එයා මැරිලා හුඟක් කල් 32

ජනාධිපති රාජ්‍ය ආරක්ෂක උපදේශක..
කියල රත්තරන් පාට අකුරෙන් ගහපු අලුත්ම බෙන්ස් රථය මැදි කරගෙන කළු පාට ඩිෆෙන්ඩර් රථ දෙක පොලිස් රථ වාහන මෝටර් බයිසිකල් දෙක මැදි කරගත් පෙරහැරෙන් ජනාධිපති මන්දිරය වෙත ආවා. සුවඳ ඉතිරෙන පිනි වැක්කෙරෙන මේ දැන් පඳුරෙන් කැපුවා වගේ අලුත් රතුම රතු රෝස මල් මිටිය තුරුළු කර ගත්ත ජනාධිපති රාජ්‍ය ආරක්ෂක උපදේශක බෙන්ස් රථයෙන් බැස්සේ පොලිෂ් කරපු සපත්තු දෙකේ උල් කොටසින් තමන්ගේ බැබලෙන මුහුණ දිහා බලන ගමන්මයි.

“ආ.. අපේ ජනාධිපති සෞඛ්‍ය උපදේශකතුමාත් ඇවිල්ලා ඉන්නේ…”

කියපු ආරක්ෂක උපදේශකතුමා තමන්ගේ අතේ තිබිච්ච මල් පොකුර පොඩ්ඩක් පිටිපස්සට කරගන්න ගමන් සෙනෙහෙවන්ත වැළඳ ගැනීමක් සෞඛ්‍ය උපදේශකතුමාව වැළඳ ගත්තා.

” යං යං… ඔයා එනකන් තමයි මම මෙතනට වෙලා බලාගෙන හිටියේ..අම්මටසිරි  උඹ ගෙනාවේ මල් පොකුරක් නේද… මම ගෙනාවෙ ඕකෙම මල් බාස්කට් එක..”

එහෙම කිව්වහම රාජ්‍ය ආරක්ෂක උපදේශක තුමයි සෞඛ්‍යය ආරක්ෂක උපදේශකතුමයි දෙන්නම හක හක ගාලා  හිනා වුණා.

” ආ……  අර්ලි ඉන් ද මෝනින්..
කම් කම්… තුන්දෙනාම එකට ගියාම ලොක්කට සන්තෝස හිතෙයි.. මම මේ ලෝබි එකට වෙලා ඉඳගෙන හිටියේ උඹලා දෙන්න එනකං..”

තමන්ගේ යාළුවො දෙන්නා එනකන් බලාගෙන හිටපු නව පත්වීම් ලාභී  වෙළඳ ඇමති හිනා වෙවී කිව්වා.

ටෙරාසෝ වලින්  බිම හැඩ කරපු ජනාධිපති මන්දිරය පලිඟු වගේ දිලිසුනා. ඕවලාකාර හැඩයට තරප්පු පෙළ මදු වැලක් වගේ උඩට කැරකැවිලා තිබුණා. කළුවර ලීයෙන් හදලා තිබුණු තරප්පු පෙළ
බැහැගෙන කපු සුදු කමිසයට රතුපාට පසුබිමේ කළු පාට හස්තියන් රෑනක් දියකෙලින සිතුවමකින් හැඩ කරපු හොඳම ලංකා බතික් සරමකින් හැඩවෙලා ව්‍යවස්ථාවට කුද ගහගන්න කියලා ජීවිතය විඳින ජනාධිපතිවරයෙක් හැටියට තුන්වැනි පාරටත් ජනතා කැමැත්තෙන් ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවාදී ජනරජයේ  විධායක ජනාධිපති ලෙස ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තුන්වෙනි වරටත් කුඩුම්බිගල ආරච්චිලාගේ රංජන රත්නාලෝක ජනාධිපතිතුමා තේජාභිමානව විසිත්ත කාමරයට සම්ප්‍රාප්ත වුණා.

” සුභ උපන්දිනයක් ගරු ජනාධිපතිතුමනි..”

විසිත්ත කාමරයේ හිටපු තුන්දෙනාම එකම හඬින් කිව්වා.

“බොහොම ස්තූතියි බොහොම ස්තූතියි මගේ කොල්ලෝ තුන්දෙනාට..අප්පේ රෝස මල් නේද..
වජිරා.. වජිරා… මේ බලන්නකෝ මේ තුන්දෙනා ගෙනල්ලා තියෙන දේවල්… මුන් තුන්දෙනා මගේ උපන්දිනයට ගෙනල්ල තියෙන්නෙ ඔයා කැමති දේවල්…”

රත්නාලෝක ජනාධිපතිතුමා එහෙම කියනකොට ඉදිකට්ටක් බිම වැටුනත් දෝංකාර දෙන විසිත්ත කාමරය ගිගුම් දෙන්න හතරදෙනාම හයියෙන් හිනා වුණා.

“අනේ… රතු රෝස… හරි ලස්සනයි .. මිස්ටර් රාජරත්නම් හරි කපටිය නේද… ඊයේ තේ බොන ගමන් හෙමින් සීරුවේ මගෙන් ඇහුවේ ඒකයි නේද..මම කැමති මොනවටද කියලා…”

තරප්පු පෙළ බැහැගෙන ආපු වජිරා මැතිනිය හඳක් වගේ ලස්සන මූණ බබලවාගෙන හිනා වෙවී ජනාධිපති ආරක්ෂක උපදේශක තනතුර හොබවපු රාජරත්නම්ගේ ඔලුව අත ගාලා ටොක්කක් ඇන්නා.

“අයියෝ මැඩම් මේ මොනවා කියනවද..මේ රතු රෝස වලට පුළුවන්ද මැඩම්ගේ ලස්සන පරද්දන්න.. රෝස කරත්තයකටවත් බෑ වජිරා මැඩම්ගේ ලස්සන පරද්දන්න..”

කියලා  ඉක්මනිනම එතනට සීතලම සීතල දෙබස් කාණ්ඩයක් දාන්න සෞඛ්‍ය උපදේශකතුමා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් උනේ තමන් ගෙනාවෙත් රතු රෝස මල් බාස්කට් එකක් හින්දා එතන වෙනම ඇදගෙන නා ගැනිල්ලක් වෙයි කියලා බය හිතිච්ච හින්දයි.

” දීකිරට බළල්ලුත් සාක්කි නේ… ඩොක්ටර්  අසේලත් ඉතින්  හරි කෙනානේ..”
කියලා වජිරා අගස්ති පොට කරකවලා හිනා උනා.

ඔය ගෑනිගෙ කට ඔහොම්මමයි.උඹලා ඕවා ගනන් ගන්න එපා කියනවා වගේ බැල්මක් අලුතින්ම වෙළෙඳ ඇමති ධූරය භාරගත්ත  දිසානායක මුදියන්සේලාගේ වජිර රංජිත් තලම්මැහැර 
ඇහැක් ගහලා තමන්ගේ මිත්‍රයෝ දෙන්නට කිව්වා.

” වජිරා, හොඳ කෙල්ල වගේ කේක් එක ලෑස්ති කරන්න.. අපිට ඒක කපලා අද යන්න තියෙනවා වැඩ ගොඩකට.. අර කල්පිටියේ දූපත් හතරක් බදු ගන්න බලන්න අද තමයි ඇමරිකාවෙන් කට්ටියක් එනවා කියලා කිව්වෙ.මිස්ට තංගවේලුලා ලන්ච් එකත් ඕගනයිස් කරනවා කියලා කිව්වා.”

“මොකටද අනේ ඕවා බදු දිදී විකාර කරන්නේ..කෙලින්ම විකුණලම දැම්මනම් ඉවරයිනේ..ඕවා කවුරුවත් හොයලා බලන්නේ නෑනේ..”

ජනාධිපති ප්‍රිය බිරිඳ එහෙම කියන ගමන් හොඳම ජපන් සේද රෙද්දෙන් කරපු ලුංගිය පද්ද පද්ද කේක් එකේ ඉටිපන්දම් පත්තු කළා.
මීට අවුරුදු එකහමාරකට විතර කලින් සිද්ධ වෙච්ච ඒ මහා භයානක සොයාගැනීම මහා වැලිතලාවකින් වහල දාලා යටපත් කරන්න පුළුවන් උනෙත් රත්නාලෝකගේ තිබිච්ච ඒ අපූරු හැකියාව හින්දමයි. වෙඩි උණ්ඩයකින් නිහඬ කරනවාට වඩා මේ විදිහට තමන්ගේ පැත්තට තවත් රෙප්ටීලියන්ස්ලා වැඩි කර ගන්න එක නුවණට හුරුයි කියන එක රත්නාලෝක නමින් ජීවත්වෙන ඒ ප්‍රබල රෙප්ටීලියන් වටහාගෙන තිබුණා.
සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිට හිතුනේම එදා.. නාදුනන මලසිරුරු දෙකක් කොහේ හෝ අහුමුල්ලක දිරාපත්වෙයි කියලා උනාට අපිට වඩා යුග ගණනාවක් ඉදිරියට දකින්න පුළුවන් රෙප්ටීලියන් අනුගාමික රත්නාලෝක තීරණය කලේ  තමන්ගේ හොඳම අනුගාමිකයන් ගොඩට අසේලවත් රාජරත්නම් වත් එකතු කරගන්න පුළුවන් විදියක් ගැනයි.

“මොකද්ද අර කියපු කතාවේ තේරුම.. වජී… මම මීට පස්සේ ඔයත් එක්ක කතා කරන්නේ නෑ..
ලොක්කා මොනවා හිතුවද දන්නේ නෑ..”

කේක් කැපිල්ලෙන් පස්සේ ඇමරිකන් ව්‍යාපාරික හමුවට යන්න ලෑස්ති වෙන්න ඇතුලට ගිය රත්නාලෝකගේ හිස් වෙච්ච පුටුවෙන් ප්‍රයෝජන ගත්ත රාජරත්නම් කාටත් හොරෙන් කීප සැරයක්ම කම් සැප විඳලා තිබුණු වජිරාට ළංවෙලා හෙමින් කිව්වා.

තලම්මැහැරත්  අසේලත් තම තමන්ගේ පෞද්ගලික දුරකථන ඇමතුම් වලට කාලය වෙන් කරමින්  පහළ විවෘත උද්‍යානය පැත්තට ගමන් කරනවා දැක්ක වජිරා

” මම ඒක එච්චර හිතලා කිව්වේ නෑ..විහිළුවට කිව්වේ..”

කියලා රාජරත්නම් ගේ රහසඟට කාටත් හොරෙන් අත තිබ්බා.

“මම ඊයේ උදේ ඔෆිස් රූම් එකට එනකොට කවුද අර අඬ අඬ එළියට ගිය ගෑණි.. මට ඒක ඒ වෙලාවේ අහන්න බැරුව ගියා.ඔයාට හරි හදිසියක්නෙ තිබුණේ ඔබරෝයි යන්න “

කියපු වජිරා සුවදායි විදිහට තම අතින් සම්බාහන කටයුත්ත සිදු කළා.

“නිකන් ඉන්න වජී… ඕනෙම කට කැඩෙන කතාවක් කියලා ඔයා දන්නේ ඕක කරන්න තමයි.”

“හරි.. හරි .. ඔන්න නැවැත්තුවා..දැන් කියන්නකො කවුද ඊයේ අඬ අඬ ගිය ගිය ගෑනි කියලා..”

“ඒ ප්‍රහාණ් ගෙ  අම්මා”

” ඒ ගෑනි මොකටද ඔයාව හම්බවෙන්නේ?”

“බබා වගේ කතා කරන්න එපා වජී.. ඌට මොකද උනේ කියන්න අපි හැමෝම දන්නවා. ඌ හුස්ම ගන්නවා නම් අපි කාටවත් මේ විදිහට මෙහෙම ඉන්න බෑ. ඒ වුණාට මම ප්‍රහානගේ අම්මට කිව්වේ ප්‍රහාණ්  හොස්පිටල් එකෙන් පැනලා ගියාට පස්සේ අපිට එයාව හොයාගන්න බැරි වුණා කියලා විතරයි. මේ වෙනකම්ම අපි එයාව හොයාගන්න කොච්චර උත්සහ කළාද කියන එක මම ඒ අම්මට කියලා දුන්නා.”

රාජරත්නම් වජිරාගෙන් ගැලවිලා එළිමහන් උද්‍යානයට යන පඩිපෙළ බැහැගෙන දම් පාට තම්බර්ජියා  මල් අස්සෙන් මුහුදු හුළඟ හොයාගෙන ගියා. දේශපාලන ඉහළ බලතල පුටුවල ඉන්නේ  ඇත්තටම මිනිස්සු නෙමෙයි කියලා දැනගන්නකොට තමනුත් ඒ ගොඩටම වැටිලා ඉවරයි කියන අමිහිරි ඇත්ත රාජරත්නම් කියන හිටපු අවංක පොලිස් නිලධාරියාට තේරුම් යමින් තිබුණා.මනුස්සකම සදාචාරය යුක්තිගරුක බව අවංකකම මුල අමතක නොකිරීම වගේ හුඟක් ගුණාංග තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු ළඟ බවත් ඒ වගේ මිනිස්සුන්ට කවදාවත් මේ වගේ ඉහළ පුටුවලට එන්න බැරි බවත් රාජරත්නම් තේරුම් අර ගනිමින් හිටියා.මොන දේ තේරුම් ගත්තත් තමන්ට දැන් ආපහු හැරෙන්නත් බැරි බව රාජරත්නම් තේරුම් අරගෙන හිටියා.තමන්ට වගේම අසේලටත් ආපහු සැරයක් තමන්ගේ ශක්තිය අලුත් කරගන්න කවුරු හරි කෙනෙකුගේ ඇඟ ඇතුළට රිංගන්න කාලය හරි බවත් රාජරත්නම්ට තේරුණා.ඒ කාලය ඇතුළතදී ..
සාමාන්‍ය මිනිස්සු ලෙඩ වුණා කියලා හිතන ඒ පුද්ගලයව එක්කෝ කට්ටඩින්ට පෙන්නයි.නැත්නම් අසේල  කලින් වැඩ කරපු ඉස්පිරිතාලයට අරගෙන යයි. දවස් දෙකකින් තමන්ගේ රාජකාරිය ඉවර කරගත්තට පස්සේ ආපහු සැරයක් මනුස්ස පුද්ගලයාව නිදහස් කරලා රාජරත්නම් රාජරත්නම් විදිහටත් අසේල.. අසේල විදිහටත් සමාජගත වෙනවා..
ලෙඩ වෙච්ච සාමාන්‍ය මනුස්සයා සදාකාලික මානසික රෝගියෙක් හැටියට ස්නායු  ආබාධිත පුද්ගලයෙක් බවට පත්වෙනවා.
ඒ විදිහට…
හැමදාමත්..
ඉහළ පුටුවල ඉන්න අය එක එක විදිහට..
තම තමන්ගේ ජීව කාලය වැඩි කරගන්නවා..

ඊට පහළින් ඉන්න අපි..

සියලු වේදනා විඳිමින්
දුක උහුලමින්…
දරා ගැනීමට උත්සාහ කරමින්
ජීවත්වීමට වෙර ගනිමින්
උන්ව සැපවත් කිරීමට
ජීවත් වෙනවා……
මේ තමයි ඇත්ත කියලා දැනගෙනත්..
නෑ ඒක එහෙම නෙමෙයි කියලා ආපහු අපිම හිතාගන්නවා..
රෙප්ටීලියන් ලගේ තියෙන මානසික බලයේ තරම ඒක තමයි..
මෙච්චර දවසක් මාත් එක්ක හිටපු ඕගොල්ලොත්..
තාමත් හිතන්නේ මේක කතාවක් කියලා විතරයි නේද..
ඔව්…
තවමත් රෙප්ටීලියන්ස්ලා ජයග්‍රාහී ගොඩේ ඉන්නේ…

එයා මැරිලා හුඟක් කතාව සමඟින් මෙතෙක් කල් මාත් සමගින් එකතු වුණු ඔබ සැමට ගොඩක් ස්තුතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here