හිමගිරි අරණ -60

“මට හිත හදාගෙන ඔයාට විෂ් කරන්න අමාරුයි”

ඔහු මොනවා නැතත් සත්‍යය පැවසීම හිමාෂා සිනාවකින් දරා ගත්තා ය.ඔහු හිඳින්නේ වෙනත් ප්‍රේමයක බැඳී බව ඇය දැන සිටියේ ඔහුගේ බිරිඳ වී හුන් කාලයේ  ය.නමුත් ඈ එම සුවිසල් වේදනාව දරා ගත්තා ය.ප්‍රේමවන්තිය විවාහ කරගෙන ඇය දරුවෙක් ලැබෙන්නට සිටියදී පවා සහන්ට පැරණි බිරිඳගේ නම විවාහයට සුබ පැතුම් එකතු කරන්නට අසීරු ය.එය විසඳන්නට අපහසු සමීකරණයක් බව හිමාෂාට සිතිණ.

“මට දුව ගැන බයයි.පිට මනුස්සයෙක් එයාට කොහොම තාත්තා කෙනෙක් වෙයිද කියලා මට බයක් දැනෙනවා ඒ නිසා මට ඔයාට සුබ පතන්න හිත හදා ගන්න අමාරුයි.”

ඒ සැබෑවෙන් හරි අඩක් බව දන්නී හිමාෂා ය.ඔහු ඔහුගේ ලෝකය ඉදිකර ගත්තේ ය.දැන් ඇය තමන්ගේ ලෝකයක් ඉදි කර ගන්නට සැරසෙද්දී ඔහුට ඇත්තේ දියණිය ගැන බියක් නොව ඊර්ෂ්‍යාවක් බව සිතා හිමාෂා හිනැහුණා ය.

“ආදරේ කියන්නේ කෙනෙක් ගැන ඇතිවන හැඟීමකටම නෙවෙයි.ඒ කෙනා සම්බන්ධයෙන් හැමදේකටම ඇතිවෙන හැඟීමකට.ඔයා හිතන විදියට එයා හිතන්නේ නෑ.එයා මගේ දරුවාට ආදරේ කරනවා.මගේ දූ කියන්නේ මගේ ඇඟේ ම කොටසක් වෙලා හැදුණු කෙනෙක් කියලා එයා හොඳටම දන්නව.මේක ජීවිතේ ගැන රිස්ක් එකක් ගැනිල්ලක් නෙවෙයි.හොඳට හිතලා ගත්තු තීරණයක්. ඒත් මට ඒක ඔයාට කියන්න උවමනා වුණා.”

හිමාෂා දිනාගත් ඔහු කවුරුන්දැයි දැන ගන්නට සහන්ට උවමනා විය.ඒ කවුරුන් දැයි කියන්නට ඈට නොසිතිණ.රවිඳුගේ ප්‍රේමය පිලි ගන්නටත් පෙර මෙවැනි ගමනක් එන්නට ඇයට උවමනා විය.ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන හිමාෂා ගැන සහන්ට දැනගන්නට ඉඩ හැරීම වෙනුවට විවාහයකට සැරසෙන හිමාෂා ගැන ඔහු ගැන ගැනීම සුදුසු බව ඇය තීරණය කර තිබීම එයට හේතුව ය.නමුත් දැන් ඔහු සිටින්නේ සන්තෝෂයෙන් නොවේ.ඒ ඊර්ෂ්‍යාවට පරදින්නට ඇයට නුවුමනා ය.

“ඔයා තරම් ලොකු වෙඩින් එකක් අරගෙන ආයේ කසාද බඳින්න මගේ අදහසක් නැහැ.ඒත් ඔයාට ඕනෙම වෙලාවක මගේ ගෙදර ඇවිල්ලා අපේ දූ බලන්න පුලුවන්.මට ඔයාගේ ගෙදරට එන්න පුළුවන්කමක් නැති වෙයි.ඒත් ඔයාට ඕනෙම වෙලාවක මං ඉන්න තැනට එන්න පුළුවන්.ඔයාගේ දුවව බලන්න පුළුවන්.එයාගේ අලුත්  තාත්තා මුණ ගැහෙන්න පුළුවන්.”

හිමාෂා නැවත විවාහ වීම ඇගේ තීරණයකි. නමුත් දියණිය ලවා ඇගේ සැමියාට තාත්තා යැයි පැවසීම අනවශ්‍ය බව කියන සහන්ගෙ ආඥාදායක ස්වරය හිමාෂා ඉවසුවේ මඳ සිනාවකින් ය.

“එයාට තාත්තා කෙනෙක් ඉන්නවා.එතකොට එයාට තව තාත්ත කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ නේද?”

සෑම බැඳීමක්ම රුධිරගත නැති බව හිමාෂා තේරුම්ගත්තේ දියණිය කුඩා කාලයේම සහන් ඔවුන්ගෙන් දුරස් වූ පසුව ය.ඔහුට හදිසියේ දියණිය ගැන හටගත් ඇල්ම ගැන ඇය කෙදිනෙකවත් ප්‍රශ්න නොකළද ඒ සැබෑ ආදරයක් ද කියන්නට හිමාෂාට තවමත් නොහැකි ය.නමුත් රවිඳුගේ ආදරය පිළිගන්නට හැකි වුවහොත් ඔහු දියණියට ද විශාල ආදරයක් පිරිනමන බව ඇය සක්සුදක් සේ දැන හුන්නා ය.

“දරුවාට වුණත් තෝරාගැනීම් කරන්න දවසක් එනවා.ඇත්තටම එයාම ඔයාගෙන් ඈත් කරන්න මං කැමති නෑ.එයා ඔයාට ළඟින් ඉඳීවී.ඒත් එයාට තාත්තා කියන හැඟීම ඇත්තටම දැනෙන්නේ කාගෙන්ද කියන එක දවසක එයාම තීරණය කරයි කියලයි මම හිතන්නේ.”

හිමාෂා සහන්ට සමුදුන්නේ එවදන් පැවසීමෙන් පසුව ය.ඔහුගේ හදවත මත විශාල බරක් ඉතිරි කළ පැමිණියාදැයි ඇය සිතුවේ ආපසු එන අතර මග ය.බැඳීම් නිසා හදවතේ සැහැල්ලුව රඳා නොපවතින බව ඇය දනියි.ඒ නිසා සිදුවූ දේ සම්බන්ධයෙන් හිමාෂාගේ සිතේ පසුතැවිල්ලක් ඇති නොවිණ.නමුත් බැඳීමක් සෑම මොහොතකම හදවත චංචල කරන බව ඇයට සිතුණේ අහම්බයකින් මෙන් දෙනෙත් ඉදිරිපිට දර්ශනය වූ රුව නිසා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles