“දැන් ඔය කියන විදියට කෝසලට රස්සාවට යන්න වෙන්නෙත් නෑ නේද ළමයො?”
පුෂ්පලතා ඇසුවේ උදේ පාන්දරම සිසිමාධවී දරුවන්ට පාසල් ගෙනයන්නට කෑම සකසමින් ඉද්දීය. ජීවන මාර්ගයමතට නොසිතූ නොපැතූ අයුරින් කෝසල ලෙඩ වීම ටෝර්නාඩෝවක් ලෙස ආවද දරුවන් වෙනුවෙන් හෝ ජීවිතය සාමාන්‍ය පරිදි ගෙවාගෙන යා යුතු බව සිසිමාධවී දැන උන්නාය. අනෙක් අතට දුකය කියා නිරත්තරයෙන් හඬමින්, වැළපෙමින් හිඳීමෙන් මෙයට කිසිත් පිළියමක් සොයාගන්නට නොහැකි බව සිසිමාධවී නොදන්නවා නොවේ.
“ඔයා මේ බව හරිම පරිස්සමෙන් තමයි හස්බන්ඩ්ට කියන්න ඕන. ඔයාට හිතෙනවනම් ඔයාට එයාට ඒක කියන්න අපහසුයි කියල ඕන වෙලාවක මෙහෙම එන්න අපි කියන්න පුලුවන් හොඳම විදියට එයාට ඒක කියන්නම්” කියා වෛද්‍යතුමිය කියද්දී පවා සිසිමාධවී උන්නේ ඒ අසන්නට ලැබුණ වේදනාබර අනපේක්ෂිත පණිවිඩය හෙමින් සැරේ ලෙහා ගන්නට වෙලාව ගනිමිනි.
එහෙමකට කියා මුදල් ලැබෙන රැකියාවක් නොකලද, එහෙමකට කියා මේ ජීවිතය අස්සේ සැපක් කිය දෙයක් නොතිබුණද කෝසල වනාහී ගෙදර මුදුන් මුලය.ඒ මුදුන් මුල මෙසේ දෙදරීමට ලක්වීම කෝසලගේ පමණක් නොව තමන් ගේ සහ දරුවන් දෙදෙනාගේ පවා ජීවිතය දෙදරන්නට හේතුවක් නොවේද යන්න සිසිමාධවී නැවත නැවත සිතුවාය.
තමා කෝසල සමග ආවේ තමාව වැදූ හැඩූ දෙමව්පියන්වද පවා අතැර දමාය. ඒ නිසාවෙන්ම ලැජ්ජාවටත් හිත් වේදනවටත් පත් අම්මාත් අයියාත් මහ ගෙවල් විකුණා දමා වෙන රටක පදිංචි වෙන්නට ගියහ. ඒ තමන්ට මෙරට හුන් ළඟම හිතවතුන් යැයි කියන්නට හැකි අයගේ ඇසුර නැතිකර දමාය. තමාට මෙලොව දැන් ඥාතිවරයෙකු යැයි කියන්නා හිඳින්නේ කෝසලත් දරු දෙදෙනාත් පමණකි.දැන් මේ අනපේක්ෂිත අන්දමින් ලෙඩ ගාණේ හිඳින්නේ තමාට මෙලොව හිඳින එකම හිතවතාය. ජීවිතයේ දුකත් සැපත් සමව බෙදාගන්නට ආ සැමියාය.
“මට…මම හිමින් සැරේ එයාට තේරුම් කරල දෙන්නම් ඩොක්ටර්”
“මට ඔයාගෙ කන්ඩිශන් එක තේරෙනව. දැන් මුලින්ම අපි කරන්න ඕන එයාව ජොබ් එකෙන් ටිකක් ඈත් කරල තියෙන එක. තවදුරටත් එතනට වැඩට යන එක එයාගෙ කන්ඩිශන් එක තවත් නරක් කරන්න තමයි හේතුවෙන්නෙ” කියා වෛද්‍යවරිය කිව්වද එය කිරිම කෙතරම් අපහසුවක්ද කියා දැන උන්නේ කෝසලත් සිසිමාධවීත් පමණකි.
“මගේ පව් වලට ඔයාට කරගහන්න වෙච්ච එකයි මට තියෙන දුක මධූ”
කෝසලට නොපෙනෙන්නට රහසේ බොහෝ වේලාවක් හඬා රතු වූ දෙනෙත් ළිඳේ සීතල වතුරෙන් සෝදා ගත් සිසිමාධවී කෝසලට ඔහුව පෙළන රෝගී තත්ත්වය ගැන කිව්වේ එය බරපතල නමුත් එතරම්ම තමාව දුර්වල කරන්නට හේතුවක් නොවූ බවට රඟපෑමක් කරවමිනි.තමාද දුර්වල යැයි පෙන්වීම, කෝසලට පෙනෙන්නට හඬා වැලපීම ඔහුව තව දුරටත් වේදනාවක ගිල්වන්නට හේතුවක් වන බව සිසිමාධවී බොහෝ දුර සිතා තේරුම්ගත්තාය.
“ඔය වගේ ස්ප්‍රේ පේන්ට් රස්සාවල් කරන ගොඩක් අයට ඔය වගේ පෙණහල්ලෙ ප්‍රශ්න එනවෞ කෝසල. ඔයාල වැඩ කරන ගැරජ් වල එහෙම අර නාහෙ, මූණ වහගන්න හෙල්මට් වගේ ඒව දෙන්නෙ නෑනෙ”
සිසිමාධවී මේ කියන්නේ හිත ඇතුලෙබ් බුර බුරා නැගෙන වේදනාවක් අපහසුවෙන් දරාගෙන බවත් එය සාමාන්‍යකරණය කරන්නට ගන්නා වේදනාබර උත්සහයක් බවහ් කෝසලට තේරුම් ගන්නට අපහසු වූයේ නැත. කෙතරම් සැප සම්පත් පිරුණ පවුලක ඉපදුණද තමා සමග ආවයින් පසු ගෙවන්නට වූ දුක් සහගත,අඩුපාඩු පිරුණු දිවිය ගැන කිසි දිනක මැසිවිල්ල නොකියූ ඇය මේ කරන්නේත් බිරිඳක ලෙසින් කරන්නට හැකි උපරිම දේ බව කෝසල දනී. වඩාත්ම දුක ඒකය. ඇය හැඬුවානම්, වැළපුණානම් එය මීට වඩා සැනසුමක් වෙන්නට තිබුණි.
“මට ආයෙ කවදාවත් රස්සාවට යන්න පුලුවන් වෙන එකක් නෑ මධූ. ඇඟට…ඇඟට පණක්වත් නෑ.අනික මේ කැස්ස… කැස්ස එක්ක…” කියා වාක්‍ය අවසන් කරගන්නට කලියෙන් පැන නැගි කැස්ස නිසාම කතාව මගින් නතර කර කෝසල හාන්සි වී උන් තැනින් මදක් ඉඟ උස්සා පපුව අල්ලාගෙන කහින්නට විය.
“ඔයා කතාකරන්න මහන්සිවෙන්න එපා කෝසල. මං හැම තිස්සෙම කියනවනෙ. ඔය කැස්ස එක්ක අමාරුයි ඔයාට කතාකරන්න. බෙහෙත් ටික බීල නිදාගන්න. මම උයල කතාකරන්නම්”
“මට රස්සාවටවත් යන්න බැරුව අපි කොහොමද මධූ ජීවත්වෙන්නෙ? කන්නෙ බොන්නෙ? අපි කියල ඉතුරු කරගත්ත දේකුත් නෑ. හම්බ කල හැමදේම මේ ගෙදර බිත්ති ටික උස්සගන්නම වියදං උනා. කවුද හිතුවෙ…කවුද හිතුවෙ මෙහෙම…” කෝසල ආයෙ ආයෙත් කහිද්දී කෑගසා හඬන්නට හිතෙන අන්දමේ බියක් හිත වෙලාගත්තද හෙම්න් සැරේ කෝසලගේ පපුව එකාතකින් අතගාන ගමන් ඔහුව නිදියන්නට පෙළඹවූ සිසිමාධවී ඒ බියජනය සිතුවිලි සියල්ල හිත අස්සේම ගුලිකරගත්තාය.
එදා රෑ සිසිමාධවීට එක තප්පරයක්වත් සැනසිල්ලේ ඇහැ පියා ගන්නට හැකි උනා යැයි කියන්නට නොහැක. කෝසලට සැපට නිදියන්නට ඇඳට යන්නට දෙන්න තිබුණද දරුවන්ට මේ කිසිවක් ගැන ඇත්ත කියන්න කෝසල ඉඩ දුන්නේ නැත.
“මට ඉක්මනට සනීප වෙයි මධූ. දරුවන්ට මේව ගැන කියන්න එපා. පොඩියිනෙ. තේරෙන්නෙත් නෑ අනික බයත් වෙයි.”
“කවදහරි දැනගන්න එපාය කෝසල”
“ඒකටකමක් නෑ. අපි පස්සෙ කියමු.මට බිම නිදාගන්න පුලුවන්. බිම නිදාගත්ත කියල මුකුත් වෙන්නෙ නැ. ඕනතරම් මිනිස්සු බිම නිදියන්නෙ.දරුවන්ට ඇඳේ නිදියන්න දෙන්න”
මුලු රෑ තිස්සේම සිසිමාධවී උන්නේ නින්දත් අඩ නින්දත් අතරය. විටෙක කෝසල නොනවත්වා කහින සද්දෙට ඇහැරෙද්දී තවත් වරෙක අමුතුම ආකාරයේ බයංකාර හීන දැක සිසිමාධවීගේ නින්ද කැඩුණාය. මෙතුවක් අවුරුදු ගාණකට මදුරුවන් තලමින් ද, බිම සීතලද දරාගනිමින් කෝසල තුරුල්ලේ තමාට ලැබී තිබුණේ සැපදායක නින්දක් බව සිසිමාධවී තේරුම් ගත්තේ ගෙවුනු නිදි නොලැබූ රාත්‍රියේය.
රැයේ නින්දක් නැති උනද සිසිමාධවී උදේ සුපුරුදු වෙලාවට ඇහැරුණාය. කෝසල වැඩට යන්නේ නැති උනද දරුවන් දෙදෙනාට පාසල් ගෙනයන්නටත්, කෝසලට බෙහෙත් බොන්නට කලින් කන්නටත් කෑම වේල සකසන්නට උවමනාය.බත් හැලිය ලිපේ තැබූ සිසිමාධවී පරිප්පු හෝදා වතුර ටික කුස්සිය පිටිපස්සේ වලං මැස්ස ලඟ හිටවා තිබූ කංකුං පාත්තියට හලද්දී පුශ්පලතා ළිඳ අද්දරින් තම ගෙමිදුලේ සිට සිසිමාධවී අසලට ආවාය.
පෙරදා සිසිමාධවී විසින් කියන්නට යෙදුණ කෝසල ගැන කතාව පුශ්පලතාගේ හිතද හොල්ලා තිබූ වග රහසක් නොවේ. මොන දේ උනත් ඒ තමගේ කුසින් වැදූ දරුවාය. තාත්ත මිය ගිය පස් ගැරජයේ වැඩට ගොස් විවාහ වන තුරුම ගෙදර බර කරට ගත් කොල්ලාය. අද ඔහු මෙසේ අසනීප වී හිඳින්නේ ඒ යුතුකම් ඉටු කිරීමට ගොසින් බව පුශ්පලතාට අමතක කරන්නට නොහැක.
“දැන් ඔය කියන විදියට කෝසලට රස්සාවට යන්න වෙන්නෙත් නෑ නේද ළමයො?”
පුශ්පලතා ඇසුවේ විසල් කල්පනාවක ගිලී පරිප්පුවට ලූණු ලියා එක්කරන සිසිමාධවී දෙසබලාගෙනය. කෝසල මෙයට වසර අට නවයකට පෙර එක්කරගෙන එද්දී උන් රෝස පාට කම්මුල් ද, පිරුණ සිරුරක්ද තිබූ කෙල්ල අද වන විට හීන්දෑරි ඇඟක් ද, කෙට්ටු මූණක්ද ඇත්තියක වී හිඳින්නේ දුක් විඳීම නිසා බව පුශ්පලතා නොදන්නවා නොවේ.
“ඔය මාළිගාවල කෙල්ලොන්ට පුලුවන්ද බං මේ අපි ඉන්න හැටියට ඉන්න? ඇවිල්ල දුක් විඳිද්දි මාසෙන් දෙකෙන් ඕකුන් දමල ගහල යාවි” කියා ඒ දවස්වල කිව්වද ඒ සියල්ල බොරු කරමින් කෝසලටත් දරු දෙදෙනාටත් ආදරයෙන් සැලකූ කෙල්ල මෙහෙම ප්‍රශ්නෙකට මූණ දීම ගැන පුශ්පලතාට දුකක් නොවුණා යැයි කියන්නට නොහැක.
ගෑණුන්ගේ දුක දන්නේ ගෑණුන්මය. ගෑණු දුක දරාගන්න හැටි දන්නේත් ගෑණුන්මය.
“ආයෙ රස්සාවට යන්න දෙන්න එපා කියල දොස්තර නෝන කිව්වා අම්මේ” සිසිමාධවී කියන්නේ අඬන්න බැරිකමට මෙන් හීන් කටහඬකිනි.
“දැන් කෝසලට රස්සාවකට යන්න වෙන්නෙත් නැති එකේ ඔය ළමය මේ ගෙදර වැඩ හෙම කොහොමද කරන්න බලන්නෙ?”
“මොනවහරි කරන්න වෙනවනෙ අම්මේ. කෝසලට රස්සාවට යන්න බැරිඋනාය කියා මොකෝ දරුවන්ට කන්න නොදී ඉන්නද? උන්ව ඉස්කෝලෙ නොයව ඉන්නද?”
“අනේ මන්ද ළමයො ඉඳල ඉඳල මෙ මොන අපලයක්ද කියල සිද්ද උනේ?”
“අපි හැමෝගෙම කරුමෙ අම්මේ, වෙන මොකද්ද?” සිසිමාධවී කියන්නේ ආයෙම අර හීන් කටහඬිනි. මෙතන ඉඳන් කියන ඒවා කෝසලට ඇහෙන්නේ නැති බව ඇත්තක් වුණත් අමාරුවෙන් මෙල්ල කරගෙන ඉන්න හිත ආයෙම වට්ටවන එක කඳුලු බිංදුවකට උනත් ඉඩ දෙන්න නරක බව සිසිමාධවී සිතුවාය.
“මං අද හවසට පන්සලට යනවා, බෝධි පූජාවක් කරන්න, ඔය ළමයත් එනවද?” කුස්සියේ මැටි පඩිය උඩ හිඳ ආපහු යන්නට අඩියක් තබා පුශ්පලතා හැරී අසද්දීත් සිසිමාධවී උන්නේ මහා කල්පනාවක ගිලී ලූණු මිරිස් ලියමිනි.
“මං බලල කියන්න අම්මෙ. හවසට පොඩි ගමනක් යන තියෙනව මට.ඒ වැඩේ බලාගෙන කලින් එන්න පුලුවන් උනොත් මම එන්නම් පන්සලට යන්න”