“ඔය කියන විදියට ලෙඩෙක්ව බලන්න නේද ඔයාට යන්න තියෙන්නෙ? අනේ මන්ද ඔයා කොහොමද මධූ ඔහොම දේකට කැමති උනේ?” කෝසල ඇසුවේ ගෙදරින් පිටවන්නට සූදානම් වෙමින් උන් සිසිමාධවී දෙස බලාගෙනය.
“අනේ කමක් නෑ කෝසල,මෙහෙම හරි දෙයක් හම්බුවෙච්ච එක කොච්චර දෙයක්ද මේ වෙලාවෙ හැටියට. ලැබෙන හැටියටනෙ අපි භාරගන්නෝන”
“අනේ මන්දා මධූ, ඔය මේ යන්නම ඕන කියල කිව්ව හන්දයි මට මුකුත් කරගන්න බැරි හන්දයි මිසක් මම ඇත්තටම කොහොමද යන්නෙ දෙන්නෙ ඔහොම වැඩකට ඔයාට? ඔයාට කවදා කරල පුරුදු වැඩ ද?”
“ලොකු දෙයක් කරන්න නෑලුනෙ කෝසල, උදේට ගිහින් කෑම ටික හදල කවල පොවල, කාමරේ හෙම අස් පස් අරල, රෑට උයල එන්නනෙ තියෙන්නෙ. මහ රෑ වෙනකම් ඉන්න ඕනෙත් නෑ. අනික දෙනව කිව්ව ගාණත් හොඳ එකෙ මම අද ගිහින් විස්තර බලල කරල එන්නම් කෝසල. මොන දේ උනත් ලොකු මැඩම්ට මමමනෙ කිව්වෙ වැඩක් තියෙනම් කියන්න කියල. එහෙම එකෙ නොගිහින් ඉන්න එක හොඳ නෑනෙ”
“ඔයාට අන්තිමේ ගෙදරත් ලෙඩ්ඩු බලන්න වෙලා, රස්සාවෙත් ලෙඩ්ඩු බලන්න වෙන එක වෙන්නෙ. ඔයාට ජීවිතේ එපා වෙයි ඔහොම ගියොත්” කියා කෝසල සිනාසුනේය. ඒ සිනාව පුරාම ඇඳී තිබුණේ අසරණකමකි. කෝසල සිනාසෙමින් උන්නේ ඒ තමන්ගේම අසරණකමටය.
“ඕකනෙ කෝසල, ඔයා ලෙඩෙක් නෙවෙයි, එහෙම හිතන්න එපා. කාලා බීල ටිකක් කල් ගෙදර ඉඳියම ඔයාට ආයෙ ඉස්සර වගේම ඉන්න පුලුවන් වෙයි මහත්තයො. මම මේ හැමදේම කරන්නෙ ඔයාට ආයෙ වැඩකට යන්න පණක් එනකම් විතරනෙ. මොනව කරත් ඔයාගෙ ඇඟට පණක් එන්න මස් මාලු ටිකක්, විටමින් ටිකක් නිතර දෙවේලෙ ගන්න පුලුවන් වෙයි මෙහෙමවත් වැඩකට ගියොත්. ඔයා මේව ගැනත් හිතල හිත තව කරදර කරගන්න එපා. මෙහෙම දේවල්ද මිනිස්සුන්ට කරන්න වෙන්නෙ”
“ඔයාට මෙහෙම දේවල්වලට මූණ දෙන්න උනේ මං හින්ද බව අමතක කරල දාල ඉන්න මට බෑ මධූ. මගෙ හිතට ඔක්කොටම වඩා වේදනාව ඒක. ඔයාට ආපහු ඔයාගෙ අම්මල ලඟට යන්න පුලුවන්කමක් තිබුනනම්, මං ඇත්තමයි…”
කොණ්ඩය පීරමින් හුන් පනාව ඇඳ මත තබා සිසිමාධවී ඇඳේ වාඩි වී හුන් කෝසල ලඟින් හිඳගත්තාය. මේ ගෙවෙන්නේ තමන් විසින් විඳවන්නට ඕනෑම කාලයක්ද කියා සිතුණ නිමේශයන් තිබුන බව ඇත්තකි. එහෙත් ඒ කිසිදු සිතුවිල්ලක් අස්සේ තමන් එක වදනකින්වත් කෝසලට දොසක් නොපැවරූ වග දැන උන්නේ සිසිමාධවීම පමණකි.
“කෝසල, ඔයා මාව බලෙන් එක්කාවෙ නෑ. මමයි ඔයාට මාව එක්කරගෙන යන්න කිව්වෙ. එහෙම එකේ මෙච්චර කල් දෙන්න පුලුවන් උපරිම සැප අපිට දුන්න ඔයාට බැරිවෙච්ච වෙලාවෙ මං ඔයාව දාලා යන්න හිතුවා නම්, සැප සම්පත්ගැන හිතුවනම් ඇත්තටම මං ඔයාට ආදරේ කරල නෑ නේද?
ඒත් ඔයයි මමයි දෙන්නම දන්නව ඇත්ත මොකද්ද කියල? දැන් මේ අසනීප වෙලා ඉන්නෙ ඔයා. ඒ වෙනුවට මං අසනීප වෙලා ඉඳියනම් ඔයා මං කරන්න ඕන වැඩත් කරල මාව බලාගන්න බව අපි දෙන්නම දන්නව. මට උණ හෙම හැදිච්ච වතාවල ඔයා තුන්වේල උයල හිට තියෙනව රස්සාවට යන්න කලියෙන්. එහෙම එකේ ඔයාට බැරිවෙච්ච වෙලේ මං මෙහෙම දෙයක් කරන එක මට ලැජ්ජවෙන්නවත්,දුක් වෙන්නවත් කාරණාවක් නෙවෙයි.
ඔයා හිතනවනම් මං දුක් වෙනව හරි විඳිනව හරි කියල, ඔයා ලඟ ඉන්න එක තරම් සන්තෝසයක් මට මේ ලෝකෙ කොහෙවත් නෑ රත්තරන්”
සිසිමාධවී ගෙදරින් පිටවෙන්න කලියෙන් කෝසලට උදේ කෑම පංගුව ලඟට කර දුන්නාය. දවල්ට උයා ඇති බවත්, අද සිටම වැඩ කරන්න උනෝතින් එන්නේ හවස් වී බවත් කියූ සිසිමාධවී පිටවුණේ මොන්ටිසෝරියේ ලොකු මැඩම්ගේ ගෙවල් පැත්තටය.
“රස්සාවක් තියෙනව සිසිමාධවී. හැබැයි ටිකක් අමාරු වැඩක්” කියා එතුමිය පණිවිඩයක් එව්වේ ඊයේ දහවලේය. ඒ මොන්ටිසෝරි අවසන් වී දරුවා එක්කරගෙන යන්න ගිය අසල්වාසී කාන්තාවක අතේය. සිසිමාධවී ඒ පණිවිඩය ඔස්සේ ඊයේ දහවලේම ඇය හමුවන්නට ගියාය.
“අනේ මැඩම්, දැන් නම් මොකක් හරි කමක් නෑ සාධාරණෙන් කීයක් හරි හොයාගන්න තියෙනම්”
“ඔයා ඔහොම හිතන බව දන්න නිසාමයි මම ඔයාටම මේ පණිවිඩේ කියන්න හිතුවෙ. යවනවනම් යවන්න ඕන විශ්වාසවන්තම කෙනෙක් කෙල්ලෙ. මම හොඳට දන්න තැනක්.අපේ මොන්ටිසෝරියේ මේ දුප්පත් ළමයින්ට හෙම උදව් පදව් කරන මහත්තයෙක්ගෙ ගෙදරක්. ඒ මහත්තයගෙ අම්මා අසනීප වෙලා ගෙදර ඉන්නෙ රෝද පුටුවෙ. මීට මාස ගාණකට කලින් හොඳට හිටිය. හිටිහැටියෙ කකුල් පණ නැති වෙලා අංසබාගෙට ඇවිත්
ඒ නෝනව බලාගන්න කෙනෙක්ලු හොයන්නෙ.බලාගන්න කියන්නෙ සුද්ද පවිත්‍ර කරන වැඩ විතරක් නෙවෙයි උයල පිහල තනිය මකන්න තියෙන්නෙ ඒ නෝනගෙ පුතා රෑට වැඩට ගිහිල්ලා එනකම්”
මොන්ටිසෝරියේ ලොකු මැඩම් වූ අයන්තිගේ පස්සෙන් ඇය අනුවපා තබමින් සිසිමාධවී ඒ වචන ආයේ ආයෙ මතක් කරාය. තමන් දරුවන් දෙදෙනා නාවා, පිරිසිඳු කර කවා පොවා ඇති දැඩි කරා මිසක ඉන් ඉහත ගෙදර සුරතලයට ඇති දැඩි කල බලු පැටවෙකුවත් නහවා නැත. ඉතින් මේ දෑත් විදා හාරගන්නට යන්නේ භාරදූර කර්තව්‍යක් බව සිසිමාධවී නොදන්නවා නොවේ. එහෙත් වෙන කරන්නට දෙයක් නැත.මේ වෙලාවේ මෙවන් දෙයක් වත් ලැබීම ගැන තමා කල යුත්තේ දෙවියන්ට පින් දීමය.
අයන්ති සිසිමාධවීව එක්කරගෙන ගියේ එලිබෑන්ස් පාරේ වූ නිවසකටය. එහි තිබූ විසල් තාප්ප වලින් වැසී ගිය නිවෙස්ද, ඒ උයන්හි තැන් තැන්හි වවා තිබූ සුන්දර මල් ද, සීමිත ඉඩකඩක විසිරුණ විසල් ගස් ද සිසිමාධවී ට කියා පෑවේ මෙයට වසර ගණනාවකට පෙර හැර දමා පැමිණි ජීවිතයක මතක ජායාවන් ය. මෙවන් වූම සුන්දර නිස්කලංක පරිසරයක ජීවත් වූ අතීතයක් තමාට තිබුණ බව සිසිමාධවී අමතක කලාය. එවන් සිතුවිලි සමග මේ ජීවිතය ගෙවන්නට අපහසු බවත්, මේ භාරගන්නට යන රැකියාව කරන්නට අපහසු බවත් සිසිමාධවී දැන උන්නාය.
නිවසට පිවිසෙන්නට තිබූ කුඩා, ආරුක්කුවක් සහිත ලී දොරටුව අසල බිත්තියේ සවිකර තිබූ විදුලි සීනුව නාදකල අයන්ති එක එල්ලේ එකම දෙයක් දෙස බල ඉද්දි සිසිමාධවී ඒ තප්පර කිහිපය ගේට්ටුවෙන් ඇතුලේ ඇති නොදුටු නිවහන ගැන මනසින් මවා ගන්නට උත්සහ කලාය.
“කවුරු හම්බුවෙන්නද?”
“තිලකරත්න නෝනා ඉන්නෙ මෙහෙද?”
“ඔව්”
“නෝනව හම්බුවෙන්න පුලුවන්ද?”
“ලොකු නෝනද? පොඩි නෝනද?”
“කල්පනා තිලකරත්න නෝනව”
ගේට්ටුව බාගෙට හැර හිසදමා අයන්ති සමග කතා කරමින් හුන් තැනැත්තා සම්පූර්ණයෙන්ම ගේට්ටුව හැර දමා සිසිමාධවීටත් අයන්තිටත් ගෙඋයනට එන්නට ඉඩ දුන්නේය. එහෙත් ඔහුගේ විපරම්කාරී දෙනෙත පළමුව අයන්ති වෙතත් අනතුරුව සිසිමාධවී වෙතත් යොමු වුණේය.
“කල්පනා නෝනා ඉන්නව ඉස්සරහ වාඩිවෙලා” කියමින් අයන්තිව හා සිසිමාධවීව එක්කරගෙන ගියේ නිවස ඇතුළාන්තයටය. ඒ යන මග දිගට රෝස පාට මල් සලමින් හුන්නේ විසල් බෝගන්විලා පඳුරකි. මෙවන් කලබලකාරී පරිසරයක එවන් වූ නිරාමිස සුන්දරත්වයක් තිබූ රෝස පැහැ බෝගන්විලා පඳුරු රාජයෙක් හිස ඉහළට ඔසවා හුස්ම ගනිමින් උන්නේ කෙසේද කියා සිසිමාධවී සිතුවාය.
ඒ රෝස පැහැ බෝගන්විලා ගොන්නේ සිට නිවස වෙත යන්නට තිබුණේ උඳුපියලිය මිදුලක් පසුකරය. උඳුපියලිය මිදුල අවසන් වුණේ කට් සිමෙන්තියෙන් ගොඩ නැගූ පඩිපෙල් දෙකකින් ඉහලට එසවී තිබුණ සිමෙන්ති පැහැ විසල් පොළවකි. ඒ විසල් පොළොව මත එක තැනක ඉන්දියානු හෝ දෙමළ චිත්‍රපටයක පමණක් මින් පෙර දැක තිබෙන අන්දමේ ලී ඔංචිල්ලාවකි.ඔංචිල්ලාවක් යැයි කීවාට තුන් දෙනෙක්ට පමණ එක දිගට ඉඳගෙන හිටිය හැකි අන්දමේ ඔංචිල්ලාවකි. එක පැත්තකින් දෙපා බිමට දමාගෙන ඉන්නට හැකි අන්දමේ විවෘත පැත්තක් ද අනෙක් පැත්තේ කැටයම් කැපූ ලී වැස්මක්ද සහිත ඔංචිල්ලාවකි.
ඔංචිල්ලාව මුහුණ ලා උන්නේ සම්පූර්ණයෙන්ම විවෘතව තිබුණ ආලින්දයක හිඳ ගෙවත්තේ කොළ පාට දෙස නෙත් යොමාගෙනය. ඒ ඔංචිල්ලාවේ හිඳ පොතක් කියවන්නට ලැබුණා නම් කොපමණ නිදහසක් දැනේද කියා සිසිමාධවීට හිතන්නට හැකි වුණේ එක් මොහොතකට පමණි.
එපමණක් සුවපහසු ඔංචිල්ලාවක් අසලින්ම තබා තිබුණ දුඹුරු පැහැ ලෙදර් වැස්මකින් ආවරණය කල පුටුව තිබුණේ හිස්ව නොවේ.
කල්පනා තිලකරත්න වාඩි වී හුන්නේ එහිය.
සිසිමාධවී ට දැනුනේ පාසලේ විදුහල්පතිනිය දුටු මොහොතක ආ බියපත් හැඟීමය. තනි සුදු පැහැ ලිනන් කමිසයකින්ද කලිසමකින්ද හැඩවී දුඹුරු පැහැ සෙරෙප්පු යුගලයකින් පා වසා හුන් කල්පනා වනාහි කොණ්ඩය කොටට කැපූ උසස් පවුලක ඉපදුණ කාන්තාවක යැයි ඕනෑම අයෙකු දකින පළමු තප්පරයේම හිතන පෙනුමක් තිබූ කල්පනාගේ මුහුණ මත රැඳී තිබුණේ මවාගත් ආඩම්බරයකි. මවාගත් කුලවන්තකමකි.
සිසිමාධවී බියපත් වූයේ ඒ දෙකටම නොවේ.
ඒ දෙකම අභිබවා ගොස් තිබුණ “කල්පනා මට කැමති නැති වෙයි වගේ” කියා සිතුණ හැඟීමටය.
හේතුවක් නොදැන උන් ඒ හැඟීමටය.