විහඟ පියාපත් 21

0
3808

අකලංක ගමේ මිතුරන් හමුවෙන්නට පසුදිනයම වෙන් කලේය. සවස නේත්‍ර පරිශ්ඨාන උත්සවය වෙනුවෙන් පන්සල් යා යුතු බව සිහිපත් කරමි ඇමතුම් ලබාදුන්,  අම්මාගේ නෝක්කාඩු මැද වුවද ඔවුන් මඟ නොහැර මුණ ගැසී එන විට සවස හතරටද කිට්ටුය. ප්‍රබාත් උන්නේ ලිපියක් සංස්කරණය කරමින් නිසා ඔහු අකලංක හා පිටව ගියේ නැත. අකලංක පැමිණි  පිම්මේම, ඇඳට වැටුණේය. ප්‍රබාත් ඔහු දෙස  හැරී නොබලාම කරමින්  උන් වැඩයේම නිරත වූයේය. 

“උඹ දවසම ඕකද බං ..?”

“නෑ.. මේ ඉරිදා එකේ එඩිට් එකක්…”

අකලංක එයට පිළිතුරු දීම වෙනුවට මැසෙන්ජර් විවෘත කරගත්තේය. ශයිනි දහවල් දෙකට පමණ කෙටි පණිවිඩයක් යොමු කර ඇත. අකලංකගේ දෙතොල් අගට මන්දස්මිතයක් වැටුණේය. තමාගේ පණිවිඩයක් වෙනුවෙන් පිළිතුරු එවනවාට වඩා, ඇයම සිතා යම් පණිවිඩයක් එවීමේ හැඟීම ප්‍රහර්ශණීය ය.

“ඉතින් ; කාර්‍යබහුල ද ?”

අකලංක අමයුරු ස්වරූපයෙන් විමසා යවා බලා උන්නේ ය. ඇය විමසා තිබුණේ, කොහිදැයි කියාය. එයට පිළිතුරු දියයුතු නැත. 

ශයිනි උන්නේ ගිණුම් වාර්තා සහිත ගොණුවක් පරික්ශා කරමිනි. එහෙත් සිත තිබුණේ අමයුරු දිසානායක ගේ ප්‍රතිචාර පණිවිඩය වෙනුවෙනි. එක්වරම පැමිණි මැසෙන්ජර් ශබ්දයෙන් ශයිනි තිගැස්සුණාය. සැනින් සිහිපත් විය. 

“ඉතින් ; කාර්‍යබහුල ද ?”

ඕ අපූරු වූ ස්වරයකින් කියවා ගත්තාය. හිත මල් යායක පැද්දෙන්නේය.

“ටිකක්…”

ශයිනි කියා යැව්වාය. ඇය එලෙස පැවසුවාට සැබැවින්ම ඇය කාර්‍යබහුල විය හැකි බව අකලංක ට සිතුණි. ඔහු එනිසා ඊළඟ පණිවිඩය යවන්නට පෙර  ප්‍රබාත් වෙතට හැරුණේය. ඔහු සමඟ කතා බහකට පැටළුනේය. කොළපැහැ තිත පෙනුනද, අමයුරු කිසිත් නොපවසා සිටිද්දී ඕ යළි ලිපි ගොනුවට එබුණාය. 

මේ හැඟීම දැනෙන්නට මෙතරම් ප්‍රමාද වූයේ අපරාදේ යැයි ඇයට සිතෙන්නේය.  ව්‍යාපාර ලෝකයේ කිරුළු වෙනුවෙන් දිව්වා මිසෙක, මෙහෙම හැඟීමක් වෙනුවෙන් ලැබුණු ඉඟි වටහා ගන්නටවත් තරම් කාලයක් තමාට තිබුනේ නැතිදැයි ඕ සිතුවාය. එලෙස සිතූ විට සිත රිදෙන්නේය. ශයිනි වතුර වීදුරුවෙන් අඩක්ම හිස් කලාය.

“ඔයා වේස්ට් මැනේජ්මන්ට් සිස්ටම් එක ගැන හොයලා බැලුවද ?”

ශයිනිට හීන් හිරියක් දැණිනි. ඔහු ඒ ගැන අවධානයෙනි. එතරම් අවධානයෙන් සිට්න්නේ තමාට නපුරක් සිදු නොවන්නට නොවේද ? 

එතරම් අවධානයක් ලැබීම මේතරමට ප්‍රහර්ශණීය ද ? 

“ටිකක්… ඒත් ෆුල් කවරේජ් වුනාද සැකයි…”

“මොනවද කලේ ?

ශයිනි කල කී දෑ පැවසූවාය. චරිත් සොයාගත් දෑද පැවසූවාය. පරිසර නිළධාරියා හා සමඟ වූ සාකච්ඡා සහ එහිදී නිවැරදි කල දේ පිළිබඳව ද පැවසූවාය. 

දැන් ඇය ඔහු ඉදිරියේ හැසිරෙන්නේ  ඔහු  දන්නා  හිතෛෂීවන්තයා ලෙසිනි. ඔහු ඇයට සිදු කරන ලද අවමානය ගැන වගක් නැත. ඔහු ඒ සිදු කලේ අවමානයකටමා නොවේ, තම අනාගතය වෙනුවෙන් ආයෝජනයක් යැයි සිතන තරමට ඕ මුදු වී සිටියාය. 

එහෙත් අකලංක බලාපොරොත්තු වූ පිළිතුර ලැබුනේ නැත. කෘතීමව සකස් කරන ලද පෝරුවට යටින් සකසන ලද මාර්ගයෙන් ගිං ගඟට අප ජලය බැහැර කරවන බවට ලද ඔත්තුව පිළිබඳව ඔහු ඍජුවම ලීවේ නැත. එහෙත් එය පදනම් කර ගත්තේය. ඇය තවම ඒ බව නොදන්නවාද ? නැතිනම් නොදැන සේ සිටිනවාද සැකයද ඒ අතරම විය. 

“තවම ක්ලියර් වෙලා නැහැ ..”

ඔහු අවසානයේ එලෙස පැවසූයේය.ශයිනි කිසිවක්ම නොපවසා උන්නාය. අකලංක අවධානම ගත්තේය. ඔහු සොයා ගත් සියල්ල ශයිනිට ඉතා පැහැදිලි ව විස්තර කලේය.

 එපමණක් නොව, පරිසර සංවිධාන ඒ වනවිටද නඩු පැවරීමේ ක්‍රියාවලිය අරඹා තිබුහෙයින් සාක්ශි ඉතිරි නොවන්නට සියල්ල නිවැරදි නොකරන්නේ නම්, ඇයට සිදුවන හානියද පැහැදිලි කලේය. ඒ සියල්ල පසුපස සිටින පුද්ගලයා කිනම් හෝ මූල්‍යමය ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් මේ සියල්ල කරනවා විය යුතු බවද පැහැදිලි කලේය. 

මිනිස්සු විශ්වාස කිරීමේදී 1% ක් අවිශ්වාසය වෙනුවෙන් ඉතිරි කරන්නටයැයිද, එවිට ඉතිරි 99% තරමින් ඒ පුද්ගලයා  විශ්වාස කල යුතුදැයි තමාටම තීරණය කර ගන්නට හැකි වන බවද අමයුරු පැවසූ අයුරු ශයිනි ට සිහිවිය. 

ඔහු එලෙසින් නොව කොයි ලෙසින් පැවසූවද, චරිත් ඒ ලෙසින් අවිශ්වාස කල හැකි අයෙකු නොවේය. ඔහු සියල්ල පිළිබඳව සොයා බලන්නේ ගිණුම් අංශයේ කටයුතු වලට අමතරවය. අනෙක් අතට අප ජල කළමනාකරණ වෙනුවෙන් මේ වනවිට සෑහෙන්නම මුදලක් වැය කර ඇති බවට වන ලිපිගොනු සකසා පෙන්වූවේද ඔහුමය.

 අනෙක් අතට ඔහු සහ තිළිණි අතර ඇත්තේ ලෙහෙසියෙන් ඇතෑරෙන සම්බන්ධතාවයක් නොවේ. තිළිණි තමා හා වසර දහයකටත් එහා පටන් උන් මිතුරියය. ඇය තමාට ද්‍රෝහි වන්නේ හෝ චරිත් ට තමාට ද්‍රෝහි වන්නට ඉඩ දෙන්නේ නැත. ඒ ගැන සැක සාදා ගැනීම පවා පවුකාරකමකි. අනෙක් අතට අමයුරු දිසානායක යනු තවම නොදන්නා සෙවණැල්ලකි. ඔහුට තම සිතෙහි එවැනි සැකයක් සදන්නට ඔහුට ඉඩ දිය නොහැක. 

ශයිනිගේ නිහඬ බවට හේතු අකලංකට වැටහෙන්නේය. එහෙත් ඔහු ඒවා පහදන්නට ගියේ නැත. යළි කල යුතු දේ අවධාරණය කලේය. 

“නියපොත්තෙන් කඩන්න පුලුවන් ඒවා, පොරවෙන් කපන තැනට තියන්න එපා.. එතකොට බැකෝ ගෙනල්ලාවත් ගොඩදාගන්න බැරිව යනතැනට වැටෙනකල් අපිට එව්වා මඟෑරෙනවා…”

අමයුරු එපමණකින් කොළ පැහැ සලකුණ නිවෙන්න හැරියේය. මැසෙන්ජරය දෙස ශයිනි බලා උන්නාට කොළපැහැ සලකුණ යලි මතුවූයෙ නැත.

ඇතැම්විට තමා නිහඬව සිටීම තුළ ඔහු නොතකා සිටියාය හැඟීමක් අමයුරු ට ඇතිවෙන්නට ඇතැයි ශයිනි කල්පනා කලාය. එලෙසින් කෝපයක් හට ගත්තාට පසුවත්, ඔහු කතාබහ අවසන් කලේ තමාට යලි කල යුතු දෑ පැහැදිලි කිරීමෙන් පසුව් වීම ශයිනිට වටහා ගැනීම අපහසුය.

ශයිනි, ජංගම දුරකතනය පසෙකට දැමුවාය.

අකලංක ද, ජංගම දුරකතනය පසෙකට දැමුවේය.

“මොකෝ…”

අකලංක එතරම් නොරිස්සුමක් පෙන්වා තිබුණේය. ඔහු ප්‍රබාත් දෙස බැලුවේ මුහුණ වෙනස් කර ගන්නට උත්සාහ කරමිනි

 එහෙත්, සාර්ථක වූයේ නැත. 

“අරකි කියන එකක් අහන්නේ නෑ බං… ඒකිගේ ලොකුව…”

ප්‍රබාත් මහ හඬින් සිනාසුණේය. අකලංක මෝඩ පෙනුමැති සිනහවක් මවා ගත්තේය. දෙදෙනාම ඔවුන්ගේ පෙනුම නඩත්තු කරමින් සිනාසුණා සහ ඔරවාගෙන උන්නා මිසෙක,  දෙදෙනාගෙන් කිසිවෙක් , කිසිවක් පැවසූයේ නැත.

ප්‍රබාත් සිනහව නවතා ගත්තේ වේලා ගොසිනි. 

“යකෝ… ඒකි මහ ෆෙමිනිස්ට් අම්මණ්ඩියෙක්.. උඹට නවන්න පුලුවන් ජාතියෙන් නෙවෙයි යකෝ…”

ප්‍රබාත්  එලෙස කීවේය. දන්නා තරමින් ඇය දරදඬු කෙල්ලකි. අකලංකලා උත්සාහ කරන මෘදු බැමි වලින් ඔවුන් කොටු වන්නේ නැති බව ප්‍රබාත් මින් පෙරද කිහිපවතාවක්ම සිතා තිබුණේය. අකලංක එයට හෙලුවේද කලින් පෙන්වාගෙන උන් මෝඩ පෙනුමැති සිනහවමය. 

තමාට අවැසි නැවීමක් නොවේය. ඇය පවතින තත්වය වටහා ගන්නවා නම් ඒ ප්‍රමාණවත් ය. දැන් දැන් ඇය පිළිබඳව යම් වගකීමක් දරන්නට සිත අර අදින්නේය. එහෙත්; ඇය හැසිරෙන්නේ මෙලෙස නම්…………,

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here