නම් යන ගමන නවත්තලා මං දිහා බැලුවා..
“ඩොක්ටර් .. මගේ රස්සාව තමයි වැරදි කරන මිනිස්සුන්ව අල්ලන එක.තරාතිරම නොබලා අල්ලන එක.මේකේ අවසානය සමහරවිට භයානක වෙන්න පුළුවන්.ඒක නොදැන නෙමෙයි මම මේකට අත ගැහුවේ.මොනවා වුනත් මම මෙතන වෙච්ච දේ හොයාගන්න ඕනේ.ප්‍රහන් කියන්නේ මගේ යාළුවෙක් විතරක් උනාට දැන් බලාගෙන යනකොට මේ අසාධාරණයට අහුවෙච්ච ගොඩක් අය ඉන්නවා. අසාධාරණයට අහුවුණා කියලා කියන්න මත් බැහැ..මොකද ඒගොල්ලෝ ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ …
ඒගොල්ලෝ විසින්ම ගොඩනගපු දරිද්‍රතාවයේ ප්‍රතිඵල..
ඒගොල්ලෝ විසින්ම ගොඩනගපු නූගත්කමේ ප්‍රතිඵල..
දේශපාලනික වශයෙන් පුළුවන් තරම් මිනිස්සුන්ව අසරණ කරලා බඩට දරුවෙක් ආවහම ඒ දරුවාව ජීවත් කරවන්න බැරි තත්ත්වයට ඒ අම්මල තාත්තලාව පත් කරල අවසානයේ තමන්ට ඕන දේ කරගන්න පාලකයෝ තමයි බිහිවෙලා තියෙන්නේ..
මේක දැන දැනත් මේ ප්රශ්නය හෙවිල්ල මෙතනින් නවත්තන්න මට හිතෙන්නේ නෑ..ඩොක්ටර් මොකද ඒ ගැන හිතන්නේ..”
ඇත්තටම මට මං අහපු ප්රශ්නය ගැන ලැජ්ජා හිතුනා.බැරිවෙලාවත් රාජරත්නම් කිව්වනං එහෙම ඩොක්ටර්ට කැමතියි නම් මේ ප්‍රශ්නෙන් දැන් වුනත් අයින් වෙන්න කාල වේලාව ඇති කියලා..මම මොකද කරන්නේ?..එහෙම වුනානම් ඇත්තටම මගේ ගෞරවය හඳ එළියෙම දියවෙලා යනවා.ඒ වුනාට රාජරත්නම් වැරදිලාවත් ඒ වගේ කතාවක් කිව්වේ නෑ.ඇත්තටම ඒක ඒ මනුස්සයාගේ තියෙන වැදගත්කම..
“රාජා..එක්ස්ට්ර්ම්ලි සොරි.. රාජා ..මම ඒක එච්චර හිතන්නෙ නැතුව ඔයාගෙන් ඇහුවේ..මාවත් නිකං කරකවල අත ඇරියා වගේ මේ ගෑණු මනුස්සයාගේ කතාව අහගෙන හිටියට පස්සේ..ඔතන නොකිය වෙච්ච දේවල් තව කොච්චර ඇද්ද…
එක අතකට හරි විදිහට බැලුවහම ආරි අක්කගෙ ජීවිත කතාව ඇතුලෙත් අසාධාරණය පිරිලා නේද.සමාජයට යහපතක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ඒ වගේ චරිතයකින්..සමාජයේ ඒ මනුස්සයාට හම්බවෙලා තියෙන්නේ වයිරයයි පිළිකුලයි විතරයි නේද…ඔය අවුරුදු ගාන ඇතුළතදිම අතේ ඇඟිලි ගානට තරම්වත් ආදරයෙන් වචනයක් ඔය මිනිස්සු අහල තියනවද දන්නෙ නෑ..”
මම කියන දේවල් බොහොම ඉවසීමෙන් රාජරත්නම් අහගෙන හිටියා..
“ඩොක්ටර් මුලින් මගෙන් සමාව ඉල්ලුවනේ…ඒක සමාව ඉල්ලන තරම් වැරැද්දක් නෙමෙයි ඩොක්ටර්.ඇත්තටම අහක යන කුණු කන්දලයක් තමයි.ඒ උනාට මං මේකේ අගමුල හොයාගෙනම තමයි නවත්තන්නේ.”
අපි මෙහෙම කතා කර කර ඉස්සරහට යනකොට තලම්මැහැර ගෙ කාර් එක ළඟ බිම ඉඳගෙන ප්රහානුයි තලම්මැහැර යි ෆෝන් එකේ ෆිල්ම් එකක් බල බල උන්නා..
“අම්මට සිරි මේ එන්නේ..”
“බලපන් ප්‍රහන්..මුන් දෙන්නවත් වඳ සැත්කම් කරලද කියල..”
තලම්මැහැර එහෙම කියනකොට අපි හැමෝටම හිනා ගියා.
“එහෙනම් පරක්කු වුණේ නෑ නේද වෙලාවටම ඇවිල්ල..”
“නෑ කතා කළා නම් තව ටිකක් වෙලා කතා කරන්න තිබුණා.අපි උඹලට කිව්වනේ එකොලහ
මාර පහු උනොත් පොලිසියට කියන්න කියලා. ඉතින් ඒකයි මේ වෙලාවේ ඉවර කරලා ආවේ.”
අපි ආපහු වාහනයට නැගලා කොළඹ එන්න පිටත් වුනා.කොළඹ ඉඳන් එන ගමන් පරණ වාහන ගැන කතා කර කර ආවට කොළඹට ආපහු යන ගමනේදී අපි පාර දිගේ ඇවිදගෙන ගිය තැන ඉදලා ආරි අක්කා ලෝගු ගවුම ගුලි කරලා අල්ලගෙන නිදිමතයි කියලා නැගිට්ට තැනට වෙනකන් අකුරක් නෑර ප්‍රහාන් ටයි තලම්මැහැර ටයි කිව්වා .
“ඒ කියන්නේ මේ වැඩේ ගැන සම්පූර්ණයෙන්ම වෙත්තමුනි කියන කෙනා දන්නවද..”
එහෙම කියලා තලම්මැහැර ඇහුවේ අපි සම්පූර්ණයෙන්ම කතාව ඉවර කරනකන් ඉඳලා.
“ඔව්.. එයා මේ සේරම දන්නවා. හැබැයි දැන් කතාව සිද්ධ වෙච්ච විදිහට ආරි අක්කා කියන කෙනයි අර ඩ්‍රයිවරුයි දන්නේ කවුරුහරි සල්ලිකාර ව්‍යාපාරිකයන්ට තමයි මේ ගෑනු ගෙනියන්නේ කියලයි.”
“එතකොට එකම විදිහට මේ විදිහට ළමයි වේළිලා හම්බවෙන්නේ කොහොමද..”
ප්‍රහාන් එහෙම ඇහුවේ, මේ කතාවේ ප්‍රධාන කොටස්කාරයා එයා හින්දා වෙන්න ඇති.
“ඇත්තටම කියනවනම් ආරි අක්කට වුණත් ඒ ගැන ලොකු අදහසක් නෑ…එයාගේ අදහස නම් ඒ ගර්භනී අම්මලාට හම්බවෙන ම්ලේච්ඡ ලිංගික වද හිංසා නිසා ඒ වගේ තත්ත්වයක් දරුවන්ට ඇතිවෙනවා ඇති කියලා.හැබැයි ඒක වෛද්‍ය විද්‍යාත්මක වනම් පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි.මේක ලිංගික වද හිංසාවකට වඩා එහා ගිය රහස් දෙයක් තියෙනවා කියලා හිතෙන්නේ ඔන්න ඔය කාරණාව ගැන කතා කරනකොට තමයි.”
මම එහෙම කිව්වේ ඇත්තටම මේ වෙලාවේ මගේ හිතේ කැටි ගැහිලා තිබිච්ච ප්‍රශ්නයත් ඒකම හින්දයි.
“මේ ස්ටෙප් එකෙන් පස්සේ අපි මොකද කරන්නේ කියන එකයි මම දැන් මේ කල්පනා කරේ..”
එහෙම කියලා රාජා එයාගේ අත් දෙක ඔලුව පිටිපස්සට කරලා බැඳගෙන සීට් එකේ දිග ඇදිලා වාඩි වුණා.
“මට දැන් ඇත්තටම බඩගිනි..තව ටිකකින් අපිට අහුවෙන්නේ ගල්ගමුව හරිය.ඒ හරියේ මේ වෙලාවට නවත්තන්න බෑ.. මේ වෙලාවට අලි ඉන්නවා.
ඉස්සරහින් තියෙනවා මමයි රත්නා ලෝකයි දෙන්නා යන වෙලාවට තේ බීලා යන සාමාන්‍ය කඩයක්.රත්නාලෝක නම් බහින්නේ නෑ.මම ගිහිල්ලා එයාට ගෙනල්ල දෙනවා.ඒ තැන නම් හොඳයි.නයිට් කඩයක් මොකද කියන්නේ නවත්තන්නද…”