” මො.. මොකද්ද කිව්වේ ?”
දෑස විමතියෙන් විසල් වුණිද ඔහු මුව මතට ක්ෂණිකව සිනහවක් නැඟිණි. නමුදු එය ඈට නොපෙනෙන්නට වළක්වා ගත් ඔහු එක එල්ලයේ තව දුරටත් ඈ දෙස බලා සිටියේය.
” එච්චර හරියක් කරන්න බෑ කියලා කිව්වේ. එහෙම හයියක් තියනවනං මෙහෙම ඉඳියි යෑ..?”
ඉවත බලා උවද ඈ සෙමින් මිමිණුවාය.
” දුමී..!”
” ඇයි මොකද ?”
හිස ඔසවා බලා ඔහු දෙසට මුව ඇද කළ ඈ නැවත ඉවත බලා ගත්තාය.
” එක අතකට ඒක හරි. මං වැඩ කරලා තියෙන්නේ කිසිම හයියක් නැති , කොන්ද පණ නැති මිනිහෙක් වගේ තමයි. “
විසල් සුසුමක් සමඟම පිටවූ ඔහුගේ කළකිරීමක දැවටුණු වදන් සවන වැකුණු සැණින් ඈ නැවත ඔහු දෙස බැලුවාය.
” මං එහෙම දෙයක් හිතලා කිව්වේ නෑ. ඔයා ඇයි හැමදේම ඔයාට හිතෙන හිතෙන විදිහටම තීරණේ කරන්නේ ? අඩුම ළඟ ඉන්න කෙනාගේ හිතේ තියෙන්නේ මොනාද කියලවත් දැනගන්න ඕනේ නැද්ද.? “
පෙරට වඩා විසල් හඬින් කෑ ගැසූ ඈ දෙස බලා ඔහු මුව ඇද කර ගත්තේය.
” ආයේ පාරක් කෑ ගහනවා. පිස්සුද ? අර එහා පැත්තේ ගෙදර පෙන්ෂන් ගිය ටීචර් කෙනෙක් ඉන්නවා. වයසක මනුස්සයෙක් . ඒ මදිවට හාට් පේෂන්ට් කෙනෙක්. කෑ නොගහා ඉන්නවා. “
” මො.. මොකද්ද ? ඔයා කොහොමද ඒ මනුස්සයා ගැන දන්නේ ?”
” ඒ මනුස්සයා ගැන විතරක් නෙමෙයි මේ ෆ්ලෝ එකේ ඉන්න හැම කෙනා ගැනම මං දන්නවා. ඔයාගේ ගෙදට්ට ඉස්සරහා ඒ කියන්නේ 233/4 ගෙදර ඉන්නේ කන්ස්ට්‍රක්ෂන් කම්පැණි එකක ඕනර් කෙනෙක්. ඊට එහා පැත්තේ ගෙදර , ඒ කියන්නේ 233/5 ගෙදර ඉන්නේ ලේඩි ඩොක්ටර් කෙනෙක්. එයා එයාගේ ෆස්ට් මැරේජ් එකෙන් ඩිවෝස් වෙලා ඉන්නේ. දැන් ඉන්න එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් සතියකට කීප වතාවක්ම එයාගේ ගෙදරට එනවා. අර ඔයාට එහා පැත්තේ ගෙදර ඉන්න පෙන්ෂන් ගිය ටීචර් ඒක ගැන අපාර්ට්මන්ට් එකේ ප්‍රොපටි මැනේජර්ට කම්ප්ලේන් කරලා තිබිලා , ඩොක්ටර්ටයි , ටීචර්යි වලියකුත් ගියා නේද ? ඩොක්ටර්ගේ ගෙදරට එහා පැත්තේ ඉන්නේ ඒ කියන්නෙ 233/ 6 ගෙදර. ඒ ගෙදර ඉන්නේ ඉන්නේ ලේඩි කෙනෙකුයි , එයාගේ බබාලා දෙන්නයි විතරයි. එයාගේ හස්බන්ඩ් සීමන් කෙනෙක්. තව මොනවද දැනගන්න ඕනේ ඔයාට ? ගිය මාසේ හත් වෙනිදා ඔයාගේ වොශ් රූම් එකේ ටැප් එකක් කැඩිලා තිබිලා මෙහේ ප්‍රොපටි මැනේජර්ට කියලා කෙනෙක්ව ගෙන්නගෙන හදාගත්තා නේද ? මෙහෙට ආපු මුල්ම දවසේ පාකින් එකේ වෙන කෙනෙක්ගේ තැනක කා එක පාක් කරලා කෙල්ලෙක්ගෙන් බැනුම් ඇහුවා නේද ? “
එක දිගට කියවගෙන ගිය ඔහු අවසන් වාක්‍යය අවසානයේ මුව පුරා සිනහවක් නැඟුවේය.
