එයා මැරිල හුඟක් කල් 27

එදා රෑ අපි ගෙදර එනකොට පහුවෙනිදට එළිවෙන්නත් ඇවිල්ලා තිබුණා.මට උදේම වෝඩ් එකට යන්න වෙලා තිබුණේ අලුතෙන් ඇතුල් කරගත්ත ලෙඩ්ඩු කීපදෙනෙක්ම බලන්න යන්න තිබුන හින්දා.අපි මේ වෙනකනුත් ප්‍රහන්ගේ වාර්තා හැටියට ඉදිරිපත් කළේ සුව වෙමින් පවතින රෝගියෙක් හැටියටයි .

රාජරත්නම් මගෙන් ඉල්ලලා හිටියා ප්‍රහන්ගේ ඇත්ත තත්ත්වය එළියට එළි කරන්න එපා කියලා.මොකද එහෙම උනොත් ආපහු නඩුව අහන්න පටන් ගන්නවා.අපි මෙච්චර දවසක් හොයාගත්ත දේවල් ඉවරයක් කරන්න බැරුව යනවා…අනික ප්‍රහාන් සනීප වුණා කියලා… නඩුව ඇහුවයි කියලා… රත්නා ලෝකගේ කතාව ප්‍රහන් කිව්වයි කියලා සාක්ෂි සහිතව ඔප්පු කරන්න කිසිම විදිහක් තිබුණේ නෑ. තලම්මැහැර කිව්වා .

ඇත්තටම ඒ අතින් බැලුවහම තලංමැහැර අපිට යෝජනා කළේ  ගෙඩි පිටින් බලල්ලු ලවා කොස් ඇට බෑවීමක් උනාට යම්කිසි දෙයක් අපිට සාක්ෂි සහිතව එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා.ඒ උනාට තලම්මැහැර  විශ්ව විද්‍යාල කාලයේ  ඔය තරම් කට්ට කෛරාටික වෙලා හිටියේ නෑ කියල මට මතක් උනා.ඇත්තටම බලයට තියෙන ආසාව නිසා මිනිස්සු මොනතරම් වෙනස් වෙනවද.

වෙලාවකට මට හිතෙනවා අපි මේ බලයට මේ තරම් කෑදර වෙලා දඟලන්නේ අපිව කවුරුහරි වෙන කෙනෙක් පාලනය කරනවද කියලත්..බලයට කෑදර හිතුවිල්ලක් දැනෙන හැම මොහොතකම අපේ ඇඟ ඇතුළට රිංගන්න බලාගෙන ඉන්න ඒ පුද්ගලයෝ බොහොම ඉක්මනින් අපේ ඇඟ ඇතුලට රිංග ගන්නවා කියලයි මට හිතෙන්නේ.

එක චිත්‍රපටියකත් මම දැකල තිබුණා අපි කොයි තරම් අනිත් කෙනාට ආදරෙන් හිටියත් සැකය කියන දේ අපේ හිතට අනිත් කෙනා වෙනුවෙන් ඇතුල් වුනොත් එතන ඇතිවෙන්නේ ආදරයේ රික්තයක්…අන්න ඒ රික්තයට කළු කුමාරයා රිංගනවා..එතන ඉඳන් විවිධ මානසික රෝග..මට හිතුනා නිකමට මේකත් එහෙමද කියල..බලයට කෑදර වුණු තැන..මිනිසත්කම කියන එක අමතක වෙනවා .එතනදි මිනිසත්කමේ රික්තයක්  ඇතිවෙනවා. අන්න ඒ රික්තයට තමයි අපිව පාලනය කරන කෙනා රිංගන්නේ..

මානසික රෝගී වෛද්‍යවරයෙක් හැටියට මේ හිතුවිලි හැම එකක්ම මානසික රෝගියෙකුට අදාල දෙයක් වුණාට…හැබෑවටම ඒක යථාර්ථයක් නම්…ඇත්තටම හිතාගන්නත් බෑ…ඒක සමහරවිට මුළු මිනිස් සංහතියේම අවසානය වෙන්නත් පුළුවන්..

අලුතින් ලෙඩ්ඩු තුන් හතර දෙනෙක්ම ඇතුල් වෙලා හිටපු හින්දා එදා දවස ගෙවෙනවා වත් මට තේරුනේ නෑ.රෝගීන්ගේ ඉතිහාස කතා හොයන්න ගියාම දවස යනවා තේරුනේ නෑ.සමහර ලෙඩ්ඩුන්ව සනීප කර ගන්න එයාලගේ ගෙවල් වෙල අයට කිසිම උවමනාවක් තිබුණේ නෑ.මානසික රෝගියෙක් ගෙවල් වලට හැමදාමත් ගෙනත් දුන්නේ වදයක් විතරයි.ඒ ගෙදර ඉන්න අනික් මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැතුව ඉන්නකොට අසරණ වෙලා අසනීප වෙලා මානසිකව අසරණ වෙච්ච මනුස්සයෙකුට පිහිටක් වෙන්න තරම් පුළුවන් කෙනෙක් ඒ ගෙයක් ඇතුලෙන් හොයාගන්න බැරුව යනවා .ඇත්තටම ඇයි එහෙම වෙන්නේ?..

මටනං හිතුනේ හැම තිස්සේම අපේ හිත කියන්නේ සවු කොළයක් කියල.හත් අට පාරක් පාප්ප ගාගෙන පොල් කට්ට වගේ හයිකරගන්න සව් කොළ හිත් වගේමෙ පිනි බිංදුවටත් ඉරිලා දියවෙලා වෙලා සව්කොල වගේ තුනී  හිතුත් තියෙනවා …

පහුවදා  දවස ගැන හිතන කොට මට මහ බයක් දැනෙන්න පටන් ගත්තා. ඇත්තටම ඒ වෙනකොට ප්‍රහාන්  හොඳ තත්ත්වයෙන් හිටපු හින්දා එයා සම්පූර්ණයෙන්ම ලෑස්ති වෙලා හිටියේ තලම්මැහැර ත් එක්ක අද හවසට ජනාධිපති මන්දිරයට අතිරේක පිරිසිදු කරන්නෙක් හැටියට යන විදිහ ගැනයි.

හවස හතරට විතර තලම්මැහැර   අපි හිටපු නවාතැන්පොළට ආවේ එයාගේ වාහනෙන්මයි. රාජරත්නම් ව මගින් එන ගමන් දාගෙන  ඇවිත් තිබුණා.

“ඉතින් කට්ටිය මොකද.අදත් කොහාට හරි ගිහිල්ලා තේ බීලද යන්නේ..”

තලං මැහැර එහෙම අහන ගමන් හිනා වුණා..

“මොන තේ ද..මාව නම් මාර විදිහට එක්සයිට් වෙලා ඉන්නේ.. ඇත්තටම මම මාර බය වෙලා..නෑ ඒක බය වෙලාත් නෙමෙයි ..”

“හරි.. හරි …ඩොක්ට අසංක බය වෙන්න එපා.මේ රාජා කිසි කෙනෙකුට අනතුරක් වෙන්න දෙන්නේ නෑ.අපි මේ ප්‍රශ්නෙ කොහොම හරි විසඳනවා.”…

රාජරත්නම් එහෙම කියලා අපි හැමෝගෙම හිත් හදනකොට තලම්මැහැර  අපි දිහා බලාගෙන හිටියා.

“දැන් මේකයි..මේක වෙන විදිහ අහපල්ලා. මේ ප්ලෑන් එකේ හිස්තැන් තියෙන්න බෑ.. මොකද එහෙම වුනොත් උඹල වගේම මමත් ගස්.. මට ඕනේ මේ ප්ලෑන් එකෙන් කොටස් දෙකක් කරගන්න.ඒක උඹලා දන්නවනේ..එකක් උඹලට ඕන කරන තොරතුරු ටික හොයාගන්න එක..අනික තමයි ඒ තොරතුරු පාවිච්චි කරලා
රත්නා ලෝකකාරයාගේ ඡන්ද ටික කඩලා දාලා  අපේ පක්ෂෙට මනාප ටික වැඩි කරගන්න එක..”

“හරි ඩොක්ටර්. දැන් කියන්නකො අපි කොහොමද වැඩේ කරන්නේ කියලා..”

ප්‍රහන් ඇහුවේ හරියට නිකන් යුද්ධයට යන්න සූදානම් වෙච්ච සෙබළෙක් වගේ..

“මෙහෙමයි..මගේ ළඟ තියෙනවා ඇතුල ක්ලීන් කරන කට්ටිය අඳින යුනිෆෝම් එකක්.ඒ වගේම ඒගොල්ලෝ ළඟ තියෙන අයිඩී කාඩ් එකක්..අද හවස ක්ලීන් කරන්ඩ ඉන්නේ ජයතිස්ස කියලා හාදයෙක්..
මං පොඩි ගේමක් ගහලා ජයතිස්සව අද වැඩට එන එක නැවැත්තුවා.
මේ තියෙන්නේ..මේක තමයි උගෙ අයිඩී එක.. සාමාන්‍යයෙන්
රත්නාලෝකකාරයාගේ කාමරයේ පිරිසිදු කරන්නේ මෙයා තමයි. එතකොට මෙයා කාමරේ ඇතුලට යන්නේ එයාගේ ඇඟිලි සලකුණ ඇඟිලි සලකුණු මැෂින් එකේ තියලා.රත්නාලෝක කාමරයට ඇතුල්වෙන්නෙ පාස්වර්ඩ් එක ගහලා. “

“අප්පට සිරි…දැන් ඔය දෙකම අපි ගාව නෑනේ…”

“මචං අසේල….
මෙහෙම හිතපං..
රාජ්‍ය වෙබ් අඩවිය දෙපාරක් හැක් කරපු මනුස්සයෙකුට මේ කාමරයක් ඇතුළට යන පාස් වර්ඩ් එකක් හොයාගන්න එක මහලොකු කජ්ජක්ද… නැද්ද ප්‍රහාන් …”

එහෙම අහපු තලම්මැහැර ප්‍රහාන් ගෙ යටි බඩට පොඩි තට්ටුවක් දැම්මේ හිනාවෙන ගමන්මයි…

“මෙහෙම යි… මං හිතනවා මට පුළුවන් වෙයි.. මටනම් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.අපි ඇතුලට ගියහම කමියුනිකේට් එක සම්පූර්ණයෙන් නවතිනවද..”

