තෝමස් ඔහුගෙ බිරිඳ එරින් සහ ඔවුන්ගෙ දරුව තෙල්මව අතෑරල දාල යද්දි තෙල්ම යන්තම් වයස අවුරුද්දක් වුණ පුංචි බිළිඳියක්. එරින් කියන්නෙ නිතරම හිනාවෙලා උද්යෝගෙන් හිටිය තරුණ කාන්තාවක් වුනත් තෝමස් ඇයව අතෑරල ගියාට පස්සෙ තවදුරටත් පරණ පුරුදු දීප්තිමත් ඇස් තියෙන එරින්ව කාටවත් දකින්න ලැබුණේ නෑ.
ඒත් මේ හැම බාධාවකටම මුහුණ දෙන්න එරින්ට හිත හදාගන්න සිද්ධ වුණේ තමන්ගෙ දියණියගේ දීප්තිමත් අනාගතය අඳුරු වෙන්න ඉඩ දීල දුක් වෙවී ඉන්න කාලයක් ඇයට නොතිබිච්ච හින්දයි.
එරින් කොහොමත් නිතරම ගෙදර හිටිය කෙනෙක් නෙමෙයි. ජාත්‍යන්තර ගුවන් සමාගමක ස්ටූවට්වරියක් විදිහට සේවය කරපු එරින්ට ඇගේ රැකියාවෙ තියෙන වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තේ තෝමස් ඇයව අතෑරල දාල ගියාට පස්සෙයි.
දරුව ලැබුණට පස්සෙ ඇයට දිග නිවාඩු ලැබුණත් නිවාඩුව අවසන් වෙලා නැවත පියාසර කරද්දි තෝමස් දරුවව බලාගන්න පොරොන්දු වෙලා හිටිය නිසා ඇයට නිදහසේ ඇගේ රැකියාව කරන්න පුළුවන් වුණා.
ඒත්, දැන් තවදුරටත් තෝමස් නැති නිසා පුංචි තෙල්මව දාල රැකියාවට යන්නෙ කොහොමද කියන ගැටළුවට මුහුණ දෙන්නත් එරින්ට සිද්ධ වුණා.
රැකියාවේ අවශ්‍යතාවය තදින්ම දැනෙන නිසා රැකියාව අතහරින්නත් ඇයට පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඒ නිසා තෙල්මව ඇට්ලැන්ටා වල තමන්ගෙ නිවසට සමීපව තිබ්බ අනාත දරුවන් වෙනුවෙන් නිර්මාණය වුන නිවාසයක දාල යන්න එරින් තීරණය කරේ ඇයට වෙන විසඳුමක් තිබුනෙම නැති නිසයි.
වැඩි දෙනෙක් නොදැන හිටියත් එරින් කියන්නෙත් ඇට්ලැන්ටා වල ක්‍රිස්තියානි පල්ලිය විසින් පාලනය කරපු ළමා නිවාසයක හැදුන වැඩුන අනාත දරුවෙක්. ප්‍රජා පාසලක අධ්‍යාපනය ලබලා ඊට පස්සෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සාර්ථකව අවසන් කරපු ඇයට ඉන් පස්සෙ හදාරපු පාඨමාලාවක ප්‍රතිඵලයක් විදිහට ස්ටූවට්වරියක් විදිහට සේවය කරන්න අවස්ථාව ලැබිල තිබුණා.
අඩුගානේ තමන්ගෙ දුවට අම්ම හරි ඉන්නවනේ කියල එරින් හිත හදාගත්තේ අනාත දරුවෙක් විදිහට ගත කරපු ජීවිතේ කටුක බව මේ සිදුවීම නිසා නැවත නැවත මතක් වෙන්න පටන් ගත්ත නිසයි.
ඉතිං, අන්තිමට පුංචි තෙල්මට සිද්ධ වුණා ළමා නිවාසයේ පාලිකාවො සමඟ හැඳී වැඩෙන්න. අවුරුද්දකට සැරයක් තෙල්මව ගෙදර එක්කගෙන ගිය එරීන්, ඇයත් එක්ක හැකි උපරිම ආදරෙන් සහ සතුටින් කාලය ගත කරන්නත් පුරුදු වෙලා හිටිය.
ළමා නිවාසේ අනිත් දරුවො මේ කාරණාව නිසා තෙල්මව විශේෂ කෙනෙක් විදිහට සළකන්න පුරුදු වුණා. අවුරුද්දකට පාරක් තමන්ගෙ අම්මව මුණ ගැහිල ඇයත් එක්ක ගෙදර ගිහින් එන තෙල්ම එක්ක පුංචි ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නත්, ඒ නිසාම ඇයව කොන් කරන්නත් අනිත් දරුවො පෙළඹිලා හිටියා.
අනිත් අය කොහොම හිතුවත් තමන්ගෙ අම්ම නැති අඩුව වගේම යහළුවන් ඇයව කොන් කරන්නත් පටන් අරන් තිබ්බ නිසා තෙල්ම හිටියේ කියාගන්න බැරිතරම් ලොකු සාංකාවකින්. ඒ සාංකාව නැති කරගන්න වගේම තමන්ගෙ දුක පිටකරගන්න තෙල්ම හරි අපූරු විනෝදාංශයක් හොයාගෙන තිබුණා.
ඒ තමයි චිත්‍ර ඇඳීම.
පුංචි කාලෙ පොඩි පොඩි චිත්‍ර ඇඳපු ඇය නිතරම චිත්‍ර ඇඳීමෙන් වගේම පාසලේදී චිත්‍ර කලාව පිළිබඳ දැනුම ලබාගැනීමෙන් පස්සෙ වයසින් ටික ටික ලොකුවෙද්දි හිතාගන්න බැරිතරම් ලස්සන චිත්‍ර අඳින ගැහැණු ළමයෙක් වෙලා හිටිය.
ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු 16 දී තමන්ගෙ උසස් අධ්‍යාපනය වෙනුවෙන් චිත්‍ර කලාව තෝරගන්න තෙල්ම සූදානම් වුණා. ඒත් මේ තීරණය තෙල්ම සහ එරීන් අතරේ තිබ්බ ආදරණීය බැඳීම සුණුවිසුණු කරල දාන්න තරම් ලොකු හේතුවක් වුණේ එරීන් තෙල්මගෙ තීරණේට තදින්ම අකමැත්ත ප්‍රකාශ කරපු නිසයි.
එරින්ට ඕන වුනේ තමන්ගෙ දියණිය වෛද්‍යවරියක් වෙනව දකින්නයි.
“මම කැමති චිත්‍ර අඳින්නයි අම්ම. ඔයාට බැහැ මට බලපෑම් කරන්න වෛද්‍ය විද්‍යාව තෝරගන්න කියල” තෙල්ම එරීන්ට කීව.
“කොහෙත්ම නැහැ තෙල්ම, කොහෙත්ම නැහැ. චිත්‍ර කලාව කියන්නෙ කිසි අනාගතයක්, කිසි ස්ථාවරත්වයක් තියෙන රැකියාවක් නෙමෙයි. ඔයාට නොසෑහෙන දුක් විඳින්න වේවි. එහෙම වෙනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ.” තමන්ගෙ මතය අතහරින්න එරින් සූදානම් වුනෙත් නැහැ.
“ඒත් අම්ම” තෙල්මා උත්තර දුන්න. “මම චිත්‍ර වලට ආදරෙයි. මට ඕන මගේ අනාගතේ චිත්‍ර වලින් ගොඩනඟා ගන්නයි. ඔයා හිතනව වගේ ගොඩක් සල්ලි හොයන්නයි, ස්ථාවර වෙන්නයි මට ඕන නෑ වෛද්‍ය විද්‍යාව තෝරගන්න”
“දරුවො. ඔයා තාම හුඟක් තරුණයි. ඒ නිසා ඔයා ගන්න තීරණ වල බරපතලක් ඔයාට තේරෙන්නෙ නෑ. ඔයාගේ තාත්තව විශ්වාස කරන්න මන් මගෙ තරුණ කාලෙදී තීරණය කරා. බලන්න ඒකෙන් අපි විඳවන තරම? ඔයාට අනාත නිවාසෙකට වෙලා ඉන්න සිද්ධ වුණා. මට රෑ දවල් නැතුව වැඩ කරන්න සිද්ධ වුණා.” එරීන් කතා කරේ හරිම වේදනාවෙන්.
“ඔව් ඇත්තටම ඔව් අම්ම. මේ හැමදේකින්ම වුණේ මම දුක්විඳපු එක විතරයි. අම්ම කෙනෙක් ඉඳලත් මට අනාත නිවාසෙක ඉන්න වුණා. ඇයි ඒ? ඔයා ඒ වගේ කමකට නැති මිනිහෙක් විශ්වාස කරපු නිසා. ඒ වගේ වැරදි තීරණයක් ගත්ත ඔයා අද අපි දෙන්නවම විනාශ කරල දාන තවත් තීරණයක් ගන්නයි ලෑස්ති වෙන්නෙ.” තෙල්මා කෑගැහුව. “ඔයාට ප්‍රශ්නෙ සල්ලි නම් මම පොඩි රස්සාවක් හොයාගෙන මගෙ වියදම් පියව ගන්නන්. ඒ ගැන වදවෙන්න එපා”
මේ සංවාදෙන් පස්සෙ හොඳටම කේන්ති ගිහින් හිටිය තෙල්ම තමන්ගෙ බඩු ටිකත් අහුරගෙන එරීන්ගෙ ගෙදරින් එළියට බැස්ස.
ඇයට ඕන කරේ එරීන් වැරදි බව ඔප්පු කරල පෙන්වන්න.
ඒ නිසා, පළවෙනි පියවර විදිහට ඇය කරේ ඇට්ලැන්ටා අතෑරල සැවානා වලට පිටත්වුණ එකයි.
ඊළඟට පාසලෙන් අවුරුද්දක නිවාඩුවක් ලබාගත්තු ඇය විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලබා ගැනීම වෙනුවෙන් පෙනී ඉන්න ඕන විභාගයකට සූදානම් වුණා. ඊට පස්සෙ අවුරුද්දේ ඒ ශිෂ්‍යත්වය ලබාගෙන ලලිත කලා උපාධියක් ආරම්භ කරන්නත් තෙල්මට හැකියාව ලැබුණා.
මේ වෙද්දී දුරකථනය හරහා වගේම ඊ මේල් හරහා කීපපාරක් තමන්ගෙ දුවව සම්බන්ධ කරගන්න එරීන් උත්සහ කරත් තෙල්ම හිටියෙ තමන්ගෙ අම්ම එක්ක අධික කේන්තියෙන්. ඒ නිසා ඇට්ලැන්ටා වලදී ඇයට තිබ්බ දුරකථන අංකය මාරු කරල එරීන්ගේ ඊ මේල් නොසලකා හරින්නත් තෙල්මා කටයුතු කරා.
ඉගෙන ගන්න ගමන් පොඩි රැකියාවකත් නිරත වුණ ඇය සමාජ සේවා කටයුතු අමතක කරේ නෑ. ඒ ලඟ තිබ්බ ළමා නිවාසෙ දරුවො වෙනුවෙන් පාට කරන පොත්, පාට කූරු, පාට පැන්සල් අරන් ආව තෙල්මාව ළමා නිවාසයේ නිතරම දකින්න ලැබෙන චරිතයක් වුණා.
මේ විදිහට අවුරුදු 16 ක් නොදැනීම ගතවුණා.
එරීන් මේ වෙද්දි අවුරුදු 32 ක ප්‍රියමනාප තරුණ කාන්තාවක් විතරක් නෙමෙයි, ඉතාම ජනප්‍රිය විලාසිතා නිර්මාණ සමාගමක ප්‍රධාන විධායක නිළධාරිනිය බවටත් පත්වෙලයි හිටියෙ.
දැන් තෙල්ම අවුරුදු 16 කට කලින් හිටියට වඩා බොහොම පරිණත, බුද්ධිමත් කෙනෙක්. වයසත් එක්කම ලබාගත්ත අත්දැකීම් වලට පස්සෙ තමන්ගෙ අම්මට තමන් කතා කරපු විදිහ ගැන ලොකු කණගාටුවක් වගේම දරාගන්න බැරි පසුතැවීමක් ඇගේ හිතේ හැමවෙලාවෙම වර්ධනය වෙමින් තිබුණා.
ඇත්තටම කීවොත් අම්ම නැතුව ඇයට ලොකු පාළුවක්, තනිකමක් දැනිලයි තිබ්බේ. ඇයව අගය කරන්නන් කොච්චර හිටියත්, ඇය මොන ජයග්‍රහණ ලැබුවත් මොකක්දෝ කියාගන්න බැරි දුකක් කණගාටුවක් ඒ සියල්ලම අවසානයේ ඇයට දැනෙමින් තිබුණා.
ඉතිං, ඒ සිතුවිලි වල ප්‍රතිඵලයක් විදිහට තමන්ගෙ අම්මව බලන්න යන්න තෙල්මා තීරණය කරේ ඇගේ ජීවිතේ සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරන සිදුවීමක් මේ ගමනෙදි සිද්ධ වෙයි කියල කිසිම අවබෝධයක් නැතුවයි.
අවුරුදු 16 කට පස්සෙ කුලී රථයක් වෙන් කරගත්තු තෙල්මා සැවානා වල ඉඳල ඇට්ලැන්ටා වලට යන්න පිටත් වුණත් අතරමඟදී ඇය ගමන් කරපු කුලී රථයෙන් බහින්න ඇයට සිද්ධ වුණේ එහි යම් කාර්මික දෝෂයක් හටගත් නිසයි.
තවත් කුලී රථ හතරක් මේ ගමන වෙනුවෙන් වෙන්කරගන්න ඇය ගත්ත දුරකථන ඇමතුම් සියල්ලම අසාර්ථක වුණේ පිටත් වෙන ගමන පිළිබඳව යම් කිව නොහැකි ගැටළුවක් ඇගේ හිතේ ඇතිකරමිනුයි.
බලාපොරොත්තු සියල්ලම අතහැර මහා මාර්ගයට වෙලා ඔහේ බලාගෙන මේ දේවල් කල්පනා කරපු තෙල්මගේ ලඟින් මෝටර් රථයක් නවත්වපු බව තෙල්මට දැනුණේ ඊට විනාඩි දෙක තුනක් ගියාටත් පස්සෙයි.
විවර කරපු මෝටර් රථයේ කවුළුවකින් එලියෙ බලාගෙන හිටපු සිනාමුසු ප්‍රියමනාප තරුණ මහත්මයෙක්ගෙ මුහුණක් දැක්ක තෙල්ම ටිකක් කලබල වුණා.
“හෙලෝ ! ඔයාට උදව්වක් ඕනෙද?” ඔහු තෙල්මගෙන් ඇහුව.
“අනේ ඔව්. ඔයාට පුළුවන්ද මාව ඇට්ලැන්ටා වලින් බස්සන්න. මගෙ වාහනේ කැඩුණා. ඒ වගේම මම තව කුලී වාහන හතරකටම කතාකරත් ඒ කාටවත් එන්න පුළුවන්කමක් නෑ කියනව” ගමන ගැන තිබ්බ දැඩි අවශ්‍යතාවය නිසාම තෙල්මගෙ කටහඬ වෙව්ලන්න පටන් අරන් තිබුණා.
“අනිවාර්යෙන්ම. මාත් යන්නෙ ඇට්ලැන්ටා වලට. නඟින්න” ඔහු උත්තර දුන්න.
“අනේ දෙවියනේ. කොච්චර දෙයක්ද? බොහොම ස්තූතියි.” ඔහුට ස්තූති කරපු තෙල්ම රථයට නැඟුනා.
ගමන අතරතුරදී ආගිය විස්තර බෙදාගන්න ඔවුන් තීරණය කරා. මේ ප්‍රියමනාප අමුත්තගෙ නම කර්ට්ස් බවත් ඔහු පළමු විවාහයෙන් වෙන්වී ඇති කෙනෙක් බවත් තෙල්මට දැනගන්න ලැබුණා.
තමන් ඇති දැඩි වුණ අනාත නිවාසෙ බලන්න ආපහු ඇට්ලැන්ටා වලට යන බව තෙල්මා කීව.
ඒ විදිහට නොදැනීම ගෙවුණ දීර්ඝ චාරිකාවකින් පස්සෙ රාත්‍රී 8.30 වෙද්දි ඇට්ලැන්ටා වල ළමා නිවාසයට ඇවිද ගෙන යන දුරකින් තිබ්බ බස් නැවතුම් පොළකින් තෙල්මව බස්සල සමුගන්න කර්ට්ස්ට සිද්ධ වුණේ ඔහුගේ පවුලේ උදවිය ඔහු එනතුරු බලන් ඉන්න නිසයි.
හෙමීට ඇවිදගෙන ළමා නිවාසෙට ගිය තෙල්මට පරණ පුරුදු මතකයන් එකිනෙක අවදි වෙන්න පටන් ගත්තා. ඒත් වැඩි වෙලාවක් නොගිහින් ඒ මතකයන් වලට සමුදෙන්න තෙල්මට සිද්ධ වුණේ එකපාරම දැක්ක හුරුපුරුදු රුවක් නිසයි.
ඇයට ගොඩක් ආදරෙන් සැළකුව ප්‍රියමනාප සිස්ටර් ජූලීයා !
තෙල්මා ඇය දිහාට දුවගෙන ගියා. ඇයව ආදරෙන් වැළඳගත්ත. පුංචි කාලේ සිස්ටර් ජූලියා ලඟ තිබුණු ආදරණීය උණුසුම තාමත් එහෙමම තියෙනව කියලයි තෙල්මට හිතුනේ.
“දෙවියනේ තෙල්ම. මේ ඔයාද? ඔයා මෙච්චරකල් කොහෙද හිටියේ?” සිස්ටර් ජූලියා ඇහුවේ මහ පුදුමෙකින්.
“මට සමාවෙන්න සිස්ටර් ජූලියා. කාටවත් නොකියා ඒම ගියාට මට සමාවෙන්න. මන් එහෙම නොකරන්නයි තිබුණේ. අම්මයි මායි ගොඩක් රණ්ඩු වුණා. ඊට පස්සෙ මට ගෙදරින් යන්න හිතුනා. ඒත් මම අද ආවෙ මගෙන් වුණ වැරදි හදාගන්න. මගෙ අම්මව බලන්න. ඇයව පුදුම කරවන්න. මට ඒකට උදව් කරන්න සිස්ටර්. කෝ මගේ අම්ම? එයා ගෙදරද?” තෙරේසා එක දිගට කියාගෙන ගියේ තව එක මොහොතක්වත් තමන්ගෙ අම්මව නොදැක ඉන්න හිත හදාගන්න අපහසු නිසාමයි.
සිස්ටර් ජූලීයාගේ ප්‍රියමනාප මූණ එක ක්ෂණිකයකින් වෙනස් වෙනව තෙල්ම දැක්ක. ඒත් එක්කම ඇය තෙල්මට උත්තර දෙන්න ලෑස්ති වුණා. “මේ…..” ඒත් සිස්ටර් ජූලියාට තමන්ගෙ කතාව සම්පූර්ණ කරගන්න බැරිවුණේ පිටිපස්සෙන් ආව පුංචි කටහඬක් නිසයි.
“සිස්ටර් ජූලියා, ඔයාට පුළුවන්ද මගෙ බෝනික්කව හොයල දෙන්න ? එයා නැතිවෙලා” මේ පුංචි කටහඬේ අයිතිකාරය කවුද බලන්න පිටිපස්ස හැරුණු ඔවුන්ට දැකගන්න ලැබුණේ ඇස් පොඩි කරකර අඬන්න ලන්වෙලා තිබ්බ මූණකින් හිටිය පුංචි ගෑණු ළමයෙක්.
හැබැයි. මේ පුංචි ගෑණු ළමයව දැක්ක තෙල්ම පුදුමයෙන් ගල් ගැහුණා. තෙල්මගෙ වෙනස දැක්ක සිස්ටර් ජූලියා දරුවන්ගේ පාලිකාවට කතා කරල ඉක්මණින් මේ ගෑණු ළමයව එයාගෙ කාමරේට පිටත් කරා.
පුදුම වෙලා ඉන්න තෙල්මව ළඟ තිබ්බ පුටුවකින් වාඩි කරපු සිස්ටර් ජූලියා, තෙල්මට කතා කරා.
“සිස්ටර් ජූලියා. ඒ ගෑණු ළමය කවුද? කොහොමද එයා මන් වගේම වුණේ. එයාට තියන්නෙ පුංචි කාලෙ මට තිබ්බ මූණමයි” සිස්ටර් ජූලියාට ප්‍රතිචාර දක්වපු තෙල්මා අමාරුවෙන් එහෙම අහන්න වචන හොයාගත්ත.
“මන් ඔයාට හැමදේම කියන්නන් තෙල්මා” සිස්ටර් ජූලියා ලොකු කතාවකට ආරම්භය ගත්ත.
“ඔයා එකපාරම ගියාම ඔයාගෙ අම්ම නොසෑහෙන කම්පා වුණා. ඔයා ගියේ එයාගෙ වරදින් කියල ඇය හරීයට පසුතැවුණා. ඔයාට කැමති දෙයක් ඉගෙන ගන්න ඉඩ දෙන්නම් කියල, ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් දෙන්නම් කියල ඔයාට කියන්න ඇය නොසෑහෙන වාරයක් උත්සහ කරත් ඒ කිසිම උත්සහයක් සාර්ථක වුනේ නැහැ”
“ඊට අවුරුද්දකට පස්සෙ එරීන්ට නැවත කෙනෙක් මුණගැසුණා. ඇය ඔහුට ආදරේ කරා. හදවතින්ම. ඒත් එරීන්ට ඔහුගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගත්තට පස්සෙ තෝමස් වගේම එරින්ව අත ඇරල දාන්න ඔහුත් තීරණය කරා.”
“දෙවතාක්ම රැවටීමට ලක්වීම දරාගන්න ඇයට පුළුවන් වුණේ නැහැ. ඒත් ඔබ වගේම ඇගේ ඊළඟ දරුව වෙනුවෙනුත් ඇය සියළුම කම්පාවන් මැද රෑ දවල් දුක් විඳිමින් රැකියාව කරා. ඒත් එක දවසක ඒ හැමදේම දාල ගුවන් අනතුරක් නිසා ඔබේ අම්ම මියගියා.
ඔයා වගේම ඇගේ දෙවෙනි දරුවත් මේ අනාත නිවාසෙ තියලයි ඇය රැකියාවට ගියේ. එරීන් මියගියාට පස්සෙ අපි ඇයගේ භාරකාරීත්වය ලබාගත්ත. ඒ ඔබ දැක්කෙ සින්ඩි. ඔයාගෙ අම්මගෙ දෙවෙනි දරුව. ඔයාගෙ නංගි”
පියෙක් නැතුව දුක් විඳිමින් තමන් වෙනුවෙන් අප්‍රමාණ ලෙස වෙහෙස වූ තමන්ගේ දයාබර අම්මගේ වියෝව දරාගන්න තෙල්මට පුළුවන් වුණේ නෑ. තමන්ගේ හීන වෙනුවෙන් තමන් පියාඹද්දි අම්ම තනියෙන් හැමදේම දරාගෙන කොයිතරම් කඳුළු සලන්න ඇතිද කියල තෙල්මට මැවිල පෙනුණා.
අම්මට ඕනැම වෙලාවෙ අම්ම ලඟ නොසිටිය එකට ඇය ඇයටම ශාප කරගත්ත.
“මට එකපාරක් අම්ම එක්ක කතා කරන්න තිබුණා. මන් කවදාවත් මට සමාවක් දෙන්නෙ නෑ. අම්මෙ ඔයා හොඳින්ද කියල මට අහන්න තිබුණා” තෙල්මා එහෙම කියල කෑගහමින් ඇඬුවා.
“ඒත් මන් මගේ අම්ම වෙනුවෙන් මට දැන් කරන්න පුළුවන් ලොකුම දේ කරනව සිස්ටර්.”
තෙල්මා අන්තිමට කීවා.
ඊට පස්සෙ දවසෙම සින්ඩිගේ භාරකාරීත්වය වෙනුවෙන් අයදුම් කරන්න තෙල්ම කටයුතු කළා. නංගි වෙනුවෙන් තමන්ගෙ අම්මගෙ නිවස ලස්සනට පිළිසකර කරපු ඇය සැවානා වල ඉඳල ඇට්ලැන්ටා වලට ආයෙත් පදිංචියට ආව.
ඒ අතරේ මාසෙකට වතාවක් තමන්ගෙ පවුලෙ අයව හම්බවෙන්න ඇට්ලැන්ටා වලට ආව කර්ට්ස් තෙල්මව හොයාගෙන ළමා නිවාසෙට ආව. ඔවුන් නිතරම මුණ ගැහෙන්න පටන් ගත්තේ ඊට පස්සෙයි.
ජීවිතේ ගෙනියන්න හොඳම කෙනා ඔහු බව තීරණය කරපු තෙල්මා වැහිබර දවසක උණුසුම් අවන්හලක් ඇතුළෙදී කර්ට්ස්ගෙන් ඉදිරිපත් වුණ විවාහ යෝජනාව පිළිඟත්තේ හරිම ආදරෙන්.
සින්ඩිගේ භාරකාරීත්වය ලබාගත්ත තෙල්ම ඇයව ආදරෙන් රැකබලා ගත්ත. අම්ම කෙනෙක්ගෙ උණුසුම දුන්න. එරීන් කොච්චර ලස්සන කාන්තාවක්ද, කොච්චර හොඳ අම්ම කෙනෙක්ද කියල සින්ඩිට කියල දුන්න.
සින්ඩි දැනුම් තේරුම් තියෙන වයසට ආවම තමන්ට අම්මව මඟ හැරුන විදිහ ඇය එක්ක බෙදාගන්නත් තෙල්මට පුළුවන් වුණා.
එරීන් හැමදාම ආස කරපු විදිහට වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්න සින්ඩිට ඕන කලේ ඊට පස්සෙ වෙන්න ඇති කියලයි තෙල්ම හිතුවෙ.
කොහොම වුනත් සින්ඩි ඒ තීරණේ ගත්තෙ හරිම සැහැල්ලුවෙන්, සතුටින් නිසා ඒ ගැන හිතන්න උවමනාවක් තෙල්මට තිබ්බෙ නෑ.
ටිකෙන් ටික ඇගේ ව්‍යාපාර මුළු ඇමෙරිකාව පුරාම ව්‍යාප්ත කරපු සාර්ථක කාන්තාවක් විදිහට තෙල්මා සමාජයේ ගෞරව ආදරය දිනා ගන්න සමත් වුණා.
අම්ම තමන් එක්ක තරහ නැතුවැති කියල හිතල හිත හදාගන්න තෙල්ම උත්සහ කරා.
ඒත් හැමදාම තෙල්මට අම්ම නැති පාළුව නම් දැණුනා.
“ආදරෙයි කියන්න පරක්කු වෙන්න එපා!” තෙල්ම හැමදාම, හැමෝටම කීවෙ එහෙමයි.
Amomama inspirational stories ඇසුරෙන් පරිවර්තනය කරේ දුලානි නවෝද්‍යා