අරුණලී උන්නේ නාන කාමරයේ ශවරය හැර දමා එය යට වාඩිගෙන ඔහේ තමාව තෙමාලන්නට නිදහසේ වැටෙන වතුර වැස්සට ඉඩ දෙමිනි. තමා හිඳින්නේ නිවසේ බවවත් තමා දැන් බොහෝ වෙලාවක් තිස්සේ මේ ශවරයෙන් වැටෙන වතුර වැස්සට තෙමෙන බවවත් අරුණලීට මතකයක් තිබුණේ නැත. ඇයට මතක එකම එක දෙයකි. ඒ මෙනුක විසින් තමා ගැන අහස පොලොව නුහුලන කතාවක් සහ තමන්ගේ පින්තූර මුහුණු පොතේ පල කර ඇති බව පමණකි.
“මුන් නං පුදුම ගෑණු. කොල්ල පිටරටට වෙලා දහදුක් විඳිද්දි මුන් වෙන උන් එක්ක ආතල් ගන්නවා”
“ඕකුන්ට කෙල්ලො කියන්න බෑ, බඩු කියල කියන්න ඕන. මූණ දැක්කම පේනවනෙ”
තමන් එසේ අපවාද විඳින්නට තරම් මෙනුකට කල එකම වරද ඔහු තමන්ට සැඟවූ රහසක් හේතුවෙන් ඔහුගෙන් වෙන්වීම නොවේද? එහෙත් තනි මනුස්සයෙකුවන තමා කියන කතාව මෙනුක විසින් මුහුණු පොතේ අලවා තිබූ බොරුව කියවූ කෙනෙකු කිසිදාක විශ්වාස කරාවිද?
ජීවිතයේ කටුක කාලය අවසන් වී වසන්තයේ මල් පොහොට්ටු පූදින්නට පටන් ගත්තා යැයි සිතූ කාලයකදී මෙවන් දෙයක් වීම අරුණලීගේ කොහොමත් පලුදු වූ හිතට සහ මනසට දරාගන්න බැරි බව කිමල් දැන උන්නේය. හොඳටම තෙමී ගැහෙමින් උන් අරුණලීව ශවරය යට වාඩි වී හුන් තැනින් නැගිටුවා එල්ලා තිබූ තුවායක් ගෙන ඇය වටා එතූ කිමල් සඳලිනී සහ සුභාට අරුණලීව තෙතමාත්තු කර අලුත් ඇඳුමක් අන්දවන්නැයි කියා කාමරයෙන් එලියට ආවේ කල්පනා කරන්නට බොහෝ දේ තිබෙන නිසාවෙනි.
මේ ගැටලුව අදාල නීතිමය පාර්ශ්ව වෙත දැනුම් නොදී මෙතරම් දුරක් රැගෙන ඒම ගැන කිමල් උන්නේ තමාටම බැණ වදිමිනි.මේ මෙයට වඩා බොහෝ පෙරාතුව නීතිමය අතපෙවීමක් ඔස්සේ විසඳාගන්නට තිබූ ගැටලුවක් නොවේද? ඒ විසඳුම සඳහා කටයුතු කරන්නට තිබුනේ මෙනුක කාර්‍යාලයට විත් අරුණලීට තර්ජනය කල දවසේ නොවේද කියා කිමල් නැවත නැවත සිතුවේය. ඒ සිතුවිලිඔස්සේ පසුතැවුණේය. දුක් වුණේය.
සුබා සහ සඳලිනී තෙමුණ ශරීරය තෙත මාත්තු කර අලුත් ඇඳුමක් අන්දවන තුරුත් අරුණලී උන්නේ සිහියක් නැතුව මෙන් ඔහේ වහල දෙස බලාගෙන කල්පනා කරමිනි. තමන්ට දැන් කිසිසේත්ම ලෝකයට මුහුණ දෙන්නට බැරි බවත්, පාරට බහින හැම වරකම මුහුණු පොතේ මෙනුක විසින් අලවන්නට යෙදුණු පින්තූර දකින මිනිසුන් තමාව හඳුනාගත ඇති බවටත් හිතේ වූයේ සැකයක් නොව විශ්වාසයකි.ජීවිතය සහමුලින්ම විනාශ වි ඇති බවට විශ්වාසයකි. ආයෙමත් තමාට නිදහස්, සුන්දර ජීවිතයක් නොලැබෙන බවට විශ්වාසයකි.
සඳලිනී අක්කා ලඟම රැඳී ඉද්දී සුබා පහලට ආවේ අරුණලීට පොවන්නට උණුවෙන් යමක් සකසනු පිණිසය. අනෙක් අතට අම්මා කෙනෙකු ලෙස තමන්ගේ දරුවෙකු එසේ මානසිකව කඩා වැටී හිඳියදී එදෙස බලා ඉන්නට තරම් ධෛර්‍යයක් සුබාට තිබුනේ නැත. මේ මෙවන් දෙයක් වූ පලමු වතාව නොවේ. එකම මිනිසෙක්, එකම.කාර්ණාවක් මුල්.කරගෙන තමන්ගේ දරුවා දැන් කී වරක් නම් මානසිකව ඇද වැටුණාද? මේ සියල්ලටම හේතුව තමන් ඒ ඒ කාරණා වලට හරියාකාර තීරණයක් ගත යුතු මොහොතේ නොගැනීම නොවේද කියා සුබාට නොසිතුනා නොවේ. එහෙත් දැන් ඒ ගැන පසුතැවිලි වීමෙන් පලක් නැත.කල යුත්තේ ඉදිරියේදී හෝ මෙවන් දෙයක් නොවෙන්නට දැන්වත් කටයුතු කිරීම බව සුභා නැවත නැවත සිතුවාය.
අරුණලී වෙනුවෙන් පිලියෙල කල උණු තේ කෝප්පය සඳලිනීට දුන් සුභා නැවත පහත මාලයට ආවේ කිමල්ට තේ කෝප්පය පිළිගැන්වීම සඳහාය. කිමල් උන්නේ ගෙමිදුලේ තණබිස්ස මත එහා මෙහා ඇවිදිමිනි. ඒද නොසංසුන්වය බොහෝ විසල් කල්පනාවක ගිලී හිඳීමිනි.
“පුතා, තේකක් ගෙනාව මම” කියම්න් සුබා ඒ කල්පනාව බිඳ දැමුවාය. සුබා දෙතොලඟ ඉතාම මද සිනාවක් රඳවාගෙන බල උන්නද ඒ සිනාවත් විඩාබර දෙනෙතත් පසුපස ලියවී තිබුණ වේදනබර කතාව කිමල් අඳුනගත්තේ නැතුවා නොවේ. අම්මලා කොහොමත් දුක් උහුලන්නටම ඉපදිච්ච අයය. දරුවන්කොතෙක් දුක් වින්දද අම්මලා ඒ දරුවන්ගේ දුක ගැන දරුවන්ටද වඩා දුක්වෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අම්මලාගේ හැටියක්මය.
“ආන්ටි තාම අංකල්ට මේ ගැන මුකුත් කිව්වෙ නෑ නේද?” කිමල් කතාවට එළඹුණේ හීන් සීරුවේය. දැන් කුමක් කලද එය කල යුත්තේ හීන්ස් සිරුවේ සියලුදෙනා ගැනම සිතා බලාය. මේ ගැටලුවෙන් බොහෝම මනස්කව පීඩාවට පත් වී හිඳින්නේ අරුණලී යැයි සියල්ලන්ම සිතුවද ඒ හා සමානවම මෙන්ම අනෙක් අයද දුක් විඳිමින් හිඳින්නේ නැතැයි කිව නොහැක. මෙවන් මොහොතක.කලබල වී තීන්දු තීරණ ගැනීම.ප්‍රතිඵල වඩා නරක අතකට හැරවීමක් බව කිමල් දනී.
“අංකල් නුවර ගියේ යාලුවෙක්ගෙ වෙඩින් එකකට පුතා. මම කතා කරේ නෑ. කොහොමද පුතා මෙහෙම දෙයක් කියන්නෙ? අංකල් පපුවෙ අමාරුකාරයා. අනික සඳලිනීටයි අරුණලීටයි අංකල් පණ ඇරල. හරියට දුක් උනා මෙනුක ගැන අපිට තව හොයන්න තිබුණා කියල මේ ප්‍රශ්න උනායින් පස්සෙ. එහෙම එකේ ඒ මනුස්සය ඈතක ඉද්දි මෙහෙම දෙයක් කියලා අන්තිමේ කලබලේට එන්න ගිහින් යන එන මගක කරදරයක් උනොත් කියල මට හරි බයක් හිතුනා පුතේ. අපිට කියල පිරිමි පරාණෙකට ඉන්නෙ එච්චර විත්තිය ඇත්ත. ඒ උනාට අංකල් කලබල වෙලා කරදරයක් කරගනී කියල හිතල මම කිව්වේ නැ. අහ පහල මිනිස්සුන්ට කියන එක මෝඩකමක් කියලහිතිච්ච හන්දයි සඳලිනී පුතාට කෝල කරල කිව්වෙ”
“ඒක හොඳයි ආන්ටි. අංකල් දැන් කලබලා වෙලා ආවත් වෙච්ච දේ වෙලා ඉවරනෙ.අහල පහා අයට නම් නොකීව එක හොඳයි.අපි දන්නෙ නෑනෙ මිනිස්සු මේ වගේ වෙලාවක මොන මොන විදියෙ දේවල් වලට ඒවිද කියල.”
“අනේ මන්ද පුතේ අපිට නම් පලදීලා තියෙන්නෙ එසේ මෙසේ අපල කාලයක් නෙවෙයි. ඔය මගුල ගන්න නැකැත් බලන්න ගිය වෙලේත් ඒත් කියවුණා අරුණලීට හරියට අපල තියෙනවය විවාහයෙන් කියල. ඒත් කවුද හිතුවෙ කසාද බඳින්න ගියේම ඒ අපලෙ බව. මට ඔක්කොටම වඩාබය මෙහෙම ඔලුව කරදර කරගෙන කොහොමද පුතේ මේ ළමයා ජීවිතේ ඉස්සරහට මූණ දෙන්නෙ? මොකෝ මමයි අංකලුයි කියල හැමදාම ඉන්නවද?”
“අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු ආන්ටි. ඉස්සෙල්ල අපි බලමු දැන් මේ වෙලා තියෙන හුටපටේ නැතිකරගන්නෙ කොහොමද කියල? අපි ඔය මෙනුක දැන් දාලා තියෙන පෝස්ට් එක ඩිලීට් කරාට මිනිහට ආයෙ ඒකක් දාන්න බැරි කමක් නෑනෙ ආන්ටි.මම කියන්නෙ මේ වතාවෙ නම් අපි මිනිහට කිසිම සමාවක් දෙන්න නරකයි. අපි සමාව දෙනතරමට අපේ හොඳ හිතින්නෙ මේ යකා ප්‍රයෝජන අරගන්න හදන්නෙ”
“මොකද්ද පුතා දැන් ඇත්තටම අපිට කරන්න පුලුවන්? මෙනුක ගෙදර ඇත්තෙ සමහරවිට. එහෙමනම් මම ගිහිල්ල ඒ මහ දෙන්න එක්ක කතා කරල එන්නද අංකල් ආවම?”
සුබා සහ කිමල් අරුණලී වෙනුවෙන් සටන් කරන්නට බලාපොරොත්තුවෙන් උන් මොහොතක මෙනුක උන්නේ සියල්ලම සැලසුම් කරාක් මෙන්ම සිදුවීම ගැන අපමණ සන්තෝසයෙන් ඔස්ට්‍රේලියාව බලා ගමන් කරමිනි. අරුණලී විසින් මේ සබඳතාවය නවතන බවට එවා තිබුණ වට්සැප් පණිවිඩ කීපයක් සහ ඇයගේ ජායරූප කිහිපයක් ප්‍රයෝජනයට ගෙන මුහුණු පොත පුරාවටම ඇයට ලැජ්ජා කරන්නට හැකිවීම ගැන එය කරන්නට තිබූ තමාගේ පිරිමිකම ගැන සිත ඇතුලෙන් මෙනුක තමන් වෙනුවෙන් උදම් ඇණුවේය. තමන්ගෙ නිර්භීතකම ගැන ප්‍රීතිඝෝශා කරේය. තමාට වූ අසාධාරණයක් ගැන කිසිසේත් ඇත්තක් බිඳුවක්වත් නොගෑවුණ කතාවක් මුහුණු පොතේ පලකල විට තමාට සහය දෙමින් ඒ පෝස්ටුව යටින් කමෙන්ට් කල වූද පෝස්ටුව ශෙයා කරා වූද නොදත් මිතුරු පාර්ශ්වය ගැන මහ ඉහලින් සිතා උන්නේය.
“ඕකිට ඔහොම පාඩමක් උගන්නලත් මදි, මගෙ ලඟට බැල්ලියෙක් වගේ දණ ගාගෙන එන්නයි සමාව ඉල්ලල වැඳ වැටෙන්නයි වැඩ සිද්ද කරන්නයි ඕන” කියා සිතමින් පෝස්ටුව යටින් මිනිසුන් කමෙන්ට් කල අදහස් ප්‍රීතියෙන් කියවූවේය. තමා මෙහි ලියා ඇත්තේ තනිකර බොරුවක් වුවද එය ඇත්තක්ලෙස පිළිගනිමින් මිනිසුන් අරුණලීට දොස් කියමින් ද තමාට අනුකම්පා කරමින් ද ලියා තිබුණු කමෙන්ට් නිසා මෙනුක තමා ඇත්තටම අසරණ බවටත්, අනුකම්පාව ලැබිය යුතු අයෙකු බවටත්, අරුණලී ජරා කෙල්ලක බවටත් තමාම ඇති කල බොරුවල ගිලෙමින් හිතට ප්‍රත්‍යක්ශ කරේය.
ඔස්ට්‍රේලියාවෙන් ගොඩබැස්ස පසුත් මෙනුක උන්නේ අරුණලීට රිදවන්නට හැකිවීම ගැන සන්තෝසයෙනි. තමා යලි ආපසු එනවිට ගෙදර රමිත් රැඳී හිඳිනු ඇතැයි බලාපොරොත්තු වුවද රමිත් ගෙදර උන්නේ නැත. අනෙක් අතට ඔහු ගියේ කොහේද, ඉන්නේ කොහේද කියා කිසිත් අදහසක් වත් මෙනුකට තිබුනේ නැත.
මෙනුක රමිත්ව ඇමතුවද ඒ ඇමතුම ඔහු හා සම්බන්ධ වූයේම නැත. මෙනුකගේ දුරකතනයෙන් කුමිලගේ අංකය වෙත ඇමතුමක් ආවේ ඒ ඔස්සේය.
“උඹ කවද්ද ආවේ?”
“දැන් ටිකකට කලින්, මං කතාකලේ උඹට රමිත්ව හම්බුනේ නැද්ද අහන්න”
“ඌ ගැන ඉතින් දන්නෙ උඹනෙ බං මට වඩා. උඹ ගිය එක ගැන අහන්න මට කතා කරා. ඒ ඇරෙන්න ඌ මට කිසිම දෙයක් කිව්වෙ නෑ. ඇයි එහෙම ඇහුවෙ? ඌ ගෙදර නැද්ද?”
“නෑ, උගෙ බඩුත් නෑ. ඌ කොහෙද ගියේ කියල මම කල්පනාකරේ”
“උඹ කෝල් එකක්වත් දුන්නෙ නැද්ද ඌට?”
“පහුගිය ටිකේ මට ඌට කතාකරන්න උනේ නෑ. මම අද ඇවිත් කතා කරාට ඌ ආන්ස්වර් කරේ නෑ. රින්ග්ස් යනව හැබැයි ආන්ස්වර් කරේ නෑ.”
“ඌ ඉතින් මොකෝ අන්තරස්දාන වෙන්න කියලය. උඹ මැසේජ් එකකුත් දාල තියපන්.ඌ දැක්කම ගනී. වැඩක ඇත්තෙ. ඒක නෙවෙයි උඹ ලංකාවට ගිය වැඩේ හරිද? අරුණලී මොකද කියන්නෙ?”
කුමිල ඇසුවේ මනුස්සකමට නමුත් මෙනුක එය භාරගත්තේ සරදමක් වශයෙනි. ලංකාවේත් ඔස්ට්‍රේලියාවේත් හිතමිතුරන් සියල්ලනම් තමන් රමිත් සහ අරුණලී ඈඳමින් වූ සියල්ල ගැන තැන් තැන්වල හිනාවෙමින් කතා බස් කරන බව මෙනුකට රහසක් නොවේ.ඉතින් මේ තමන් කර දේ ගැන උදම් අනා තමන්ගේ පිරිමිකම පෙන්වන්නට කදිම අවස්තාවකි.
“ඒකි වෙන මිනිහෙක් එක්ක යාලුවෙලා”
“අප්පා, ඉතින්”
“මම ඒකිට හොඳ රිටර්න් එකක් දුන්න” මෙනුක කිව්වේ උස් හඬින් සිනාසෙමින් වීදුරුවෙන් පෙනෙන තමන්ගේ ප්‍රතිබිම්බය දෙස බලමිනි.