“අම්මා මෙයාගෙ ෆෝන් එක අරගන්න. නැත්‍තන් කීයටවත් ඔය සම්බන්දෙ මෙයා නතර කරන්නෙ නෑ” කියා මුල්ම තහංචිය දැම්මේ අයියාය. තාත්තාත් නැති ගෙදර මුල් තැනක් කොහොමත් අයියාට හිමිව තිබුණේ නිරායාසයෙනි. අම්මා අයියාගේ බස් අනුව සිසිමාධවීගේ පෞද්ගලික ජංගම දුරකතනය තමා භාරයට ගත්‍තාය.
“ඔහොම මානසික හිරිහැර කරාට ඔය ළමය ඕක නවත්තයි කියල ඔයා හිතනවද සරෝජා?” අම්මාත් පිටරට හිඳින තාත්තාත් අතර වූ කතා බස් සියල්ල පසුගිය කාලයේම වෙන් වී තිබුණේ තමා වෙනුවෙන් බව නොරහසක් හන්දාම මේ කතා සියල්ලටම රහසේ කන්දෙන්න සිසිමාධවී කටයුතු කරාය.
“ඔයා කියන්නෙ මට වෙන මොනව කරන්න කියලද? බබා දැන් ඉන්නෙ අපි කියන දෙයක් අහන තැනක නෙවෙයි. හරිම මුරණ්ඩුයි. සමුද්‍ර ඒත් කියනව ක්ලාස් යන එකත් නවත්තල ගෙදරට ටියුටර්ස්ලව එක්කරගෙන උගන්නන කියල”
“අනේ සරෝජා අපි ඉස්කෝල යන කාලවලත් කොල්ලො කෙල්ලො යාලු උනා. ඒ අම්මල ඔහොම තහංචි දැම්මද?”
“ඉස්සර වගේ නෙවෙයි සෙනේ, මේ ළමය පුදුම මුරණ්ඩු වෙලා මට හරි බයයි මෝඩකමක්වත් කරගනීද කියල”
“ඔය ෆෝන් අරගෙන, පංති යන එක නවත්තල තහංචි දැම්මම නම් ඒ ළමයට තමන්ගෙ ගෙදර හිරගෙයක් වගෙ පෙනිල ගොංකමක් කරගන්න බැරි නෑ. ෆෝන් එක ගත්තට කමක් නෑ. ක්ලාස් නොයව ඉන්න එපා. කවද කියල හංගන් පරිස්සම් කරන්නද? අනික ස්ටඩීස් වලට බාදාවක් කරන්න එපා. මං හිතන්නෙ නෑ බබා එච්චර මෝඩ වැඩක් කරාවි කියල” කියා තාත්තා කිව්වද අවසානයේ වූයේ එයම නොවේද? අම්මලාගේ දරු දුක වෙනුවෙන් පැනවූ තහංචි තම ආදරයට එල්ල කල බාධාවක් නම් එය ජයගනිමියි කියා සිතා අම්මා නාන කාමරයේ හිඳි මොහොතක ගෙදර දුරකතනයෙන් කෝසල අමතා “අනේ මාව එක්කරගෙන යන්න” කියූ කතාව අවසන් වූයේ මෙතැනිනි.
අම්මලට හසු වේ යැයි බියෙන් කෝසල රස්සාවෙන් අස් වූ අයුරුත් ටික දිනක් කුරුණෑගල කෝසලගේ මිතුරෙකුගේ ගෙදර උන් අයුරුත් සිසිමාධවීට අමතක නැත.
අයියාත් අම්මාත් තාත්තා උන් රටට ගොස් තිබුණේ ලැජ්ජාවත් වේදනාවත් දරාගන්න බැරුවය. රත්නායක වලව්වේ එකම දෝණිය ගැරජ් බාස් කෙනෙකු සමග පැන යාම එයට හේතුවක් වූ බව සිසිමාධවීට නොරහසකි.
“කෝසල මොකද ළමයො කිව්වේ?” කුස්සියේ කරවල හොද්ද හැඳි ගාමින් උන් සිසිමාධවී වෙත ආ කෝසලගේ මව පුෂ්පලතා අසන්නේ මායාකාර හිනාවක් දෙතොලේ රඳවාගෙන යැයි සිසිමාධවීට හිතේ. ඒ මායාකාරි හිනාව පිටිපස්සේ ඇත්තේ කුලියක් නොගෙවා කෝසල ලව්වා වැඩකරවා ගැනීමේ අදහස බව නොරහසකි. එහෙත් මේවා ඉතින් තරහ අරගෙන විසඳගන්න බැරි හන්දම ඉවසිය යුතු ඒවාය.
“මං කිව්ව අම්මෙ, එයා වැඩපලේ බොස් එක්ක කතා කරල බලනව කිව්වා, නිවාඩුවක් ගන්නත් ඕනනෙ”
“මං මේ අහන්නත් ආවෙ, ඉක්මන් කරල කරගන්නත් එපැයි. මේ වතාවෙවත් ඔය මගුල තින්දු උනොත් ඉතින් අපේ හිතටත් හරි සැනසීමක් නෙව. නැත්තම් ලොක්කි දැන් තිස් ගානකුත් වෙලා ගෙදෙට්ට වෙලා ඉන්න එක ඕනම අම්මෙක්ට හිතේ වේදනාවක්නෙ. ඔන්න ඔය ළමයිගෙ අම්මලටනම් මොන ලැජ්ජාව උනත් ඒ හිත් කරදරෙන් බේරෙන්න ලැබිච්ච එකම වාසනාවක්”
ඔය කතාව නැන්දම්මා කියූ මුල් අවස්තාවල වරෙක හඬන්නටත් වරෙක කෝප ගන්නටත් හේතුවක් වුවද දැන් නම් ඕවා මුණින් අතට නැමූ කළයක් උඩට වතුර වක්කරනවාක් වැනි දෙයකි. මැය තනන්නේ තමන්ගේ අතීතය මතක් කර හිත රිද්දන්න බව සිසිමාධවී නොදන්නවා නොවේ.
“හ්ම්ම්ම්”
“ඔය උත්පලාව බලන්න එන හාදයා හොරණ පැත්තෙ හොද වැදගත් පවුලකනෙ. වැඩ කරන්නෙ ඔය ටෙලි නාට්ටි හදන මොකක් හරි ඔපිස් එකකලු. ඒකලු මේ කොළඹින් බින්න බහින්න තැනක් හොයන්නෙ”
“අහ්හ් එහෙමද?”
“ඔව් දෑවැද්දක් එහෙම ගැන කතා නොකරට මොකෝ ඉතින් දූල ඉන්න අම්මල ඒ යුතුකම් දැනකියාගන්න එපාය. නැත්තම් කසාද බැඳල ගියයින් පස්සෙ තමයි ඕව පස්සට ප්‍රශ්න වෙන්නෙ” කියා නැන්දම්මා ආයෙ හදන්නෙ හිස වටේ අත දා නහය අල්ලන්න බව සිසිමාධවී දනී. ඕව ඉතින් මේ පහුගිය අවුරුදු අට පුරාවටම හොඳින් පත්තියම් වූ කතාය.
“අක්කට නම් එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නෑ අම්මෙ”
“ඇයි?” පුශ්පලතා අහන්නෙ කුතුහලයෙනි. ඉස්කෝලෙ අහවර වෙන්න කලින් ආවද සිසිමාධවී ගෙදර වැඩට බුහුටියකි. ඒ අතින් මොන තරම් සැප සම්පත් දුන්නත් ඒ ගෙදර මව් දෙමව්පියන් දෝණියැන්ද හදා ඇත්තේ හොඳට බව පුශ්පලතා අනන්තව අවුරුදු තිස් එකක් උනත් තාම පරිප්පුවක්වත් හදාගන්න බැරි උත්පලාට වගපල කියද්දී කියා තිබේ. එහෙත් කිසිම දිනක සිසිමාධවීගේ මුහුණට ඇය අගයන්න පුශ්පලතාට හිතක් නැත.
“නෑ ඉතින් කසාද බැඳල ගියොත්නෙ අම්මෙ එහෙම ප්‍රශ්න වෙන්නෙ. මෙහෙ කසාද බැඳල යන්නෙ නෑනෙ ඒ මනුස්සය නතරවෙන්න එනව මිසක්කා” කියා වචන බර කර සිසිමාධවී කියද්දී නැන්දම්මා වදනක්වත් කියන්නේ නැතුව ආපසු යන හැටි කරවල හොද්ද ලිපෙන් බා පොල් සම්බෝලයට තක්කාලි එක්කහු කරනගමන් සිසිමාධවී දුටුවාය.
කෝසල උන්නේ වැඩපලේ භාරකරු ළඟට ගොස් නිවාඩුවක් අනුමත කරවාගන්නා අදහසිනි. අක්කාගේ මනමාලයා එන දවසට කියා ආයෙම නිවාඩු ඉල්ලන්න බැරි හන්ද තින්ත ගාන වැඩේට විතරක් දවසක් නිවාඩු ගන්න කෝසල සිතුවේය.
“අක්කව බලන්න මනමාලයෙක් එනව සර්. අම්ම ඇහුව ගෙදර තින්ත ටිකක් ගාලා දෙන්න බැරිද කියල, ඒකයි”
“කෝසල නිවාඩුවක් ගන්නෙත් ඉඳල හිටල හන්ද මට නිවාඩුව නම් අනුමත කරන එක කරන්න අමාරුවක් නෑ.හැබැයි ගොයියො ඔන්න අතමාරු නම් ඉල්ලන්න එපා ඈ”
“නෑ නෑ සර්. සල්ලි ප්‍රශ්නයක් නෑ. නිවාඩුවක් දුන්න නම් ඇති”
“හරි හරි ගන්නවකො එහෙනම්” කියා ඔහු කිව් පසු කෝසල ආයෙ වැඩපල වෙත ආවේය. තව වාහන දෙක තුනකම වැඩ ඇත්තත් පපුව පැත්තක් ඇදුම් කනවාක් මෙන් දැනෙද්දී කැස්ස ආවේ හිතුවෙ නැති තරම් දරුණුවටය. සෙමක් කියා එහෙම දෙයක් නැති එකේ මෙච්චර කැස්සක් එන්නෙ ඇයි කියා කෝසලට හිතාගන්නට බැරිය.
කැස්සේ දරුණුකමටමද මන්දා උගුර කාරාගෙන ආවේ ලේ තලියකි. “උගුරත් තුවාල වෙලා කැස්ස හැටියට” කියා සිතමින්ම කෝසල වතුර ටිකක් බිව්වේ පපුවෙ දැවිල්ල අඩුකරගන්න හිතාගෙන වගේය.
වතුර උගුර දෙක තුනක් ගිඩි ගිඩියේ උගුරට හලාගත්තද උගුරේ දැවිල්ල දරාගන්න අපහසු තරම් ය. ආපහු ස්ප්‍රේ එක අතට ගත් කෝසල වාහනයක ඉතිරි වී තිබූ අඩට පේන්ට් ස්ප්‍රේ කරන්න වූයේ ඒ අපහසුව දරාගෙනමය.
සිසිමාධවී රෑට කන්නට උයා තිබුනේ කරවල හොද්දකුත් පොල්සම්බෝලයකුත් පරිප්පු තෙම්පරාදුවක් එක්ක බතක් ය. පොඩි දෙන්නට ගුණ දෙයක් කවාගන්න ඕන හන්ද බිත්තරයක් තම්බා බාග දෙක බෙදාගෙන කැව්වාය. කෝසලට බත් බෙදන්නට හිතලාත් මාධවී කරවල හොද්ද ලිපේම තිබ්බේ උණුවෙන් කන්නට දෙන අදහසිනි.
කෝසල ගෙට ගොඩ වුනේ වැස්සත් එක්කමය.
“නිවාඩු දාන්න පුලුවන් උනාද කෝසල?”
“ලොක්කට ගිහින් කිව්වම නිවාඩු නම් දෙන්නම් අතමාරුවක් නම් දෙන්න බැරිය කිව්වා” කෝසල සිනා සී කිව්වද ඔය කියන්නෙ වේදනාවෙන් බව සිසිමාධවී නොදන්නවා නොවේ. ඔය ගරාජයේ වැඩ කරන්න ගොසිනුත් දැන් අවුරුදු හයකට කිට්ටුය. එතරම් කල් කොච්චර යහපත් කමින්, සාධාරණව වැඩ කරද ඒව ලොක්කාට නොපෙනෙන බව කෝසල කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ.
“අම්මා අදත් මගෙන් ඉඳගෙන ඇහැව්ව ඔයා නිවාඩු දැම්මද කියල”
“ඔයා හෙට කියන්න නිවාඩු දැම්මය, ඕන ප්‍රමාණෙන් තින්ත ගෙනත් තියන්නය කියල”
“අම්මා ඒවත් ඔයා ගෙනත් දෙනකම් බලාගෙන ඉන්නවද දන්නෙ නෑ”
“කරන්න පූලුවන් කමක් තිබ්බනම් මං නොකර ඉන්නෙ නෑ කියල ඔයා දන්නවනෙ මධූ. ඒත් ඒ වෙස්සන්තරකම් කරන්න ඉතින් අපිට තාම හයියක් නෑනෙ”
“හ්ම්ම්ම්, බත් බෙදන්නද?”
“මං ඇඟ හෝදන් එන්නම්”
“ළිඳට යන්න එපා. මම උණු වතුර එකක් රත්කරා. ඔයාට කැස්සත් එක්කල හන්දා”
“අපරාදෙනෙ කරදර උනේ”
“කරදර වැඩිවෙනවනෙ ඔයා ලෙඩ උනොත්, ඒ හන්දා ඔන්න උණු වතුරෙන් ඇඟ හෝදගෙන එන්න, නාන්න එපා අනේ”
“නොනා බෑ මධූ, ඔලුවෙ හිට තින්ත බිංදු. ඇලෙනව”
“අනේ කෝසල, ඉතින් ඔය කැස්සත් තියාගෙන කියන දේ අහන්නකො. ඔයා බේතක් ගන්නෙත් නෑ.කියන දෙයක් අහන්නෙත් නෑ. මං නම් ආයෙ ඇත්තමයි කියන්නෙ. ළමයි දෙන්නව මට්ටු කරගන්න ඇහැකි ඔයාවනෙ බැරි”
“ඒ කියන්නෙ ඔය හිතෙ තාම මං ගැන ආදරයක් ඉතුරුවෙලා තියෙනව නේද?” කෝසල අහන්නෙ අඬ අඳුරේ අමනාපකමෙන් මූණ නොරොක් කරගෙන පිඟානට බත් බෙදන සිසිමාධවී පිටිපස්සෙ හිටගෙන ඉණ වටා දෑත යවා බදාගනිමිනි.
“ඉතුරුවෙලා තියෙනවද කියල අහන්නෙ හරියට මං ආදරේ නෑ වගේනේ? ආදරේ හන්දනෙ දෙයියනේ මේ ඔක්කොම කියන්නෙ කරන්නෙ”
“මං හිතුව මා එක්කල ඇවිත් දුක් විඳින්න උනයින් පස්සෙ ඔයාගෙ හිතෙන් ඒ ආදරේ අඩුවෙලා යන්නැති කියල”
“එහෙම කියන්න පහුගිය අවුරුදු ගානට මගෙන් ඔයාට හිත් රිදීමක්වත් උණාද කෝසල?” කියා දෙනෙත් කඳුලින් පුරවගෙන සිසිමාධවී අසද්දී ඒ හැඬුම් නවත්තන්න කල යුත්තේ එකම දෙයක් බව කෝසල නොදන්නවා නොවේ. මේ අන්දකාරය එයට හොඳම රුකුලකි.