පමා වී පිපුනු මල් 30

0
8525

“මේ ෆ්‍රයිඩේ මූවි නයිට් එක ඇරේන්ජ් කරන්න කියල වීරෙ මැසේජ් එක දාලා”

කේශිනී කිව්වේ බ්‍රහස්පතින්දා දිවා ආහරය වෙලාවේය. අම්මා දුන් බත් පතේ වූ ඉස්සන්ද කහබත්ද පරිප්පු සහ වම්බටු බැදුමද අනාගෙන මුව රුවාගෙන රස විඳිමින් උන් අරුණලීගේ දෙනෙත් රැඳී තිබුනේ දුරකතනයට බාගත කරගෙන තිබූ කතුවරයා දුරකතන යෙදවුම ඔස්සේ කතන්දරයක් කියවමිනි. කන ගමන් කුමක් හෝ කියවන පුරුද්ද ආවේ තාත්තාගෙනි. අදටත් තාත්තා කන්නේ පොතක් හෝ පත්තරයක් කියවමිනි.

“මොකද්ද ඒ?”

“අපි ඉස්සර ඉඳල කරගෙන ආව එකක්. මාසෙ අන්තිම ෆ්‍රයිඩේ එකේ ඔෆිස් එකේ ඉඳගෙන කට්ටිය එක්ක මූවි එකක් බලනවා”

“දැන් හෙටත් තියෙනවද?”

“ඔව් ඇත්තටම අපිට ගිය මාසෙ කරන්න බැරි උනා. කට්ටියම වගේ සෙට් වෙනව ෆිල්ම් එක බලනව කිව්වට ඉතින් ඒකම විතරක් නෙවෙයි. බොනව කනවා දන්නවනෙ ඉතින් අපේ අය සෙට් උනාම ආතල් කෝටියයි”

“අනිවාර්‍යෙන්ම එන්න ඕනද?”

අරුණලී ඇසුවේ විමසිලිවන්තවය. මිතුරන් සමග කාර්‍යාලයේ ගෙවෙන දිනයන් ඉතාම විනෝදකාරී බව ඇත්තක් වුවද තමාට ඇති ප්‍රශ්න ගැන බලන විට රාත්‍රිය වනතුරු මෙහි රැඳී සිටීමට නොහැකි මෙන්ම තාත්තාට මෙහි එන්න යැයි කීමටද සිත් නොදේ. එහෙත් මේ අනිවර්‍යෙන්ම සහභාගි විය යුතු අවස්තාවක් නම් එය වලක්වාගන්න හැකියාවක් නෑ නොවේද?

“අනිවාර්‍යෙන්ම එන්න ඕන කියල එකක් නම් නෑ. ඒ උනාට ඉතින් එන්න පුලුවන් උනා නම් හොඳයි. ජොලි අනේ”

“එන්න නම් ආසයි,ඒ උනාට ඔයා දන්නවනෙ අම්මල බයයි රෑ වෙනවට. අරය ඒවි කියල මටහ් බයයි”

“තාත්තට එක්කරගෙන යන්න එන්න කියන්න බැරිද?”  කේශිනී එක එල්ලේම තමන්ගේ දෙනෙත් අරුණලීගේ කණස්සල්ලෙන් පිරුණ මුහුණ වෙතම රඳවාගෙන ඇසුවාය. අරුණලීට තිබෙන්නෙ ගෙදරින් කාර්‍යාලයටත් කාර්‍යාලයෙන් ගෙදරටත් ගෙවෙන ජීවිතයක් පමණි. වෙනසකට හෝ පිටස්තර ලෝකය සමග ඇයට ඇති එකම සබඳතවය කාර්‍යාලය පමණි. එකම යුගයක ඉපදුණ සම වයස් තරුණියන් දෙදෙනෙකු වන තමා සහ අරුණලී අතරින් තමා ඉතාම නිදහස් ජීවිතයක් ගෙවද්දී නොකල වරදකට අරුණලී අත්තටු කැපූ කිරිල්ලියක මෙන් සිරගතව හිඳීම මොන තරම් නම් වේදනාවක්ද?

“අනේ මගෙ හිතට මොකද්ද වගේ කේශිනී එහෙම අහන්න. තාත්තට ඇත්තටම ගෙදරට වෙලා ඉන්න පුලුවන්නෙ මේ මං දාගත්ත ලෙඩ නැත්තන්. මම ෆිල්ම් බල බල ජොලියෙ ඉන්නකොට තාත්තට රෑට මාව ගන්න එන්න කියන එක වැරදිනෙ. ඒ නිසා මාව කවුන්ට් කරන්න එපා. ඔයාලා එන්ජෝයි කරන්නකො”

“මං ඔයාව ඩ්‍රොප් කරන්නම් ගිහිල්ලා”

“අනේ පිස්සුද බං, උඹත් කෙල්ලෙක්නෙ.රෑ වෙලා යන එන අතරවාරෙ උඹට මොකක් හරි උනොත්? අනිත් එක මගේ මේ පර්සනල් ප්‍රශ්න නිසා ඔයා කරදර විඳින්නෙ මොකටද අනේ”

එහෙත් හිත යට හෙට රෑ නතර වී චිත්‍රපටයක් බලන්නට තිබුණා නම් හොඳය කියා නොසිතුනා නොවේ. එහෙත් යතාර්තය එයට වඩා තිත්තය. තිත්ත වුණත් ඒ ඇත්තය.

දිවා ආහරයෙන් පසු කේශිනී, ශැනන් ඇතුලු පිරිස එලියට ගොස් රවුමක් දා එන්නට ගියද අරුණලී උන්නේ කට පෙත්තටම වැඩවලින් පිරීඉතිරී ගොසිනි. ලඟ ලඟම එන ලෝක ළමා දිනය වෙනුවෙන් ක්‍රියේටිව්ස් ආයතනයෙ ඩිජිටල් අංශය විසින් කරන කැම්පේන් රැසකි. ඒ බොහොමයක ක්‍රියේටිව් කන්සෙප්ට් එක සහ සිංහල කොපි රයිටින් කරන්නට නියමිතව තිබෙන්නේ අරුණලීටය. 

සුමුදු නම් කුඩා දරුවන්ගේ ඇඟේ ගල්වන සුවඳ විලවුන් සන්නාමයක් මෙවර ලෝක ලමා දිනය වෙනුවෙන් චිත්‍ර තරගයක් කරන්නට බලාපොරොත්ති වෙමින් හිඳී. එම කැම්පේන් එකට අරුණලී නම දුන්නේ සුවඳ සිහින කියාය. පොඩි දරුවන් කුඩා අවදියේ දකින දඟකාර සිහින ලොකුවත්ම සමාජයේ සහ් දෙමව්පියන්ගේ බලපෑම නිසා වෙනස් වන බව අරුණලී කන්සෙප්ට් එක ඩිවලොප් කරන්න කලියෙන් කල රිසර්ච් එකෙන් සොයාගත් රිසර්ච් ෆයින්ඩින් එකකි.

“ඔබේ පොඩිත්තාගේ සුවබර සිහින සුවඳින් පුරවන්න මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ගෙන එන සුවඳ සිහින ලෝක ළමා දින වැඩසටහන සමග ඔබත් එක්වන්න”

කැම්පේන් එකේ තීමටික් වීඩියෝවට අදාල පිටපත ලියා අවසන් කල අරුණලී එය කිමල් වීරවර්ධනට ඊමේල් කලාය. අනතුරුව සුමුදු සන්නාමය වෙනුවෙන් සකසා ඇති ඉන්ටර්න වට්සැප් චැට් එකේ “අයි ශෙයාර්ඩ් ද වීඩියෝ ස්ක්‍රිප්ට්” කියා ලියා කිමල්ව ටැග් කරාය. 

“කම්” කියා කිමල් එසැණින් කියා එව්වාය. අරුණලී හිඳගෙන් උන් තැනින් නැගිට්ටේ කිමල් හමුවන්නට යනු පිණිසය.

එදා දවස පටන්ගත්තේම පැය දෙකක් පමණ ඇදුණු මීටිමකිනි. තව මාස එකහමාරකින් සය මාසික ප්‍රොජෙක්ට් එකක් සඳහා තමන්ට මැලේසියාවේ ස්තාපිතව තිබෙන තම සේවා ආයතනයේම තවත් එක සේවා ස්තානයකට යන්න තිබෙන බව කිම දනී. ඒ ඇරයුම ආවේ මේ වසර මුලදීය. තමාවම එහි යවන්නට තෝරාගැනීම තමා ක්‍රියේටිව්ස් ආයතනය වෙනුවෙන් කල සේවයට කල පිලිගැනීමක් සහ ස්තුතියක් නිසාවෙන්ම කිමල් එය භාරගත්තේ ඇරයුම ආ මොහොතේමය. මේ ගමන තමාට තවත් දියුණු වීමේ මං සොයාගන්නට උපකාර වන බව දන්නවා වුණත් තමන් ඒ තීරණයට එදා එතරම්ම ඉක්මනින් හා කීම ගැන කිමල් අද දුක් වුණේය.

ඒ දිනවල එතරම් කාලයකට මෙහි දමා යාමට නොහැකි කෙනෙකු තමාට උන්නේ නැත. එහෙත් අද එය එසේ නොවේ. අනෙක් අතට අරුණලීට ගෙවන්නට සිදු වී තිබෙන්නේ සාමාන්‍ය දිවියක් නොවේ. ඇය පසුපසින් පිස්සුවෙන් මෙන් එන මෙනුකගෙන් අරුණලීව පරිස්සම් කිරීම කිමල් කැමැත්තෙන්ම තමන්ගේ වගකීමක් කරගෙන උන්නේය. ඒ වගකීම පැහැර හැර මාස හයකට දුර රටකට ගොස් හිඳින්නේ කෙසේද?

අඩුම තරමේ ආදරෙයි බව කියාවත් තිබුණා නම් දුර ගොස් ඉන්නට තිබුණි. දුරකතනයෙන් හෝ කතාකරන්නට තිබුණි. එහෙත් දැන් එසේ කරන්නට හේතුවක් ඇත්තටම නැත. තමා හේතුවක් නැතුවම ඇයව ඇමතීම ඇය ප්‍රශ්නයක් කරගන්නට හැක. එය ලංවෙන්නට ඇති හැකි ක්‍රම සියල්ල සහ අවසරයන් සියල්ල බිඳ දමාලන්නට හැකි හේතුවකි. ඉතින් වෙන ක්‍රමයක් හොයාගැනීම වඩා සුදුසුය.

අරුණලී තමන්ගේ කැබින් එක දෙසට ඇවිද එන අයුරු පෙනි පෙනීම කිමල් ලැප්ටොප් පරිගණකය වෙත දෙනෙත් රුවා ගත්තේය. 

අරුණලී දොර හැරගෙන කැබින් එකට ඇතුලු වෙන අයුරු ඇසුණ ද කිමල් මොහොතකටවත් දෙනෙත් උස්සා බැලුවේ නැත. තමාගේ හිත ඇතුලේ නලියන ප්‍රේමණීය හැඟීම් දෙනෙතින් හෝ සිනහවකින් පෙනේ යැයි කිමල්ට බය ය. සැකය. තමා අරුණලී ඉදිරියේ මවා ඇති ප්‍රතිරූපය එයින් වෙනස් විය හැක.

“මට එන්න කිව්වද?” සර් කියන වචනය ආමන්ත්‍රණයෙන් හැලීම නිසා කිසිදු නමක් නැතුව කතා කිරීම අමුතුවට මෙන් දැනුනද අරුණලී ස්වරය මදක් හෝ වෙනස් කර නොගෙනම උන්නාය. කිමල් වීරවර්ධන උන්නේ වැඩක නිරත වී බව අරුණලී දුටුවාය.

“ටේක් අ සීට් ප්ලීස්, ගිව් මී වන් මිනිට්” කියා කිමල් නිරත වූ උන්නේ කිසිසේත්ම හදිසි නැතු බොරු වැඩකය. බොරු කාර්‍යබහුලකමකය. මේ ඉතින් ආදරණීය මවා පෑම්‍ ය.

“ස්ක්‍රිප්ට් එක මම ඇත්තටම බැලුවෙ නෑ අරුණලී. වෙලාවක් තිබ්බෙ නෑ. අපි මෙහෙමම ගෝ තෲ කරමුද?”

“හරි”

“මට ඉස්සෙල්ල ආයෙ කන්සෙට් එක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්නකො” 

“මම ලැප්ටොප් එක අරගෙන එන්නද? නෑ එපා මගෙ ගාව ඩෙක් එක ඇති” කියා කිමල් පරිගණකයෙන් කැම්පේන් පිච් එක ඕපන් කරේය. පරිගණකයේ තිරය අරුණලී වෙත හරවා කිමල් තම අසුනෙන් නැගිට විත් අරුණලී පිටුපසින් හිට ගත්තේය. 

පිච් එක මතක නැති බව කිව්වේ බොරුවටය. පිටුපසින් හිටගත් විට අරුණලීව හොඳට පෙනේ. පරිගණක තිරය දෙස බලමින් කතා කරන ඇයට තමා පිටුපස හිඳ බලා සිටින්නේ ඇය දෙස බව නොපෙනේ. ඉතින් හිතට නිදහස් ය. 

අරුණලී කතා කරන අතරම දඟකාර ලෙස මුහුණට වැටෙන කෙහෙ රැල්ලක් අතින් කන පිටුපස රඳවන අයුරුත් දෑත් සොලවමින් කතාව පැහැදිලි කරන අයුරුත් කිමල් නිහඬවම බලා උන්නේය. ඒ නිහඬතාවය මැද්දේත් දෙතොල තිබුනේ සිනහවකින් සැරසීය. ඒ මද සිනහව බොහෝ කතා කියන්නකි. ආදරය ගැන, සෙනෙහස ගැන, බලාපොරොත්තු ගැන, කෙල්ලන්ගේ හුරුබුහුටිකම් ගැන කියන්නකි. 

කිමල් මෙලොවට ආවේ අරුණලී හැරී තමන් දෙස බලා හිඳිනවා දුටුවිටය.  “දිස් ඊස් ඕකේ” කියා කලබලෙයෙන් පුටුව මත වාඩි වූ කිමල් ඉන්පසුව ගෙවුණ පැය භාගය ගෙව්වේ අරුණලී විසින් ලියන්නට ‍යෙදුණ පිටපත ගැන කතා කරන්නටය.

කිමල් විසින් කියන්නට යෙදුණ වෙනස්කම් පිලිවෙලින් පොතේ ලියාගෙන බලද්දීත් වේලාව හවස පහයි විස්සය. තාත්තා දැනටමත් ඇවිත් ඇති බව හිතෙද්දී අරුණලී දුරකතනය බැලුවේ මග හැරුණ ඇමතුමක් තිබේදැයි දැනගනු පිණිසය.

මුලින් අත් ඔරලෝසුව වෙතත් අනතුරුව දුරකතනය වෙතත් යොමු වුන අරුණලී ගේ දෙනෙතදුටු කිමල්ට අසන්න තිබුණේ එක දෙයකි.

“තාත්ත එනව නේද එක්කරගෙන යන්න?”

අරුණලී පිලිතුරු දුන්නේ මද සිනහවකින් මුව සරසාගෙන හිස ඉහල පහත හොලවමිනි. ඒ සිනහවේ රැඳී තිබුනේ කණස්සල්ලක් මුසු වූ අසරණ කමකි. එහෙත් කිමල් තමා හොඳින් දන්නා ඒ කණස්සල්ලට හේතුව ගැන ඇයගෙන් අසන්නට හිතුවේ නැත. දුක දන්නේ තුවාලය ඇති අය ය. ඒ පෑරීම මහා වරදකි.

“ඔව්”

“හෙට තාත්තට එන්න වෙන්නෙ ගොඩක් රෑ වෙලා නේද?” 

“මම හෙට ඉන්නෙ නෑ, රෑ වෙන හන්දා”

“ඇයි ඒ?”

“අනේ තාත්තට රෑ වෙලා එන්න කියන එක වැරදි නෙ. ඔෆිස් එකේ වැඩක් උනා නම් මං නතරවෙනව. ෆිල්ම් එකක් බලන්න නිසා තාත්තා රෑ වෙලා එන්න කියන එක වැරදිනෙ. මගෙ හිතට හරි නෑ ඒක”

“ඔයා ආසද ඉන්න?” කිමල් ඇසුවේ වඩා මුදු එහෙත් බරැති හඬකිනි. 

අරුණලීගෙන් වචනයෙන් උත්තරය පිටවුණේ නැති නමුත් දෙතොල් ලිහී දෙපසට විහිදී දුන් උත්තරය කිමල්ට ඇති ය.

ඉතින් දැන් දෙයක් කරන්නට ඉඩ තිබේ. අවසරය තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here