පමා වී පිපුණු මල් 35

0
8890

“ඒ තීරණේ ගන්න ඕන ඔයා අක්කෙ, මට ඒ ගැන මුකුත් කියන්න බෑනෙ. කිමල් අයිය හොඳ මනුස්සයෙක් විදියට මට පේනව. ඒඋනාට ඔයා තමයි මට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් එයා ගැන දන්නෙ. ඉතින් ඔයා තමයි ආයෙ එයාට කතා කරනවද නැද්ද කියල ඩිසයිඩ් කරන්න ඕන.

මං අක්කට දෙයක් කියන්නද?” 

“හ්ම්ම්”

“කිමල් අයිය හොඳ මනුස්සයෙක් වෙන්නැති අක්කෙ. එයා සමහරවිට ඔයාට හොඳටම ගැලපෙන කෙනා වෙන්නැති. ඔයා එයාට ඇත්තටම කැමති නම් යූ හෑව් මයි සපෝර්ට් ඇන්ඩ් යූ නෝ දැට් නෙ අක්කෙ. හැබැයි එයා ඇත්තටම ඔයාට ආදරේනම් මම හිතන්නෙ නෑ එයා දැම්ම ඔය ගැන කියාවි කියල. මොකද එයා දැනුම් තේරුම් තියෙන කෙනෙක් නම් මේ වෙලාවෙ ඔයා ඉන්නෙ එක අෆෙයාර් එකක් නිසා බ්‍රේක් වෙච්ච හිත හදාගන්න තව අෆෙයාර් එකක් පටන් ගන්න මෙන්ටලිටි එකක නෙවෙයි කියන එක එයා තේරුම් ගනීවි. ඔයාට හිත හදාගන්න තව කාලෙ ඕන බව එයා තේරුම්ගනීවි. එයා ඔයාගෙන් මේගැන අහන්න තව කාලෙ ගනීවි හැබැයි ඒ කාලෙ පුරාවටම ඔයා ලඟින් ඉඳීවි.

ඒත්…ඒත් ඔයා හිතනවනම් එයා නෙවෙයි හරිම කෙනා කියලඒ කාලෙ ඇතුලත ඔයාට පුලුවන් අක්කෙ එයාගෙන් ඈත්වෙලා ඉන්න. ආදරේ හින්ද හිතට දැනෙන්න ඕන සැනසීමක් විතරක් නෙවෙයි. එතන දුක, වේදනාව, රැවටීමත් තියෙන්න පුලුවන්. හැබැයි ඔයා ආයෙ ආදාරේ හන්ද හිත රිද්දගන්න, රැවටෙන්න, දුක් වෙන්න ඕන නෑ. ඔයා මම හිතන්නෙ මුලු ජීවිත කාලෙටම ඇතිවෙන්න පහුගිය කාලෙ අඬන්න ඇති, දුක්වෙන්න ඇති. ඒ නිසා ආයෙ එහෙම දේකට ඉඩක් තියාගන්න එපා. ඒ වගේම ඒ දුක ඔයා දන්න හන්ද කිමල් අයියට ඔයා අකමැති නම් එයාට දුකක් දෙන්න, බොරු බලාපොරොත්තුවක් දෙන්න අපි එයාට ලං නොවී ඉමු අක්කෙ”

නංගි නිවසින් පිටව ගිය පසුවත් අරුණලී උන්නේ ඒ වචන ගැනම සිතමිනි. කිමල් වීරවර්ධන හිඳින්නේත්, මේ සියල්ල කරන්නේත් තමන් ගැන බලාපොරොත්තු තබා ගෙන නම් තමා ගේ වගකීම ඔහුව එයින් මුදවාලීමද? එහෙත් එය කරන්නට හිත මෙතරම් පසුබසින්නේ තමා ඔහුගේ ඇසුර බලාපොරොත්තුවෙන් හිඳින නිසාවෙන්ද?

කිමල් වීරවර්ධන වෙනුවෙන් වෙන් වූ කුඩා හෝ ඉඩක් තමන්ගේ හිතේ නැතැයි කියන්න හැකිද? ඔහුගේ ලංවීම, ඔහුගේ කතාබහ, හැසිරීම් රටාව හිතට සැනසීමක්ද, දෙතොලට සිනාවක්ද ගෙනාවේ නැතැයි කියන්නට හැකිද?

එහෙත් ඒ මත රඳමින් ආයෙම අරක් පිරිමියෙකු විශ්වාස කරන්නට හැකිද? තමාව ඉතාම නපුරු ලෙස රවටා තිබුනේ තමා අවුරුදු ගණනාවක් පුරාවට ආදරය කල විශ්වාස කල පුද්ගලයාය. එහෙම තැනක මෙයට කුඩා කාලයකට පෙර මුණ ගැසුණු මිනිසෙකු, තමාව සතුටෙන් තබන්නට කටයුතු කලා යැයි සිතා විශ්වාස කරන්නට හැකිද?

ජීවිතය යනු එතරම් පහසුවෙන් විශ්වාස කල හැකි දෙයක්ද?

මේ සියලු ගැටලු වලට විසඳුම් සැඟවී තිබෙන්නේ කොයි ඉසව්වකද?

අරුණලී මෙසේ තමන්ගේම සිතුවිලි අතර අතරමං ව හිඳිද්දී මෙනුක උන්නේ ආපසු ඔස්ට්‍රේලියව බලා යන අදහසිනි. එහෙත් එසේ සම්පූර්ණයෙන්ම අරුණලීව අමතක කර දමා නොවේ.

අරුණලී කාර්‍යාලයට යනුත්, මිතුරන් සමග කෙලිදෙලෙන් කාලය ගත කරනුත්, පියා විසින් ඇයව උදෑසනට කාර්‍යාලයට රැගෙන එන යුරුත් සැඳෑවේ ඇයව ආපසු ගන්නට එන යුරුත් මෙනුක හිර රහසේ බලා උන්නේය. ඒ විතරක්ම නොවේ කිමල් වීරවර්ධන අරුණලීව නිවසට ඇරලවන යුරුත් ආරියරත්න සමග සිනාවෙන් කතා කරමින් හිඳින යුරුත් මෙනුක දුටුවේය.

කාලයකට පෙර එතැන උන්නේ තමා බවත් ඒ තැන හිමිව තිබුනේත් හිමිවිය  යුතුව තිබෙන්නේත් තමාට බවත් අමතක කරන්නට, ඒ ගැන නොසලකා ඉන්නට හැකියාවක් මෙනුකට නැත. 

එහෙත් අරුණලීව ලබා ගැනීම දැන් කල නොහැකිය. තමා එකම තැන සිරවී හිඳිද්දී ඇය ජීවිතයේ පියවරෙන් පියවර ඉදිරියට යමින් උන්නාය. 

තමාට සිදු වී ඇත්තේ එසේ මෙසේ ලැජ්ජාවක් නොවේ. තමාට තමන්ගේ නිවසට, මිතුරන්ට, නෑදෑයන්ට, ගමේ මිනිසුන්ට මුහුණ දෙන්නට හැකියාවක් නොමැත. එහෙත් අරුණලී හෙමෙන් හෙමෙන් ආයෙ බලාපොරොත්තුවලට ජීවිතය ඇතුලට එන්න ඉඩ දෙමින් හිඳී.එය විය හැකිද? ජීවිතය බෙදාගන්නට ගියේ තමා තනියෙන් නොවේ ඇය සමගය. ඉතින් ප්‍රශ්නයක් වේ නම් දුකක් වේ නම් වේදනාවක් වේ නම් එය ද විඳ දරා ගත යුත්තේ එක්ව නොවේද? තමා.පමණක් ලැජ්ජා විඳින්නටත්, ඇය සතුටෙන් වෙනකෙකු හා බැඳෙන්නටත් හැකිද?

“පුතා දැන් ඔය කියන විදියට අරුණලී ඔයා එක්ක කතා කරන්නෙවත් නැත්තෙ ඒ ඔෆිස් එකේ ඉන්න කොල්ල එක්ක එහෙ මෙහෙ රවුම් ගහන හින්ද නම් මොකටද අපි තව උන්ගෙ පස්සෙ යන්නෙ”

“ඔව් ඒ කෙල්ලටනං කිසිම ලැජ්ජාවක් නැති පාටයි. නැත්තං මේ එක කසාදයක් කැඩිච්ච හැටියෙ තව කොල්ලෙක්ව අල්ල ගන්නවද?”

“අනේ අපිට මොකද, උන්ගෙ මැට්ටං තම්මැට්ටං කිව්වලු. උන් ඕන දෙයක් කරගන්නෙ නැතෑ. අපි සන්තෝස වෙන්න ඕන අපේ එකා දැන් හරි මෙහෙම හරි දෙයක් වෙලා හිත හදාගත්ත එක ගැන. කසාදෙ උනයින් පස්සෙ වෙන් වුනාට වඩා මේ විදිය හොඳයි කියල තමයි අපි හිතන්න ඕන”

“ඔව් අරුණලීට පුලුවන් නම් මෙච්චර ඉක්මනට වෙන එකෙක්ගෙ කරේ එල්ලෙන්න, මේ කසාදෙ කඩාගත්ත එකියක් කරගහන්න කැමති පිරිමි ඉන්නවනම් මෙනුකට උනත් වෙන…”

“නෑ නෑ නෑ, ඒවට අපි ඇඟිලි ගහන්න යන්න ඕන නෑ ඛේමා. මේ වෙච්ච ප්‍රශ්න ඇති තව කාලෙකට. ඒව මෙනුකම හිතල බලල කිරල මැනල කරගන්නකම් අපි සද්ද නැතුව ඉන්න එකයි කරන්න ඕන”

පීරිස් නිවස තිබුනේ මෙනුක ඔස්සේ අරුණලී සබඳතාවයක් පවත්වනවා යැයි සැක කරන මිනිසා ගැන කතාබහක සිරවීය. මෙනුක මෙතරම් පිස්සු නටන්නේ අරුණලී නිසා නම් ඇය වෙන මිනිහෙකුගේ කරේ එල්ලීමට යාම මෙනුකට හිත හදාගන්නටත්, ජීවිතය අලුතෙන් ආරම්භ කරන්නටත් හේතුවක් වනු ඇතැයි ඛේමා සිතුවාය.

මෙනුක උන්නේ ගැඹුරු නිහඬතාවයකය. පීරිස් යුවල සිතමින් උන්නේ ඒ නිහඬතාවයට හේතුව මෙනුක අවසානයේදි අරුණලීව සහමුලින්ම සිතෙන් ඉවත් කිරීමත්, ඇය හා බැඳුණු මතකයන් අමතක කරන්නටත් උත්සහ කිරීම කියාය. එනමුත් ඒ නිහඬතාවයට යටින් මහා ව්‍යසනයක් ආරම්භ කරන්නට තමා මග බලමින් හිඳින බව දැන උන්නේ මෙනුක පමණි. 

ආදරයත් විරහවත් එකම කාසියක දෙපැත්ත බව මෙනුක සිතුවේය. ආදරයක අවසාන එක්වීමක් මිස එක් අයෙකු පමණක් විඳවීම නොවන බව මෙනුක සිතුවේය. එහෙත් එය කරන්නට හැකිද? තමන්ගෙ ජීවිතය මෙතරම් පහල අඩියකට ඇද දමන්නට හේතු වූ එකියකට එතරම්ම සිනාසෙන්න, නිදහස් වෙන්නට පහසුවෙන් ඉඩ දිය යුතු ද?

“උඹ ඒකිගෙන් පලිගන්න ඕන. උඹට කරන්න පුලුවන් ලොකුම ලැජ්ජාව කරලත් ඒකි තාම හොඳට හිනාවෙලා ඉන්නව. උඹ නං මහ ගොනෙක් බං. උඹ විඳින ලැජ්ජාව ඒකිත් විඳින්න ඕන. උඹ විඳපු දුකම ඒකිටත් දැනෙන්න ඕන. ඒක තමයි පිරිමිකම කියන්නෙ. උඹෙන් ඒකිව බේරගන්න මොන මිනිහෙක්ටවත් බැරි බව ඒකිට පෙන්නල දීපං” දිවා රැයේ වෙනසක් නැතුව හිත කියන ඒ හඬට සවන් දෙමින් මෙනුක උන්නේ අරුණලී ගෙන් පලිගන්න, ඇයට රිදවන්න, ඇයට ජීවිත කාලය පුරාවටම විඳවන්න, රිද්දන්න ක්‍රමයක් සොයමිනි.

ඇයට ලැජ්ජා කල හැකි හොඳම ක්‍රමයක් ගැන හිතමිනි.

කෙනෙකුට ලැජ්ජා කරන්නට ඇති හොඳම විදිය කැලෑ පත්තර බව ඉස්සර මිනිස්සු පිලිගත්තහ. ඒ අනුව ගමේ ලැජ්ජාවට පාත්‍ර කල යුතු අයෙක් වී නම් කැලෑ පත්තර ඔස්සේ ඒ කතාව සියල්ලන් අතර පතුරුවාලන්නට කටයුතු කරාය.

කාලය වෙනස් වුවත් තවමත් කැලෑ පත්තර වලට සමාජයේ තැනක් නැතුවා නොවේ. අතීතයේ මෙන් කොලවල ලියා තාප්පවල අලවමින් යන කැලෑ පත්තර නොව ඩිජිටල් ලෝකයේ හැමතැනකම ඇලවෙන කැලෑ පත්තරය.

තමන්ට වූ ආසාධාරණය කියන්නටත්, අරුණලීගෙන් පලිගන්නටත් හැකි හොඳම ක්‍රමය එය නොවේද? තමන්ට වූ අසාධාරණය ගැන කතාව ලියුවහොත් සමාජ මාධ්‍යය ඔස්සේ තමන්ට අසාධාරණයක් වූ බව බොහෝ දෙනා පිලිගනු ඇත. අරුණලී වංචාකාරිනියක් බව ඔවුන් පිලිගනු ඇත.

කල යුත්තේ එයය. ඇයට ලැජ්ජ කිරීමය. තමා අනුකම්පාව ලබා ගත යුත්තේ. තමා එය කලහොත් අරුණලීව විවාහ කරගන්නට කිසිවෙකුත් කැමති නොවනු ඇත. ඇයට ආපසු වතාවක් තමා ලඟට දණගාගෙන එන්න වනු ඇත. 

ඇයගෙන් පලිගන්නට ඇයව පිලි නොගෙන ඉන්නට තමාට හැක. නොඑසේනම් වඩාත් හොඳින් පලිගන්නට ඇයව ආපසු වරක් පිලිගන්නවටද තමාට හැක. 

ආදරය අවසන් විය යුත්තේ එක්කෝ එක්වීමකිනි. නොඑසේනම් දෙදෙනාම එක හා සමානව විඳවීමෙනි. 










LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here