Forbes සඟරාවට ගිය ශ්‍රී ලාංකික තරුව ඩිනාරා …

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්‍ෂණය කල “ගාඩි” චිත්‍රපටය නැරඹුවානම් එහි රඟපෑ ටිකිරිව ඔබට අමතක වෙන්න විදියක් නැහැ. 

ගාඩි චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය හරහා ලාංකේය සිනමා ලෝලීන්ගේ සිත් ඇඳ බැඳ තබා ගත් ඇයව ඔබ නොදන්නවා වෙන්න බැහැ.

 

 ඩිනාරා පුංචිහේවා – ඇගේ නම මේ වන විටත් ලංකාවේත් මුලු ලෝකයේත් බොහෝ දනන් තුඩ තුඩ රැව් දෙමින් පවතින්නක් වීම ලාංකේය අපිට ඉමහත් ආඩම්බරයක්.

 විටින් විට ලාංකේය නම් ලෝකයේ ඉහළම තැනක රඳවන Smart කාන්තාවන් ගැන අපි ඔබ වෙත තොරතුරු රැගෙන එන්නේ එය ඔබව මෙන්ම අපවත් දිරිමත් කරන්නට හේතුවන්නක් නිසා. 

ඉතින් අද Smartlady වෙබ් පිටුවේ මේ ඉඩකඩ වෙන් වන්නේ Forbes 30 under 30 Asia හි ලාංකේය නම රන්දමින් මුලු මහත් ලෝකයක ඉදිරියේ අපව ආඩම්බරයෙන් මුසපත් කළ ගාඩි චිත්‍රපටයේ ටිකිරි – ඩිනාරා පුංචිහේවාගේ ජයග්‍රහණයේ කතාන්දරයයි. 

1-නිළියක් වෙන්න සිහින දුටු ඩිනාරා 

 Forbes සඟරාවේ 30 under 30 Asia හි නව වන වාර්ෂික මෙවරත් පළ කර ඇති අතර එහි විවිද අංශ ඔස්සේ ජනාදරයට, ජනප්‍රසාදයට පත් වූ තරුණ නායකයින් 300ක් හඳුනාගෙන තිබෙනවා. 

 ඒ කැපී පෙනෙන ගෞරවයට පාත්‍ර වූවන් අතර ශ්‍රී ලාංකේය නිළි, චිත්‍රපට නිශ්පාදිකා ඩිනාරා පුංචිහේවාත් හිඳිනවා. 2018 වසරේ ජාත්‍යන්තර සිනමා උළෙලයන්හි ප්‍රදර්ශනය වූ “Maala” කෙටි චිත්‍රපටය ඔස්සේ ඩිනාරාව ජාත්‍යන්තර වශයෙන් ද බොහෝ ඇගයීමට ලක්වුණා.

 ඒ දක්ශතාවය ඔස්සේ තමයි ඇයව ශ්‍රී ලාංකේය සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂක ප්‍රසන්න විතානගේ මහතාගේ කලාත්මක ඇසට හසුවන්නේ.

 ඒ අනුව පසුගිය වසරේ තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටයක් වන ගාඩි – Children of the Sun චිත්‍රපටයේ ටිකිරිගේ චරිතයෙන් ලාංකේට සිනමාවට පිවිසෙන්න ඩිනාරාට අවස්තාව හමුවන්නේ. ඉන් අනතුරුව තවත් චිත්‍රපට කිහිපයකින්ව සිනමා වේදිකාව තමන්ගේ කරගන්නටත්, තම හැකියාව ඔපමට්ටම් කරගනිමින් ඉදිරියට යන්නටත් ඩිනාරාට මග පෑදෙනවා. 

 ලන්ඩනයේ Queen Mary විශ්ව විද්‍යාලයෙදී ඩිනාරා ඉගෙන ගෙන තිබෙන්නේත් නාට්‍ය සහ රංගනය. 

 “මම ඉගෙන ගත්තේ රංගන ශිල්පිනියක් වෙන්න. පාසලේ වේදිකා නාට්‍යවලට මම සහභාගි වෙලා තියෙනවා. මම නිළියක් වෙන්න ගොඩක් හීන දැක්ක කෙනෙක්”

2-පුංචි තරු බිහිකරන ඩිනාරා 

 ලන්ඩනයේ Queen Mary විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඩිනාරාගේ ගමන විශිෂ්ට වන්නේ ඇයගේ රංගන කුසලතාවය නිසාම පමණක් නොවෙයි. 

අඩු ආදායම්ලාභී පවුල්වල ඉපදුණ, එහෙත් කුසලතාවයෙන් පොහොසත් බොහෝ දරුවන්ට රංග කලාව සහ රංගනය ඉගැන්වීමට සහ ඒ ඔස්සේ ජීවිතය වෙනස් කර ගැනීම වෙනුවෙන් කැප වූ ලාභ නොලබන ආයතනයක් වන Punchi Actors පිහිටුවන්න මුල් තැන ගන්නේත් ඩිනාරායි. 

 මෙම සංවිධානය හරහා ඩිනාරා දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ගවේෂණය කිරීමට සහ විශ්වාසය ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සඳහා වැඩමුළු සහ පුහුණුව ලබා දෙනවා. 

ඒ වගේම ඇය ජීවිතය පරිවර්තනය කිරීමට කලාවේ බලය විශ්වාස කරන අතර සියලු දරුවන්ට විශාල සිහින දැකීමට අවස්ථාව ලබා දීමටත් මේ Punchi Actors සංවිධානය ඔස්සේ කටයුතු කරනවා.