” ඒ.. ඒක උනේ ඉතිං නොදැන. මං හිතුවා එහෙම ස්ථීර තැනක් නෑ ඕන තැනක වාහනේ පාක් කරන්න පුලුවන් කියලා. “
බෙරි කර ගත් උවන ඉවතට කර ඈ එතෙක් පැවති උස් ස්වරය පහත දමමින් පැවසුවාය.
” හ්ම්ම්.. ඊට පස්සේ ඒ කෙල්ලගේ කොල්ලා ඇවිල්ලා රණ්ඩුවත් බේරලා ඊට පහුවදා කෝල් කරන්න කියලා කෙල්ලට හොරෙන් නම්බර් එකත් දීලා ගියානේ. ?”
එවර ඈ දෑස මෙන්ම මුවද අයා විශ්මයෙන් ඔහු දෙස බලා සිටියාය.
” ඔ.. ඔයා කොහොමද ඕවා දන්නෙ ? ඔ.. ඔයා මං ගැන හෙව්වද ?”
” හ්ම්ම්..”
” මො.. මොකටද ..?”
තව දුරටත් ස්වරය මන්ද වූ ඈ ඔහු වතින් තම උවන බිමට බර කර ගත් අතර ඔහු ප්‍රේමාන්විත දෑසකින් මඳ වේලාවක් ඈ දෙස බලා සිටියේය.
” මටයි කියලා , මගෙයි කියලා හොයලා බලන්න වෙන කෙනෙක් නෑනේ.. ?”
එක දිගට කඳුළු පිරෙන දෑස ඉහලට එසවූ ඈ දිගටම වැළපෙන දෑස දෙස බලා සිටි අතර ඔහු තදින් තම යටි තොල් පට සපා ගත්තේය.
” දුමී..! “
තවත් අඩියක් ඈ වෙතට තැබූ ඔහු ඇගේ වෙව්ලන සුරත සෙමින් අල්ලා ගත්තේය.
” මට සමාව ඉල්ලන්න ඕනේ. දැන් ඇති. හොඳටම ඇති. තවත් මෙහෙම ඉන්න බෑ මැණික.. ! ප්ලීස්.. දැන්වත් මට සමාවෙන්න.. ! ඔයා.. ඔයා.. කියන ඕන දෙයක් , ඕන විදිහකට කරන්නං.. අවුරුදු හතකට කිට්ටු වෙන්න අපි දෙන්නා දෙපැත්තට වෙලා දුක් වින්ඳා ඇති නේද දැන් ? ආ.. කියන්නකෝ.. තවත් මොනාහරි මං කරන්න ඕනෙද ? කියන්න ඔයාට වෙන්න ඕන , ඕනෙම දෙයක් කියන්න.. මට සමාවෙලා ඕන දෙයක් කියන්න දුමී.. ඔයාට බනින්න ඕනේ නං බනින්න. ගහන්න හිතෙනවනං ඒත් කමක් නෑ.. ඒත්.. දැන් ඇති . ප්ලීස් දුමී.. මට තව දුරටත් ෆ්‍රීස් වෙලා ඉන්න බෑ.. “
වැළපෙන දෑසින් කඳුළු බිඳුවක් වහා කොපුලක් මතට කඩා වැටුණු අතර එතෙක් කඳුළු වගුරවමින් සිටි ඇගේ දෙනෙත ඔහුගේ කඳුළු හමුවේ තිගැස්සිණි.
” ලො.. ලොකූ.. ඇයි මේ.. ?”
” මට මේක තවත් දරාගන්න බෑ දුමී.. ප්ලීස්.. මට සමාවෙන්න..! සිද්ධ වෙච්ච හැම දේකටම.. ! මගෙන් පිට වෙච්ච හැම නරක වචනෙකටම.. ! මං නිසා ඔයාගේ හිත රිදිච්ච හැම තත්පරේකටම මට සමාවෙන්න මැණික.. !”
දිවියේ කිසි දිනක කිසිවෙකු ඉදිරියේ හෝ දණ බිම නොතබා තිබූ අහංකාර තරුණයා දෙදණම බිම හොවා තමා දෙස පුදුමයෙන් බලා සිටින ඈ ඉදිරියේ හිස පහත් කොට සමාව අයැද සිටියේය.
” සමන් දෙයියනේ..! එපා..! ලොකු අයියේ.. !”
හඬමින්ම ඔහු වෙතට පහත් වූ ඈ තදින් ඔහුගේ විසල් පපුතුරට තුරුළු වූවාය.
” අනේ.. එපා.. ! ඔහොම කරන්නෙපා..! මං ආදරෙයි ඔයාට.. එදාටත් වැඩිය අද ආදරෙයි. මගේ ඉස්සරහා ඔහොම දණ ගහලා මට පව් පුරවන්න එපා … ! “
ඉකි ගසමින් හඬා වැළපෙන ඈව තදින් තුරුළු කරගත් ඔහු විසල් සුසුමක් හෙළා සෙමින් ඇගේ නළල මත හාදුවක් තැබුවේය.
********************************************
” දෙන්නම නිදිද ?”
” නිදි අම්මේ. “
” ලොකූ ..! එන්නකෝ..! සුදු පුතා ඔයත් ඉඳගන්න..!”
කෑම මේසය මත ආහාර බඳුන් පිළිවෙළකට තැබූ මහීකා අසුනක් පසුපසට කර එහි හිඳ ගත්තාය.
” අම්මා කන්න කලින් බෙහෙත් බොන්න තියනව නේද ?”
මහීකාගේ හඬට ආලින්දයේ සිට පැමිණි අස්නක පුටුවක හිඳ ගනිමින් ඇසුවේය.
” ඔව් ලොකූ.. මං බිව්වා. “
” දැන් නං හොයන්න බලන්න දෙයක් නෑ අයියේ. එයාම බොනවා. දැන් මට රවන්නේ ගස්සන්නෙත් නෑ.. “
මහීකා ඉදිරියේ වූ පුටුවක අසුන් ගත් ශනුලි දෑස නටවමින් ඈ දෙස බලමින් පැවසුවාය.
” හරි.. හරි ඉතිං. එහෙම තමයි පොඩි පොඩි අප්සට් වෙනවා. ඔයා මගෙ හොඳ දුව හරිද ?”
වසර කිහිපයකට පෙර සිටි සැහැල්ලු , සාමකාමී මව යළි ඉපදීම නිමිත්තෙන් හදවත පුරා ප්‍රීතිය පුරවාගත් අෂ්මිල වැඩිමහලු සොහොයුරා දෙසට හැරුණේය.
” ලොකූ.. ! මගේ යාළුවෙක් බොරලැස්ගමුව බ්‍රාන්ච් එකෙන් Vezel එකක් බලලා තියනවා. “
” දෙන්නෙපා ලොකු අයියේ.. කිසිම ඩිස්කවුන්ට් එකක් දෙන්නෙපා. “
අෂ්මිලගේ කතාව අතරමැදට බාධා කළ ශනුලි කලබලයෙන් පැවසුවාය.
” යාළුවා යාළුවා කිව්වට ඔය ලේඩි ඩොක්ටර් කෙනෙක් “
” ඉතිං බං යාළුවෙක්නේ ? මොකෝ මං ඒකිට වාහනයක් අරන් දීලා කසාද බඳින්න කතා කරනවෑ..?”
විසල් කරගත් දෙනෙතින් ශනුලි දෙස බැලූ අෂ්මිල වේගයෙන් පැවසුවේය.
” දැන් ඔය යාළු කම ඇති උනේ කොයි කාලෙද ? ආ සුදූ ? ඔය වැඩේ කරගන්න විතරනේ ? මොකෝ ඊට කලින් ඉඳන් තිබ්බ යාළුකමක් නෙමෙයිනේ. ? බොරුවට මෙයාට බටර් ගාලා අඩු ගාණට වැඩේ කරගන්නනේ.? හිතේ ඇති මෙතන.. ලැජ්ජ නෑ ගෑනුන්ගේ මායම් වලට අහු වෙනවා. “
” මේ බලහන්කෝ ඉතිං. ? “
අෂ්මිල තව දුරටත් තරවටු බැල්මකින් ශනුලි දෙස බලා සිටියේය.
” ඔය දෙන්නගේ රණ්ඩුව ඉවර වෙලා මට කියන්නකෝ වෙන්න ඕනේ මොකක්ද කියලා ”
එසේ පැවසූ අස්නක පසෙක තිබූ ජංගම දුරකතනය අතට ගෙන ඉන් කෙටි පණිවිඩයක් තැබුවේය.
” කෑවද ?”
” දෙන්නෙක්ට ඉව්වා. තනියම කන්න කම්මැලි කමේ ඉන්නේ “
ඇසුරු සැණින් ලැබුණු ප්‍රති පිළිතුර සමඟ ඔහු මුව මත සිහින් හසරැල්ලක් මතු වූ අතර හේ විගසින් තොල්පට තද කර එය පියා ගත්තේය. නමුදු ඒ වනවිටත් ශනුලිගෙන් දෑස මුදවා සිටි අෂ්මිල වැඩිමහලු සොහොයුරාගේ මුව මත රැඳි අදහාගත නොහැකි ප්‍රේමය උතුරා හැළෙන බැල්ම දෙස වික්ෂිප්තව බලා සිටියේය.
කිසිවක්ම නොපැවසූ අස්නක වහා හිඳ උන් පුටුවෙන් නැඟිට්ටේය.
” ඇයි නැඟිට්ටේ..?”
මහීකාගේ හඬින් ඔහු තිගැස්සුණු ආකාරයත් , තමා සිටින්නේ කෑම මේසයේ බවට අමතක වූ සේයාවත් දෙසට ඉව ඇල්ලූ අෂ්මිල තව දුරටත් තම උකුසු දෑස සිහින් කර ගත්තේය.
” ආ.. මේ.. අම්මා. අම්මලා කන්න. මං ඉක්මනට එන්නං “
” යන තැනක කාලා යන්නකෝ ලොකූ.. කන්න ඉඳගෙනත් නැඟිටලා යන්නැතුව. “
” ඉක්මනට එන්නං අම්මා. “
තව දුරටත් ඇයට පිළිතුරු බැඳීමට නතර නොවූ ඔහු විගසින් තරප්පු පෙළ නැඟ නිදන කාමරයට අඩි තබන අයුරුත් , තවත් මිනිත්තු කිහිපයක් ගතව යන විට සූදානම් වී නිවසින් පිටව යන අයුරුත් දෙස බලා සිටි අෂ්මිල තම ජංගම දුරකතනය ගෙන කෙටි පණිවිඩයක් තැබුවේය.
” තේජ්.. ! කොහෙද ඉන්නේ ?”


