ආදර මල්වල පාට කියන්නද? – 43

0
57

පහුවදා උදේ ගෙදර උඩ තට්ටුවේ කාමරේක හාන්සි පුටුවක වාඩිවෙලා ඉන්න කවීන්ගේ තාත්තා, ඒ කියන්නේ වික්‍රමසිංහ දිහා ආකර්ෂා ටික වෙලාවක් බලාගෙන උන්නා.

 මුළු කොළඹ හතම තමන්ගේ සල්ලි බලයෙන් හොල්ලපු, තමන්ගේ පවුලම විනාශ කරන්න ප්ලෑන් කරපු වික්‍රමසිංහ පවුලේ ප්‍රධානම පුරුක අද කිසිම පණක් නැතුව, මෙහෙම පැත්ත වැටිලා, අතීතෙ කිසි දෙයක් මතක නැතුව, කතා කරගන්නවත් බැරුව අසරණ වෙලා ඉන්න විදිහ දැක්කම කෙල්ලගේ හිත ඇතුලෙන් කෙල්ල උන්නෙ තමන් එක්කම ෆයිට් කරන ගමන්. හිතේ කොච්චර වෛරයක්, තරහක් තිබ්බත් මේ ලෙඩ වෙලා ඉන්න මනුස්සයාගෙන් පලිගන්න කෙල්ලට හිතුණේ නැහැ. මොකද ඒ අසරණ මූණ දැක්කම ආකර්ෂාට එකපාරටම මතක් වුණේ තමන්ගේම ආදරණීය තාත්තව. තමන්ගෙ තාත්තත් දැන් ඉන්නෙ ලෙඩ ගානෙ වෙච්ච එකේ ඒ වගේම ලෙඩවෙච්ච තව තාත්තෙක්ගෙන් පලිගන්න කෙල්ලට උවමනා උනේ නෑ. අනික එක වික්‍රමසිංහ කාටහරි යම් වරදක් කරා නම් මේ වෙද්දි මිනිහට ඒකට ලැබෙන්නෝන දඬුවම මෙහෙම එක තැනකට කොටුවෙලා ඉන්න වෙච්ච එකෙන්ම ලැබිච්ච හන්දා තමන් ආයෙත් අමුතුවෙන් මිනිහගෙන් පලිගන්න ඕන නෑ කියන එකත් කෙල්ල හිතුවා.

“මොනවා වුණත් මං මනුස්සයෙක්. ලෙඩ වෙලා ඉන්න මනුස්සයෙක්ගෙන් පලිගන්න තරම් මං තිරිසනෙක් නෙවෙයි” කෙල්ල හිතින් තමන්ටම කියාගත්තේ මහා බර හුස්මක් පල්ලෙහට දාන ගමන්. “තමුසේ මගේ තාත්තට කරපු අපරාදේ දිට්ඨධම්මවේදනීය කර්මය වගේ තමුසෙට මේ ආත්මෙදීම පල දීලා තියෙන්නේ. ඒ හන්දා මං තමුසෙට අතක්වත් තියන්නේ නැහැ. හැබැයි අපිව මේ තත්ත්වෙට ඇදලා දාපු අනිත් උන්ට නම් මං ලේසියෙන් ගැලවිලා යන්න ඉඩ දෙන්නේ නැහැ.” කෙල්ල වික්‍රමසිංහගේ ඇඳ ළඟට වෙලා හිතින් මාරම භයානක විදිහට තීරණය කරද්දී, කාමරේ දොර ඇරගෙන කවීන් ඇතුළට ආවා.

“ ඔයා මෙතනද? මං සාලේ හැමතැනම ඔයාව හෙව්වා” කවීන් ඇවිත් ආකර්ෂාගේ ඉණ වටේ අත් දෙක යවලා පිටිපස්සෙන් කෙල්ලව බදාගත්තේ මාරම ආදරෙන්.

වෙනදා වගේම කෙල්ල ඒ අප්පිරියාව සේරම හිත අස්සේ හිරකරගෙන, මූණට මාරම ආදරණීය හිනාවක් අරන් කවීන් පැත්තට හැරුණා. “ඔව් කවීන්… මං මේ තාත්තට බේත් ටික දුන්නද කියලා බලන්න ආවේ. පව් අනේ… තාත්තා මාර අසරණයි නේද?” කෙල්ල ඇහුවේ හරියට කවීන්ගේ පවුලට පණ ඇරලා ඉන්න ලේලි කෙනෙක් වගේ.