“නෑ ප්‍රහාන් මෙහෙම යි.. .
ඔයාලා රත්නාලෝකගේ තරම දන්නෙ නෑනෙ..මේ වෙනකොටත් සමහරවිට මිනිහට අපි ගැන සැක හිතිලා වෙන්න පුළුවන්.
නෑ මම කියන්නේ මිනිහගේ හැටියට සමහර විට එහෙම වෙන්න පුළුවන්.අපි එතකොට ඒවගෙනුත් පරිස්සම් වෙන්න ඕනේ.ඒ හින්දා අපි හුඟක් වෙලාවට අපේ communicate එක තියාගන්න ඕනේ අපිව ටැප් කරන්න බැරි විදිහට. ඒ වගේම හැම තිස්සේම කතා කරනවට වඩා වට්සැප් හරහා මැසේජ් එකක් හුවමාරු කරගන්න එක තමයි නුවණට හුරු.
ඒවගේම රාජා අසේල ඔයාලා දෙන්නා..ෆෝන් පාවිච්චි කරනකොට වයිබ්‍රේට් වත් දාන්න එපා. නෝමල්ම සයිලන්ස් කරලා දාන්න.whatsapp වලින් විතරක් ෆොටෝ පණිවිඩ හුවමාරු කර ගන්න.. හැබැයි මැසේජ් වලින්.
වොයිස් එපා. මොකද උන්ට වොයිස්  උනත් කට් කරලා අල්ල ගන්න පුළුවන් උපකරණ තියෙනවා…”

“දැන් නම් මටත් බය හිතෙනවා..”

රාජරත්නම් එහෙම කිව්වහම අපි හැමෝටම හිනා ගියා.

“මමයි රත්නාලෝකකාරයයි අද හවස පහට විතර යන්න පිටත් වෙනවා අපේ පෞද්ගලික වාහනයකින්. අපි පිටත් වෙන්න කලින් මම ප්‍රධාන ගේට්ටුවෙන් ප්‍රහාන් ව කොහොමහරි ඇතුලට ගන්නවා. ඇතුලට අරගෙන රත්නාලෝකගේ කාමරය හරිය පෙන්නනවා. මම ජනාධිපති මන්දිරයෙන් පිටවෙන්නේ ඊට පස්සේ තමයි. රත්නාලෝකව හවස පහ වෙනකොට මට ඇස්වාට්ටුව හන්දියෙන් ගන්න තියෙනවා.මම එයාව එතනින් අරගෙන කෙලින්ම පොළොන්නරුවේ අපේ හෝටලයට යනවා. අපි හෝටලයට එනකොට කොහොමත් රෑ 10 විතර වෙයි.
දැන් මම රාජටයි අසේලටයි යන්න ජීප් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඕගොල්ලෝ කෙලින්ම දැන් පොළොන්නරුවේ වැව සිසිල හෝටලයට යන්න.  ටිකක් ඇතුලට යන්න ඕන හෝටලයක්. ගිහිල්ල රිසෙප්ෂන් එකට කියන්න වගීෂ සතරසිංහව හම්බවෙන්න ඕනේ කියලා.. මෑන් තමයි මෙතන ඔක්කොම ගේම් එක රන් කරන්නේ.මෑන් මගේ හොඳ යාළුවා. හැබැයි ඔය කවුරුවත් දන්නේ නැහැ මේ එන්නේ රත්නාලෝක කියලා.

මම වගීශට කියලා තියෙන්නේ උඹල දෙන්න සමාජ විද්‍යාඥයෝ දෙන්නෙක් කියලා.උබලා දෙන්නගේ උපාධි නිබන්ධනයකට විස්තර හොයනවා කියලා තමයි කිව්වේ. උඹල දන්නවනේ මේක බෙල්ල ගහලා යන වැඩක්..මම බර ගානක් යට කරලා තමයි මේ ප්ලෑන් එක නූලක්වත් වරදින්නේ නැති විදිහට සෙට් කලේ.ඊට පස්සේ වගීශ  උඹලව අරගෙන යයි නිරන්ජන් ධර්මදාස බුක් කරලා තියෙන කාමරයට … මම මේ කියන නං ගං ටික අමතක වෙනවනම් ඔය මොකක හරි ලියාගනින්…අපේ ලොක්කා  නිරන්ජන් ධර්මදාස කියන බිස්නස් කාරයා විදිහට තමයි ඉන්නේ.”..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here