අම්මා ගේ කටයුතු නිම කිරීමෙන් පසුව අප නවාතැනට එන්නට පිටත් වුනෙමු. තාත්තා සහ නිර්මලී නැන්දා නිවසට පිටව ගියහ. මහේල වෙනදා මාර්ගයේ නොයන බව වැටහෙන්නට මට මද වේලාවක් ගත විය. ඒ පිළිබඳව විමසූ විට ඔහු කිසිත් නොපවසා අන් කතාවක් ඇද ගත්තේය. ඉන් පසුව පැය භාගයක් පමන වනතුරුම මම ඒ ගැන විමසන්නේ නැතුවම ඔහුට හූමිටි තියමින් උන්නෙමි.
අම්මාගේ සෞඛ්‍ය යහපත් අතටහැරී තිබීම ගැන මට සැහැල්ලුවක් දැනෙන බව මම ඒ අතරේ මහේලට කීවෙමි. ඒ සැහැල්ලුව එලෙස තියෙන්නට ඉඩ හරින ලෙසත්, අතීතය වෙනුවෙන් පසුතැවෙන්නට එකඳු තත්පරක්වත් වැය නොකරන ලෙසත් මහේල මට යෝජනා කලේය.
අවන්හලෙහි පිරිස මා ගැන විමසන බව එහි කළමනාකාරවරයා පැවසූ බවත්, ඉක්මන් දවසක ඒ මිතුරු පිරිස හමුවී අප දෙදෙනා ගැන ඔවුන්ට පවසන්නට සූදානම් වෙන ලෙසත් මහේල හදිසියේ සිහිවූ ලෙසින් කීවෙය. මම ඒ දෙස බලා උන්නේ විමතියෙන් වීම තුළ අරන්දර පොඩි පුතා උද්දාමයට පත් පොඩි කොළුවෙකු මෙන් මට සමච්චල් කරන්නටද අමතක නොකලේය.
එතෙක් වෙලා මහේලගේ කියවුම් සමඟ ආසක්තව උන් මම හදිසියේ දුටු දසුනින් තිගැස්සි ගියෙමි. ඒ මීට සය වසකට පෙර මහේල සහ මට පුරුදු මං සලකුණුය. ඒ සය වස තුළ මා තනිව විත් රහසේ පසු කල මං සලකුණුය.
මම වහා මහේල දෙස බැලුවෙමි. ඔහු මා ගණනකට හෝ නොගෙන හිස අත්තලගේ හේ සංගීත තාලයට නලවමින් වාහනය ඉදිරියට ගෙන යමින් උන්නේය.
” අපි මේ කොහේද යන්නේ ?”
මම සැනින් විමසුවෙමි. මහේල මා දෙස බලා, දෑස් නළලේ රැඳවූවා සේ පෙන්වා කුමක් විමසුවේදැයි වචනයෙන් නොවිමසා ඇසුවේය.
“අනේ මේ කොහෙද යන්නේ ?”
හදවත ඉතා වේගයෙන් ගැහෙන්නට පටන් ගනිද්දී මම ඒ වේගයෙන්ම ඇසුවෙමි
” අමතක වෙල වෙන්න බෑනේ… ආව ගිය පාරක් නේ….?”
මහේල එවරද සැහැල්ලුවෙන්, මගේ කලබලය ගණනකට නොගනිමින් විමසුවේය. මම ඔහුගේ බාහුවේ එල්ලුවෙමි. වාහනය නවත්තන්නට කෑ ගැසුවෙමි.
තවත් මද දුරකින් අප නැවතෙන්නේ මහේලගේ මහ ගෙදර මිදුලේ බව ඔබට විශ්වාස කරන්නට හැකිද ?
මහේල එක් අතකින් මගේ දෑතම අල්ලාගෙන අනෙක් අතින් සුක්කානම හැසිරවූයේය. මට කෑ නොගසා සිටින්නයැයි, මා ඉක්මවන හඬකින් කෑ ගැසුවේය. මම මහේල සමඟ එකඟ නොවීම කෑ ගැසුවේය.
” මං ඉස්සරම කාලෙකත් ඔයාට කියලා තියෙනවා අසේකා.. දෙයියන්ගේ නාමෙට තමන් වෙනුවෙන් ෆයිට් කරන්න .. මෙච්චර කල් ඔයා ඒක කලේ නෑ.. මං ඔයා වෙනුවෙන් ඒක කලෙත් නෑ. හැබැයි මේ වෙලා තියෙන දේවල් දැන දැන, දැක දැක මම ෆයිට් නොකර ඉන්නේත් නෑ….”
මහේල උස් හඬකින් අවධාරණය කලේය
ඔහු පවසන සියල්ල හා එකඟ බවත්, මේ සියල්ල කවදා හෝ පවසන්නට සිතා උන් බවත්, එහෙත් මෙය සිදු විය යුතු පිළිවෙල මෙය නොවන බවත් පවසමින් මම ඉකිලද්දී මහේල මෝටර් රිය මිදුලට ඇතුල් කර තිබුණි.
මහේල මගේ දෑත් අත් ඇරියේය. මම මුහුණ දෑතින්ම සඟවාගෙන ඇඬුවෙමි. මහේලගේ අක්කා ද , අම්මාද , තාත්තා ද ඉදිරියේ සිට ගත නොහැකි හීන මානයක් මා එලෙසින් හඬවමින් තිබුණි.
අපරාධකරුවකු ගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස ඔවුන් මා හංවඩු ගසන්නට සූදානම් නොවේවි යැයි කෙලෙස සිතන්නද ?
මහේල ගේ ජීවිතය විනාශ නොකර ඔහුගෙන් දුරස් වන්නට ඔවුන් මට තර්ජනය කරනු ඇත. ඒ තර්ජන අපහාස හා මුහුව නැඟෙනු ඇත.
මහේල මා වෙනුවෙන් කතා කරන්නට උත්සාහ කරනවා වුවද, ඔවුන් එයට ඉඩ නොදෙනු ඇත.
” බහින්න …”
මම එකඟ නොවූයෙමි. මට නොහැකි බවද, බලෙන් මා රැගෙන යන්නට උත්සාහ කලහොත් මා මියෙන බවද පවසා මහේලගේ මුහුණටම ලංවී තර්ජනය කලෙමි.
“අසේකා… බැහැලා ඇතුලට එන්න… “
මහේල පසෙකට වූවේය. අමුතු තාලයක ගවුමක් ඇඳගෙන මහේලට අඩි කිහිපයක් එපිටින් උන්නේ අක්කාය. කලකට පෙර ඉතාම ආදරයෙන් මා රැක බලා ගත් අක්කාය.
අමුතු තාලයේ ගවුමක් කීවා ට ඔබ මා හා අමනාප නොවෙතැයි සිතමි. එහෙම ගවුම් වලට කියන නම වෙන් කර ගන්නට නොහැකි තරමේ තද බවක් මගේ හිත පෙලන්නේය. ඒ හඬ අතීතයේ ශේෂ ව තිබූ තැන් වලින් ඉස්සෙන්නට දරන තැත මට දරාගන්නට අපහසු තරමින් ය.
” බහින්න බහින්න … දැන් හරිනේ .. බහින්න …”
මහේල බලෙන්ම ආසන පටිය ගලවා මා බිමට බැස්වූයේය. මම ඔහුට මුවා වුනෙමි.
” උන්නයින් බාගයක් නෑ..”
අක්කා එලෙස කීවේ කාටදැයි මට වැටහුණේ නැත. මම මහේලගේ පසුපසින්ම උන්නෙමි.
මහේල මට පසුපසින් ඇවිද එන්නට ඉඩ දී ඉස්සර වූයේය. මම ආයසයෙන් පසුපසින් ඇවිද ගියෙමි.
අඩුම තරමේ මෙහෙම ගමනක් වෙනුවෙන් ඉඟියක් හො වූයේ නම්, මම මේ හැසිරීම් කල් තියා සකසා ගනිමි. එහෙත්, මේ ඉක්මන් සැලසුමක් නැති අහබය අපහසුය.
දොරෙන් ඇතුලු වෙද්දී මා ඇතුළතින්ද පිළිස්සෙමින් තිබුණි. මුව වියලී ගොස් බව දැනුණි. ඇවිද ගියේ වෙන කාගේ හෝ සවියෙනි.
මා ප්‍රතික්ෂේප වන බව දැන දැනම මෙහෙම ඇවිදන් යෑම කිනම් ආකාරයක උමතුවක්දැයි ඔබටද සිතෙනවා නොවේද ?
| අපේක්ෂා ගුණරත්න |