“ ඒකනේ මං ඔයා වගේ කෙල්ලෙක්ව මගේ ජීවිතේට ලං කරගත්තේ. ඔයාගේ ඔය මනුස්සකමට මං මාරම ආදරෙයි. මං ඇත්තටම කවදාවත් හිතුවෙ නෑ ආකර්ෂා ඔයා අපේ තාත්තව මේ විදියට ආදරෙන් බලාගනිවී කියලා. ඒ විත්තියක් දැනගෙන උන්නා නම් මං ඇත්තටම කවදාවත් ඔයාගෙන් හංගන්නෙ නෑ මේ වෙච්ච කිසිම දෙයක් මං මුලදිම එහෙනම් ඔයාට හැමදේම කියනවා. මං හිතුවෙ අපේ තාත්තගෙ තත්ත්වෙ දැනගත්තම ඔයා උනත් කලබල වෙයි කියලා” කවීන් එහෙම කියලා කෙල්ලගේ කම්මුලට හාදුවක් දුන්නේ ඇත්තටම ආදරෙන්. කවීන් ඇත්තටම උන්නෙ ආකර්ෂා ගැන මාර පැහැදීමකින්. තාත්තා අසනීප උනාට පස්සෙ තාත්තගෙම අම්මා වෙච්ච ආච්චි අම්මා පවා තාත්තව පැත්තකට දාලා තියෙද්දි ආකර්ෂා වගේ පිටින් අහම්බෙන් වගේ ගෙදෙට්ට ආව කෙල්ලෙක් තමන්ගෙ තාත්තට මෙයාකාර ආදරේකින් සලකද්දි ඒක කන්සිඩර් නොකර ඉන්න පුලුවන්කමක් කවීන්ට තිබ්බෙ නෑ.

හවස් වෙද්දී දෙන්නත් එක්ක උඩ තට්ටුවේ බැල්කනි එකට වෙලා නිදහසේ කතා කර කර උන්නා වෙනදා වගේම තේ බිබී බිස්කට් කකා. හුළඟට කෙල්ලගේ කොණ්ඩ කෑලි මූණට වැටෙද්දී කවීන් ඒවාවලින් සෙල්ලං කර කර මාරම ආදරණීය මෝමන්ට් එකක් ගොඩනගන්න හැදුවා. කෙල්ලත් කවීන්ගේ උරහිසට ඔළුව තියාගෙන, මිනිහගේ අතේ ඇ ඟිලි එක්ක සෙල්ලම් කරන ගමන් කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව උන්නෙ. හැබැයි කෙල්ල උන්නේ හොඳම වෙලාව එනකම් බලන් මග බලාගෙන කියලා කොල්ලා පොඩ්ඩක්වත් දැනගෙන උන්නෙ නෑ.

“කවීන්…” කෙල්ල එකපාරටම හිමින් සැරේ ඔළුව උස්සලා කවීන්ගේ ඇස් දෙක දිහා කෙළින්ම බලලා ඇහුවා හවස් වරුවෙ සනීප හුලඟ බැල්කනියට ඇවිත් කෙල්ලගෙ කොණ්ඩ කෑලි එක්ක සෙල්ලං කරද්දි

“ඇයි මැණික?” කවීන් හිනාවෙලා ඇහුවා.

“මං කවදාහරි ඔයාව රැවැට්ටුවොත් ඔයා මොකද කරන්නේ?” කෙල්ල ඒක ඇහුවේ මාරම සිරියස් බැල්මකින් වුණත්, කවීන් හිතුවේ කෙල්ල නිකන් විහිළුවට අහනවා කියලා. කොහොමත් කෙල්ලො ආදරේ කරද්දි ඔය වගේ ගොං ආතල් ගන්නවා කියන එක කොල්ලා දැනගෙන උන්නා.

කොල්ලා හයියෙන් හිනාවෙලා කෙල්ලව තව ටිකක් තමන්ට ලං කරගත්තා. “පිස්සුද හැටිද? මං හොඳටම දන්නවා ඔයා කවදාවත් මාව රවට්ටන්නේ නැහැ කියලා. ඔයා වගේ අහිංසක කෙල්ලෙක්ට කාවවත් රවට්ටන්න බැහැ. ඒක හන්දා මට ඔයා ගැන 100%ක්ම විශ්වාසයි.”

කවීන්ගේ ඒ වචන ටික ඇහෙද්දී ආකර්ෂාගේ හිත ඇතුළෙන් මාරම කුරිරු උපහාස හිනාවක් මතු වුණා. “ෂුවර්ද කවීන්? තමුසේ මාව අහිංසකයි කියලා හිතාගෙන ඉන්න එකම තමයි මට තමුසෙව විනාශ කරන්න ලැබෙන ලොකුම චාන්ස් එක.” කෙල්ල හිතින් කියාගත්තෙ තමන්ටමයි,

හැබැයි එළියට කිසිම වෙනසක් පෙන්නුවෙ නැති කෙල්ල, ඊළඟ ප්‍රශ්නෙ අහන්න කට හදාගත්ත.

 “හරි… ඒක පැත්තක තියමුකෝ. එතකොට ඔයා… ඔයා කවදාහරි මාව රැවැට්ටුවොත්, මං මොකද කරන්න ඕනේ?”

කෙල්ල ඒක අහද්දී කවීන්ගේ මූණ යාන්තම් වෙනස් වුණා වගේ කෙල්ලට මීටර් වුණා. ඒත් මිනිහා එකපාරටම හිනාවක් මවාගෙන කෙල්ලගේ නිකටෙන් අල්ලලා තමන් දිහාවට ඒ ලස්සන මූණ තව ටිකක් ලං කරගත්තා.

 “මං ඔයාව රවට්ටන්නේ නැහැ මැණික. හැබැයි එහෙම දවසක් ආවොත්… ඔයා කැමති ඕනම විදියකට එදාට මගෙන් පලිගන්න. මං ඔයාට ඒ අයිතිය දෙනවා.”

“ශුවර්ද?” කෙල්ල ඇස් දෙක හීන් කරල ආයෙමත් ඇහුවා.

“ඔව්… සිරාවටම ශුවර්. මං පොරොන්දු වෙනවා” කවීන් කෙල්ලගේ අතක් අරන් තමන්ගේ පපුවට තියාගත්තේ මාරම ශුවර් එකෙන්.

කවීන්ගේ පපුව ගැහෙන සද්දේ තමන්ගේ අතට දැනෙද්දී, කෙල්ල හිතින් අවසාන තීරණය ගත්තා.

“තමුසෙමයි මට පලිගන්න අවසර දුන්නේ කවීන් මතක තියාගන්නවා. මං තමුසෙලාව වළපල්ලට යවන දවස වැඩි ඈතක නැහැ කියලා”  කෙල්ල කියාගත්තෙ තමන්ටමයි.

“පොරොන්දු වුණාටම මදි ඔන්න හොඳේ පස්සේ කාලෙක මං පළිගන්නකොට අනේ මට සමාවෙන්න, මං නොදැනයි කරේ කියලා අඬන්න එන්න එපා සිරාවටම.” කියලා කෙල්ල කිව්වෙ මාරම හුරතල් පාටට පොඩ්ඩක්වත් සැක හිතෙන්නෙ නැති වෙන්න,

“පිස්සුද කෙල්ලේ ඔයා තාම මාව දන්නෙ නෑ. මේ  කවීන් වික්‍රමසිංහ කියන්නේ එක වචනයක මිනිහෙක්. මං කිව්වොත් කිව්වා තමයි. හැබැයි ඉතින් මට කවදාවත් ඔයාව රවට්ටන්න වුවමනාවක් වෙන්නේ නැහැනෙ මැණික. ඔයා මගේ ළඟ මෙහෙම ඉන්නකම් මට වෙන මොනවාද ඕනේ?”

“ම්ම්ම් බලමුකෝ ඉතින්. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න මාරම පොඩි වෙලාවයිනේ යන්නේ. හැබැයි එකක් මතක තියාගන්න, මං පළිගන්න ගත්තොත් මං හරිම නපුරුයි. ඔයාට හිතාගන්නවත් බැරි වෙයි මං මොන වගේ කෙනෙක්ද කියලා.”

“හා හා මං බය වුණා හොදේ! මගේ නපුරු කෙල්ල. මං මැරෙන්න ලෑස්තියි ඔයාගේ ඔය නපුරුකම් ඉස්සරහා.”

“මැරෙන එක ලේසියි කවීන්. හැබැයි මං කරන දේකදී ඔයාට මැරෙන්නවත් හිතෙන්නේ නැති වෙයි. ඒ තරමටම රිදෙයි.”

“ඇයි අනේ අද මේ වගේ කතා අහන්නේ? මාව දාලා යන්නවත් අදහසක් තියෙනවද?”

“මං ඔයාව දාලා යන්නේ නැහැ කවීන්. කවදාවත් යන්නේ නැහැ. මං ඔයාගේ හුස්ම ළඟම ඉන්නවා. හැබැයි ඔයා මාව රැවැට්ටුවොත් විතරක් මං කිව්ව දේ මතක තියාගන්න.”

“ඔව් සිරාවටම ශුවර් සුදූ. මං පොරොන්දු වෙනවා. එහෙම වුණොත් ඔයා කැමති දඬුවමක් මට දෙන්න. මං ඒක බාරගන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here