“විභාගෙ ෆේල් වෙලානම් උඹ ගෙදර එන්න එපා, උඹවත් මරල මමත් මැරෙනවා”
ඔය සද්දෙ ඉතින් අල්ලපු ගෙදරින් ඇහෙන වාර ගණනාවක් පාසා හිමංගි කල්පනා කරේ තමන්ගෙ දරුවා ගැන. අල්ලපු ගෙදර සුධීරයි තමන්ගෙ පුතා මේනුකයි එකම ඉස්කෝලෙ එකම පංතිවල. ඇත්තටම කිව්වොත් මේනුකට වඩා සුධීර දක්ශ බව හිමංගි දන්නවා. ඒ නිසාම හිමංගි සුධීරට හරිම ආදරෙයි. ඒ උනාට සුධීරගෙ අම්ම නම් සුධීරට පොඩ්ඩක්වත් ආදරෙන් සැලකුවද කියන එක ගැන හිමංගි තමන්ගෙන්ම ප්‍රශ්න අහපු වාර අනන්තයි.
“බැනල ගහල නැතුව ළමයි හදන්න බෑ හිමංගි, ඒ ලෙවල් ෆස්ට් ශයිම හොඳ කැම්පස් එකකට යන්න බැරිඋනොත් වැඩක් තියෙනවද? මම නම් කියල තියෙන්නෙ ගෙදර එන්න එපා කියල විභාගෙ හොඳට කරගන්නෙ නැතුව. බැරිකම නෙවෙයි මෙයාලට උනන්දුවක් නැතිකම. ඔය රෑන්ක් දාල කැම්පස් ගිය ළමයි කවදාවත් පොත බිමින් තියන්නෙ නෑ. ඒකට මෙයාලා මේ සෙල්ලමට යනව.
මම ඕලෙවල් කාලෙම ක්‍රිකට් ගහන එකත් නැවැත්තුවෙ නැත්තම් ඒ විභාගෙ හරියට කරගන්නෙත් නෑ” කියල සුධීරගෙ අම්මා සමීලා හිමංගි එක්කම කීප සැරයක්ම කියල තියෙනවා.
උසස් පෙල පංතිවලදි, විශේෂයෙන්ම මැත්ස් ඉගෙන ගනිද්දි ඉතින් ඔය ඕලෙවල් පංතිවල වගේ ලකුණු සීය අනූව ගන්න අමාරුයි කියන එක දන්න හන්දම හිමංගි මේනුක හොඳ ලකුණු ගන්න හැමවෙලාවකම එයාව හරියට දිරිමත් කරාට මොකෝ ටර්ම් ටෙස්ට් ඉවරවෙලා ලකුණු අරගෙන ගෙදර යද්දි සුධීරගෙ මූණෙ ඇඳිල තියෙන බය දැක්කම හිමංගිට හිතට වේදනා දැනිච්ච වාර අනන්තයි.
“කම්බයින්ඩ් මැත්ස් පේපර් එකට ලකුණු හැට හතක් කියන්නෙ කොච්චර හොඳද පුතා? අපේ එක්කෙනාට පනස් ගානක්. විභාගෙට තව කොච්චර කල් තියෙනවද තව මහන්සිවෙල ඊලඟ වතාවෙ හොඳ ලකුණක් ගන්න” කියල හිමංගි සුධීරට එහෙම කිව්වෙ අයිස් පලමක් අතේ තියන ගමන්.
ඒ අයිස් පලමෙ හීතලට සුධීරගෙ හිතේ තියෙන ගින්දර සහමුලින්ම නිවන්න බැරි බව දන්නව උනත් එහෙම හරි දෙයක් ඒ දරුව වෙනුවෙන් කරන්න පුලුවන් වෙච්ච එක ගැන හිමංගි සතුටු වුණා.
“ලකුණු හැට ගාණක් අරන් පුලුවන්ද උඹට කැම්පස් යන්න? මං උබට කිව්ව විභාගෙ දවස්වල තව පාඩම් කරපන් කියල. කැම්පස් යන්න පුලුවන්ද ඔහොම වැඩ කරල? මිනිස්සු රිසල්ට් ඇහුවම රෙද්දක් ඇඳන් කියන්න පුලුවන් රිසල්ට් එකක් අරගෙන මිසක ඔන්න මෙහෙ එන්නෙ නෑ” කියල සුපුරුදු විදියට සමීලා කෑගහනව හිමංගිට ඇහුනා.
උසස් පෙල විභාගෙ ඉවරවෙලා සුධීරයි මේනුකයි දෙන්නම එකටම තමා කම්පියුටර් ක්ලාස් යන්න පටන් ගත්තෙ. මුල් දවස් ටිකේ හොඳට හිටියට දවස් ගෙවෙද්දි තමා හිමංගිට තේරුනේ සුධීර මොකක් හරිම ප්‍රශ්නයක් හිතේ තියාගෙන ඉන්න බව. පිරිමි ළමේක් හන්ද තමන්ට ඔය විත්තිය කියන්න කැමතිවෙයිද කියල හිමංගි හිතුවට සුධීරගෙ මූණෙ ඇඳිල තියන බැල්මට යටින් හැංගිච්ච කතාව මගාරින්න හිමංගිට ඇත්තටම පුලුවන් කමක් තිබුනෙ නෑ.
“පුතා ඇයි අවුලෙන් වගෙ ඉන්නෙ? මොකක් හරි ගැටලුවක්ද?” කියල හිමංගි කීප සැරයක්ම ඇහුවත් සුධීර හිනාවෙලා ඒ ප්‍රශ්නෙ මගෑරියා විතරයි.
දවස් ටිකෙන් ටික ලංවුනේ උසස්පෙල ප්‍රතිපල එන දවස කිට්ටුකරල. බය වගේම දරුවන්ගෙ හිතේ මේ දවස ගැන තමන්ට ලැබෙන්න පුලුවන් ලකුණු ප්‍රමාණෙ ගැන ගැස්මක් තියෙන බව දන්න හන්දම හිමංගි මේනුක වෙනුවෙන් එක එක රස කෑම හැදුව, චිත්‍රපට බලන්න ගියා, පොඩි ට්‍රිප් එකක් ගියා. පුලුවන් හැම විදියකටම මේනුකව ඕනම ප්‍රතිපලයක් භාරගන්න විදියට හිත හයිය කරා.
උසස් පෙල ප්‍රතිපල ආවෙ සිකුරාදා දවසක දවල් වරුවෙ.
මේනුකට ඒ එකයි බී දෙකයි.
දුර කැම්පස් එකකට මොකක් හරි කෝස් එකකට යන්න පුලුවන් කමක් ලැබෙයි කියල විශ්වාසයක් තිබුනත් මේනුක නම් කිව්වෙ කොහොමත් එයා ආයෙ විභාගෙ කරනව කියලමයි.
“හොඳයිනෙ පුතේ, පලවෙනි පාරම ඔච්චර අමාරු ස්ට්‍රීම් එකකින් විභාගෙ පාස්වෙලා ඔහොම රිසල්ට් එක ගත්ත එකේ දෙවනි පාර තව මහන්සි උනොත් තව හොඳ රිසල්ට් එකක් ගන්න පුලුවන්නෙ” කියල හිමංගි කිව්වෙ ඇත්තටම සන්තෝසෙන්.
කොච්චර සන්තෝසයක්ද තමගෙ දරුවො හොඳට ඉගෙන ගන්න එක කියල හිතන ගමන්මයි හිමංගි මේනුකට සුධීරව මතක් කරේ.
“සුධීරගෙ රිසල්ට් කොහොමද දන්නෙ නෑ නේද පුතා?”
“අම්මෝ අම්මෙ මම මෙහෙම රිසල්ට් එකක් ගත්ත කියන්නෙ සුධීර හොඳම රිසල්ට් එකක් ගන්න ඇති. මිනිහ දක්ශයනෙ” කියල මේනුක කියද්දි ඒත් හිමංගි කල්පනා කරා ඇයි සුධීරගෙ ගෙවල් පැත්තෙන් මුකුත්ම සද්දයක් නැත්තෙ කියල.
නිකමට එලියට බැහැල බලන්න කියල හිතාගෙන ගෙයින් එලියට අඩිය තියද්දිම තමා හිමංගිට සමීලාගෙ කෑගැහිල්ල ඇහුනෙ. හිමංගි එහෙට දුවන් යද්දිත් සමීල උන්නේ සුධීරගෙ කාමරේ දොරට ගහ ගහ.
“දොර අරින්න ළමයො, මෙච්චර හොඳ රිසල්ට් එකක් අරගෙනත් දොර වහන් ඉන්නෙ පිස්සුද?” කියල කෑගහ ගහ ඉන්න සමීලා හිමංගිව දැකල “ඒ තුනක් නංගි, දිස්ත්‍රික් 6” කියල කිව්වට හිමංගිගෙ ඔලුවට ඒ පණිවිඩේ ගියේ නෑ.
ඊට වඩා හිමංගි බය වුනේ සුධීර ගැන. සුධීර කාමරේ දොර වහන් ඉන්න එක ගැන.
“අරිනව ළමයො දොර” කියල කෑගහන සමීලගෙ සද්දෙ නවත්තල හිමංගි දොරට හේත්තු වෙලා කතාකරේ හරි ආදරයෙන්.
“මගෙ පුතේ, හොඳ දරුව වගේ දොර අරින්නකො. අපි කතාකරමු නේද? ම්ම්ම්. මොන ප්‍රශ්නේ ආවත් අපිට පුලුවන් පුතේ මූනදෙන්න” කියල හිමංගි කියද්දියි දොර හෙමින් සැරේ ඇරුණෙ. ඇරිච්ච දොර එහා පැත්තෙ හිටියෙ බයවෙච්ච, වේදනාබර බැල්මක් මූණෙ ඇඳගත්ත සුධීර.
සුධීර ඉන්නෙ ලොකු මානසික ප්‍රශ්නයක බව තේරුම්ගත්ත හිමංගි හෙමින් සැරේ සුධීරගෙ අත අල්ලගනිද්දිත් සමීලා කරේ බයෙන්, තිගැස්මෙන් සුධීර දිහාම බලන් උන්නු එක.
“අනේ මට ජීවත්වෙන්න බෑ ආන්ටි, මට හිතාගන්න බෑ මම මේ රිසල්ට් එක එන දවස වෙනකම් අම්මගෙ කෑගැහිල්ල කොහොමද ඉවසගෙන හිටියෙ කියල. මගෙ ඔලුව හරියට රිදෙනව ආන්ටි. මට හරි බයයි මට පිස්සු හැදෙයි කියලා. මං හිතුවෙ මං පාස් වෙලා නැත්තම් මම මොකද්ද කරන්නෙ කියල මැරෙනව ඇරෙන්න. මට එපා වෙලා ආන්ටි ඉන්නෙ ජීවිතේ” කියල සුධීර කියද්දි හිමංගි හෙමින් සැරේ සුධීරගෙ අත තව හයියෙන් අල්ලගත්තෙ අම්ම කෙනෙක්ට හැම දරුවෙක්ම එක වගේ කියල කියන්න වගේ.
උසස් පෙළ විභාගය කියන්නෙ ලොකු කඩඉමක්. ඒ කඩඉම එක එක දරුවන් දිනන්නෙ එක එක මට්ටම්වලින්. කඩඉමට එහායින් රැඳෙන ලමයින් ජීවිතය සහමුලින්ම දිනුවා කියලවත්, මෙහයින් රැදෙන ලමයින් ජීවිතය පරාද වුනා කියලවත් අපිට කියන්න බෑ.
වඩා වැදගත් වෙන්නේ නේනසිකව වඩා ශක්තිමත්, ඕනම ගැටලුවකට ශක්තිමත්ව මුහුණ දෙන දරුවන්.
එහෙම දරුවන් බිහි කරන්න පුලුවන් හිමංගි වගේ අම්මලට. තාත්තලට.
ඉතින් මේ කතාව ඔබට. දරුවාගෙ ඉදිරි ගමනට ඔබේ අත්වැල අත්‍යවශ්‍යම බව අමතක කරන්න එපා!