මල් තුහින -09

“මං ශේන්යාට ආදරෙයි. හරියට කතා කරන්න ඉඩක් නොලැබුණත් ශේන්යා කියන්නේ ආදරේ ඉතිරෙන දරුවෙක්ට.”

මලිති එසේ කියද්දී රුවිනි මුදු මන්දහාසයක් නඟා ගත්තා ය. මලිතිගේ ජීවිතයේ ලොකුම පීඩාව ඇය මවක් නොවීම බවත් ඇය ඒ කාරණාව සඟවා ගන්නට ලොකු උත්සාහයක් දරන බව රුවිනි හැරෙන්නට බොහෝ දෙනා කියන්නකි. ඒ හන්දාම මේ මොහොතේ ඒ ගැන නොඅසා ඉන්නට රුවිනිට නොහැකි ය.

“ශේන්යාට ආදරේ හිතෙනවනම් ඒකට හේතුව වෙන මොකුත් නෙවේ, උත්පලා ඒ ළමයා විකුණලා ලයික්ස් කමෙන්ට්ස් හම්බ කරන එක.”

රුවිනි එසේ පැවසුවේ හදිසියේ ය. උත්පලාට ඇත්තේ ජීවිතයක් නොව ෆේස්බුක් ගිණුමක් බව ඇය අනතුරුව පැවසුවේ සෝපහාසයෙනි.

“මිනිස්සුන්ට තමන්ගෙ සතුටු ජීවිත වගේම දුක වුණත් ෆේස්බුක් ලියන්න පුලුවන් තමා. ඒත් උත්පලා එයා ඉන්නේ සන්තෝසෙන් කියල ඔප්පු කරන්න උදේ රෑ නැතුව මහන්සි වෙනවනෙ. මට ඇත්තටම තේරුම් ගන්න අමාරු ඔච්චර උයන්න පිහින්න ගෙවල් අස් කරන්න එයාට තිබ්බ වෙලාව.”

මේ කවුළුවෙන් එබී බලද්දී උත්පලාගේත් තුහිනගේත් නිවස දිස් වේ. එය උත්පලාගේ ෆේස්බුක් ගිණුමේ පෙන්වන ආකාරයේම මනරම් නිවසකි. කුඩා ශේන්යා ද උත්පලා ලියන “බට්ටිගේ විත්ති” හි කියැවෙන පරිදිම සුන්දර දැරියකි.

බිඳෙමින් පවතින ජීවිතයක හිඳ මලිති ආදරය කරන්නේ එවැනි සුන්දර ජීවිතයක් හිමි තුහිනට ය. ජීවිතය අත් හැරුණු මිනිසෙකු තෝරා ගැනීම වෙනුවට ඇය තෝරාගෙන ඇත්තේ ජීවිතය වඩා තදින් අල්ලාගෙන ඒ තුළ ජීවත් වන මිනිසෙකි.

“මට මේ දැන් හිතුණා උත්පලාගෙයි තුහිනගෙයි ජීවිතේ පිටට පේන ඩ්‍රාමා එකක් වෙන්නත් පුලුවන් කියල. ඔයා කියන්නෙ තුහින උදේ මාර විදියට කේන්තියෙන් හිටිය කියල. උත්පලා ගෙදරත් නෑනෙ”

රුවිනි ඒ කතාවට සමච්චල් සිනාවක් දුන්නේ මිතුරියට ය. උත්පලාගේ ජීවිතය මවා පෑමක් විය හැකි බව ඇයට ද නොසිතෙනවා නොවේ. නමුත් මිතුරියට ඕනෑ නැති බලාපොරොත්තු දීම නුසුදුසු ය.

“උත්පලයි තුහිනයි සතුටෙන් ඉන්නවද රඟපානවද කියන එක ගැන මම හිතුවේ උත්පලා ෆේස්බුක් එකේ ගෑනු රවට්ටනවද හිතුණු නිසා. පරිපූර්ණ ජීවිත දැක්කම ගොඩක් අහිංසක ගෑනු වේදනාවට පත් වෙනව. ඒ නෝට්ස්වල තියනව තරම් ආදරණීය සැමියෙක් වෙන්න බැරි වුණු හස්බන්ලා එක්ක කේන්ති ගන්නව.ඒක තමා ඔය උත්පලාලගෙ එකම විනෝදෙත්!”

එසේ පැවසූ රුවිනි ඇගේ පුටුවේ කැරකීගෙන මලිති සමීපයටම ආවා ය.

“ඒ කිසිම දේකින් කියවෙන් නෑ උඹ තුහින හින්දා ආයේ සැරයක් නාස්ති වෙන්න ඕන කියල. මිනිස්සු ආදරේ හිතෙන තැනක නතර වෙන්න ඕන. ඔව් ඇත්ත. එහෙමයි කියල තත්පරේකටවත් උඹ ගැන නොහිතන මිනිහෙක් ගැන හිත හිතා නාස්ති වුණොත් මම උඹේ අත පය බැඳලා මූදට දානව.”

ඒ පහසුවෙන් සිනාසෙන්නට හැකි සරදමක් කරගත් මලිති උස් හඬින් හිනැහුණා ය. ඇය හිනැහෙන්නේ හඬන්නට බැරිකමට බව රුවිනිට සිතේ.නමුත් ඇය රාජකාරි ඇරඹුවා ය.

මලිතිට ඕනෑවට වඩා කඩාවැටෙන්නට ඉඩ දිය යුතු නොවේ.

මම ඔයාට ගොඩක් ආදරේ කරනවා! 

මගේ ස්වර්ගය හදාගන්න ඔයාව අපායකට ඇදලා ගන්න බැරිවෙන තරමටම.. ‘

Hamari Adhuri Kahani චිත්‍රපටියේ එන ඒ වාක්‍ය ඛණ්ඩය මලිතිට සිහි වූයේ රාජකාරි අතරේ ය. ඇය හිඳින්නේ අපායක ය. අත පොවන දුරින් ඇත්තේ ස්වර්ගය ය. ඒ ස්වර්ගයේ රන් තාරකාව පැහැර ගන්නට ආ හදිසි ආවේශය සඟවා ගත යුතු බව මලිතිට සිතේ. එහෙත් ඇයට දැන් එය කරන්නට ශක්තියක් නොවේ.

අන්ධකාර ලෝකයක ජීවත් වන තරුණිය අනුන්ගේ රන් තාරකාවකට දිවි දෙවැනි කර පෙම් කරමින් හිඳින්නී ය.

“මම මිනිස්සු රීඩ් කරන්න හොඳට දන්නව. මට උදේ තුහිනගෙ පෙනුණු වෙනස එච්චර හොඳ එකක් නෙවේ. මම මේ සීරියස් කියන්නේ. ඒ වෙනසට හේතුව මං හොයාගන්නකම් කරුණාකරලා ඔය තුහිනයට ළං වෙනව නෙවෙයි.”

රුවිනි එසේ පැවසුවේ දිවා ආහාර ගන්නා අතර ය. අවසන් කළ යුතුම ව්‍යාපෘතියක වැඩ නාසයෙන් උඩට සිර වූ දවසක නිදි නැති රාත්‍රියක් කාර්යාලයේ ගෙවා දමන්නට රුවිනිට සිදු විණ. රාත්‍රිය නිදි නොමැතිව ගෙවා දමන විවිධ මැජික් කාර්යාල සගයන් සතු වේ. වැඩි කතාබහක් නැති උදිත ඒ මහ රෑ මැද තුහින හමුවන්නට ගිය බව රුවිනිට මතක ය.ඒ උත්පලා පෙනෙන්නට නැති වී ඇරඹුණු මුල්ම දවස් ය. තුහිනගේ නිවසේ ආකාස පියස්සේ ඔහු රැයක් ගෙවෙන තුරුම සිටි බව රුවිනිට මතක ය.

ඔහු නිදි නැති රාත්‍රීන් ගෙවා දමයි,ඉතා ආවේගකාරී වෙමින් හිඳියි. මලිතිට ආකර්ෂණය වීමට තරම් රූපයක් මෑතක් වනතුරුම තිබුණාට දැන් ඔහුට එවැනි පිළිවෙල රූපයක් නැත. තුහින ඉතා අපිළිවෙළ පෙනුමකට හිමිකම් දරමින් හිඳියි.

තෝරා ගන්නට නොහැකි සමහර කාරණා සමඟ රුවිනි ප්‍රහේළිකාවක් ගලපා ගන්නට උත්සාහ ගත්තා ය. රටේ මිනිසුන්ට මේ දවස්වල රහ කරන්නට මාධ්‍ය ලබා දී ඇති මාතෘකාව සහ තුහිනගේ හැසිරීම් ඕනෑවටත් වඩා ගැළපෙමින් තිබේ.

සමහර ඇබ්බැහිවීම්වලට උගත්කම සහ බුද්ධිය අදාළ වන්නේ නැත. රුවිනිට බරපතල සැකයක් ඇති විණ.

(දැන් මලිතිගේ ජීවිතය ගැන ඔබට ඇති ගැටළු ලෙහෙමින් පවතින බව දන්නවා. අපේ නවකතා දිගින් දිගටම කියවන ඔබ වෙනුවෙන් නත්තල් දවසේ පුංචි ගේම් එකක්! තුහින කොහොම කෙනෙක්ද? ඒ ගැන ෆේස්බුක් පේජ් එකේ කෙටි හෝ දිග කමෙන්ට් එකක් දාන්න. ඔහු විවාහය අසාර්ථක කෙනෙක්, වෙනත් සම්බන්ධයක් ඇති කෙනෙක්, දැඩිව මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් ඇති කෙනෙක්. මේ අනුමාන තුන ඔස්සේ කතාව ගොඩ නගන්න.ස්තූතියි!)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles