ප්‍රේමයේ මන්දහාසිනි 19

මට එහෙමම නින්ද යන්නට ඇත. අම්මා ළඟ සුව නින්දක් නොලැබූ කෙල්ලකට මේ සුව නින්ද අතිශය වටින්නේය. 

මහේල රෑ මැද ඇහැරවන තෙක් මම සුව නින්දක උන්නෙමි. ඔහු කිරි වීදුරුවක් රැගෙන මා අසලින් හිඳ ගත්තේය.

” බීලා ඉන්න… බේත් බොන්න තියෙනවා තුනට …”

සුව නින්ද  අතරමැද නැතිවීම නිසා කෝපයට පත් වූ මම මහේලට එරෙව්වෙමි. ඔහුට ඒ වගක් වූයේ නැත. එක හුස්මට බී අවසන් කල හැකි තරමට කිරි වීදුරුව නිවී තිබුණි. බෙහෙත් පෙති කිහිපය නිම වන තුරු මා දෙස බල උන් මහේල අරන්දර ආපසු යන්නට හැරුනේය. 

මට මෙතරමට පෙම් කරනවා නම්, මේ රැය තනි කරන්නේ කෙලෙසද ? ඔහුට මා වෙනුවෙන් සුව යහනක් ඔහු මත තැනිය හැකි විය යුතු නොවේද ?  දැන් මා ඉන්නේ අඩ නින්දකය. අඩ සිහියකය. මහේල මගේමය යන සිතුවිල්ල උඩු හිත පුරා පතුරවාගෙනය. 

” මහේල …”

ඔහු ආපසු හැරුණේය. නිවා නොතිබූ විදුලි පහන් නිසා අප උන්නේ එකිනෙකා හොඳින් පෙනෙන ලෙසය.

” මගේ ළඟ ඉන්න බැරිද ?”

“විකාර නැතුව නිදාගන්න අසේකා ….”

ඔහු විදුලි පහන නිවා දැම්මේය.  කාමරයෙන් පිටව ගියේය. මම දෑස් ඉතා තදින් පියා ගත්තෙමි.

 මහේල අරන්දර , ඔබ මේ සියල්ල කරන්නේ ඇයි දැයි මට වැටහෙන්නේ නැත. මා අන් මිනිසෙකු හා විවාහ වූ ස්ත්‍රියක් වීම ඔබ කෙතරම් රිදවනවාදැයි මට වැටහේ.  එහෙත්, ඒ රිදවීම වන මාව ඔබ අසලින්ම තබාගෙන කරන්නේ කුමක්දැයි මට වැටහෙන්නේ නැත.

 දැන් මේ සියල්ල  මා හට  සවන් දෙන ඔබටද වැටෙහෙනවා විය යුතුය. සියල්ල නැතත් යමක් හෝ  ඔබට වැටහෙනවා නොවේද ? 

අසේකා පණ්ඩිතරත්න, මහේල අරන්දර හා අතිශය උමතු ප්‍රේමයට වෙලී උන්නාය. පසුව් ඇය අන් මිනිසෙකු හා විවාහ වුණාය.

ඔබට මෙතරම් කල් තිබූ සැකය තහවුරු කරගන්න. හේතු නොවිමසන්න. ඔව්, අසේකා පණ්ඩිතරත්න අන් විවාහයක බැ‍‍ඳුනාය. ඉන් වසර හයක් ගත වන තුරු වෛවාහික යැයි කියන මිනිසා පිළිබඳව  ද, ප්‍රාණ සමව පෙම් කල මිනිසා පිළිබඳව ද, කිසි‍‍‍ඳු තොරතුරක් නැතිව උන්නාය.

   ඉන් පසුව අයෙක් විත් ඇත. ඒ අනිකාද පැමිණෙන ආරංචිය රැගෙනය. 

මම එක් පසෙකට හැරි ගුලි වුනෙමි. උගුරේ ද, දෑස් වලද දැනෙන උණුසුම් ගතිය නොසන්සුන්කම නිසාය. පපුව මැද යමක් සිරවගොස් ඇති බව දැනෙයි

” නිදාගන්න …. ඩොක්ටර් සිංහලෙන් කිව්වා නේද කල්පනා නොකර නිදාගන්න කියලා .. හූල්ල හූල්ල පෙරලි පෙරලි ඉන්නේ කිව්ව ඒවා අමතකද ?”

මහේල  අරන්දර මගේ පසෙකින් ඇල වෙනු දැනුණි. ඇසුණි. ආපසු හැරී ඔහු දෙස බලන්නට නොහැකි වන සේ වන යම් යදමකින් මා බැ‍ඳී ගොස් ඇති බවද දැනුණි. මම එහෙමම උන්නෙමි. මහේල අරන්දර මගේ හිස පිරිමැද්දේය.

” ඌ ආවොත් එහෙම ඔයා යනවාද අසේකා ?”

මට සිනහ නැඟිණි. එතරමින් වත් මා විශ්වාස නැතිව ආදරයක් ගැන කතා කිරීම විහිලුවක් බව අරන්දර පොඩි පුතාට නොවැටහෙන එක පුදුමය. 

” ඔයා යන්නේ නෑ කියලා මං දන්නවා .. ඒත්, එදා වුනා  වගේ මොකක් හරි ප්‍රශ්නයක් උනොත්… ඔයා ඒ ගත්තා වගේ තීරණයක් ගත්තොත්…”

ඌණ පූරන එක් කරන්නද අරන්දර පොඩි පුතාට අමතක නැත. මම සුසුමකින් සියලු පිළිතුරු දුන්නෙමි. 

” නිදාගන්න …” 

ඔහු අනෙක් පසට හැරෙනු දැනුණි. මම හඬ නොනැගෙන්නට උඩු බැලි අතට හැරී, හිස හරවා අරන්දර පොඩි පුතා දෙස බැලුවෙමි.

අන්ධකාරය මැද්දෙන් ඒ වීදුරු මැජික්මය දෑස් දිලිසුණි.

~  ~ ~  අතීතයට  ~ ~ ~ 

මහේල රෝහල් ගත ව සිටි දින දෙකෙහි අප දෙදෙනා අතර ඇතිවූ කතාබස් වල වූයේ අපේ ජීවන රටාවන් පිළිබඳව වූ අතීත කතාවන්‍ ය. මහේල ඔහුගේ පාසැල් කාලය පිළිබඳව බොහෝ දෑ ඉතා උනන්දුවෙන් කීවේය. එහෙත් මට ඒ පිළිබඳව පවසන්නට වූයේ ඉතා ඇල් මැරුණු කතා කිහිපයක් පමණි. අමනාප, සිත් රිදීම්, රණ්ඩු , නොසලකා හැරීම්, ලැජ්ජාවීම් අඩු නැතිව වුණු පාසැල් කාලය පිළිබඳව මහේල හා බෙදා ගැනීම මට ලැජ්ජාවක් නොවීය. එහෙත් ඒ පිළිබඳව යලි ස්මරණය මට මානසික වදයක් විය.

” ඇති ඇති.. ඔච්චර හූල්ල හූල්ල කියන්නෝන් නෑ…”

මහේල මා නැවතුවේය. එහෙත් මට ඔහුට පවසන්නටම යුතු වන තව දෙයක් තිබුණි.

” ඉස්සර අයියා ගියේ අපේ බෝයිස් එකට… අයියා සම්බන්ධතා තියන් උන්න සමහර කෙල්ලෝ අපේ ඉස්කෝලේ… එතකොට එකම පන්තිවල කෙල්ලෝ දෙන්නා තුන්දෙනා එක්කත් එයා යාලු වෙලා ඉඳපු අවස්ථා ඕනි තරම් තිබුණා.. ඒ කෙල්ලන්ට ඒවා අහු උනාම ඒ ඔක්කොම එකතුවෙලා ඇවිල්ලා මට බනිනවා.. එහෙම බැනපු දවසක මම එක කෙල්ලෙක්ට ගහලා, මට සතියක් පන්ති ත් තහනම් කලා…”

මහේලගේ බැරෑරුම් මුහුණ වෙනස් වූයේය. වඩා ප්‍රහර්ෂණීය සිනහවක් වැක්කෙරෙන්නට ගත්තේය. සැබැවින්ම එය ඔහු හිතා මතා කලා නොවන වග විශ්වාස ය.

” ගැහුවා කිව්වා ? කොහොමද ගැහුවේ..”

ඔහු සිනාසෙමින්ම විමසුවේය. ඉතින් සිනහවට හේතු පැහැදිලි නොවේද ?

” කොණ්ඩෙන් ඇදලා අරන් ගැහුවේ.. පිටටත් ගැහුවා.. අම්මෝ… කුඩේ අරන් මං පස්සේ එලෙව්වා ගහන්න …”

මහේල අරන්දර නවතාගන්නට උත්සාහ නොකරන සිනහවකින් උඩ පැන්නේය. මම නිසොල්මනේම හිඳගෙන ඒ සිනහව වින්දෙමි.  ඔහු මා ධෛර්යමත් කරන්නට උත්සාහ කරමින් කතාව ට හූමිටි තිව්වේය.

” ඔයා දන්නවාද අසේකා …  සංසාරේ ණය කාරයෝ ඒ ණය පියවගන්න අපේ අම්මා තාත්තා වෙලා එනවා, යාලුවෝ සහෝදරයෝ වෙලා එනවා..ඔයාගේ ඔය අයියා එහෙම කෙනෙක් … දැන්වත් තේරුම් ගන්න, ඒ මිනිහාට ඔයාව කන්ට්‍රෝල් කරන්ම නොදී ඉන්න. . ඔයාට ඒක කරගන්න බැරි නම් ඔයයි අයියයි අතර ඉඩ මට දෙන්න …. මං හැප්පෙන්නම්.. මාව පහු කරලා අයියාට ඔයා ලඟට එන්න වුනහම උගේ ඔය නාඩගම් අඩු වේවි…”

මම හිස සැලුවෙමි. එතරම් වෙලා මඟ හැරෙමින් තිබූ පැනය ඇසුවේ ඉන් පසුවය.

” ඔයා කොහොමද හැප්පුනේ…”

“මගේ ඔලුව රිලැක්ස් නැති වුනාම එහෙම තමයි අසේකා.. මට රිලැක්ස් නෑ නම් මම ඩ්‍රයිව් කරන්නේම නෑ.. ඒක ඔයා ගේ අවුලක් 

නෙවෙයි . මං පිට වුනේ වැරදි වෙලාවේ… “

අපේ පලමු හමුවේ ඔහුට යතුරු පැදිය පාලනය කර ගත නොහැකි වූවේද   පාසැල් පෙම්වතියක හදිසියේ මුණ ගැසී ඇය ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳව කල්පනාවේ ආ මොහොතේ බව ඔහු කීවේ ඉන් පසුවය. මම මහේල අරන්දර ගේ අත කෙනිත්තුවෙමි. ඔහු එය ගණනකට හෝ නැති සෙයින් මා ඉම්බේය. 

”  ඉක්මනට සනිප වෙන්නකෝ…”

මම මහේලට අයැද්දෙමි. 

” බෑ.. එතකොට මෙහෙම ඉන්නවෙන්නේ නැනේ.. කොයි වෙලෙත් තවුසේ දුවන්න බලාගෙන නේ ඉන්නේ …”

මහේල හැකි උපරිමයෙන් මා හුරුතල් කෙල්ලක සේ ගෙන නැලවූවේය. 

මහේල සුවවී නිවසට ගියාට පසුදින අයියා නැවත මා ඇමතුවේය. මම එක් ඇමතුමකට හෝ පිළිතුරු නොදී සිටින්නට පරෙස්සම් වූයෙමි. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles