සාම්ප්‍රදායික කල්කටා ක්‍රමයට මාළු බැඳුමක් හදමු..

මාළු කියන්නෙ රස වගේම පෝෂ්‍යදායී බව පිරුණු ආහාරයක්නෙ. 

Omega 3 මේද අම්ල, විටමින් D, විටමින් B2, යකඩ, සින්ක්, අයඩින්, මැග්නීසියම් සහ පොටෑසියම් වගේ පෝෂ්‍යපදාර්ථ වලින් අනූන මාළු වලට කළල අවස්ථාවේ ඉඳලම අපේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාදීමේ අද්විතීය හැකියාවක් තියෙනවා. 

මොළයේ නීරෝගී වර්ධනයට,

හෘද රෝග වලින් ආරක්ෂාව ලබාදෙන්න, 

අස්ථි සහ මාංශපේෂී වල ශක්තිමත් බවට,

කුස තුළ වර්ධනය වල කළලයේ නිරෝගී බව, ඇස්වල පෙනීම සහ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න, 

රුධිරයේ අඩංගු හොඳ වර්ගයේ HDL කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය ඉහළ නංවන්න වගේම

මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න උදව් වීමත් මාළු ආහාරයට ගැනීමේ ප්‍රතිඵල අතරින් කීපයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. 

ඒ නිසාමයි අඩුම තරමින් සතියට දෙවරක් හෝ මාළු ඔබේ ආහාර වේලට එක්කර ගැනීම යහපත් බව පෝෂණවේදීන් සඳහන් කරන්නෙ. 

ඒත් හැමදාම උයන තෙලට, මිරිසට වගේම ඇඹුල් තියල ක්‍රමයට මාළු කන ඔබට වෙනස් රසයක් එක්ක වෙනස්ම විදිහෙ මාළු බැඳුමක් ගැන කියන්නයි අද අපි සූදානම් වෙන්නෙ. 

සාම්ප්‍රදායික ඉන්දියානු රස එක්ක කල්කටා ක්‍රමයට මාළු බඳින ක්‍රමයක් තමයි අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ. 

එහෙනම් බලමු, මුලින්ම අපිට අවශ්‍ය දේවල් මොනවද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

  • මෝර මාළු 500 g ක්
  • සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු ළූණු ගෙඩියක්
  • සුදු ළූණු බික් 05 ක් 06 ක්
  • අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
  • අමු මිරිස් කරල් 02 ක්
  • කොත්තමල්ලි කොළ මිටක්
  • මින්ට් කොළ මිටක්
  • දෙහි යුෂ මේස හැඳි 02 ක්
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 01 ½ ක් 
  • රස අනුව ලුණු කුඩු
  • බිත්තර 03 ක් 
  • බිස්කට් කුඩු 
  • බැඳ ගැනීමට තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම, මාළු ඔබ කැමති ප්‍රමාණයේ ඝනකමින් අඩු පෙති හැඩයට කපාගන්න

ලූණු, සුදුළූණු, ඉඟුරු, අමු මිරිස්, කොත්තමල්ලි කොළ සහ මින්ට් කොළ සියල්ලම අත්ගලක්, බ්ලෙන්ඩරයක් හෝ වංගෙඩියක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න. 

දැන් භාජනයක් ගෙන එයට අඹරාගත් සුදුළූණු මිශ්‍රණය දමා දෙහි යුෂ එක්කර හොඳින් කලවම් කරගන්න.

කපාගත් මාළු මේ සුදුළූණු මිශ්‍රණයට දමා හොඳින් කලවම් කර පොලිතින් ආවරණයකින් හොඳින් වසා ශීතකරණයේ පැය 02 ක් පමණ තබන්න. 

පැය 02 කට පසු මාළු කැබලි ශීතකරණයෙන් ඉවතට ගෙන පසෙකින් තබා, වෙනත් භාජනයකට එයට බිස්කට් කුඩු කෝප්ප 02 ක් පමණ දමා ලුණු ස්වල්පයක්ද එකතු කර හොඳින් කලවම් කරගන්න. 

එය පසෙකින් තබා තරමක් ගැඹුරු භාජනයක් ගෙන එයට බිත්තර තුන කඩා දමා ලුණු කුඩු ස්වල්පයක් සහ ගම්මිරිස් කුඩු එක්කර බිත්තර සුදු මදය සහ කහ මදය හොඳින් කලවම් වන තුරු මිශ්‍රකර ගන්න. 

දැන් මාළු කැබලි මුලින්ම බිත්තර සාරු වලත් දෙවනුව බිස්කට් කුඩු මිශ්‍රණයේත් ගාගෙන පසෙකින් තබා ගන්න. 

මාළු කැබලි සියල්ලේම බිත්තර සහ බිස්කට් කුඩු දවටා අවසන් වීමෙන් පසු තෙල් භාජනය රත්වීමට තබන්න.

තෙල් හොඳින් රත්වූ පසු බිස්කට් කුඩු දවටා ගත් මාළු කැබලි තෙලට දමා දෙපැත්ත පෙරලමින් රන්වන් පාට වනතුරු හොඳින් බැඳගන්න. 

උණුසුම්වම රසවිඳින්න දැන් ඔබට පුළුවන්. 

ලොකුළූණු කැබලි කීපයක් සහ දෙහි පෙත්තක් මාළු කැබලි සමඟ පිඟානේ පසෙකින් තබා පිළිඟන්වන්න. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles