හසරැලි වැස්සේ -58

දෙනෙත් කරන්නේ කුමක්දැයි සොයන්නට මම ඒ රැයෙන් පසු නොවෙහෙසීමි.ඔහු බොහෝ අප්‍රසන්න කටයුත්තකට අත පෙවීම ම මට ඔහු කෙරෙහි වූ අවසාන ප්‍රේම බිඳිත්ත පවා නැති කර ගැනීම අතිශය පහසු කරවූ බව සැබෑවකි.

“කෙල්ලො ආදරේ කරනකොට පිස්සුවෙන් ආදරේ කරනව.අතාරිනකොටත් එහෙමයි.අතාරින්නේ සදහටමයි..”

මම එසේ සිතුවෙමි.ඒ කොහෙන් හෝ අසා තිබූ වාක්‍ය ඛණ්ඩයකි.ඒ වාක්‍ය ඛණ්ඩය මේ මොහොතේ තරම් කිසිම මොහොතක නොගැලපෙන බව මට සිතිණ.

“ඔයා සෑහෙන්න ශක්තිමත් වෙලා..”

හැඬීමකින් හෝ කන් කෙඳිරි ගෑමකින් තොරව දෙනෙත්ගේ ක්‍රියාව මා විස්තර කරද්දී මගේ මිතුරියන් කීවේ පුදුමයෙනි.ඒ බියට හෝ කම්පාවට පත්විය යුතු කාරණාවක් නොවන බව මම අවබෝධ කරගෙන සිටියෙමි.මම ඉතා තදින් ඔහුට ආදරය කළෙමි.ප්‍රේමය කියන්නේ සැඟවිය යුතු සිතිවිල්ලක් නොවන බව සිතූ මා ඔහුට එය හෙළි කිරීම ලැජ්ජා විය යුතු දැයි මා දන්නේ නැත.නමුත් මිනිසුන් ලැජ්ජා විය යුත්තේ ඊර්ෂ්‍යා කරන්නට ය.වෛර කරන්නට ය අනෙකා බිඳ වට්ටන සුළු දේවල් කරන්නට ය.මම එවැනි කිසිත් සිදු කර නැත්තෙමි.

ඉතින් ඔබට ආදරය කිරීම මට ලැජ්ජා විය යුතු කාරණාවක් නොවේ.එය පසුතැවෙන කාරණාවක් බවට පත්ව ඇත්තේ මගේ කුළුදුල් ප්‍රේමය ආදරය ගැන හාංකවිසියක් නොදන්නා මිනිසෙකුට පළකළ නිසා ය.

නැත! දෙනෙත් ආදරය ගැන නොදන්නවා නොවේ.ඔහු ආදරයට ගරු කරන්නට නොදන්නා තරුණයෙකි.

“සචිර අයියගේ අම්මා ඔය වොයිස් ක්ලිප් එකක් අහලා ඔයාට අකමැති වෙන එකක් නෑ..”

උවනි අනාවැකි පළ කළා ය.එසේ වුවද කම් නැත.ඒ අම්මා කෙනෙකු පුතෙකු වෙනුවෙන් ගන්නා තීරණයකි.අනිත් කාරණය සචිර අයියා මොන මොහොතකවත් මට ආදරේ බව පවසා නැත.දෙනෙක් කලබල වූවාට මා කලබල විය යුතු නැති බව සිතූ මම වඩවඩාත් අම්මාට සමීප වන්නට පටන් ගතිමි.

“දෙනෙත් කතා කරාද?”

අම්මාගේ ඇඳ අසලට වී රටේ ඇති සියලුම ඕපාදූප කියවමින් සිටින මොහොතක අම්මා හදිසියේ ඇසුවා ය.අම්මා සහ මා අතර විශාල ඝට්ටනයක් ඇති වූයේ මා අනතුරට පත් පත් වූ දවසේ ය.ඒ මගේ ප්‍රේමය ගැන දෙනෙත් අම්මාව ගිනි තැබූ හන්දා ය.

“ඒක මහ මෝඩ කල්පනාවක් අම්මේ.මං දැන් එයා ගැන හිතන්නේ නෑ..”

අම්මා වෙහෙසකාරී මුහුණින් මදෙස බලා සිටියා ය.ඇය අසලට එන්නැයි ඇය පැවසූයේ අතිනි.මම පුටුවෙන් මෑත් වී අම්මාගේ සයනයෙන් හිඳගතිමි.අම්මා අසීරුවෙන් මගේ හිස පිරිමැද්දා ය.බොහෝ කාලයකට පසුව ඇගේ ආදරය දැනුණු මොහොතක මගේ දෑසට දැවිල්ලක් දැනෙන්නට විය.අම්මා මට කඳුළු එන්නට පෙර මා ඇමතී ය.

“ඔයා දෙනෙත්ට ඇත්තටම කැමතිනම් මං එයාට කතා කරන්නම්.එයා ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑ..”

අම්මා වඩා තීරණාත්මක වචන පැවසූයේ ඉන් පසුව ය.

“ආදරේ කරන කෙනා නැතුව ගියාම ගෑණු ජීවත් වෙන්නේ හිතින් මැරිලා.පුතා එහෙම වෙන්න ඕනේ නෑ.අපි අකමැති නිසා ඔයා එයාව නැති කරගන්න ඕනෙත් නෑ.අයියා හරි මම හරි අකමැතියි කියලා ඔයා දෙනෙත්ව අතාරින්න එපා..”

වසර ගණනාවක් ප්‍රේමය නිසා විඳවමින් සිටි අම්මා දැන් ගිලන් ඇඳක ය.ඇයට නැවත ගොඩ නැඟෙන්නට මඳ කලක් ගතවනු ඇත.ඈ මේ පවසන වදන් වල ඇත්තේ ඇගේ අතීත වේදනාවන් ය.නමුත් අම්මා මෙන් මේ වේදනාව වසර ගණනාවක් ඉදිරියට රැගෙන නොයා යුතු බව මම සිතුවෙමි.

“මං ඇත්තටම දුකින් නෑ අම්මේ.දෙනෙත් කියන්නේ ගැළපෙන කෙනෙක් නෙවෙයි.දුක ඉක්මනින් අමතක කරල සතුටින් ඉන්නයි දැන් මට ඕන..”

අම්මා තරම් කාලයක් දුක කරපින්නාගෙන නොයා ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙන්නට මට ඕනෑ විය.ඉරණම එයට ඉඩ තබන්නේදැයි නොදැනම මම මා පිළිසකර කරගන්නා ආකාරය ගැන කල්පනා කරන්නට වූයෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles