Plan කරලා හැමදේම කරන ඔයා වෙනුවෙන්ම Meal Planning!

ඔයා Busyම Busy ගෘහණියක් වුනත්, වැඩට යන කාන්තාවක් වුණත් අමතක නොකල යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන්කරන්න ඕන කියන එක. ඔයාටත් නිදහසක් තියෙන්න ඕන කියන එක.

ගෙදරක වැඩ ගත්තම අපිට එක එක ඒවා මතක් වෙනවනේ. කෑම උයන එක, රෙදි හෝදන එක, අතුපතු ගාන එක වගේ. මේ වැඩ අතරින් මේ දෙවනි වැඩ වර්ග දෙක නොකර ඉන්න එක පොඩ්ඩක් කරන්න අමාරුයි.

මොකද ඇඳුම් හේදුවෙ නැත්තම් අඳින්න පිරිසිඳු ඇඳුම් නෑ. අතුපතු නොගා ඉන්න කසල ගොඩ වගේ ගෙදර තියන් ඉන්නත් බෑනේ.

ඒත් කෑම ප්‍රශ්නෙට නම් විසඳුමක් තියෙනවා. අන්න ඒ විසඳුම තමයි අපි අද ඔයා එක්ක බෙදාගන්න යන්නේ.

Meal Planning කිව්වම අපේ අය ගොඩක් හිතන්නේ “අපෝ දවස් ගණන් පරණ කෑම කන්නේ කොහොමද, ඕව කන්න හොඳද, එකපාර දවස් ගාණකට උයන්න වෙලාව තියෙනවද කියලනේ”

හැබැයි Meal Planning කියන්නෙ ඔය කියන තරම්ම නරක දෙයක් නම් නෙවෙයි.

අපි අද බලමු Meal Planning වලින් ඔයාට ලැබෙන වාසි 7ක් ගැන.

උයන්නේ මොනවද කියල හිතන්න යන කාලෙ ඉවරයි

උයන රාජකාරියේ තියෙන ලොකුම ප්‍රශ්නෙනෙ මේ “උයන්නෙ මොනවද?” කියල දවස් පතා හිතන්න වෙන එක. අන්න ඒ ප්‍රශ්නෙ විසඳෙනවා මේ Meal Planning නිසා.

එක පාර දවස් කීපෙකටම උයාගන්න පුලුවන් වෙන නිසා ඉස්සරහ දවස් කීපේ උයන්නේ මොනවද කියන ප්‍රශ්නෙ ගැන නොහිත ඉන්න වෙලාව ලැබෙනවා.

ෆ්‍රිජ් එක සහ කබඩ් ඇරගෙන ගෙදර උයන්න තියෙන ජාති මොනවද කියල හිතන යුද්ධෙත් එතනින්ම අහවර වෙනවා.

ඉතින් ඒ වෙලාවේ ඔයාට පුලුවන් ඕන නම් පොතක් කියවන්න. එහෙම නැත්තම් කවියක් කතාවක් ලියන්න. ඔයා කැමතිම විනෝදාංශයේ නිතර වෙන්න. පොඩ්ඩක් නිදාගත්තත් මොකෝ නේද වැඩිපුර?

වැරදි තීරණ ගන්න ඉඩකඩ අඩුයි

උයන්නේ මොනවද කියල හිත හිත ඉඳල අන්තිමේ බලද්දි අපි උයල තියෙන්නෙ පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නැති කෑම ටිකක් නේ.

එහෙම වෙච්ච වෙලාවල් ඕන තරම් ඔයාටත් ඇති. අන්න ඒ ප්‍රශ්නෙටත් මේ Meal Planning වලින් හොඳ විසඳුම් ලබා දෙනවා.

ඒ වගේම තමයි උයන්න වෙලාව නැති උනාම අපි ගොඩක්ම කරන්නෙ Take away හෝ කෑම ඕඩර් කරල ගන්න බලන එකනේ. ඉතින් ඒ වගේ ආහාර ගන්නවට වඩා තමන්ව හොඳින් සැලසුම් කරල කලින් හදාගෙන තියෙන කෑම ටිකක් ගන්න තියෙනම් මොනතරම් හොඳ ද? ඒ වගේම ඒ කෑමවල පිරිසිඳු කම ගැන බයවෙන්න හේතුවකුත් නෑ.

Balanced Menu එකක් ලැබෙනවා

මේ Meal Planning වැඩේ ගොඩක්ම උදව් වෙන්නේ රෑ කෑමට. මොකද ඔයා ගොඩක්ම කාර්‍යබහුල කෙනෙක් නම් රෑට උයන්න ඔයාට වෙලාව නැතිවෙන්න පුලුවන්. එහෙමත් නැත්තම් ඔයාට මහන්සි දැනෙන්නත් පුලුවන්. ඉතින් ඒ වගේ වෙලාවක ඔයාට කෑම ගන්න වෙන්නෙ උයලම නම් ඔයාට ලේසියෙන්ම හදාගන්න පුලුවන් කෑම එක නිතරම වගේ කන්න සෙට් වෙනවා නේද?

ඒකෙන් වෙන්නෙ ඔයා උයන එක නවත්තල පිටින් කන්න පුරුදු වෙන එක.

අන්න ඒ වගේ වෙලාවක මේ Meal Planning කියන්නෙ ලොකු සපෝට් එකක්.

කලින්ම ඉදිරි දවස්වලට අවශ්‍ය කෑම සකස් කිරීම නිසා ඔයාට ඉඩ ලැබෙනවා එක එක විදියෙ කෑම වර්ග Try කරලා බලන්න.

ඒකෙන් අර හැමදාම එකම දේ කන්න වෙන Chance එක හරිම අඩුයි.

එක එක විදියෙ කෑම කන්න ඉඩක්

Meal Planning වලට යන්නේ කොහොමත් කාර්‍යබහුල මනුස්සයෙක් නේ. උයන්න වෙලාව තියෙන කෙනෙක්ට දවස් හතට කෑම වර්ග හතක් හදන්න වෙලාව තිබුණට උයන්න වෙලාව නැති කෙනෙක්ට ඒ Chance එක ලැබෙන්නෙම නැති තරම්.

ඉතින් මේ Meal Planning ක්‍රමය නිසා ඔයාටත් ඔයාගේ කාර්‍යබහුල ජීවිතේ ඇතුලෙ එක එක විදියෙ රස කෑම   Try කරන්න අවස්තාවක් ලැබෙනවා.

හොඳට වෙලාව තියෙන නිවාඩු දවසක් වගේ අල්ලලා, ඉදිරි කාර්‍යබහුල දවස් ටිකට ඕන කර කෑම වර්ග හදාගත්ත නම් රස ගුණ වගේම එක එක විදියෙ කෑම වර්ග අත් හදා බලන්න ඔයාට පුලුවන්.

කෑම නාස්තිය අවමයි – සල්ලියි, කාලෙයි ඉතුරුයි

ලංකාව වගේ වැඩිහරියක් බත් මාලු එලවලු කන රටක එක වේලකට උයන එක උනත් මොන තරම් නම් අමාරුද කියන එක අමුතු දෙයක් නෙවෙයිනේ.

ඔයාගේ කාර්‍යබහුල ජීවිතේ ඇතුලෙ තුන් වේලම උයන්න යන එක ඔයාට මහන්සියක් වගේම, කෑම, සල්ලි සහ කාලෙ නාස්ති වෙන්නත් හේතුවක් වෙන්න පුලුවන්.

ඒ වගේ තැනකදි Meal Planning ක්‍රමය භාවිතා කරන එක කෑම නාස්තිය අවම කරන එක වගේ සල්ලි සහ කාලය ඉතුරු කරගන්නත් උදව්වක් වෙනවා.

මොකද ඔයාට අලුතෙන් මිල දී ගන්න හෝ භාවිතා කරන්න වෙන්නෙ ඔයා Plan කරපු කෑමවලට ඕන කරන ද්‍රව්‍ය විතරයි නේ.

කෑම සම්බන්ධ රණ්ඩුත් ඉවරයි

“අපෝ අදත් ඒවමද? හැමදාම එකමනේ? කවුද බණ්ඩක්කා උයල කන්නේ?” වගේ ප්‍රශ්න ඔයාලගෙ ගෙදර නෑ කියන්නෙ ඒක නම් ලංකාවෙ ගෙයක් වෙන්න බෑ.

මේව මේ හැමදාම කෑම මේසෙදි අහන්න වෙන කතානෙ. ඔන්න ඔය කතා අහගන්නෙ මොකටද? අදම මාරු වෙන්න Meal Planning වලට.

ඊලඟ සතියෙ දවස් ටිකට හදන්න ඉන්න කෑම ජාති මොනවද කියල මේ සති අන්තෙ කට්ටිය එක්ක කතා කරලාම උයන්න පටන් ගත්ත නම් ආය කෑම මේසෙදි කාගෙන්වත් එක එක දේවල් අහගන්න ඔයාට වෙන්නෙත් නෑ, මහන්සියෙන් උයපු කෑම ටික අහක දාගන්න වෙන්නෙත් නෑ.

ඔයාට Meal Planning කරන්න වෙන්නෙ ගොඩක් වෙලාවට ගෙදර තව කට්ටිය ඉන්නවනම් නේ. ඉතින් ඔය ඉදිරි දවස්වලට උයන වෙලාවට ගෙදර අනිත් අයවත් එක්කහු කරගන්න. එයාලගේ ජීවිතේ රසවත් කරන ඔයාගේ වගකීම් ගොන්න ගැන පොඩ්ඩක් තේරුම් ගන්නත් ඒක හොඳ පියවරක් වෙයි.

කාලෙට ගැලපෙන කෑම බීම

Meal Planning කරන්න ඔයාට මේ එක එක කාලෙට ඕසෙට තියෙන එලවලු පලතුරු ජාතිත් අරගන්න පුලුවන්. හිතන්නකො අඹ වාරෙ කියල. දාමුකො අපි හොඳ අඹ අච්චාරුවක්, එහෙම නැත්තම් කල් තියාගන්න පුලුවන් විදියට හදපු හොඳ අඹ මාලුවක්?

කාලෙට ගැලපෙන විදියට හදාගත්තම ඔය උයන්න වෙලාව යනවා කියල කෑම ජාති වුණත් Meal Planning නිසා රස විඳින්න ඔයාට ඉඩ ලැබෙනවා.

ඔයා රැකියාවක් කරන කාන්තාවක් විදියට ගොඩක්ම කාර්‍යබහුල නම් ගෙදර ඕසේට අඹ තිබ්බත් අඹ කරියක් හදන්න වෙලාවක් නැති වෙන්න පුලුවන් නේ. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් ඔයා Meal Planning කරන දවසට අඹ මාලුවක් හදාගත්තනම් ඉදිරි දවස් ටිකේ කෑම වලට බතුයි පරිප්පුයි, මස් මාලු ජාතියකුයි තිබ්බත් ඇති නේද?

ඉතින් අපේ අම්මල අත්තම්මලගේ කාලෙ වගේ දැන් කාලෙ අපෙ කාන්තාවන්ට ගෙදරටම වෙලා ඉන්න ලැබෙන වෙලාව අඩු නිසා Meal Planning කියන්නේ කාලෙට ගැලපෙන හොඳ විසඳුමක්.

හරි විදියට Plan කරලා උයා ගත්තනම්, සල්ලි වියදම් කරල පිටින් ගන්න කෑම කනවට වඩා ගෙදරම පවුලෙ අයත් එක්ක එකතුවෙලා රසට පිරිසිඳුවට කෑම වේලක් කන්නත් ඔයාට ඉඩ ලැබෙනවා.

ඉතින් එහෙනම් Happy Meal Planning!

Related Articles

Don't Miss


Latest Articles