“හෙට උදේ ඉඳල එන්න පුලුවන්ද?”
කල්පනා ඇසුවේ විස්තර සියල්ල අසා ගත්තයින් පසුවය. සැමියා අසනීප නිසාවෙන් මෙව්න් රැකියාවකට ආ වගත්, දරුවන් තවම කුඩා බවත් කියූ සිසිමාධවී කල්පනා විසින් කල යුතු වැඩ කටයුතු පැහැදිලි කර ලබා දෙන වැටුප ගැන පැවසූ පසු එන්නට කැමැත්ත දුන්නාය. කොහොමත් තමා ආවේ කීයක් දුන්නද කුමන වැඩක් කිව්වද භාරගන්නා අදහසින් බව දැන උන්නේ සිසිමාධවී පමණකි. ජීවිතය තමාව එතරම්ම අසරණ කර තිබෙන බවට මොහොතකට හිතෙන් පැන නැගුණ සිතුවිල්ල සිසිමාධවී ඒ ඇසිල්ලේම ගබ්සා කර දැමුවාය. ඒ වනාහී මොහොතකටවත් හිතිය යුතු සිතුවිලි නොවේ යැයි ඇය සිතුවාය.
“පුලුවන් මැඩම්”
“ළමයි ඉන්නව, හස්බන්ඩ්ට කවල පොවල එන්න ඕන වගේ එක්ස්කියුසස් දික්කරගෙන කලින් යන්න එහෙම නම් ලෑස්තිවෙන්න එපා”
“අනේ නෑ මැඩම්” කියා සිසිමාධවී කිව්වාට ඒ බව වඩාත් තහවුරු කරන්නට මෙන් අයන්ති මුව විවර කරාය.
“ඒක ගැන බයවෙන්න එපා මැඩම්. මම හොඳටම විශ්වාස හන්දා තමා සිසිමාධවීවම මේ වැඩේට කතා කරගෙන ආවෙ. එහෙම නැත්තම් මම කීයටවත් මෙහෙම එක්කරගෙන එන්නෙ නෑ. එහෙම කරල මොකෝ මම මැඩම්ගෙ මූණ බලන්නද ආයෙ?” කියා අයන්ති කියද්දීත් කල්පනා උන්නේ එක එල්ලේම සිසිමාධවී ගේ මුහුණ වෙත තීක්ෂණ බැල්මකින් බලාගෙනය.
“අම්මට ලොකුවටම තියෙන්නෙ තනිකම. මං ඉන්නෙත් මෙහෙ නෙවෙයිනෙ. මම දවසකට එක පාරක් ඇවිත් යන්න එනවා. සැලෝන් එකේ වැඩඑක්ක ඉතින් මෙතන පැය විසි හතරම මට ඇවිත් ඉන්න පුලුව කමක් නෑ. මල්ලිත් වැඩට යන හන්දා අම්මා දවල් වරුවෙ පාලුවෙන් ඉන්නෙ.
කලින් සර්වන්ට්ගෙ ප්‍රශ්නෙ මම අයන්තිට කිව්වනෙ. මල්ලිත් නැති වෙලාවල ගෙදර තියෙන දේවල් අතුපතු ගාගෙන යන්න තියාගත්තා. කොච්චර ගෙව්වත් ඉතින් අපිට ඒ ගතිගුණ වෙනස් කරන්න බෑනෙ. මං ඒකමයි අයන්තිට කිව්වෙ හොඳ තැනකින් සර්වන්ට් කෙනෙක්ව හොයල දෙන්න කියල” කල්පනා කිව්වේ සුපුරුදු සිනා බිඳක්වත් නැති මුහුණෙනි. අයන්ති කල්පනා සමග කතා කරමින් ඉද්දීත් සිසිමාධවී බලමින් උන්නේ රෝස පැහැ මල් වලින් මුලු සිරුරම වසා ගෙන ඉර අව්වේ සේදෙමින් උන් බෝගන්විලා යාය දිහාය. ඒ එතරම් ලොකු බෝගන්විලා ගසක් සිසිමාධවී දුටුවාමය.
කල්පනාගේ වදන් විත් සවන් මත ලාවට මෙන් තැවරුණද “සර්වන්ට්” යන වචනය විත් නතර වුණේ හිතේ කෙලවරකය. ගෙදර හුන් කාලයේ අම්මාගේ උදව්වට උයාපිහා දෙන්නට ආ කුසුමා ආන්ටිව සිසිමාධවීට තාම මතකය. ගෙවල් ළඟම නිවසක දුප්පත් පවුලක මවක් වූ ඇය මුදල් හා ආහාර පිණිස අම්මට උදව් කරන්නට ආවාය. “ඒ කවුද?” කියා ඇය ගැන ඉස්සර පාසල් වෑන් රියෙන් ගෙදර ලඟ බහිද්දී කෙනෙක් ඇසූ විට දුන් උත්තරය සිසිමාධවීට අද මෙන් මතකය.