3-අභියෝගාත්මක සිනමා ගමන 

 ගාඩි චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය ඔස්සේ ඩිනාරාට රඟපාන්න තිබුණේ පහසු චරිතයක් නොවේ. 

ටිකිරිගේ චරිතය රඟපාන්න අවස්තාව බොහෝ නිළියන් බැහැ කිව්වත් ඩිනාරා ඒ අභියෝගය භාරගත්තේත් ඒ අභියෝගය සාර්තකව ජයගත්තේත් දක්ෂතාවය නිසාම පමණක් නොවෙයි කැපවීම සහ සිහින සැබෑ කරගන්න ඇති අදිශ්ඨානය නිසාමයි. 

 “ගෙදරින් මට උපරිම සහයෝගය ලැබුණා මේ ගමනට. මගේ දෙමව්පියන්, සැමියා, නංගි, මල්ලි හැමදෙනාම මට මේ ගමනට සම්පූර්ණ සහයෝගය දුන්නා” 

ගාඩි චිත්‍රපටය තිරගත වෙමින් පවතිද්දී සහභාගි වුණු පුවත්පත් සාකච්ඡාවකදී ඩිනාරා මෙහෙම කියනවා. 

 සිනමාවට පිවිසීම වගේම දක්ෂතාවයෙන් එහි රැඳී සිටීම, කැපී පෙනීම අප හිතන තරම් පහසු නැහැ. එය ඉතාම අභියෝගාත්මක ගමනක් බව කිව යුතුමයි. සිනමාව වැනි තරගකාරී කර්මාන්තයක් නවකයන්ව හැම නිතරම දෑත විදා පිළිගන්නේ නැහැ. එහෙත් ඒ අභියෝගය සාර්තකව ජයගන්න කැපවීමෙන්, දක්ෂතාවයෙන් සහ අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඩිනාරා කිසිම විටක පසුබට වෙලත් නැහැ. 

 ලාභ නොලබන ආයතනයක් පවත්වාගෙන යමින් තමා මෙන්ම තවත් පුංචි තාරකාවන් රැසක් දිරිගන්වන අතරම තමන්ගේ රංගන ජීවිතය සමබර කර ගැනීම ද අභියෝගාත්මකයි.ඒ සඳහා විශාල කැපවීමක් සහ කාල කළමනාකරණයක් අවශ්‍ය  වෙනවා. ක්ෂේත්‍ර දෙකෙහිම දස්කම් දක්වන්න ඩිනාරාට තියෙන හැකියාවෙන් පෙන්නුම් කරන්නේ ඇය සතුව තිබෙන ඉතාම ශක්තිමත් වැඩ ආචාර ධර්ම සහ අන් අයට උපකාර කිරීමට ඇති ආශාව.

4- යහපත් චින්තනයෙන් ඉදිරියටම

 කලා ලොවේ ඉහළටම හෙමින්සැරේ පියමන් කරන ඩිනාරාගේ ගමන පිරිසිදු නිල් දිය කඩිත්තක් තරම්ම සුපැහැදිලියි. ඇගේ ගමනේ අරමුණ අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යන අතරම තමන් මෙන්ම තවත් බොහෝ පුංචි තාරකාවන්ට දිදුළන්න අහසක් සදන එක. 

ඩිනාරා ගේ කතාවන් අපට කියන්නේ “තරුවක් වගේ දිදුළන්න සිහින දකින ගමන් වෙහෙසෙන ඕන කෙනෙක්ට ඉඩක් තිබෙන බව”. අවුරුදු 29 ක් වගේ ඉතාම තරුණ වයසකදි Forbes 30 under 30 Asia හි Feature වීම ඇයට මෙන්ම අපිටත් විශාල ආඩම්බරයක්. එය ඇගේ කැපවීම වෙනුවෙන් ලැබුණ සමරුවක්.

 තාරකාවක් වෙලා කලා අඹරේ දිදුලන්න බලාගෙන ඉන්න තරුණ කලාකරුවන්ට ඩිනාරාගේ ගමන විශාල අභිප්‍රේරණයක්.

සාර්ථකත්වය කියන්නේ පෞද්ගලික ජයග්‍රහණ විතරක්ම නෙවෙයි ධනාත්මක බලපෑමක් ඇතිකරන්න ඉවහල් වන දෙයක් බව Forbes 30 under 30 Asia වෙත ගිය ඩිනාරාගේ කතාව අපිට කියාපානවා. 

 අභියෝගවලින් පිරුණු ලෝකයක, බලාපොරොත්තුවේ සහ හැකියාවේ සංකේතයක් ලෙස ඩිනාරාව අද මුලු මහත් ලොවක්ම පිලිගන්න බව නොරහසක්. 

තවත් බොහොමයක් පුංචි තාරකාවන් දිරිමත් කරමින්, විටෙම දක්ෂ කලාකාරිණියක්, තරුණියක්, සුන්දර මවක් සහ බිරිඳක් ලෙස ඉදිරියට යන ඩිනාරාගේ කතාව සිනමා තිරය මත වගේම බොහෝ දෙනෙකුගේ හදවත් තුළ සදාකාලික සලකුණක් තබන බවට සැකයක් නැහැ.

 ඉතින් ඩිනාරා, 

 අපේ පුංචි රට ලෝකයේ ඉහළම තැනක රන්දමින් ගෙනා අභිමානයටත්, හීන දකින Smart කෙල්ලන්ට ඒ හීන හැබෑකරගන්න දිරියක් දුන්නාටත් බොහොම ස්තුතියි!

Related Articles

Don't Miss


Latest Articles