සඳ ගංතෙර – 19

චාන්දනී පුතුගේ කාමරයේ දොරට සන් කළා ය. ඇගේ “ලොකූ” කවදත් හිඳින්නට කැමති කාමරයේ දොර වසාගෙන ය.නිහඬව ය. “පොඩී” ට  ජාතික රගර් කණ්ඩායමට බැඳෙන, සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පියා වී දිගු දුරක් යන සිහින වේ. ඔහු කොණ්ඩය උරහිසට වවාගත් කමල්ගේ ව්‍යාපාරවලට හැකි ලෙස උදව් වෙන සෙල්ලක්කාරයෙකි. එහෙත් ලොකූට ඒවා අවශ්‍ය නැත.

“ලොකූ..”

නිදිබර දෑසකින් කාමරයේ දොර විවෘත විණ. වෛද්‍ය විද්‍යාව හැදෑරීම බොහෝ අසීරු කාර්යයක් බව චාන්දනී දන්නී ය. සහස් ඒ අසීරුතාවයේ ගිලී ගිය කොලුවෙකි.

“පාඩම් කරනවා. මහන්සි අම්මා.”

සහස් එසේ කියද්දී පවා විහස්ගේ කාමරයෙන් ගී හඬක් ඇසේ. ඔහු සැහැල්ලුවෙනි.

“තාත්තා සාගරේට හම්බ කරද්දි ඔයාට මහන්සි වෙන රස්සාවක් ම කරන්න ඕනෑ වුණානෙ. ඉගෙන ගන්න කාලෙත් මහන්සිය. ඊට පස්සේ රස්සාව කරන්න ගියාමත් මහන්සිය. මල්ලි නම් ඔය තියන තරම් විකාර වැඩ කර කර ඉඳල තාත්තගේ බිස්නස් ටික බාරගනී. ඒත් ඔයා දවස දවස කෙට්ටු වෙනව.”

සහස්ට සිනාවක් නැඟිණ. ඔහුගේ සරසවි මිතුරන්ගෙන් බොහොමයක් වෛද්‍යවරයෙකු වෙන ගමනට මෙහෙයවූයේ දෙමාපියන් ය. ප්‍රථම වතාවේ උසස් පෙළ ප්‍රතිඵල වෛද්‍ය පීඨයට ප්‍රමාණවත් නොවුණේ නම් දෙවෙනි තුන්වෙනි වතාවන් පවා උත්සාහ කරන ලෙස ඔවුන්ගේ ඉල්ලා තිබුණේ අම්මා හෝ තාත්තා ය. නමුත් සහස්ගේ කතාව ඊට වෙනස් ය.

“නිවුන්නු වුණාට ලොකුයි පොඩියි අහසට පොළොව”

චාන්දනී එසේ කියන්නට පුරුදු වී සිටියා ය. එයට හේතුවක් ද තිබේ. ඔවුන් විෂම නිවුන්නු ය. ගතිගුණ ද රූපය ද කිසිම අයුරකින් සමාන නොවේ. ලොකූ සහ පොඩී ලෙස හැඳින්වූවාට මේ පළමුවැන්නා සහ දෙවැන්නා නොව තුන්වැන්නා සතරවැන්නා බව සිහිපත් වෙද්දී චාන්දනීගේ ළය ඉරී යයි. සහස් රූපයෙන් සමාන සඳරැස්ට ය. නමුත් ඔහුට ද කමල්ගේ කෝපය සහ අධිෂ්ඨානශීලි බව ඕනෑවටත් වඩා වේ.

“සඳරැස් පොඩි කාලේ වගේම තාමත් අහිංසකයෙක් වෙන්නැති. තාත්තා වගේ හීතලකමට ඉන්නවා මිසක කෙල්ලෙක් වත් යාලු කරගෙන ද දන්නේ නෑ.”

ඇගේ අහිමිවීම හන්දා පුතු ගැහැනුන්ගේ දෙනෙත්වල කඳුළු දකින්නට ආශා කරන අමුතු පන්නයේ තරුණයකු වී සිටින බව නොදන්නා චාන්දනී තමන්ටම කියා ගත්තා ය.

“අපේ ෆැකල්ටි එකේ ඉන්න ළමයින්ගෙන් සීයට හැටක් හැත්තෑක්වක්ම ගුරුවරුන්ගේ ළමයි වෙන්නැති අම්මා. මමත් ඉතින් ටීචර් කෙනෙක්ගෙ ළමයෙක් කියන එක මට අමතක කරන්න බෑ. මහා ව්‍යාපාරික කමල් විජේවර්ධනගෙ පුතා වෙනවට වඩා චාන්දනී මිස්ගේ පුතා වෙන එක මදැයි.”

සහස්ගේ සිනාව දිගේ චාන්දනී අතීතයට ගමන් කළා ය. සහස් හා විහස් කුස දරාගෙනම දික්කසාදය සඳහා ඉදිරිපත් වූ කාලයේදී ඇය ගුරු ජීවිතයට සමු දුන්නා ය. ජීවිතයේ අහිමි වූ දේ අතර තාරකා සඳරැස් සහ ගුරු ජීවිතය ඇගේ සිත පාරවන්නී ය. පාසල් මතක අමතක කරන තරමට ඇයට දෙදරුවන් අමතක කරන්නට අසීරු ය. මොනවා වුණත් ඔවුන්ට ඇයව අත් නොහැර ඉන්නට තිබිණ.

“දැන් ඉතින් ඔය කියනවා වගේම ටීච කෙනෙක්ගේ දුවෙක් ගැන එහෙම අදහසක් ඇවිල්ලද තියෙන්නේ.”

විජිත මිය ගොස් වැඩි දවසක් නැත. ඉන්පසුව හෝ තාරකාට සහ සඳරැස්ට අම්මා සොයා එන්නට තිබිණ. එසේ නොඑන දරුවන් අමතක කළ ඇය සහස්ගෙන් ඇසුවේ ආදරයෙනි.

“මං කැමති පොඩි කෙල්ලක් ඉන්නවා අලුත් බැච් එකේ. කැන්ඩි ළමිස්සියක් අම්මා.ඇත්තටම එයාගෙ අම්මත් ටීච කෙනෙක්.”

එසේ පැවසූ සහස් දුරකථනය අතට ගෙන මඳක් තාවර වූයේ ය. මල්ලීට දන්නා කාලයේ පටන් පෙම්වතියන් විය. ඔහුට  ඒ යුවතියන්ව නිවසට පවා රැගෙන එන්නට ධෛර්යයක් තිබේ.

“අනේ ඒකි මහ සාපයක් අම්මේ. රණ්ඩු කර ගත්තු ගමන්මයි”

“අනේ ඒ ගර්ල් අහිංසක වැඩි. අපිට අපිට හරියන්නේ නෑ.”

“අපි දෙන්න හරියන්නේ නැහැ අම්මේ. අපි කතා වෙලා වෙන් වුණා.”

ඔහු එවැනි බොහෝ සාධාරණ හේතු දක්වා ඒ යුවතියන්ගෙන් වෙන්වීම් පවා විස්තර කරයි.

මල්ලි එහෙම ධෛර්යයක් ඇත්තේනම් ඔහු සමඟ එක කුස බෙදාගත් තමන් පැකිලෙන්නට ඕනෑ නැත. සහස් දුලන්‍යාගේ ෆේස්බුක් ගිණුම විවෘත කළේ ය.

“මලක් වගේ දූ පොඩ්ඩක්. මෙයා ඔයාට කැමති ඇති නේද?”

වසර විසි ගණනක් දියණියව දරාගන්නට නොලැබුණු වේදනාව අමතක කරමින් චාන්දනි විමසුවා ය. තාරකාගේ මතක අලුත් වන්නට හෝ අමතක කරන්නට පුතුන් දෙදෙනාගේ ආදරවන්තියන්ට ආදරය කරන්නට ඇය දැනටමත් තීරණය කර හමාර ය. දුවෙකු නැති අඩුව තවමත් ඇගේ හදවත රිදවන්නට සමත් ය.

දෛවය ඇතැම්විට අමානුෂික දඬුවම් සහ සැලසුම් ක්‍රියාත්මක කරන්නට වගබලා ගනී. සහස් ට අම්මා අත දුරකථනය තබන්නට සිතුණේ ද දෛවයේ එවැනි කුරිරු සැලැස්මක් හන්දා ය. විජිතත් දරු දෙදෙනාත් අතහැර කමල් විජේවර්ධන සමඟ එන්නට චාන්දනීට සාධාරණ හේතු ගැන නොසිතාම දෛවය ඇගෙන් පලි ගන්නට තීරණය කර තිබිණ.

“අම්මා ඔය අකවුන්ට් එක බලන්න. දුලාගෙ ෆොටෝස් ඇති. එයා මට කැමතිද නම් තාම දන් නෑ. ඒත් මම කමල් විජේවර්ධනගේ පුතා අම්මේ. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි, මට ආස දේ මං ලබා ගන්නවා”

විහස් තරමට විවෘත නොවූවාට සහස් ඇතැම් මොහොතක ඕනෑවටත් වඩා කමල් අඩි පාරේ යන බව සිතමින් චාන්දනී දුලන්‍යාගේ ඡායාරූප නරඹන්නට වූවා ය.

“Our family has grown by little two feet”

ඒ සෙල්ෆි ඡායාරූපය රැගෙන තිබුණු තරුණයා ද ඔහු පිටුපස හිඳින කුඩා පවුල ද චාන්දනීගේ හදවත තත්පර කිහිපයකට නවතා දැමී ය. ඇයට ප්‍රෙෂර් පෙත්ත බීමේ තද උවමනාවක් දැනිණ. වසර විසි අටකට පෙර ඇය තාරකා තුරුළු කර ගත් ආදරයෙන්ම තාරකා කුඩා බිලිඳෙකු තුරුළු කරගෙන ය. අසීරුවෙන් හිනැහෙන ඇයව මේ මොහොතේ දරාගන්නට තමන්ට එතන ඉන්නට තිබුණා නොවේදැයි සිතද්දී චාන්දනී ගල් ගැසෙන්නට විය. වසර විසි ගණනක් පුරා ජීවිතය වගකීමෙන් දරාගත් ආකාරයටම තාරකා මේ මොහොත ද දරා ගනිමින් සිටින බව පැහැදිලි ය.

“ඔය දුලාගෙ අයියයි අයියගෙ වයිෆුයි එයාගේ මල්ලියි. ඔය ඉස්සරහ ඉන්න එකා ඉන්ජිනියර් කෙනෙක් අම්මේ. දිරවන් නැතිම හිපාටුවෙක්. ඌ කෙල්ලට බැල්ම දාගෙන ඉන්නේ. අනික උගෙ ෆේස් කට් ටිකක් මං වගේ කියලා අපේ කොල්ලො කියනවා. මට ඒකටත් කේන්ති යනවා.”

සහස්ට තවදුරටත් අම්මා සමඟ කතා කරන්නට උවමනාව තිබිණ. නමුත්  අත් උදව්කාරියකට පවරා ආ කටයුත්තක් සිහි වූ බව පැවසූ චාන්දනී වහා කාමරයෙන් එන්නට ආවා ය. බිළිඳෙකු තුරුළු කරගත් තාරකා ද දෑසින් පවා හිනැහෙන සඳරැස් ද ඇගේ හදවත අවුළුවා තිබිණ. චාන්දනී උස් හඬින් වැළපෙන්නට ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles