ඔයා මාව අඳුනගත්තේ නැද්ද මන්දා…

එදා මම කොහොමත් ඔන් කෝල් හිටපු දවසක්.ඒ වගේ දවසක වැඩි ඈතකට යන්න බැරි හින්දා මම ක්වාර්ටස් එකට ගියේ නාගන්න කියලා හිතාගෙන.  නගරබද මහ රෝහලක් වෙච්ච මේකේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු මාත් එක්ක තුන්දෙනෙක් වැඩ කළා.

“සර්.. ඉමර්ජන්සි පේශන්ට් කෙනෙක් .. ඉක්මනින් එන්න ..”

රත්නායක මිස් කියනකොට මම හිටියේ සබන් ගාලා ඉවර වෙච්ච ගමන්මයි.එක තප්පරෙත් ඇති මනුස්සයෙකුගේ ජීවිතයක් නැති වෙන්න කියලා අත්දැකීමෙන්ම මම දන්න හින්දා පුළුවන් තරං ඉක්මනට ඇඳුමක් දාගෙන මම hospital එකට දුවගෙන ගියා. ඒ වගේ ඉමර්ජන්සි ලෙඩෙක් ආවම ගොඩක් වෙලාවට තියටර් එකට ලෙඩාව දාල සේරම ලෑස්ති කරලා තමයි තියෙන්නේ.

“ඇයි මොකද …”

තියටර් එකට යන කොරිඩෝව දිගේ දුවගෙන යන ගමන් මං ජූනියර් ඩොක්ටර් ලක්ශ්මිගෙන් ඇහුවෙ තියටර් කිට් එක දුවන ගමන් ඇදගන්න ගමන්..

“සර්.. එක්ටොපික් එකක් වගේ.ඒත් හරියටම හොයන්න බෑ.ඒ අම්මගේ ප්‍රග්නෙන්සි ටෙස්ට්  එක නම්  පොසිටිව්.. මේ අම්මගේ තුන්වෙනි බබා.. “

“ඇයි හරියටම හොයන්න බැහැ කියලා කියන්නේ…”

“නෑ සර්.. එයාගෙ යටිබඩ හරියෙ ලොකු ඩාර්ක් පැච් එකක් තියෙනවා . නිකන් හරියට කවුරුහරි ගහලා වගේ..එයා කිසිම දෙයක් කියන්නේ නෑ..”

“හොස්පිට්ල් පොලිස් රිපෝර්ට් කලාද…”

“සොරි සර්.. එච්චර දෙයක් කරන්න හම්බවුණේ නැහැ.. පේෂන්ට අමාරුයි වගේ දැනිච්ච නිසා සර්ව ගෙන්න ගන්න තමයි මම ට්‍රයි කළේ.”

“නෙවර් මයින්ඩ් ලක්ශ්මි වෙල්ඩන්…
අපි බලමු..”

මම තියටර් එකට ඇතුල් වෙනකොටත් පේෂන් හිටියේ ලොකු වේදනාවකින්. එයාගේ යටි බඩ පුරාවටම ලොකු කළු ලපයක් තිබුණා. ඒ ලපය දැක්ක ගමන් මට දැනුනා ඒක කවුරු හරි කෙනෙක් එයාගේ බඩට පයින් ගහපු එකක් කියලා. ඒ වෙනකොට පේෂන්ගේ බඩේ හිටපු දරුවා නැති වෙලා කියන එක නම් මට තේරුණා.බාහිරින් කිසිම ලේ වහනයක් සිද්ධ නොවන හින්දා  මට බය හිතුනේ අභ්‍යන්තරයෙන් ලේ වහනයක් වෙනවද කියන එක ගැනයි. ඒ හින්දා ලෙඩාව ඉක්මනින්ම සැත්කමකට ගන්න වෙනවයි කියන එක මට තේරුණා.
නිර්වින්දන වෛද්‍ය සමරසිංහ ගේ ඉක්මන් කම හින්දා  මට ඉක්මනින්ම වැඩේ කරගන්න පුළුවන් වුණා.හිතුවා වගේම මාස දෙකක පුංචි කලලය ගර්භාෂය ඇතුලේ තැලිලා පොඩිවෙලා ගිහිල්ලා තිබුණා. ගර්භාෂයටත් හානි වෙලා තිබුණා.අපි තව විනාඩියක් පරක්කු වුනා නම් අභ්‍යන්තර ලේ වහනය හින්දා මේ ලෙඩාගේ ජීවිතය වුණත් අනතුරේ වැටෙන්න තිබුණා.වෙන කරන්න දෙයක් නැති නිසා මට පේෂන්ගෙ ගර්භාෂය අයින් කරන්න සිද්ධ වුණා.  කොහොමවත් මට මේ  අම්මගේ ගර්භාෂය බේර ගන්න බැරුව ගියේ  ඒක ඒ තරමටම ඩැමේජ් වෙලා තිබිච්ච නිසයි.සාමාන්‍යයෙන් මේ විදිහට ශරීරයේ කොටස් අයින් කරනකොට අපිට පේෂන්ගෙන් හරි එයාගේ බාරකාරයාගෙන් හරි කැමැත්ත ලබා ගන්න සිද්ධ වෙනවා. ඒත් මේ ගෑනු මනුස්සයාව ගෙනල්ලා තිබුණේ පාරේ ත්‍රීවීල් එකකින්.කිසි කෙනෙකුගෙන් කැමැත්ත ඉල්ලන්න තරම් වෙලාවක් තිබුණේ නෑ…හැමදේම ඉවර වෙනකොට පැයකට වැඩිය වෙලාව ගිහිල්ලා තිබුනා.

“මොකද්ද සර් වෙලා තියෙන්නේ?”

ලක්ශ්මි ඇහුවේ  බයෙන් වගේ කියලා මට හිතුනා.

“ඉට් ශුඩ් බී ඩෝමෙස්ටික් වයලන්ස්..”

මගේ ජීවිතයේ මම කොයි තරම් ගර්භනී අම්මලාගේ සැත්කම් සිද්ධ කරලා තිබුණත් මේ විදිහේ අවස්ථාවකට මම මුහුණ දීපු පළවෙනි අවස්ථාව වුණා.ලොකු ප්‍රචණ්ඩත්වයකට මුහුණ දීපු මේ ගෑණු පරාණය ගැන මට හරි දුක හිතුනා.සිද්ධ වුණේ මොකක්ද කියන එක හරියට දන්නේ නැති උනාට මේ තත්ත්වයට මේ ගෑනු කෙනා පත්වෙන්න මොන විදිහේ වටපිටාවක් තියෙන්න ඇතිද කියන එක මට හිතාගන්න පුළුවන් වුණා.. ලොකු මහන්සියකින් බේරගත්තු මේ ගෑනු මනුස්සයාගේ මූණ දිහා බලනකොට පිරිමියෙක් හැටියට මම කොහොම ඒක දරා ගත්තද කියන එක මට අදටත් හිතාගන්න බැහැ. ඒ හිටියේ අතීත සුන්දරත්ව නටබුන් තාමත් එහෙන් මෙහෙන් තියෙන අවුරුදු පනහක්  වෙලත් මම තාමත් ජීවිතේ තනිකඩව ඉන්න මගේ අතීතයේ එකම කඳුළු බිංදුව අරුනිකා… ඔව් දෛවයේ හාස්කමකට හරි දෛවය සරදමකට හරි ඒ හිටියේ අරුණිකා දල්පදාදු..දෙයි හාමුදුරුවනේ මම මගේ හිත ඇතුලෙන් කිව්වා.වටේ හිටපු කිසිම කෙනෙකුට මම පේෂන්ව අඳුරනවා කියලා කියන්න මට ඕන වුණේ නැහැ.සමහර  විට ඒක අරුණිකාට අපහසුතාවයක් වෙයි කියලා මට හිතුනා..
ඉස්කෝලෙ යන කාලේ ඉඳලා අපි ආදරය කළා. අරුණිකා හිටියෙ අපිට වැඩිය පහළ පන්තියක. අපේ අම්මා ලංසකාර මහත්තයලගේ ගෙදර උයන්න ගියා.තාත්තා  හංදියෙ කඩේ කොත්තු ගැහුවා.. අරුනිකා දල්පදාදු  සුප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් වෙච්ච විජිත දල්පදාදුගේ එකම දුව… මනුස්සකම අතින් අපි දෙන්නම සමාන වුණාට අපි වටා තිබිච්ච අනික් බාහිර ලක්ෂණ හැමදෙයක්ම අහසට පොළොව වගේ වුණා.  අපේ අම්මා උයන කෑම කන්න අරුණිකා ගොඩක් ආස උනා.මට තාමත් මතකයි අපේ අම්මගේ අඹ මාළුව කන්න අරුණිකා මග බලාගෙන හිටපු හැටි… එක දවසක් මම එයාට බත්කටක්  කවන හැටි කරුණාරත්න සර් දැකලා තිබුණා.කරුණාරත්න සර් දැක්ක ඒ තත්පර දෙක තමයි අපේ මුළු ජීවිතයම වෙනස් කළේ.. ඊට පස්සේ මුළු ඉස්කෝලෙම ගින්දරක් වගේ අපේ සම්බන්ධය ගැන දැනගත්තා.එතකොට අපේ උසස් පෙළ විභාගයට තිබුණේ හරියටම මාස දෙකයි.අරුනිකාගේ තාත්තා එයාව ඉස්කෝලෙන් අස් කරගෙන ගෙනිච්චා.  විජිත දල්පදාදු  අරුණිකාව කොහෙද නැවැත්තුවේ කියන්න මට හොයාගන්න බැරුව ගියා.මෝඩයෙක් වගේ මම හැසිරුනා.දැන් ඒ දවස් මතක් වෙනකොට මට හැමෝගැනම හිතෙන්නේ මහ තරහක්…විභාගයට මාස දෙකක් තියලා මේ වගේ දෙයක් වුණහම කුණාටු අවධියක ජීවිතේ ගෙවන තරුණ ළමයෙකුට මොනව නොවෙන්න බැරිද…දෛවයේ සරදමකට හරි දෛවයේ හාස්කමකට හරි ඒ මාස දෙක මම ගත කළේ පිස්සෙක් වගේ. අම්මා  කොයිතරම් උත්සාහ කළාද මගේ හිත හදන්න. තාත්තට නං ඒව එච්චර තේරුමක් තිබුණේ නැහැ.තාත්තා කොහොමත් වැඩිය කතා කරන කෙනෙකුත් නෙමෙයිනේ.. දැන් මතක් වෙනකොට මට අම්මා ගැන හරි දුක හිතෙනවා.කොයිතරම් නම් අම්මා මාවත් ඇදගෙන සුදීර හාමුදුරුවෝ ගාවට ගියාද.. හාමුදුරුවෝ තමයි අන්තිමට මගේ හිත හැදුවේ.. අන්තිමට විභාගයට සතියක් තියලා තමයි මම පාඩම් කරන්න පටන් අරගෙන තිබුණේ.. මොකක් හෝ වාසනාවක් තිබිලා වෙන්න ඇති මම ඒ වෙලාවේ වෛද්‍ය විද්‍යාලයට යන්න තරමටම විභාගය පාස් වුණේ. හිත හදාගත්තට පස්සේ ආපහු පරණ මාව මට හම්බ උනේ නෑ..ඉතුරු වෙලා හිටියේ  හැම දෙයක් ගැනම කලකිරිච්ච චරිතයක් විතරයි.අරුණිකා හරියට නිකං හොරු අරගෙන ගියා වගේ වෙච්චි දෙයක් නැතුව ගියා. මම වෛද්‍ය විද්‍යාලයට ආවට පස්සෙත් පුළුවන් තරම් අරුණිකා ගැන හෙව්වා.සෑහෙන කාලයකට පස්සේ ආරංචි වුණා කොළඹ පැත්තෙ ලොකු ව්‍යාපාරිකයෙක්ට අරුණිකාව කසාද බැන්දුවා කියලා..
ජීවිතයේ බොහොම දුෂ්කර කාල අමතක කරන්න මම කරපු එකම දේ..වැඩ කළා වැඩ කළා වැඩ කළා.
ඉවරයක් නැතුව වැඩ කළා.සමහර දවස් වලට මම කැම්පස් යන්න උදේට නැගිට්ටහමත් මම කල්පනා කළා මගේ ඔළුවේ තියෙන මේ බර මොකක්ද කියලා?..ඒ මෙන්න මේකයි කියලා මට කියන්න පුළුවන්කමක් තිබුණේ නෑ..  සමහර මිනිස්සුන්ට පුළුවන් අපේ හිත් ඇතුලේ සදාකාලික හිස්තැන් හදන්න.  අරුණිකා ඒ විදිහට මගේ හිත ඇතුලේ සම්පූර්ණයෙන්ම සදාකාලිකවම හිස්තැනක් හදලා ගිහිල්ලා තිබුණා.කොයිතරම් ගෑණු ළමයින්  මාත් එක්ක කතාබහ කරලා හිටියත් මාත් එක්ක එකට වැඩ කළත් මට ඒ කිසිම කෙනෙක් ගැන කිසිම විශේෂත්වයක් දැනුනේ නැහැ. මම අවුරුදු අටක් මුතූර් වල ප්‍රාදේශීය රෝහලක වැඩ කළා.ඊට පස්සේ මගේ විශේෂඥ වෛද්‍ය උපාධිය වෙනුවෙන් රට යන්න සිද්ධ වුණා.ඒ අතර කාලයේදී තාත්තා නැති වුණා. විජිත දල්පදාදුත් ඒ කාලෙදිම නැති වුණා කියලා ආරංචි වුණා. මළ ගෙදර ගියා නම් මට අරුණිකාව කොහොමහරි හම්බෙනවා කියලා හිතුන වාර අනන්තයි අප්‍රමාණයි. ඒත් මට ආරංචි වෙච්ච විදිහට අරුණිකා කසාද බැඳලා හින්දා එයාගේ ජීවිතය ආපහු සැරයක් අවුල් කරන්න මට කිසිම උවමනාවක් වුණේ නෑ..

“සර්… පේශන්ට් ඕකේ වගේ.. අපි වෝඩ් එකට දාන්නද…”

මට හිතුනා මම හොඳ වෙලාවට මුහුණු ආවරණය ගැලෙව්වේ නැත්තේ කියලා.එහෙම උනානං සමහරවිට අරුණිකා මාව අඳුනගන්නත් තිබුණා.

“මිස් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා.මේක අනිවාර්යයෙන්ම inform කරන්න හොස්පිටල් පොලිස් එකට.මේ පේශන්ට කවුරුහරි පහර දීලා තියෙනවා.මේක මිනීමැරුමකට සමාන දෙයක්.”

“සර් අපි ගොඩක් උත්සහ කලා එයාගෙන් දැනගන්න මොකද වුනේ කියලා.එයා කියන්නෙම එයා ලෙස්සලා  වැටුනා කියලා. පාරෙ යනකොට එයා ලෙස්සලා වැටුනා…ළඟ හිටපු ත්‍රිවිල් එකකට නැගලා එයා ඉක්මනටම ඉස්පිරිතාලෙට ආවා කියලා තමයි කියන්නේ.”

“දැන් එතකොට එයාගෙ මහත්තයට මේ බව දැනුම් දුන්නේ නැද්ද..”

“දැනුම් දුන්නා ඩොක්ටර් … පේශන්ට්  සීරියස්ලි කියනවා එයාට කවුරුවත් පහර දුන්නේ නෑ කියලා. එයා  එහෙම කියනකොට අපිට පොලිසියට ඉන්ෆෝම් කරන්නත් බෑ.. දන්නවනේ..ඊට පස්සේ ඒගොල්ලෝ අපිට විරුද්ධව මානව හිමිකම් එකට යනවා නැති ප්‍රශ්න මවලා පෙන්නන්න උත්සාහ කළා කියලා…”

රත්නායක මිස් කියන කතාව ඇත්ත කියලා මට හිතුනා.පහුවදා මම වෝර්ඩ් රවුන්ඩ් යන්න ආවහම හිතලම මුහුනු ආවරණය දාගත්තෙ මට හිතුණා අරුණලී මාව දැක්කහම එයාගේ හිත රිදෙයි කියලා. අරුනලී ගෙ තත්ත්වය සෑහෙන්න හොඳ අතට තිබුණ හින්දා පහුවදාට ටිකට් කපන්න පුළුවන් බව මම එයාට කිව්වා. ඉස්කෝල කාලෙ වගේම එයා හරි ලස්සනට මාත් එක්ක හිනා උනා.

” සර්.. අර පේශන්ට් ගෙ හස්බන්ඩ් ආවනේ.. මම නම් හිතන්නේ ඒක මිනිහගෙම  වැඩක් තමයි. මිනිහා සෑහෙන්න බය වෙලා හිටියේ. මම මෙතන ඉඳන් බලාගෙන හිටියේ සර්… මිනිහා අරුණළි ගාවට ගිහිල්ලා මොනවද කුටු කුටු  ගෑවා. ඒ ගෑණු කෙනත් මාර භාණ්ඩයක් තමා. ඔලුව නමාගෙන හිටිය.අනික් පොඩි උන් දෙන්නත් දෙපැත්තෙන් එල්ලි එල්ලි හිටියා. ගෑනි කොච්චර උනත් මිනිහව බේරුවා…”

එදා උදේ මගේ මේසේ ළඟට ඇවිල්ලා රත්නායක මිස් මට විස්තරය කියනකොට ඇත්තටම මට අරුනිකා ගැන ඇති වුණේ ලොකු දුකක්. ඇත්ත කිව්වොත් සිද්ධ වෙන්නේ තමන්ගේ මනුස්සයව හිරේට යන එකයි.බොරු කියල බොරුවෙන් කතාව වහගත්තොත් අරුනිකා ට ටිකට් කපාගෙන යන්න තැනක් ආපහු තියෙනවා. එතකොට අරුනිකා ගේ ළමයි දෙන්න අනාත වෙන්නෙත් නැහැ.මොන දහ දුක හරි විඳගෙන හුඟක් අම්මලාට ඉවසන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේවා හින්දා තමයි. සමහර විට අරුනිකා ගේ තාත්තා දැන් නැති හින්දා එයා ගොඩක් අසරණ වෙලා ඇති කියලා මට හිතුනා. පහුගිය හැම මතකයක්ම ආපහු ඒ සිද්ධියෙන් පස්සේ මට මතක් වුන හින්දා මට හිතුණා මගේ වේදනාව අලුත් වුණා කියලා.සමහර වෙලාවට මට හිතුනා වැඩකට නැති දෙයක් වෙනුවෙන් මම තවමත් දුක් වෙනවා කියලා.

මට එයාව බේරගන්න පුළුවන් සීමාවෙන් මම එයාව බේරගත්තා.ඉන් එහාට මට කරන්න දෙයක් නෑ. පහුවදා දවසම මට ගොඩක් ඔපරේශන්ස් තිබුන හින්දා මට වාට්ටුවට එන්න වෙලාවක් නැතුව ගියා.ඊට පහුවෙනිදා මම උදේ වාට්ටුවට යනකොට අරුනිකා ටිකට් කපාගෙන ගිහිල්ලා තිබුනා. කන්ඩිශන්ස් හොඳ ලෙඩ්ඩුන්ගේ ටිකට් කපලා අරින්න කියලා මං කලින් දවසෙ ඩොක්ටර් ලක්ශ්මිට ට කියලා ගියා.

“සර් … අර අරුනිකා කියලා පේශන්ට් කෙනෙක් උන්නෙ. එයා ඊයෙ ඩිශ්ශාර්ජ් කලානෙ..  මෙන්න මේ ලෙටර් එක සර්ගෙ අතටම දෙන්න කියලා මට දුන්නා . ..
සර් එයාව දන්නවා ද..”

රත්නායක මිස්  එහෙම අහන ගමං හතරට විතර නමපු කොලයක් මට දුන්නේ සර් පූසා වගේ උන්නට රජ වැඩ කාරයෙක්නෙ කියන විදිහට හිනාවෙන ගමං මයි….

දයාබර රන්දුනු…
ඔයා මූණ වහගෙන හිටියට… ඔයාව අඳුනගන්න බැරි මගෙන් ඇති වැඩක් තියෙනවද..
මට හරිම සන්තෝසයි ඔයාව මේ විදියට දකින්න ලැබීම ගැන.ඔයා හිතුවා හරියටම හරි.
සනත් කියන්නෙ මහා නපුරු මිනිහෙක්. සනත් පයින් ගහලා තමයි මට මේ විපත සිද්ධ වුණේ.ඒ උනාට ඒ ඇත්ත කතාව මම කිව්වනම්..මාත් මගේ දරු පැටව් දෙන්නත් අනාථ වෙනවා.සනත් මට වැරැද්දක් කළේ කියලා මම කිව්වනම් සමහරවිට එයාට නීතිය ක්‍රියාත්මක වෙයි.ඒත් ඉන් පස්සේ මට මොකද වෙන්නේ?..මගේ දරුවන්ට මොකද වෙන්නේ?..තාත්තා නැතිවෙච්ච බව ඔයා දන්නවා..අම්මා වයසයි.අම්මා ඒ කාලෙමයි  සේරම ඉඩ කඩං විකුණලා මගේ පොතට සල්ලි දාලා දුන්නේ .  අම්මා ඉන්නෙත් මාත් එක්ක.. තව ටික දවසක් මම මේ විදිහට ඉවසගෙන ඉන්නවා.දරුවෝ ලොකු උනාට පස්සේ මට ඕන දෙයක්…
එදා තාත්තා මාව ඉස්කෝලෙන් අස් කරගෙන ගියාට පස්සේ සෑහෙන කාලයක් යනකම් මම බලාගෙන හිටියා ඔයා මාව හොයාගෙන එයි කියලා..මම තාත්තට හොරෙන් ඔයාලගේ ගෙදරට ලියුම් කීපයක් එව්වා.ඒවා හම්බ වුණා ද නැද්ද කියන්න මම දන්නේ නැහැ…
සමහරවිට ආයිත් කවදාවත් අපි හම්බ වෙන එකක් නෑ.
ඔයාගේ නෝනා දකින්න ආසයි…
මේ කොලේ පුංචියි… එහා පැත්තෙ ලෙඩාගෙන් ඉල්ලගත්තේ…
ඔයා මාව අඳුනගත්තේ නැද්ද මන්දා…
මම අරුනිකා ….

කණ්නාඩි දෙක අස්සෙන් මගේ ඇස් වල කඳුළු පිරිලා කියලා මට හිතුණා.

“ඔයා මාව අඳුනගත්තේ නැද්ද මන්දා”..

ඒ වාක්‍ය ඇතුලේ කොයිතරම් දේවල් තිබුනද කියල මම කල්පනා කරන්න පටන් අරන් තිබුණා…

More Stories

Don't Miss


Latest Articles