සෙනෙහස් අවාරේ 17

“මැඩම්ලගෙ ගෙදර සෑහෙන පොත් තියෙනව නේද?”

සිසිමාධවී ඇසුවේ පල්ලෙහ තට්ටුව අතුගා උඩ තට්ටුවේ අයිරාංගනීගේ කාමරය අතුපතු ගාන්නට ඇවිදින් ය. පල්ලෙහ තට්ටුවේ විසිත්ත කාමරයේ සෙටියට පිටුපා බිත්තියටම අලවා සකස් කර තිබුණු විසල් පොත් රාක්කය පිරෙන්නටම තිබුනේ ඉංග්‍රීසි සහ සිංහල භා ද්විත්වයෙන් ලියවුණ විවිධ පොත් පත් ය. ඒ අතර නවකතා වල සිට ගෘහ නිර්මාණ ශිල්පය දක්වාම ලියවුණු පොත් විය.

“මම කසාද බැඳල මෙහෙ එද්දිත් ඒ පොත් කබඩ් එක තිබුනා. එතකොට මේ ගේ තිබුනෙ මේ විදියට නෙවෙයි.ලලිත් තමා මේ විදියට ගේ වෙනස් කරේ”” අයිරාංගනී කිව්වේ මද සිනාවක් දෙතොල් අග රඳවාගෙන සිත ඇතුලතින් ඒ සොඳුරු අතීතය කරා පියනගමිනි.

“මහත්තයද නෝනා පොත් එකතු කරේ?”” සිසිමාධවී ඇසුවේ බිම වාඩි වී අයිරාංගනීගේ බඩු බාහිරාදිය තබා තිබුණ රාක්කයේ පහලම තට්ටුව අස්පස් කරමිනි.

“ලලිත් පොත් එකතු කරා.පස්සෙ ඒකට සම්මාදම් වුනා අපෙ පුතත්. තාත්තයි පුතයි තමයි ඔය පොත් රාක්කෙ පොත්වලින් පුරවන්න ඉස්සර වීකෙන්ඩ්ස් වල පොත් කඩවල රවුම් ගැහුවෙ. සුමධුර තාම හරියට පොත් කියවනවා. ගෙදර ඉන්න වෙලාවට සුමධුර ලේසියෙන් එලියට එන්නෙ නෑ, එයාගෙ ලෝකෙ ඉතින් පොත් අස්සෙ තමා තියෙන්නෙ. ඉස්සර ලලිතුත් එහෙමයි. ලලිත්ගෙ ඒ පුරුද්ද නම් වෙනස් වුනේ මාව කසාද බැන්දට පස්සෙ කියල තමයි ඉස්සර ලලිත්ගෙ අම්මා හිනාවෙන්නෙ” කියා කියද්දීත් අයිරාංගනී උන්නේ එකී සුන්දර සිනාවම දෙතොල් මත අලවාගෙනය.

සිසිමාධවී උන්නේ වැඩ කරන අතරවාරයේම අයිරාංගනීගේ කතාව අසමින් ය.

“ඔය ළමයා පොත් කියවනවනම් අරගෙන ගිහින් ගෙනත් තියන්න” අයිරාංගනී කිව්වාය. සිසිමාධවී ඒ වදන් භාරගත්තේ කෘතඥපූර්වකවය.

“අනේ ඕන නෑ නෝන, ගෙදර ගෙනිහිල්ලා පොත් කියවන්න වෙලාවක් නෑ” සිසිමාධවී සෙමෙන් කිව්වාය.

“මං අහන්නමයි හිටියෙ. පහුගිය ටිකේම ඔය ළමය ගෙදර වැඩවලට මහන්සි වෙච්ච හන්ද අපිට හරියකට කතාකරන්න උනෙත් නෑනෙ. ගෙදර විස්තර එහෙම ටිකක් කියන්නකොළමයො දැනගන්නත් එක්ක. මට දැන් විස්තරයක් එලිය පහලියෙ වෙන දෙයක් හෙම දැනගන්න පුලුවන් වෙනෙ ඔය කවුරුහරි එන යන කෙනෙක් කියන කතාවක් ඇහුවම තමයිනෙ”

අයිරාංගනී එසේ කිව්වේ අයෙම වරක් තමන්ගේ සුපුරුදු සිනාව සිසිමාධවී වෙත පාමිනි. එහෙත් සිසිමාධවී ඒ හිනාවට එක්වන්නට පුලුවන්කමක් තිබුනේ නැත. තමන්ට තිබෙන්නේ එසේ හිනාවෙවී කියන්නට හැකි අන්දමේ කතාවක් නොවන බව දන්නේ තමන් පමණකි. තමන්ට තියෙනේ කාටවත් කියන්න හැකි අන්දමේ කතාවක් නොවේ.
“මට තියෙන්නෙ එහෙම හිනාවෙලා කියන්න පුලුවන් කතාවක් නෙවෙයි නෝනා” තමන්ගේ කටහඬා අසරණකමක් ගෑවී තිබුණාද කියා සිසිමාධවීට වගක් තිබුනේ නැත. වෙන මනුස්සයකෙට වුනානම් බොරුවක් කියන්නට හැකියාව තිබුණත් අයිරාංගනී තිලකරත්න වැනි මව්වත් ගුණ පිරි කාන්තාවකට එසේ කරන්නට සිසිමාධවීට හිත දුන්නේ නැත.අනෙක් අතට තමා කෝසලව විවාහ කර ගැනීම ගැන පසුතැවිලි නොවුනද තමා විසින් තරුණ කාලයේ ගත් මුරණ්ඩු තීරණ ගැන මෙසේ විවෘතව මවක් බඳු අයිරංගනිය ඉදිරියේ පවසන්න සිසිමාධවී ලැජ්ජ වුණාය.

“මොන මනුස්සයටද දරුවො හිනාවෙලා කියන්න පුලුවන් කතාන්දර කියන්නෙ?” අයිරාංගනී පිලිතුරු දුන්නේ නෙත් යුග සඳලුතලයට එහායින් පෙනෙන නිල්වන් අනන්ත ආකාසය මත රඳවාලමිනි.

“සල්ලි තියෙන තැන්වල ඉපදුණත් සල්ලි නැති තැන්වල.ඉපදුණත් අපි හැමෝටම තියෙන්නෙ එකම විදියෙ ජීවිතය. දේවල් ලැබෙන හන්දා හිනාවෙන දේවල් නැතිවෙන හන්දා අඬා වැලපෙන ජීවිත. ඉතින් අපි කොහොමද කියන්නෙ කාටවත් සම්පූර්ණයෙන්ම සන්තෝසෙ විතරක් පිරිච්ච ජීවිතයක් තියනව කියල? හිනාවෙලා කියන්න පුලුවන් කතන්දරයක් තියෙනව කියල?”

“නෝන කියන ඒවට හිත නිවෙනව, හරියට බණක් ඇහුවා වගේ” සිසිමාධවී කිව්වේ වඩා හරිබරි ගැහී සීතල කට් සිමෙන්ට් පොළොව මත වාඩිවෙමිනි.

“මමත් ඔයාලගෙ වයසෙදි මේව බණ කියල තමා හිතුවෙ. වයසට යද්දි යද්දි තමා මට තේරුනේ අපි බණ කියල හිතපු එව්ව මත තමා අපේ ජීවිතේ කැරකිල තියෙන්නෙ කියල. මං මේ කිව්ව දේවල් කොච්චර ඇත්තද කියල ඔය වයසෙදි තේරෙන්නෙ නෑ ළමයො. වයසට යද්දි තමා අපිට දේවල් පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්න ගන්නෙ.

සමහරු කියනවනෙ දුක් විඳින තරමට තමයි අපිට ජීවිතේ තේරෙන්නෙ කියල? ඒක මහ බොරුවක්. දුක් වින්ද කියල ජීවිතේ තේරෙන්නෙවත් සැප වින්ද කියල ජීවිතේ නොතේරෙන්නෙවත් නෑ. අපි ජීවත් වෙන විදිය, ජීවත් වෙන කාලෙ අනුව තමා අපිට හැමදේම තේරුම් යන්නෙ

සිසිමාධවී දැන් කියනවනෙ හිනාවෙලා කියන්න පුලුවන් ජීව්තයක් නෙවෙයි ඔයාට තියෙන්නෙ කියල. ඔයාටම ඒකෙ ඇත්ත නැත්ත කවදහරි තේරෙයි”

අයිරාංගනිය වනාහී පසුගිය අවුරුදු අට පුරාවටම තමා කිසිවෙකුට නොකියා හිත අස්සේම හංගගෙන උන් වේදනා ගංගාව මුදාහරින්නට හැකි සහනයක් රැඳුණ තැනක් බව සිසිමාධවී සිතුවේ මේ කතාබහට සවන් දීගෙන ඉද්දීය. ජීවිතයේ පසුගිය අටක කාලය තුල තමාට සතුටක් කියා දෙයකට තිබුනේ කෝසලගෙන් ලද අචල ආදරය පමණකි. ජීවිතය වෙනස් වෙන්නට හේතුවූයේ තමන් දෙමව්පියන්ට මුරණ්ඩු වීම නිසා ගන්න ලද තීරණය බව සිසිමාධවීට අමතක නැත. එහෙත් ඒ වෙනසට ටිකෙන් ටික පුරුදු වන්නටවත් තමාට කාලයක් ලැබුනේ නැත. තමන්ගේ මව් දෙමව්පියන්ගේ ගෙදරින් කෙල්ලක ලෙස පිට වූ තමා එදා රැයේ නින්දට ගොසින් පසුදින දෙනෙත් හැරියේ ගැහැණියක ලෙසින් සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක වෙනස්ම ජීවිතයක් ඉදිරියේය. එදා පටන් ඒ වෙනසින් මිදී එක හුස්මක් ගන්නට තමාට ඉඩක් නොලැබුන වග සිසිමාධවී දනී.
“මැඩම් දන්නවද බත්තරමුල්ලෙ රත්නායක මෝටර්ස් එක?” සිසිමාධවී ඇසුවේ වඩා සෙමෙන් ය. මේ කියන්නට යන්නේ මෙතෙක් කලක් කිසිවෙකුට නොකී කතාවකි. තමන් හදවත අස්සේ හිරකරගෙන උන් කතාවකි.

“මම ගෙදරටම වෙලා උන්නු මනුස්සයෙක් වෙච්ච එක ඇත්ත. ඒ නිසාම එහෙම ලොකුවට ඔය රටේ තොටේ විස්තර මං දන්නෙ නෑ”

“රත්නායක මෝටර්ස් එක අපේ. සීයගෙන් තාත්තට ලැබිච්ච බිස්නස් එක. ඒ උනාට තාත්තා බිස්නස් වලට අකමැති වෙලා රට ගියයින් පස්සෙ අපෙ බාප්ප තමා ඒව බැලුවෙ. බාප්පා නැතිඋනයින් පස්සෙ අයිය බිස්නස් එක කරගෙන ගියා”

සිසිමාධවී ඒ වදන් කියා මදකට නිහඬ වුණාය. අයිරාංගනී ඒ නිහඬතාවය අතර මැද එදත් මෙදත් සිසිමාධවීගේ ජීවිතයේ වන්නට ඇත්තේ මෙය යැයි කියා සිතුවිලි ගොනුකරගත්තාය.

ඉන්පසුව ගෙවුන හෝරාවක පමණ කාලය තුල සිසිමාධවී උන්නේ අයිරාංගනිය ඉදිරියේ තමගේ කතාව කියමිනි. අයිරාංගනී මව මෙන් උණුහුමින්ද මව්වත්කමින්ද ඒ කතාව අසාගෙන උන්නාය. හිතින් බොහෝ දේ සිතුවාය. දුක් වුණාය.

“මෙහෙ වැඩට එන්න උනේ කෝසලට පෙණහල්ලේ පිලිකාව කියල දැනගන්න උනයින් නෝන. එයා සනීපෙන් ඉඳියනම් මෙහෙම වැඩක් කරන්න මට එන්න වෙන්නෙ නෑ නෝන. එහෙනම් එයා මොනාහරි කරල මටයි දරුවන්ටයි කන්න බොන්න දෙනවා”

සිසිමාධවී කතාව අවසන් කලේ එක් අතකින් දෙනෙත් අග හිඳ කම්මුල් දිගේ බේරෙන්නට තැනූ කඳුලු බිංදුවක් පිසදාලමිනි.

“සිසිමාධවී දුක් වෙනවද හොඳ පෝසත් පවුලක ඉපදිල්, හොඳට ඉගෙන ගෙන හොඳ කසාදයක් කරගන්න තිබිච්ච ජීවිතයකින් මිදිල අද මෙහෙම තැනක වැඩට එන්න වෙච්ච එක ගැන?”

“අනේ නෑ නෝන. මට දුකකුත් නෑ, මං කාටවත් වරදක් කියන්නෙත් නෑ.මං කැමැත්තෙන් ගත්ත තීරණේනෙ. ඉතින් වෙච්ච හැමදෙයක්ම දරාගන්න මට පුලුවන්කමක් තියෙන්න ඕනනෙ. මට තියෙන එකම දුක කෝසලට මෙහෙම වෙච්ච එක. බාගදා මං කියල කෙනෙක් එයාගෙ ජීවිතේ හිටියෙ නැත්තම්, සමහරවිට මට වඩා ජීවිතේ ගැන තේරෙන, එයාලගෙ ජීවිත මට්ටම හොඳට අඳුරන මනුස්සයෙක්ව කසාද බඳින්න පුලුවන් වුණානම් කෝසලට මෙහෙම නොවෙන්නත් තිබුනා.දරුවො දෙන්නට උනත් මීට වඩා හොඳ තැනක ඉපදෙන්න තිබුනා කියල මට හිතෙනව. මගෙ හිතේතියෙන එකම වේදනාව ඒක.

කෝසල නැති දවසක් එනව කියල මම දැන් දන්නවා. මම ඒකට කොච්චර සූදානම් වෙලා හිටියත් දරුවො දෙන්නට තාත්තා කෙනෙක් නැතුව හීවිතේ මොන මොන දුක් කරදර වලට මූණ දෙන්න වෙයිද කියන බය මට දැන් තියෙනව නෝනා”

ගැහැණියකට ජීවිතය පුරා දරා ගන්නට සිදුවන බොහෝ දේ ඇති බව අයිරංගනී ගෙවා දැමූ ජීවිතයේ වසර හැත්තෑ ගණනක කාලය පුරාවට තේරුම් ගත්තාය. ගැහැණියකට මේ ලෝකයේ දරාගන්නට අමාරුම අහිමි වීම් දෙකක් තිබෙන බව අයිරාංගනී ඒ ගෙවුණ ජීවිතය තුල උගත්තාය.

එකක් දුවෙක් ලෙස තාත්තා අහිමිවීමය්. අනෙක බිරිඳක ලෙස සැමියා අහිමිවීමය.

දැන් තමා ඉඳිරියේ හිඳින්නේ තමන්ගේම ඉරණම හිමි තරුණියකි. එකම වෙනස තමා ඇති හැකි තැනකත් ඇය නැති බැරි තැනකත් හිඳීමය.

එහෙත් ඒ ඇති හැකි හෝ නැති බැරිකම ඇයට විඳින්නට නියමිත මහමේරුවක් තරම් වේදනාව නොලබන්නට හේතු කාරණාවක් නොවේ

අයිරාංගනී එය දැන උන්නාය. එහෙත් ඒ බව සිසිමාධවීට නොකියා ඉන්නට තරම් පරිස්සම් වූවාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles