හිමගිරි අරණ -20

“ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?”

පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ තවදුරටත් හිමාෂාට කිසිම ඇයිහොඳයියක් තිබිය යුතු නැති බව ඇගේ විශ්වාසයයි.ඇය ඒ විශ්වාසය ඇතිව කතා කරන්නට පටන් ගත්තා ය.

“සහන්ගෙයි මල්මිගෙයි ළමයාට දිනාරා එක්ක සම්බන්ධකම් ඕනත් නෑ හිමා.ඔයා හිතන්නකො ඒ ළමයා ගාව තාත්තා ඉන්නව.දූ ගාව නෑ.ඒක කෙල්ලට කොච්චර නම් වේදනාවක් වෙයිද?”

හිමාෂාට එවැනි කතා රිදීමක් ඇති කරන බව සිතද්දී රවිඳුට කෝපයක් ඇති විණ.ඔහු කිසිවක්ම නොකියා හිමාෂා දෙස බැලී ය.ඇගේ හිත රිදීම ගැන තමන්ගේ හිතට වේදනාවක් දැනෙන්නේ ඇයිදැයි ඔහු වැඩිදුර සිතන්නට නොකැමති ය.ඒ සිතුවිල්ල එපමණකට ඔහුට බියක් ඇති කළේ ය.

“මිනිස්සුන්ගෙ හිත් ඔයා ඔය කියන තරම් සරල වෙන්න ඕන නෑ.”

ඔහු පාරමීට ලබා දුන්නේ කෙටි පිළිතුරකි.තර්කයට කැමති පාරමීට කියන්නට තව බොහෝ දේ තිබිණ.නමුත් ඇය මාතෘකාව වෙනස් කරන්නට කල්පනා කළා ය.

“ඔයා එනවනෙ එහෙනම් හිමාලගෙ ගෙදර යන්න.අපි එක්කම යං?”

ඇය රවිඳු සමඟ ගමනට කැමති ය.එය තවත් ගැටළු ඇති කරන්නට හේතුවක් බව රවිඳු දැන සිටියේ ය.එනිසාම ඔහු තද බැල්මක් නෙතු මතට ගත්තේ ය.

“ඔයාලා යන්න.ඔයා,චරිතා,හර්ෂනී අක්කා කට්ටිය සෙට් වෙලා යන්න.මම එන්නං.මට ලොකේෂන් එවලා තියන්නකො හිමා.”

නමුත් මේ මොහොත අතැර ගන්නට පාරමීගේ කැමැත්තක් නැත.රවිඳුගේ මෝටර් සයිකලයෙන් හිමාෂාගේ නිවසට යන්නට ඇය දැනටමත් තීරණය කර අවසන් ය.ඒ සඳහා ප්‍රවේශය ගන්නේ කෙසේදැයි ඇය නැවත නැවතත් සිතන්නට වූවා ය.හිමාෂාට අමායාගෙන් ඇමතුමක් පැමිණියේ ඒ මොහොතේ ය.ඇය දුරකථනය රැගෙන නැගී සිටියා ය.ඒ අවසරයෙන් ක්‍රියාත්මක වන්නට පාරමීට සිතිණ.

“මාත් එක්ක යං රවිඳු.අපි දිනාරා මොනවා හරි හොඳ තෑග්ගකුත් ගමු.”

ජීවිතය ගැන හවුලේ තීරණයක් ගෙන නොමැති පාරමී සමඟ හවුල් ක්‍රියාකාරකම් අනවශ්‍ය බව රවිඳු තදින්ම සිතී ය.මේ කතාව ඕනෑවට වඩා දුර දිග යා යුතු නොවේ.කොහොමටත් ඔහුගේ හදවතේ දැනටමත් වෙනත් සිතුවිල්ලක් දළු ලමින් තියේ.ඒ සිතුවිල්ල මල් ඵල ගැන්වීම බොහෝ අසීරු ය.ඔහු තුළ ප්‍රේමයක් ජනිත කළ තරුණිය පවා ඒ ආදරය පිළි ගැනීමේ ඉඩ ඉතා අල්ප බව රවිඳු දනියි.

“පාරමී,මං ඔයාට මේක කියන්න කියලා හිටියේ.”

ඒ කියන්නට යන දෙය මෙවැනි සෙනඟ ගැවසෙන ආපනශාලාවක අසන්නට පාරමීට අදහසක් නොතිබිණ.ඇය සිතා හුන්නේම ඔහු ඇයට ආදරය ප්‍රකාශ කරන්නට යන බවකි.

“අපි අතර තියෙන්නේ බොහොම සාමාන්‍ය යාළුකමක්නෙ.ඒ යාළුකම සීමාව පනිනවට මම ඇත්තටම කැමති නෑ.අනිත් එක එහෙම කරන්න යන එකෙන් අපි අතර තියන සාමාන්‍ය යාළුකම පවා නැති වෙන ඉඩ වැඩියි.”

පාරමි වෙව්ලන අතැඟිලිවලින් තේ කෝප්පය තදින් අල්ලා ගත්තා ය.ඇයට දැනුණේ ආපන ශාලාවේ බිමට ඇය ගිලා බසින බවකි.කන් පෙති ද දෙකම්මුල් ද රතුව යද්දී ඇය මේසයට දෑස් ඔබා ගත්තා ය.

“ඔයා හොඳ ළමයෙක් තමයි පාරමී.මට ආදරේ කරන්න මාව තෝරා ගත්තට ස්තූතියි.ඒත් ඔයා ගැන කිසිම හැඟීමක් නැතිව මං ඔයාට ළං වෙන්න කැමති නෑ.ඒක ඔයාට මම කරන අසාධාරණයක් නෙවෙයිද?”

නැත! පාරමිට එසේ නොසිතේ.ඔහුගේ ආදරය ඇයට නුවුමනා ය.ඇයට ඔහු ලැබීම ම ප්‍රමාණවත් ය.ප්‍රතික්ෂේප වීම මෙපමණකට වේදනාත්මක බව ඇයට සිතී තිබුණේ නැත.එහෙත් ඔහුගේ ඊළග වචන ඇයව වේදනාවෙන් වේදනාවට පත් කරන්නට සමත් ව තිබිණ.ඔහු යන්නට ගොස් ය.හිමාෂා නැවත මේසය වෙත එනවිට පාරමී සිටියේ ඉකිලමිනි.රවිඳු සමග ඇති වෙමින් තිබූ කතාබහ පාරමීට එතරම් අඬන්නට කාරණාවක් දැයි හිමාෂා සිතී ය.නමුත් ආදරය කරන පුද්ගලයා තම මතයට එරෙහි වීම පවා යෞවනියකගේ සිත වේදනාවට පත් කරන්නට සමත් නොවේදැයි ඇය අනතුරුව සිතුවා ය.

“පාරෝ..මොකද?”

හිමාෂා ඇසුවේ පාරමීගේ උරහිස මත අත තබමිනි.පාරමී රතුව ගිය දෑසින් හිස ඔසවා බැලුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles