දොර අරින්න අම්මේ, මං ආවා !

අවුරුදු 56 ක සාර්ථක සහ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගෙවපු සැමුවෙල් ස්පෙන්සර් මහත්තයගෙ මරණයත් එක්ක දරුකමට හෝ දරුවෙක් හදාවඩා නොගන්න ඔවුන් ගත්ත තීරණේ ගැන ජූලි ස්පෙන්සර් මහත්මිය දැඩි ලෙස කණගාටුවට පත්වුණා. 

කිසිම අපහසුවක් නැතුව සුවපහසු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය තරම් මිල මුදල්, යාන වාහන, මිතුරු මිතුරියන් වගේම සමාජ පිළිගැනීමත් ඉහළින්ම දිනාගත්තු සැමුවෙල් සහ ජූලි ස්පන්සර් යුවළට නොලැබුනේ දරු සම්පත විතරයි.

ඒ වෙනුවෙන් බොහෝ කාලයක් බලන් හිටියට පස්සෙ ඔවුන් තීරණය කරේ තනිවම ජීවිතේ ඉතුරු කාලෙත් ගෙවනව කියලයි.

විශ්‍රාම ජීවිතේ ගෙවන විදිහ පවා තිතටම සැළසුම් කරගෙන හිටියට ඒ බොහෝ සැලසුම් ක්‍රියාත්මක නොකරම ස්පෙන්සර් මහත්තය එක දවසක් රෑ නින්දෙදිම ස්වර්ගස්ත වෙලා තිබුණා. 

කවදත් තමන්ගෙ ස්වාමියට බොහොම ලැඳිව ඔහුටම ඇලී ගැලී හිටපු ස්පෙන්සර් මහත්මියට තමන්ගෙ ආදරණීය ස්වාමි පුරුෂයගෙ වියෝව දරාගන්න පුළුවන් එකක් වුනේ නෑ. 

ස්පෙන්සර් මහත්තයගෙ අවමංගල්‍ය උත්සවය අවසන් වුණාට පස්සෙ ගෙදරටම වෙලා බොහොම හුදෙකලාව ජීවත් වෙන්න ස්පෙන්සර් මහත්මිය තීරණය කරා වුනත් ඔවුන් දෙදෙනා් ආදරයේ සංකේත ඇස ගැටෙද්දි තවදුරටත් තනියම හැමදේම දරාගන්න පුළුවන්කමක් ඇයට තිබුණේ නෑ. 

ඒ හින්දා, ගෙවල් දොරවල් ඔක්කොම විකුණලා දාපු ජූලි ස්පෙන්සර් මහත්මිය ටිකක් ගම්බද ප්‍රදේශයක පිහිටල තිබ්බ තමන්ගෙ දෙමව්පියන්ගෙ ගෙදර පදිංචියට යන්න තීරණය කරා. 

ඔවුන්ගෙ මරණෙන් පස්සෙ ඒ ගෙදර හිමිකම ලැබුණේ ඇයට වුනත් ඉඳල හිටලවත් ඇයට එහෙ යන්න පුළුවන් වුනේ නෑ. ඇය කරේ කුලියට මිනිසෙක් යොදවල අවුරුද්දකට වරක් දෙවරක් ගෙමිදුල සහ වත්ත සුද්ධ කර දැමීම පමණයි. 

එහෙ ගියපු ස්පෙන්සර් මහත්මියට දකින්න ලැබුනේ තමන් පොඩිකාලෙ ජීවත් වුණ ගෙදරමයි. පුරුදු විදිහට කුලියට ගත් සේවකයන් කීපදෙනෙක් යොදවල නිවස සහ ගෙවත්ත පිරිසිදු කරගත්ත ජූලි ස්පෙන්සර් මහත්මිය එහෙ පදිංචියට ආා. 

අලුත් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිවසේ යම් යම් වෙනස්කම් කරන්න ඇය වරක් දෙවරක් උත්සහ කරත් අම්මවත් තාත්තවත් ඒ ගැන කැමැත්තක් පෙන්නුවෙ නෑ. 

ඒ නිසා, නිවසේ අළුත්වැඩියා කිරීම් ටික ටික පස්සට ගියත් අම්මගෙයි තාත්තගෙයි පරණ මතක සහ උණුසුම පිරුණු ගෙදර ඇත්තටම සුන්දරයි කියල දැන් ඒ ගැන කල්පනා කරන ස්පෙන්සර් මහත්මියට හිතුණා. 

“මාත් දැන් වයස නිසා වෙන්න ඇති” ඇයට හිතුනෙ එහෙමයි. 

අසල්වැසියෝ කිසිකෙනෙක් එක්ක වැඩි ආශ්‍රයක් නොකර ටික කාලයක් හුදෙකලාව ඉන්න සැමුවෙල් මහත්මිය තීරණය කරේ එයින් ඇයට පුදුමාකාර සැනසීමක් ලැබෙන නිසා වුනත් ඇගේ අලුත් අසල්වැසියො නම් කතාවුණේ කිසි කතාබහක් නැතුව දකින හැමවෙලේම ඔවුන්ව මඟහරින තමන්ගේ මේ අලුත් අසල්වැසියා ගොඩක් නපුරු, අහංකාර කාන්තාවක් කියලයි. 

ඒත් පුංචි දරුවො දිහා ඇය බොහොම උවමනාවෙන්, ගොඩක් වෙලා බලන් ඉන්නව කීපදෙනෙක්ම දැකල තිබුණා. දරුවො ගැන ඇයගේ තිබුණ මේ වැඩි සැළකිල්ල ගැන බය හිතුව අසල්වාසීන් දරුවො ඇයගෙ ඇසට පේනමානෙකවත් තියන්ඩ බය වුණේ ඇය දරුවන්ට සාප කරනවා කියල හිතුව නිසයි. 

ඒ නිසාම ටිකෙන් ටික හැමකෙනෙක්ගෙන්ම කොන්වුණ ස්පෙන්සර් මහත්මියට හැමදාම ඉන්න වුණේ හුදකලාවෙමයි. තමන්ට අසල්වැසියො අකමැතියි කියල දැනුනට පස්සෙ නිවසේ ජනෙල් තිර වලට මුවාවෙලා දරුවන්ගෙ දඟකාරකම් බලන් ඉන්න ඇය තීරණය කරා. 

ඒ විදිහට අවුරුදු තුනක්ම ගෙවිලා ගියා.

ඒත් එක දවසක් මහ රෑක මේ හැමදේම වෙනස් වුණා. 

තද නින්දක හිටිය ස්පෙන්සර් මහත්මිය නින්දෙන් ඇහැරුණේ, “අම්මේ දොර අරින්න” කියල කවුරුහරි ඇයට කතා කරනව වගේ ඇහිලයි. මුලින්ම ඇයට හිතුනෙ ඒ ඇයට හීනෙන් ඇහුණ කටහඬක් කියලයි. 

දවස් දෙකකට කලින් අසල්වැසි නිවසකට අලුත් පවුලක් පදිංචියට ඇවිත් තිබුණා. ඒ පුංචි දරුවො දකිද්දි ඇයට හිතුනේ මේ වගේ දරු මුණුපුරො හිටියනන් කොච්චර හොඳද කියලයි. 

“මන් දැන් වයස හින්ද මගෙ හිතෙන් දේවල් මවාගන්නව” තමන්ව නින්දෙන් අවදි කරවපු කටහඬ ගැන ඇය හිතුවෙ එහෙමයි. 

ඒත් ඊළඟ පාර හරිම පැහැදිලිව ආයෙත් කටහඬක් ඇහුණා. 

“අනේ අම්මෙ කරුණාකරල දොර අරින්න. මම ආව”

මේ පාර ස්පෙන්සර් මහත්මිය ඇඳෙන් නැගිටල හෙමීට දොර දිහාට ඇවිදගෙන ගියා. කවුරුහරි තමන්ව විහිලුවකට ගන්නව ඇති කියලමයි ඇයට හිතුනේ. 

ටිකක් වෙලා දොරෙන් එහා පැත්තෙන් ආව ආයාචනා අහන් හිටපු ඇය අන්තිමට දොර ඇරල බලන්න තීරණය කරා. 

එළියෙ හිටන් හිටියෙ ප්‍රියමනාප කඩවසම් තරුණයෙක්. ඔහුගෙ මුහුණ පුරාම ජයග්‍රාහී දඟකාර හිනාවක් පැතිරිලා තිබ්බා. 

“මගෙ දෙවියනේ. අම්මේ. අන්තිමට මම ඔයාව හොයාගත්ත.” ඔහු කීා. 

ජූලි ස්පෙන්සර් තමන්ගේ ජීවිතේ කවදාවත් එච්චර තිගැස්මකට පත්වෙලා තිබුණේ නෑ. සැමුවෙල්ටයි ජූලිටයි කවදාවත් දරුවො හිටියෙ නැත්නම් ඇයි මේ තරුණය තමන්ට අම්ම කියන්නෙ කියල ස්පෙන්සර් මහත්මියට හිතුවෙ පුදුමයෙන්. 

“කවුරු? කවුද ඔයා? මන් හිතන්නෙ ඔයා ඇවිල්ල තියන්නෙ වැරදි ගෙදරකට” අමාරුවෙන් වචන එකතු කරගත්ත ස්පෙන්සර් මහත්මිය කීව.

“ඔයා මොනවද මේ කියන්නෙ? ඔබ මගෙ අම්මනේ. ආයෙ නම් ඔබට මාව අතෑරල දාල යන්න දෙන්නෙ නෑ. මම ඔබේ පුතා එරික්.” තරුණය උත්තර දුන්නෙ තරවටුවක් කරන විදිහටයි. 

ඒ පාර නම් ස්පෙන්සර් මහත්මියට තරහ ආව. “මේ ළමයෝ. ඔය ළමයට මාව විහිළුවක් වෙලාද? කවදාවත් දරුවො නොහිටිය මට මේ වගේ කරදර කරන්නෙ ඇයි?” 

“ඒත් මන් විහිළුවක් නෙමෙයිනෙ කරන්නෙ. මේ බලන්න මන් ලඟ ඡායාරූපෙකුත් තියෙනව.” තරුණයා ඒ පාර නම් උත්තර දුන්නෙ ටිකක් කලබල වෙලයි. 

තමන්ගෙ බෑගය විවෘත කරපු තරුණයා පොඩි ඡායාරූපයක් එළියට ගත්ත. 

“මන් හිටියෙ අනාථ නිවාසෙක. මට අවුරුදු පහේදියි ඔයා මාව එහෙ දාල ගිහින් තිබ්බෙ. සමහරවිට මගෙ තාත්ත ඔයාව අතාරැල දාන්ඩ ඇති. තනියම මාව බලාගන්ඩ බැරිනිසා ඔයා මාව අනාථ නිවාසෙ දාල යන්ඩ ඇති. ඒ මගෙම යහපත ගැන හිතලනෙ. කමක් නෑ අම්ම. මම ඔයාට සමාව දීල තියන්නෙ.”  

“ඒ අතීතෙ දැන් අමතක කරල දාමු අම්මෙ. මට ඔයාව හොයාගන්නම ඕන වුණා. ගොඩක් බල කරාට පස්සෙ අනාථ නිවාසෙන් මට මෙහෙ ලිපිනය දුන්න. මාව තියල යද්දි ඔයා මේ ඡායාරූපෙයි, ලිපිනෙයි එයාලට දීල ගිහිල්ල තිබ්බ. බලන්නකෝ මේ ඉන්නෙ ඔයාමනේ” 

තරුණයා ඡායාරූපය ස්පෙන්සර් මහත්මිය දිහාට යොමුකරා. 

ඒ ඡායාරූපය බලපු ස්පෙන්සර් මහත්මිය තිගැස්සුණා. කඳුළු පිරුණු ඇස් වලින් ඡායාරූපය අතට ගත්ත ස්පෙන්සර් මහත්මිය ඉකිගසමින් වෙව්ලන අතෙන් තමන්ගෙ කට වසා ගත්තා. 

“ඇතුළට එන්න දරුවො. මට තියෙනව ඔයාට කතාවක් කියන්න.” ස්පෙන්සර් මහත්මිය කීවෙ ඡායාරූපය දිහා විනාඩි ගාණක් බලන් හිටියට පස්සෙයි. 

දොර වහල ආලින්දයේ අසුන් ගත්ත ස්පෙන්සර් මහත්මිය එරික්ව තමන්ගෙ ලඟින් වාඩි කරගත්ත. වෙව්ලන අත් වලින් ඔහුගෙ අත් තඳින් අල්ලගත්ත ස්පෙන්සර් මහත්මිය දිග කතාවක් පටන් ගත්ත. 

“මට රෝසි කියල නිවුන් සහෝදරියක් හිටිය. එයා බොහොම ලාබාල කාලෙදිම ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්ත. මගෙ අම්මලා ඒකට කැමති වුනේ නෑ. ඒ නිසා රෝසි ඔහුත් එක්ක මෙහෙන් පැනල ගියා. අපි නොසෑහෙන කාලයක් එයාව හෙව්ව. අම්මල පස්සෙ ඇයව හොයන එක අතෑරල දැම්මත් මමයි සැමුවෙලුයි ඇයව නොසෑහෙන කාලයක් හෙව්ව.”

“එක දවසක් අපිට දුරකථන ඇමතුමක් ලැබුණා. පොලිසියෙ වැඩ කරන සැමුවෙල්ගෙ යාළුවෙක්ගෙන්. රෝසි ගැන. ඒ ආරංචියට එයාව හොයාගෙන ගිය අපි දැක්කෙ කාත් කවුරුත් නැතුව ප්‍රජා නිවාසෙක තනියම මියගිහින් හිටිය රෝස්ව, මගෙ නංගිව”

“මේ ඉන්නෙ එයා එරික්. මේ ඔයාගෙ අම්ම, මගෙ නංගි. රෝස්” 

“එයාට බබෙක් ඉන්නව කියල මන් දැනන් හිටියෙ නෑ. එහෙම දැනගත්ත නම් අපි කවදාවත් ඔයාව අනාථ නිවාසෙක තියන්නෙ නෑ” ජූලිට නොනවත්වා ගලන කඳුළු නවත්වගන්න පුළුවන් වුනේ නෑ. ඇය උත්සහ කරෙත් නෑ. 

නිහඬවම හැමදේම අහන් හිටිය එරික් විනාඩි දහයකට විතර පස්සෙ ලොකු සුසුමක් හෙළුවා. 

“හ්ම්ම්…” තමන්ගෙ අත්ලෙන් මුහුණ වහගත්ත එරික් හයියෙන් අඬන්ඩ පටන් ගත්ත. “මේක වෙන්න බෑ. අනේ දෙයියනේ. ඒක හරි නපුරු දෙයක්. මන් ආයෙ තනිවුණා.”

“එරික්. අම්ම ඒ හැමදේම කරේ ඔයා වෙනුවෙන්. එයා එක්ක ඔයත් පාරවල් ගානෙ අතරමන් වෙනව බලන් ඉන්න බැරි නිසයි ඒ වගේ තැනක එයා ඔයාව දාල එන්න ඇත්තෙ.”

“මට, අපිට කවදාවත් දරුවො හිටියෙ නෑ. ඔයා කැමති නම් මන් එක්ක මෙහෙ ඉන්න. මට පුළුවන් ඔයාගෙ අම්ම වෙන්න. ඔයාට අම්මෙක් ඕන්නන්. ඕන දවසක මෙහෙ එන්න. මන් ඉන්නව ඔයා වෙනුවෙන්” කවදාවත් නොදැනුණු සෙනෙහසකින් එරික්ගෙ පිට හෙමිහිට අතගාන ගමන් ජූලි හෙමීට කීව. 

කදුළු පිසදාපු එරික් ස්පෙන්සර් මහත්මියගෙ මූණ බැලුව.”ස්තූතියි අම්…” ඔහු කියන්න ලෑස්ති වුණ වචනෙ ගිළගත්ත. “මට සමාවෙන්න මහත්මිය, ඔබේ නම මොකක්ද?” 

සිහින් හිනාවක් එක්ක ස්පෙන්සර් මහත්මිය උත්තර දුන්න.” මගෙ නම ජූලි. ඒත් ඔයා මට අම්ම කීවොත් මොකද? හැබැයි මන් සැර අා කෙනෙක් හොඳද? මගෙ පුතා මන් එක්ක සෑහෙන කාලයක් ගෙවන්නම ඕන. 

“මට දැන් වෙන විසඳුමකුත් නැති එකේ… මන් එහෙම කරන්නන්කො එහෙනම්. මන් ඔබව ටිකක් වැළඳගත්තට කමක් නැද්ද? මන් අම්ම කෙනෙක් නැතුව හරි පාළුවෙන් හිටියෙ.” එරික් ඇහුවෙ හරි උද්‍යෝගයෙන්. 

“අනේ. අනිවාර්‍යෙන්. කෝ එන්න” එරික් සහ ජූලි තදින් වැළඳගෙන ගොඩක් වෙලා හිටිය. 

එදයින් පස්සෙ ජූලි ස්පෙන්සර්ගෙ ජීවිතේ තනිකමින් පාළුවෙන් ගෙවුණ එකක් වුණේ නෑ. සමාජශීලි තරුණයෙක් වුණ එරික්ට ඉක්මණින්ම අසල්වැසියන් එක්ක එකතු වෙන්න පුළුවන්කම ලැබුණා. 

එරික් හරහා ජූලිගෙ සත්‍ය කතාව දැනගත්ත අසල්වැසියො මෙච්චර කාලයක් ඇයට සළකපු විදිහ ගැන දුක්වුණා. 

ටික කාලෙකට පස්සෙ එරික් විවාහ වුණා. 

ඊටත් ටික කාලෙකට පස්සෙ තමන්ගෙ මිණිපිරිය, රෝසි එක්ක නිතරම සතුටින් තමන්ගෙ සැඳෑ සමය ගතකරන ජූලි ස්පෙන්සර් මහත්මිය ඒ අහළ පහළ කාටත් හරිම හුරුපුරුදු දසුනක් වුණා. 

කතාව – Amomama inspirational stories ඇසුරෙන් දුලානි නවෝද්‍යා 

More Stories

Don't Miss


Latest Articles