පසුදින මම මහේලගෙ විරෝධය නොතකාම තනිව නවාතැනට පැමිණියෙමි. නිවාඩු ඉල්ලා කෙටි පණිවිඩයක් යැව්වෙමි. ඒ පිම්මටම මගේ ඉල්ලා අස්වීම කෙටුම්පත් කර යොමු කලෙමි. සැහැල්ලුවක් දැනුණි. මහේල දිගින් දිගටම මා අමතමින් උන්නේය. මම ජංගම දුරකතනය විසන්ධි කර දැම්මෙමි. හොඳින් නා ගත්තෙමි. මා සතුව ඇති මුදල් කොපමණදැයි බැලුවෙමි.
හැත්තෑ දහසකට ආසන්න මුදලක් ගිණුමේ විය. ඊට අමතරව මා සතුව ලක්ශ තුන හතරක රත්‍රන් භාණ්ඩද විය. නැවත රැකියාවක් සොයා ගන්නා තුරු ජීවත් වීම අපහසු නොවන බව තීරණය කලෙමි.
ඉන් පසුව නවාතැන මාරු කිරීම පිළිබඳව සිතුවෙමි. ෆේස්බුක් සමූහ කිහිපයකට එක් වී කිරිබත්ගොඩ අවට තනි බෝඩින් කාමර පිළිබඳව වන දැන්වීම් වලට ඇමතූවෙමි. ඒවා බලන්නට හැකි දින පිළිබඳව විමසූයෙමි.
ඒ අතරේ මහේල අරන්දර පැමිණියේය. මේ ඔහුගේ නිවසක් නිසා මට දොර වසා සිටින්නට අයිතියක් නැත. මම පසෙකට වී ඔහුට ඉඩ දී ඔහු ඇතුලු වූ පසු පෙර පුරුද්දට මෙන් දොර වසා දැම්මෙමි. ඔහු අසුනකට බර වුයේය.
” ඇයි නිවාඩු දැම්මේ ?”
ඔහු විමසුවේ දැඩි හඬිනි. ඇතැම්විට මා සේවා ස්ථානයේ නැති බව ඔහු දැනගන්නට ඇත්තේ එහි ගියාට පසුවය.
” නිවාඩුවක් ඕනි හිතුණා …”
” ලෑස්ති වෙන්න … යමු …”
ඔහු ඉන් පසුව කීවේය. මම තද හුස්මක් ගත්තෙමි.
” මං රෙසිග්නේශන් නෝටිස් දැම්මා … මේ මාසේ සැලරි කපාගන්න .. එතකොට මම මාසෙකට කලින් ඉන්ෆෝර්ම් කලා වගේ නේහ්…”
මම ඔහුට පැරදෙන්නට රිසි නොවන හඬින් කීවෙමි. මහේල සිනාසුනේය. එහෙත් ඒ සිනහවේ වූ ව්‍යාජ බව මම හැඳින්නෙමි.
ඔබ මෙතෙක් කල් මා අසා උන්නේය. දැන් ඔබ මට අනුකම්පා කරනවාද, එසේත් නැතිනම් බැණ් වදිනවාදැයි මට අදහසක් නැත. එහෙත් මට දැන් මේ මොහොතේ මා ගැන දැනෙන්නේ අනුකම්පාවකි. මගේම කියා උන් මිනිසුන් නිසා කුඩුපට්ටම් ව ගිය ආත්මයක් කර මත තබාගෙන මට ඉදිරියට යෑමට සිදුවීමේ ඛේදවාචකය ඔබට වැටහේද ?
” අසේකා . මං ඔයාව එක්කන් යන්න ආවේ.. අමතක ද හෙට ඉවෙන්ට් තුනක් අපිට …”
මා නොසෙල්වී සිටියදී මහේල මා දෙස බලමිම් කීවේය. මම ඔහුට පිළිතුරු නොදුන්නෙමි. එහෙත් මා සූදානම් නොමැති වග ඔහුට හැඟෙන සේ උන්නෙමි.
මහේල මා වෙතට ආවේය. ඉදිරියෙන් සිට ගත්තේය. ඔහු අසලදීවෙනදා වන හැඟීමෙන් මා පිරුණේ නැත.
ජීවිතය එහෙම කඩාගෙන වැටීම් වලටද පාරවල් විවෘත කරන බව දැන් මම දනිමි. වෙනදා මහේල ලඟ දැනුණ ප්‍රහර්ශය වෙනුවට මට හිස් බවක් දැනේ.
” ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ අසේකා ?”
මහේල මා දෙපසින් වන සේ දෑත් තබාගෙන මේසය මත මා ඔසවා තබමින් ඇසුවේය. මට එයට දෙන්නට පිළිතුරු වූයේ නැත. තරහක් කෝපයක් නොව මට කලකිරීමක් වූයේ මගේ ජීවිතය ගැනය.
” කතා නොකර හිටියාට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ අසේකා… කතා කරන්න..”
ඔහු ඉන් පසුව මා වෙත නැඹුරුව කොපුලක කොපුලක් තැවරුවේය. මා ඉන් මිදෙන්නට උත්සාහ කලෙමි. වෙනදා දැවටෙන යුවතිය එලෙස ප්‍රතිචාර දැක්වීමෙන් මහේල අරන්දර තිගැස්සුණු බව මටද දැනුණි. එහෙත්…,
” අසේකා…”
“අනේ මට පාඩුවේ ඉන්න දීලා යන්නකෝ. මට දවස් දෙක තුනක් දෙන්න … මං මේ ගෙදරින් යනවා .. මට මේ මුකුත් ඕන් නෑ.. ඔයා ආතක් පාතක් නැති කෙල්ලන්ගේ ගෙවල් අස්සේ රිංගලා නම කැත කරගන්නේ නැතුව වැදගත් විදියට ඉන්න .. ප්ලීස් …”
මහේලගේ මුහුණට කියන්නට සවියක් නොතිබූ වචන මම බිමට කියා දැම්මෙමි.
” අසේකා … “
“මම නෙවෙයි .. ඔයාගේ අක්කා කිව්වේ .. හැබැයි ඒක බොරුත් නෙවෙය්නේ .. ඒ නිසා ඔයා අනේ මට ඉන්න දීලා යන්න…”
මා අවතක්සේරුවට ලක් කර ගත්තෙමි. ඉන් මට වැඩිපුර රිදේ. එවිට මහේල නිසා වූ රිදුම් යටපත් වෙයි.
” අක්කා ඒක හිතලා කීවෙ නෑ අසේකා.. එයාට මම කිව්වේ ඔයාව පොඩ්ඩක් බය කරන්න …”
මම මහේල දෙස බැලුවෙමි. ඔහුගේ දෑස් වල බියක් විය. යම් බලාපොරොත්තු බිඳුණු ස්වභාවයක්ද විය. එහෙත් මට ඔහුට පැලැස්තර යොදන්නට අවැසි වූයේ නැත.
” මං සෑහෙනම බය වුනා මහේල .. සෑහෙන බය වුනා.. ඉතින් එතකොට ඔයාලට සතුටුද ?”
මහේල ගේ තිගැස්සෙන ඇස් වල තුනී කඳුළු ද කොහෙදෝ විය. එහෙත් මෙවෙලෙහි ඒ කඳුළු ගැන මම වග නොවෙමි.
” අසේකා මට සමාවෙන්න … ඇත්තටම මට තරහ ගියා… “
“හරි …”
“මට එහෙම නොකර ඉන්න තිබුණෙ.. ඇත්තටම මට ඔයා එක්ක ඒ ගැන කතා කරන්න තිබුණා… මම කලේ හොඳ දෙයක් නෙවෙයි …”
” හරි මහේල හරි.. ඔයා ආයේ මට නිදහස් වෙන්න කාරණා කියන්න ඕනි නෑ.. මට පාඩුවේ ඉන්න විතරක් දෙන්න….”
“අසේකා… මං ඔයාට ආදරේ නිසයි ළමයෝ…”
මම මහේල පසෙකට තල්ලු කරමින් මේසයෙන් පහලට පැන්නෙම්. ඔහු දෙස ඍජුවම බලාගෙන කතා කලෙමි.
” ආදරේ ? ආදරේ නෙවෙය්නේ .. ඔයාටත් මාව ටයිම් පාස් එකක් නේ… ආදරේ නම් පැය ගානක් ෆෝන් ආන්සර් නොකර ඉන්නවද අර තරමට ලොකු බොරුවක් කියලා .. ඒක කොච්චර බය හිතෙන කතාවක්ද මට ? මං ඉස්සෙල්ලාම හිතවේ පොලිසියට යන්න .. ඒත් පොලිසිය දන්නේ නැති නිසයි ගෙදර ගියේ.. මං එහෙම ත් ගියා නම් … මහ රෑ දහයට විතට මම කවුදවත් නොදන්න වීල් එකකට නැග්ගේ… “
මට හැඬිණි. පෙර දින රැයේ පීඩනය තවම දැනෙනවා සේ විය. මහේල මා වෙතට ඇවිද එද්දී මම වහා පසෙකට වූයෙමි.
” මට පාඩුවේ ඉන්න දෙන්න. ඔයාලා වගේ සල්ලිකාර පවුල් වල මිනිස්සුන්ගේ විහිළු වලට ලක් වෙවී ජීවිත කාලේ පුරාම මෙහෙම රැයවල් ගෙවන්න මට බෑ… අනේ මෙන්න වැන්දා .. ඔයා ඔයාගේ වැඩක් බලාගන්න …”
මම දෑත් එක් කලෙමි. මහේල ඒ දෑත් අල්ලාගෙන සිප ගත්තේය.
” හරි .. ඔයා තනියෙන් ඉඳලා හිත හදාගන්න…. මම එන්නේ නෑ … ඒත් පොඩ්ඩක් හරි මාව ඕනි කියලා හිතුන ගමන් මට කතා කරන්න…”
මහේල මගේ හිස පිරිමැද්දේය. මම එය ඉවසා උන්නෙමි.
” මේ ගෙදරින් එලියට අඩියක් තියන්න හිතන්නවත් එපා ඒත් ..”
ඔහු ඉන් පසුව අවධාරණය කලේය. මම එයට කිසිත් නොකීවෙමි.
” මෙහෙට වෙලා ඉන්න ළමයෝ… මොනාම හරි ඕනි උනොත් මට කතා කරන්න …”
මහේල කොපුලක තෙත් හාදුවක් තිව්වේය. ඉන් පසුව මා වෙතින් ඉවතට ඇවිද ගියේය.
” ඊයේ මම කීවානේද මේල් චෙක් කරන්න කියලා ..”
ඔහු ආපසු හැරී ඇසුවේය. මම හිස සැලුවෙමි.
“චෙක් කරන්න .”
ඔහු නොපෙනී ගියේය. මම එහෙමම අසුනට වැටුනෙමි. මහේල එතරම් ඉක්මනින් නොගියා නම් හොඳයැයි මට සිතුණි. එහෙත් ඔහු හැමදාම ජීවිතයේ නොසිටිනු ඇතැයිද සිතුණි.
මම ජංගම දුරකතනයෙන් ජී මේල් ගිණුම පරික්ශා කලෙමි. මා විසින් තනිව සකස් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් අනුමත වී තිබුණි. එය මහේල යොමු කර තිබුණේ ආයතනයෙන් පරිබාහිර වන ලෙසය. එනිසාම මට ඔවුන් හා එක්වීම සඳහා වන ආරාධනාවද ඊමේල් පණිවිඩයේම අග විය
මම ඒ සමාගමේ නම බ්‍රවුසරයේ ටයිප් කලෙමි. එය පිහිටා ඇත්තේ කැළණිය බුලුගහ හන්දිය අවට තැනක බව සඳහන්ව තිබුණි. ඔවුන් විදෙස් සමාගමක ශ්‍රී ලංකාව තුළ වන ඒජන්සිය පවත්වාගෙන යන පිරිස විය.
මම මහේලට ඇමතුමක් ගත්තෙමි.
” අසේකා ?”
” මම අර ඔෆර් එක ගන්නවා… ඒකට යනවා මම ..’
” ඒ කිව්වේ ?”
“ඔයා කිව්ව මේල් එක ගැන කියන්නෙ.. ඒකේ මට ඔෆර් එකක් තියෙනවා … මම ඒකට යනවා…”
“අසේකා..ඒත් …”
ඔහුගේ හඬ බිඳී ගිය බව මට දැණුනි.
” මට ඕනි හිත හදාගන්න ..”
“මාව දාලා ගිහින් හිත හැදේවිද අසේකා ?”
” ඔයා මගේ හිත හැදුවා මහේල … මට ජීවත් වෙන්න හය් ය හැදුවා.. ඒත් තවදුරටත් ඒක එහෙම නෑ..”
මම හැඩුම් නවතා ගත්තෙමි. සුවපහසු නොවම මිනිසුන් සමඟ ජීවිතය කෙතරම් නම් අපහසුදැයි මම හොඳින්ම දනිමි.
ඒ බව දැන දැනම මහේලලා ගේ ජීවිත එක්ක ඔට්ටු වෙන්නට යෑම වෙහෙසකි.
| අපේක්ෂා ගුණරත්න |