“ඒ අපේ සර්වන්ට්” ඒ එදා අද මෙදා වී ඇති අයුරු කෙතරම් නම් පුදුමද? එදා තමන්ගේ දරුව වෙනුවෙන් කුසුමා ආන්ටි කල දේම අද දරුවන් වෙනුවෙන් තමන්ද කරමින් හිඳී.ජීවිතය වෙනස් වී තිබෙන්නේ නොසිතූ නොපැතූ අන්දමිනි.
සිසිමාධවී ඒ හමුවෙන් පසු නිවස බලා ආවේ සතුටත් දුකත් සම සමව මුසු වූ සිතුවිලි දහරාවක් මැද්දේය. දරුවන් සහ කෝසල කුසගින්නේ නොතබනු වස් මෙවන් රැකියාවක් ලැබීම හොඳ යැයි කියා සතුටු වුවද තමා මෙවන් තැනකට වැටිය යුතු කෙනෙකුද යන පැනයත් ඒ නිසාම ගොඩ නැගුණ දුකකුත් සිතේ තිබුනාය.
“ඔයා කොච්චර කිව්වත් මගෙ හිතට හරි නෑ මදූ ඔයාට මෙහෙම ගෙදරක වැඩකාරකමකට යන්න වෙච්ච එක ගැන” කෝසල මුණු මුණු ගාන්නට වූයේ සිසිමාධවී රාත්‍රියේ කුස්සියට වී රෑ කෑම උයමින් හිඳිද්දීය.
බොංචි කරලක නූල් අරිමින්,මේස කෑල්ලට හේත්තු වී උන් සිසිමාධවී කෝසල දෙස බැලුවේ මෙතෙක් වේලා හිත අස්සේ හීනියට දලු ලමින් උන් දුකෙහි ගිනි දැල් මකාලමිනි.
“අනේ දුක් වෙන්න එපා. මොකෝ මම කරන්න බැරි වැඩක් කරන්න යනව නෙවෙයිනෙ. ඒ ගෙදර උයන පිහන ටිකයි, නෝනගෙ පාලු මකන එකයිනෙ කෝසල කරන්න තියෙන්නෙ. ඕක මේ මට කරගන්න බැරි දෙයක්ද? මට අවුල් ඒකට නම් නෙවෙයි” කියා සිසිමාධවී නැගූ මද සිනාව ඔස්සේ කෝසල තම බොර පාට ඇස් ඇය මතම නවතා ගෙන උන්නේය.
“ඒ මොකද්ද?”
“මමත් වැඩට ගියාම, දරුවොත් ඉස්කෝලෙ ගියාම ඔයාට තනියෙන් නෙ ඉන්න වෙන්නෙ. ඔයාට අම්මලයි අහට වෙලා ඉන්න පුලුවන් නේද?”
“ඒක මොකද්ද? මට තනියක් නෑ” කියා කියා කෝසල සරලවම කිව්වද සිසිමාධවී එය කිව්වේ එතරම් සරල අදහසකින් නොවේ. තනිවම මේ ගෙදර ඉන්නට තරම් කෝසල දැන් පෙර මෙන් සවි ශක්තිමත් නැති බවත්, ඔහුව තනිවම තබා යන්නට හිතට එකඟ නැති බවත් සිසිමාධවී දනී. එහෙත් ඒ කෝසලගේ හිත නොරිදෙන අන්දමකින් වදන් කරන්නේ කෙසේද යන්න ගැන සිසිමාධවී ට හිතාගන්න බැරි ය.
“හවස මට පහමාර හය විතර වෙද්දි එන්න පුලුවන්. ඒ බලාගන්න යන නෝනගෙ පුතා වැඩට ගිහිල්ල එනකන් විතරලු ඉන්නෝන. ඔයාට දරුවො ඉස්කෝලෙ ඇරිල ආවයින් පස්සෙ බලාගන්න තමා තියෙන්නෙ. ඔය කෑම ටික කවල පොතක් හෙම ලං කරල දුන්නම දෙන්න පාට කරගෙන ඉන්නව”
“අම්මත් ඉන්නවනෙ” කියා කෝසල කතාව නතර කර ආපස්සට ගේ ඇතුලට ගියේ ඇඟට ආයෙම වරක් අපහසුව දැනෙන්න ගත් නිසාවෙනි.
මේ ඉතින් ගොඩ එන්න අපහසු ලෙඩක් වග කෝසල නොදන්නවා නොවේ. එහෙත් ජීවිතය කිසිම දවසක මේ ජීවිතය මෙසේ අවසන් වේ යැයි සිතන්න නොපෙළඹෙන බව කෝසල තේරුම්ගත්තේත් මේ ගෙවුණ දින කිහිපයේය. “මම මැරෙන්න බය නෑ” කියා කොතෙක් අවස්තාවල සිතෙන් උදම් අනමින් උන්නද තමා මිය යන්නට කෙතරම් බය ද වගත් කෝසල තේරුම්ගත්තේ මේ ගෙවුණ දින කිහිපයේය.
තමන්ගේ මිය යෑම ඇත්තටම ප්‍රශ්නයක් වන්නේ තමාට නොව තමා වෙනුවෙන් ජීවත් වූ මිනිසුන්ට වග අසනීපයත්, ඒ ඔස්සේ හිතට ආ මරණය ගැන බියකරු හැඟීමත් උගන්වමින් හිඳී.
“අම්මෙ තාත්තට හැදිල තියෙන්නෙ කාසිද?”
චනුක එදා රැයේ ඇහුවේ ඉස්කෝලෙන් දුන් ගෙදර වැඩ අම්මා සමග එක්ව අවසන් කරමිනි. ඒ මොහොත වෙද්දීත් කෝසල උන්නේ රාත්‍රි ආහාරය ගෙන ඇඳේ හාන්සි වී හිඳිමිනි. එහෙත් ඔහුගේ සවන් සිසිමාධවී දරුවන් සමග කරමින් හුන් කතාවෙන් සහමුලින්ම ඈත් වී තිබුණේ නැත.
“කාසි කිව්වෙ පුතේ?”
“කවින් කිව්ව එයාගෙ අම්මා කිව්ව කියා අපෙ තාත්තාට කාසි කියල. අපි ලඟටත් යන්න එපා කිව්වලු. බෝවෙනව කියල. කාසි හැදුණම මැරෙනවලු. තාත්තා මැරෙයිද අම්මේ?” සිසිමාධවී ගේ අත ඉස්සර වුණේත් ඒ අත චනුකගේ කට වසා ගනිමින් රැඳවුනේත් අනිච්චානුගවය. ඒ හඬ කෝසලට ඇහෙන්නට ඇතැයි සිතා සිසිමාධවී චනුකට සැර කලේත් නොඇසෙන තරම් රහස් හඬකිනි.
“මොනවද ළමයො මේ දොඩවන විකාර?” කියා අම්මා කවදාවත් නැතුව සැරවෙද්දි ඇස්වල කඳුලු පිරුණේ චනුකගේ විතරක් නොවේ. කිසිදාක අසා නැති අන්දමේ බය හිතෙන හඬකිනුත් කෝපයකුත් කනස්සල්ලකුත් රැඳුණ බැල්මකිනුත් අම්මා වෙනස් වී හුන් අයුරු දැක දෙව්මිද පාට පැන්සල අතෑරියාය.
ඒ කතාව එසේ අවසන් කල සිසිමාධවී හෙමින් සැරේ අඩිතියා ගියේ කෝසල නින්දේද නැතහොත් අවදියෙන්ද කියා සැක හැර දැනගන් පිණිසය. වසර ගණනක් තිස්සේ සිසිමාධවී ගේ ඇසුරේ උන් කෝසල සිසිමාධවී ගැන හොඳින් දැන සිටියේය.
ඉතින් ඇඳ මත හාංසි වී නිදිගත් පරිදි රංගනයක නිරතවෙන්න ඕන තරම් වෙලාව තිබුණේය.
කෝසල නිදාගෙන හිඳිනබවත්,මේ කතා බහ ඇසී නැති බවත් හිතූ සිසිමාධවී සැනසිල්ලෙ හුස්මක් ගත්තාය. පොඩි දරුවන් ඔස්සේ මේ දැනගන්නට ලැබෙන්නේ ගෙවල්වල කතා බස් කරන දේවල් බව සිසිමාධවී දනී. ඒ කතා නතර කරන්න බැරි ඒවාය. ඇත්තවුණත් බොරු වුණත් සුළඟේ ගසාගෙන යන කතාය. දුක ඒ කතා කෝසලට කොහොම දැනේද යන එකය.
තාත්තා කෙනෙකු ලෙඩ වීම, මිය යතැයි බියකින් ජීවත් වන්නට වීම දරු පවුලකට කොච්චර නම් බරක් ද කියා කෝසල තේරුම්ගත්තේ ඒ වචන ඔස්සේය. සිසිමාධවී අතෙන් කට වසා චනුකව නිහඬ කරද තම හෘද සාක්ශිය තමන්ගෙන්ම අසන ඒ ප්‍රශ්නයෙන් ගැලවීමක් නැති බව කෝසල දැන උන්නේය.
“මං මැරිච්ච දවසක දරුවන්ට මොකද වෙන්නෙ?”
ඒ තාත්තා කෙනෙකුට ජීවිතයේ මුහුණ දෙන්නට වෙන ලොකුම ප්‍රශ්නයය. දරාගන්නට අමාරුම ප්‍රශ්නයය.