සුහදිනි -09

සකී අවදි වූයේ දහදියෙන් තෙත් වී ගිය සිරුරෙනි.මහා හයියෙන් කෑගැසෙන්නට ඇතැයි ඇයට සිතේ.නමුත් නිම්නා කෙඳිරියක් නඟා නින්දේ ය.රන්මිණි අද නවාතැනේ නොසිටීම ම සහනයකි.

“සුදූ.මොකක්ද ඔයා දැක්කේ? අම්මට කියන්න?”

දන්නා කාලයේ පටන් මෙලෙස සිහිනයෙන් මොර දෙද්දී අම්මා අසන්නට පුරුදු වී සිටියා ය.නමුත් ඇය කිසිම දිනෙක ඒ ගැන අම්මාටවත් කියන්නට නොසිතුවා ය.කිසිම දවසක එය බෙදා ගත යුතු මට්ටමක කතාවකැයි සකීට සිතුණේ නැත.එනිසාම ඇය මේ මොහොතේ ද තනිව පියවි ලොවට එන්නට උත්සාහ කළා ය.

යොවුන් දැරියක වී සිටි අතීතයේ නොදන්නා යෞවනයෙකු සිහිනයෙන් තමන් අසල දැවටෙන අන්දම ඇය දුටුවා ය.ඒ කවරෙකු වන්නට ඇතිදැයි විමසිලිමත් වූවා ය.නමුත් ඔහු හදිසියේ ම දකින්නට සිදු වූයේ රූපවාහිනී තිරය මතිනි.අහස්  ඔහුගේ කුළුදුල් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ දිනයේ පටන්ම සිහිනයෙන් දකින යෞවනයා ඔහු ම බව තෝරා ගන්නට සකී බොහෝ වාරයක් හිත සමඟ තර්ක කළා ය.එහෙත් දැන් තර්ක අනවශ්‍ය ය.බොහෝ දෑ සිදු වන්නේම ඒ සිහිනය පරිද්දෙනි.

මේ මොහොතේ ඇය ඒ නපුරු සිහිනය දුටුවා ය.අඳුරු වටපිටාවක උසැති ගස් ගොම්මනක් මැද්දෙන් ඔහු ඇවිද යමින් සිටියේ ය.සකී සිටියේ ඔහු පිටුපසිනි.තෙරක් නොපෙන තණ පිටිය එළිමහනකි.නමුත් එළිමහනේ සතුට එතරම් වෙලාවක් නොරැඳිණ.අද තණපිටියෙන් ඔබ්බේ වූ ප්‍රපාතයේ ගිලී ගියේ ඔහු ය. ඒ අහස් ය.ඔහු රැක ගන්නට තබා අල්ලා ගන්නටවත් නොහැකි වීමෙන් ඇය විලාප තැබුවා ය.

සකී අවදි වූයේ ඒ තැතිගැන්මෙනි! ඇය ජංගම දුරකථනය අතට ගත්තේ නිවැරදි සිහියෙනි.ඉනික්බිතිව ඔහු අවසන් වරට ඔන්ලයින් හිඳින්නට ඇත්තේ කිනම් මොහොතකදැයි වට්ස් ඇප් මාර්ගයෙන් පරීක්ෂා කළා ය.දැන් පැය දෙකකට පෙර ඔහු ඉන් නික්මී තිබේ.

සමහරවිට ඇය අහස් ගැන සිහින දකිමින් බියපත් වූවාට ඔහු සිටින්නේ සුව නින්දක විය හැකි යැයි ඇය සිතී ය.

නැත! 

එය එසේ වූයේ නැත!

නොදන්නා විල්ලුවක ගිලෙමින් සිටි තරුණයා ඇස් පියන් විවර කළේ අසීරුවෙනි.සිහිනය සහ සැබෑව තෝරා ගන්නට ඔහුට තත්පර කිහිපයක් නොව මිනිත්තු කිහිපයක්ම වැය වූයේ ය.තමන් ඇද වැටෙන වාරයක් පාසා දෑත් මුහුණේ රුවාගෙන බෙරිහන් දී කෑගසන යෞවනියගේ මුහුණ ඔහුට නොපෙන්වන්නට සිහිනය ප්‍රවේසම් ය. එහෙත් ඇයට කඩා හැලෙන වරලසක් තිබේ.රූපලාවණ්‍යගාරයේ දී කොන්ඩයට බොහෝ පීඩා කරමින් රුව වඩවන්නට උත්සාහ කරන සාරණ්‍යාගේ වරලස එතරමට සුන්දර නැතැයි අහස් කල්පනා කළේ ය.

නැත! 

ඒ ඇය නොවේ!

එකම අහසක් යට සිහිනයක ආකාර දෙකක් ගැන බියට පත් වූ තරුණයා ද යෞවනිය ද කිලෝමීටර කිහිපයක දුරින් අවදි වී සිටියේ ය.නින්ද නොඑළඹෙන හන්දාම අහස්ට ගීයක් අසන්නට සිත් විය.මේ මොහොතට ඉංග්‍රීසි ගී නොගැළපේ.කැමතිම ගී කිහිපයක්ම අත හරින්නට යෙදුණු ඔහු නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකුගේ ගීයක් වාදනය වන්නට ඉඩ හැරියේ ය.වෙළඳ ප්‍රවර්ධන කටයුතු වලදි මුණ ගැසෙන ගායක තරුණයා දක්ෂයෙකු බව ඔහු දනියි.නමුත් අහම්බෙන් ඇසෙන ගීයක් මිස ඔහුගේ ගී අසන්නට අහස්ට සිතක් පහළ වී තිබුණේ ම නැත.

සංසාරයේ මා – හමු වී තියේදෝ

දෑසේ ඉනාවේ – මා මත් වුණා දෝ

ඉනික්බිති ඇසෙන ගායිකාවකගේ හඬ අමතක කළ අහස් රිද්ම වීරවර්ධනගේ මියුරු හඬ දිගේ යළිත් සිහිනයට ඇවිද ගියේ ය.අසීරු දවසක් හෙට එළඹෙන බව කියන අඳුරු සිහිනයේ ද වඩා වර්ණවත් දවස් අත ළඟ බව කියන කහ පැහැයෙන් දීප්තිමත් වූ සිහිනයේ ද දැවටෙන්නී එකම යුවතියකි.මුහුණ නොපෙන්වන කෙල්ලකි.ඒ යුවතිය සංසාර බැඳීමක්දැයි ඔහු සිතී ය.ආදර සංසාර බැඳීමක් වී ළඟ දැවටිය යුතු වේ.

“මොකක්ද මේ හීනෙ? එතකොට දැන් මම හෙට කුණාටුවක් බලාපොරොත්තු වෙන්න ඕනිද?”

අහස් නින්ද අහිමිව සිතන්නට වූයේ ය.කණ්ඩායමේ නායකයා ද සියුම් ද නොකියා පැවසූ අන්දමට හෙට සිට කොහොමත් කුණාටු කාල දරාගත යුතු වේ.ඉතා රළු ලෙස සාරන්‍යා පිටු දැකීමේ පාපය ලෙහෙසියෙන් ගෙවී නොයන බව නම් ඔහු හොඳින් දැන සිටියේ ය.

ඇය පලිගැනීමේ හෝරාව ආරම්භ කර තිබෙන්නට පුළුවන.නමුත් එයට ගොදුරු වෙනවාදැයි ඔහු සිතන්නට පටන් ගත්තේ ය.

“මේ හීන පෙණුනට පස්සෙ පහුවදාට එක්කෝ තාත්තා අසනීප වෙන්න පුළුවන්.නැත්නම් මං මැච් එකකදී හොඳටම ෆේල් වෙන්න පුළුවන්.එහෙම නැත්නම් මහ විශාල මඩක් මට නැගිටින්න බැරි වෙන්නම වැදෙනවා වෙන්න පුළුවන්.ඒ මොනවත් නැත්තං එදාට මට මොකක් හරි තුවාලයක් වෙන්න පුළුවන්.ඒත් නැත්තං වාහනේ හරි ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්.අඩුම තරමේ සාරණ්‍යා ලොකු වලියක් දාගන්න හරි පුළුවන්.”

සියුම්ට මුලදී සිහිනය ගැන ද ඉනික්බිතිව සිහිනෙන් අනතුරුව සිදුවන දේ සම්බන්ධයෙන් ද අහස් වට්ස් ඇප් හඬ පණිවිඩයක් යොමු කළේ ය.හදිසි සිතිවිල්ලක් නැඟුණේ ඉන්පසුව ය.ඔහු වහා කාටවත්ම කියවන්නට නොහැකි වන ලෙස ඒ පණිවිඩය මකා දැමුවේ ය.

“මොනවද ඕයි එවලා මකන්නේ?”

මේ මැදියම ගෙවෙන හෝරාවේ අවදිව නොසිටි සියුම් එසේ අසන්නේ හෙට උදෑසන බව අහස් සිතී ය.එය විසඳා ගැනීම පසුවට කල් දැමිය හැකි ය.සියුම්ගේ අමනාපකම් ඔහුට දැන් වසර ගණනාවක් තිස්සේ පුරුදු ය.

“ඒ හීන ගැන මම කාටවත් කියන්නේ නෑ.කවද හරි දවසක ඔයාගේ කොණ්ඩෙන් හරි මට ඔයාව අඳුනගන්න පුළුවන් වෙයි.අන්න එදාට මම ඒක ඔයාට ම කියන්නම්.”

ඔහු නොදන්නා සහ මේ ලෝකයේ ජීවත් වෙනවාදැයි නොදන්නා තරුණියට පැවසී ය.

“අනිත් එක සූරියකාන්ත මල් දැක්කම මම දන්නව පහුවදා දවස මාරම ලස්සන දවසක් කියල.සතුටින් ඉන්න හින්දමද මන්ද මට ඒ දවස පුදුම විදියට සාර්ථක වෙනවා.එතකොට මට බැරිද මේ හීනෙ දැක්කම ඊළඟ දවස් දෙක තුන පරිස්සමට ගෙවලා දාන්න.”

අහස් ඔහුගෙන්ම ප්‍රශ්න කරගන්නට පටන් ගත්තේ ය.ඕනෑම ගැටලුවකට විසඳුමක් ඇති බවට විදෙස් රටක ක්‍රීඩා කළ දිනයක ජනප්‍රිය විදෙස් ක්‍රිකට් තරුවක් පැවසූ අන්දම ඔහුට මතක ය.ඒ කතාව ක්‍රිකට් වලට පමණක් ම ගැළපෙන කතාවක් නොවේ.ජීවිතය සම්බන්ධයෙන් ගැළපීමක් ඇති කතාවකි. 

“දෙයක් වෙන්න තියෙනවා නම් මොනව කරලවත් වළක්වන්න බැරි බව ඇත්ත.ඒත් මට පුළුවන් පරිස්සම් වෙන්න.හෙ ලෝකෙ පෙරළුණත් මම මාව පරිස්සම් කරගන්නව.”

අහස් ඔහුටම පිළිණ දුන්නේ ය.

ඔහු ඔහුගේ ආකාරයට ඒ සිහිනය තෝරා ගනිද්දී සකී ඇගේ ආකාරයට සිහිනය දෙස බලන්නට පටන් ගත්තා ය.ඔහු පැවසූ කාරණාවක් ඇයට සිහිව ආයේ ය.       

“මේක හරි අමුතු දෙයක්.මම මේක ඔයාට කියන්නේ ඇයි කියලවත් මට හිතන්න බෑ.සමහරවිට මට ඔයා දීපු ලස්සන තෑග්ග නිසා වෙන්න ඇති.මට පොඩි කාලේ ඉඳලම සූරියකාන්ත මල් ගැන හීනයක් පේනවා.මම සූරියකාන්ත මල් පිරුණු තැනක ඇවිදින ඒ හීනේ දැකල පහුවදාට මම ගොඩක් වටින ලස්සන දේවල් ලබා ගෙන තියනවා.”

සකීට එක්තරා කල්පනාවක් පැමිණියේ අහම්බයකින් ය.ඇය යහන මතින් නැගිට ගත්තේ ඒ ආවේගයෙනි.කාමරයේ විදුලි පහන දැල්වීම නිම්නා ප්‍රකෝප කරන්නට සමත් කාරණාවක්දැයි නොසිතූ ඇය පාඩම් මේසය මත චිත්‍ර අඳින කඩදාසියක් විසිරවූයේ ඒ අදහස මැකෙන්නට පෙර ක්‍රියාත්මක වෙන්නට සිතමිනි.

(ප්‍රතිචාරවලට බොහොම ස්තූතියි.ඔයාලගේ අනුමාන කිරීම් සහ දිරි ගැන්වීම් ශක්තියක්.සකීගේ සහ අහස්ගේ හීන සහ චිත්‍ර ඕනෑම අනුමානයක් කරන්නත් අහස්ව  සැබෑ ක්‍රිකට් තරු එක්ක පටලා නොගන්නත් කියලා ආදර ඉල්ලීමක් කරන්න කැමතියි.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles