ප්‍රේමයේ මන්දහාසිනි 31

පසුදිනට එලි වූයේ කෙලෙසදැයි මට අවබෝධයක් නැත.  අම්මා විටින් විට පැමිණ ඇඳුම් මැසීම සඳහා වන මිනුම් රැගෙන ගිය වග මට මතකය.  ඒ හැරුණ විට මා කලේ මහේල කොයි යම් හෝ මොහොතක පැමිණේ යැයි බලා හිඳීමය. 

අරමුණක් නැති බලා හිඳීමක් කෙතරම් අපහසුදැයි මට වැටහුණි. මහේල පැමිණේවිය යන අරමුණ ඒකාකාර නොවීමෙර් අපහසුව ජට වැටහුණි. මගේම මිනිසුන් මගේ ජීවිතයේ මළගම මතින් ඔවුන්ගෙර් ජීවිත වල මල් ගම් තනාගන්නට උත්සාහ කිරීමේ වේදනාව කෙතරම් අපහසුදැයි මට වැටහුණි. 

එක ලේ යැයි කියා දෙයක් නැති බව මම ඔබට කියමි.එලෙස යමක් වූවා නම් අයියා ද , අම්ම්මද මට මෙහෙම කරන්නේ නැත. තාත්තා මා හැර අන් ස්ත්‍රියක හා කම් සැප සොයා යන්නේද නැත. 

මහේල වෙනුවෙන් හෝ ඔහුගේම අක්කා වෙනුවෙන් වත්  මට මහේලව අහිමි කර ගන්නට අවැසි වූයේ නැත. එහෙත් අනෙක් අන්තයේ සෙල්ලම මගේ අනුදැනුමකින් හෝ තොරවම ක්‍රියාත්මක වෙද්දී මට තරඟ නීතී රීති වල සාධාරණ අසාධාරණ බවක් බැලීමට ඉඩක් නැත.  අයියා සහ අම්මා සමඟ එකඟ වී මම නිසොල්මනේ බලා සිටින්නේ ඒ නිසාය. 

අම්මා උදෑසන ආහාරය රැගෙන එනවිට මා ඔහේ උඩුබැලි අතට ඇඳේ වැතිර උන්නෙමි. මුහුණ කට සෝදා ගන්නයැයි ඇය මට බැණ වැ‍ඳුණාය. මම ඒ බවක් නෑසුණා සේ අම්මාගෙන් ඉවත බලා උන්නෙමි.

” වොශ් දාගෙන කාලා ලෑස්ති වෙන්න … සැලෝන් එකේ ඇපොයිමන්ට් එක එකොළහට   ..”

අම්මා එලෙස පැවසිමෙන් පසුව මට නිසොල්මනේ සිටිය හැකි වූයේ නැත. මම වහා ඇඳෙන් බිමට පැන්නෙමි. අම්මා වැලඳගත්තෙමි.

” මට මෙහෙම කරන්න එපා අම්මේ.. අනේ… මට මෙහෙම කරන්න එපා.. මට ජීවිත කාලේ පුරාම විඳව විඳව ඉන්න වේවි අම්මේ… අම්මලට සල්ලි නේද ඕනි ? මහේලගෙන් මම ඉල්ලලා දෙන්නම්.. අනේ මට යන්න දෙන්න අම්මේ … අනේ මං වඳින්නම්…”

අම්මා සිනාසුනාය. එහෙත් එය සරදම් සිනහවක් බව ඔබට නොකියා බැරිය. කට කොනෙක වූ සිනහව ඇය මා වෙත පා ඔහේ ඉවතක් බලගත්තාය. දරුවෙකු ගේ කඳුලු හමුවේ අම්මෙකුට එහෙම කරන්නට හැකිදැයි මම දන්නේ නැත. එහෙත් මගේ අම්මා එහෙම කලාය. ඕ මොනවාදෝ අන් යමක් වෙනුවෙන් මගේ සැනසීම, සතුට පමණක් නොව මගේ මුලු ජීවිතය ම බිලි දුන්නාය. 

” අම්මේ……….!!!”

මම ඇයට ඇසෙන්නටයැයි සිතා මහ හයියෙන් කෑගැසුවෙමි. ඕ ඉන් කෝප වූවාය. මා පසෙකට තල්ලු කර දැම්මාය.

” උඹේ මහේලට මේ සල්ලි එක්ක හැරෙන්නවත් බෑ අසේකා.. උඹට රැජිණක් වගේ ජීවත් වෙන්න පුළුවන් .. අනෙක, අයියාට ලොකු බිස්නස් එකක ඉන්වෙස්මන්ට් එකකට ඉඩ ලැබෙනවා… ජීවිත අපේ වෙනස් වෙනවා අසේකා.. එහෙ මෙහෙ අහු මුළු වල මල් සැරසිලි කරනවා වගේ නෙවෙයි මේක … “

” අනේ අම්මේ මං දන්නේවත් නැති මිනිහෙක් අම්මේ ඒ…  නාකි මිනිහෙක්….”

අම්මා මා වෙත අපහාසාත්මක බැල්මක් හෙලුවාය. මම ඇයට එරෙහිව කෑ ගැසුවෙමි. 

” තමන්ගේ දරුවාව මෙහෙම පාවදෙන්න එපා … අම්මේ.. එක දරුවෙක්ගේ සතුට වෙනුවෙන් තව  දරුවෙක්ගේ සතුට බිලි දෙන්න එපා අම්මේ …. මෙහෙම වෙන්නෙපා… “

” අනේ මේ විකාර කියවන්නේ නැතුව ඉන්න අසේකා …  අර අරන්දර එක්ක ඉඳලා උඹේ ඔලුව තෝන්තු වෙලාද කොහෙද ?”

අම්මා  ද මා හා එරෙහිව කෑ ගැසුවාය. ඇය අම්මා නම් නොවන බව මම තහවුරු කර ගත්තෙමි.  දැන් ඔබටද පවසමි,  ඇය මා බිහි කලාට ඇයට අම්මා යැයි කිව නොහේය.  ඇය මට වැඩෙන්නට ඉඩ හදා දුන්නාට ඇයට අම්මා කිව නොහේය. ඇය මට උයා පිහා කන්න දුන්නාට ඇයට අම්මා කිව නොහේය. ඇයට කිසි ලෙසකින්වත් අම්මා කිව නොහේය. ඇය මාලිනී නම් ආගන්තුක ගැහැණියක ලෙසින් පමණක්  ඔබට හඳුන්වා දෙමි.

මම උදෑසන ආහාරය නොගත්තෙමි. මාලිනී බලෙන්ම මට කවන්නට  උත්සාහ නොකලාය. ඒ වෙනුවට මට මුහුණ සෝදා ගෙන එන්නට බල කලාය. සැහැල්ලු ඇඳුමක් ගෙනැවිත් දුන්නා ය.

අප කාමරයෙන් පිටතට යන්නට සූදානම් වූවා පමණි. අයියා කලබලයෙන් දිව ආවේය.  

අප සමඟම යලි කාමරය තුළට වැදුනේය. මා දෙස බැලුවේය. ඔහු උන්නේ යම් කලබලයකය. මම ඒ කලබලයට හේතු සොයා ගත්තෙමි. 

එලෙසනම්, මහේල ඔබ මා සොයා පැමිණෙන්නට ඇත. 

” අම්මේ … අරූ  පොලිසිය එක්ක ඇවිත් …”

අයියා මගෙන් ඉවත බලා මාලිනීට කීවේය. ඇය ඉන් භීතියට පත් වනු දැක මට තාවකාලිකව ලෙසින් වන හෝ සතුටක් දැනුණි.  

” දැන් මොකක් ද කරන්නෙ ?”

ඇය කලබලයක් මවාගෙන උන්නාය. මතක ඇති කාලයක පටන් ඕ එහෙමට. නැති කලබල මවාගෙන දඟලන්නීය.

” අසේකා.. මේක හොඳට අහගනින්.. උඹට මෙතන වීරයා වෙලා , දඟලලා අරූ එක්ක යන්න පුළුවන් .. හැබැයි ඊට පස්සේ උගේ හරි උගේ අක්කගෙ හරි  එහෙමත් නැත්නම් උන්ගේ කිට්ටුම එකෙක්ගේ හරි මළ ගෙදර යන්න උඹට ඇඳුම් මහන්න වෙනවා.. ඒක සත්තයි.. ආයේ කතා දෙකක් නෑ.. ඒ නිසාදැන් මෙතන නාට්‍ය නොකර, පොලිසියට කියපං උඹ මෙහෙ ඉන්නේ උඹේ කැමැත්තෙන් .. අපි උඹේ කවුද කියලා .. ඕනි නම් මහේල අරන්දර උඹේ පස්සෙන් ඇවිල්ලා කරදර කරනවා කියලත් කියපං … “

” මට බෑ.. මට බෑ එහෙම කියන්න … මං එහෙම කියන්නේ නෑ…”

මම අයියාගේ මුහුණටම එබී දත් කූරු කමින් කීවෙමි.  

අයියගේ මුහුණ විරූපි විය. ඔහු අතිශය කලබල විය. 

” උඹ  මෙතන නාඩගම් නටන්නේපා..”

අයියා මට තර්ජනය කලේය. එහෙත් දැන් මට පෙර නොවූ ශක්තිමත් බවක් දැනෙයි. මහේල මගේ ඇස් මානයෙන් මදකට ඔබ්බෙන් සිටින්නේය.

අයියා ට ඇමතුමක් ආවේය. ඒ ඇමතුම මගේ ශක්තිමත් බව බිඳ හෙලන හඬකින් ඇසුණේය. මා විවාහ කරගන්නට සිටින පුද්ගලයා රැගත් , වීඩියෝ ඇමතුම   අයියා මා වෙත පෑවේය. මම පලමුව පිලිකුලෙන් ඉවත බැලුවෙමි. 

” අසේකා… අද ඔයා ගියොත්  මං මහේලව අනිවාර්යයෙන් මරනවා…”

එලෙස ඇසුණි. මම දුරකතනය දෙස බැලුවෙමි. 

“එහෙම මරන්න මේක ඔයාට ගිය රටක් වෙන්න එපැයි …”

එලෙස කියමින් මම ජංගම දුරකතනය ට ගෙරෙව්වෙමි.

” මේක මට ගිය රට තමා.. උඹ නංගී ට ඒ විස්තරේ කියලා ඉස්සරහට එක්ක පලයං.. පොලිසිය වැඩි වෙලා බලන් ඉන්න එකක් නෑ…”

ඔහු එලෙස පවසා ඇමතුම විසන්ධි කලේය.

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles