විහඟිට සුදු ගවුම් දෙකක් තිබුණා. ඒත් පහුගිය නිවාසාන්තර ක්‍රීඩා උත්සවේ දවසේ එක ගවුමක් ඉරිලාම ගියේ වැටක පැටලිලා. ගෙදර එනකල් බෑග් එකෙන් ඉරුණු තැන වහගෙන එන්න විහඟිට පුළුවන් උනා. ඒත්, ආයේම පාසැල් යන්න පුළුවන් තරමකට ඒ ගවුම මහගන්න නම් පුළුවන් කමක් තිබුණේ නෑ.
විහඟිගේ අම්මා ගවුම එලළන්න උත්සාහ කලත්, ඒක සාර්ථක වුනෙත් නැහැ. ඊට පස්සේ විහඟිට තිබුණේ එක ගවුමයි.
විහඟි ඉගෙනගන්නේ නවය වසරේ. තාත්තා රිය අනතුරක් වෙලා එක් තැන් උනාට පස්සේ විහඟිලාගේ ජීවිතේ ත් එක් තැන් වුනා. තාත්තා උපයම කාලේ විහඟිගේ අම්මා ගෙදර වැඩ පල කරගෙන , විහඟිට පාසැල් වැඩ වලට උදව් කරලා හිටියා. ඒත්, තාත්තා එක් තැන් උනාම අම්මට ගෙදර බර කරට ගන්න වුනා.
දවසට දාහක එක්දහස් දෙසීයක පඩියට වැඩ කරලා එදා වියදමයි, විහඟිගේ තාත්තා ගේ බෙහෙත් වියදමුයි දරන එක අම්මට එතරම් ලේසි වුනේ නැහැ. ඒත් අවුරුද්දක් විතරම විහඟිලා ඒ ප්‍රශ්න එක්ක කොහොම හරි ජීවත් වුනා.
විහඟි ඉගෙනගන්න දක්ෂයි. අට වසරේ අන්තිම වාර පරීක්ෂණයෙන් පන්තියේ දෙවෙනියා විහඟි. ඒ හින්දා ම විහඟිගේ ඉස්කෝලේ ගමන ට බාධා වෙන්න නොදී කොහිමම හරි වියදම් කලමණාකාරණය කරගන්න විහඟිගේ අම්මත් උත්සාහ කලා.
ඒත් සමහර කාරණා වලට හදිසියට මොකවත්ම කරගන්න බැරි වෙන තරමට අපි අසරණ වෙනවා. එක සුදු ගවුමක් එක්ක විහඟිගේ පාසැල් ගමනත් කඩින් කඩ තත්වයට වැටුණා. හවසට සෝදලා වේලගන්න බැරි උනොත් විහඟිට ඊළඟ දවසේ පාසැල් යන්න වෙන්නේ නැහැ. තෙත පිටින් ගවුම ඇන්දාම ටික වෙලාවක් යනකොට දාඩිය එක්ක ඒ තෙත මුහු වෙලා අමුතුම ගඳක් එනවා.
” විහඟි … මොකද මේ ඉස්කෝලේ එන විදිය … අට වසරට ආවාට පස්සේ ඉස්කෝලේ එපා වෙලාද ?.”
පන්ති භාර ගුරුතුමිය දවස් දෙක තුනක් තිස්සේම විහඟිට අවවාද කලා. ඒ හැම දවසකම විහඟි කලේ ඔලුව පහලට නවාගෙන උන්න එක විතරයි.
විහඟිගේ මේ හැසිරීම දිහා දසුන් බලාගෙන හිටියේ. එදා හවස ඉස්කෝලේ ඇරිලා යනකොට දසුන් යාලුවෝ මඟෑරලා විහඟිගේ පස්සෙන් ගියා.
දසුන් කියන්නේ වත් පොහොසත්කම් වලින් අඩුවක් නැති ළමයෙක්. දසුන්ගේ තාත්තා ට නගරයේ වගේම ගමෙත් වෙළඳසැලක් තිබුණා. ඒ වෙළඳසැල් දෙකේම නැති දෙයක් නැහැ කියලයි ගමේ අය නම් කිව්වේ.
“මේ.. විහඟි.. මොකද ඉස්කෝලේ එන්නේ නැත්තේ…”
දසුන් එකපාරටම එහෙම අහනකොට, විහඟි කලබල වෙලා ආපස්සට හැරිලා බැලුවා.
” ඔයා මොකෝ මේ පාරෙන් යන්නේ මේ ?”
දසුන්ලාගේ ගෙදර තියෙන්නෙ විහඟිගේ ගෙවල් පාරේ නෙවෙයි කියලා දන්න නිසාම විහඟි එහෙම ඇහුවා.
” අහපු එකට උත්තර දෙනවකෝ … මේ කෙල්ලෝ නම් ඔහොමමයි …”
“අනේ ඉතින් මොකටද මේ පාරේ ආවේ ? අපේ අම්මා ට කවුරු හරි කිව්වොත් මට ගුටි ..”
“අපෝ අපෝ වැඩෙම තමා හොටු කෙල්ලොන්ගේ පස්සෙන් එන්න …”
දසුන් විහඟිව ඇවිස්සුවා. ඒත් විහඟි නෙවෙයි කිසිම දෙයක් කිව්වේ. දසුන් ආයෙම හැරිලා යන බව පෙන්නුවත්, වඳුල අස්සෙන් විහඟිගේ ගෙදර පිටිපස්සෙන් එබුණා.
” අම්මේ…”
” අන්න රොටි දෙකක් ඇති.. කාලා තේ කහට ඩිංගක් වක් කරගන්න පුතේ.. මං හනිකට සමර මහත්තයාගේ වත්ත ඇහැලා එන්නම් …. “
“හ්ම්ම්…”
“මොකෝ ඒක තෝන්තුවෙන් කීවේ?”
” ටීචර් අදත් බැන්නා ඉස්කෝලේ එන්නේ නෑ කියලා අම්මේ … මං කොහොමද කියන්නේ ගවුම වේලගන්න බැරි උන දවසටයි ඉස්කෝලේ එන්නේ නැත්තේ කියලා ..”
“මේ දවස්ටිකේම රෑට රෑට වහින නිසානේ මේ ඔක්කොම කරදදරේ.. උඹ ඉඳින්කෝ .. මම සමර මහත්තයාගේ නෝනාට කතාව කියලා බලන්නම්… කීයක්වත් එකපාර ඉල්ලගන්න …”
“එපා අම්මේ.. ඒ මිනිස්සු එහෙම දෙන අය නෙවෙයි …”
දසුන් අඩියට දෙකට පාරට පැන්නා. නංගිගේ ගවුමක කහට වගයක් ගෑවුණා කියලා අම්මා අලුතෙන් ගවුම් මහපු විදිය මතක් වුනා. විහඟිගේ ජීවිතේ ගැන හිතා ගන්නවත් බැරි වුනා
ගෙදර යන්නේ නැතුව දසුන් කෙලින්ම ගියේ තාත්තා ගේ කඩේට. ඊට පස්සේ මුල ඉඳන් කතාව තාත්තා ට කිව්වා.
” දැනට විහඟිට ගවුම් දෙකක් අරන් දෙන්න පුළුවන් නම් තාත්තේ… මං අර ඉල්ලපු බයිසිකලේ මට ඕනි නෑ.. ඒ සල්ලි වලින් විහඟිගේ අම්මට ගෙදර ඉඳන් කරන්න රස්සාවක් හදලා දෙන්න…”
පන්තියේ පලවෙනියා වුනාට පස්සේ දසුන් තෑග්ගට ඉල්ලුවේ රුපියල් හැටදාහකට එහා වටිනාකම් තියෙන බයිසිකලයක්
දසුන්ගේ තාත්තා දසුන්ගේ සහකම්පනය ගැන ආදරය පුරවගෙන හිස අත ගෑවා.
“අම්මා එක්කත් කතා කරලා බලලාම මම කරන්නම්කෝ කරන්න පුළුවන් හැමදේම ..”
” මම මේවා දන්න බව අඟවන්න එපා තාත්තේ ඒගොල්ලන්ට … ලැජ්ජ හිතුනොත් විහඟි ඉස්කෝලේ නෑවිත්ම ඉඳීවි …”
ඉන් දවස් දෙක තුනකට පස්සේ ඉඳන් විහඟි හැමදාම ඉස්කෝලේ ආවා. දසුන්ගේ තාත්තා ගේ ගමේ කඩේ උදේ අටේ ඉඳන් හවස දෙක වෙනකල් කරන්න රැකියාවක් විහඟිගේ අම්මට ලැබිලා තිබුණා. විහඟිගේ තාත්තාගේ ප්‍රතිකාර වෙනුවෙන් සහ ඔහුට තනිවම ඇවිදගන්න පුළුවන් තරමේ ආධාරක වෙනුවෙන් ඉඩ හැදිලා තිබුණා. ඒ හැමදේම වෙන්නේ දසුන්ගේ තාත්තා නිසා කියලා විහඟි කවදාවත් දැනගත්තේ නැහැ.
දෙන්නම සාමාන්‍යපෙළ ඉහලින්ම සමත් වුණා. දසුන් උසස්පෙළ වෙනුවෙන් නගරයේ පාසැලට ගියා. විහඟි ගමේ පාසැලෙන්ම උසස්පෙළ ට පෙනී හිටියා.
අද දසුන් කොළඹ නීති පීඨයේ ඉන්න නීති උපාධි අපේක්ෂිත තරුණියකට ආදරේ ප්‍රකාශ කරන්න සූදානම් වෙල ඉන්නෙ. මිතුරු මිතුරියන්ගේ සුබ පැතුම් මැද්දෙන් ඒ යුවතිය දසුන්ගේ අත අල්ලා ගත්තා.
ඉන් දවස් දෙකකට පස්සේ දෙන්නා ආයෙම මුණ ගැහෙනකොට ඒ යුවතිය දසුන්ගේ අතේ පාර්සලයක් තිව්වා.
” ගෙදර ගිහින් බලන්න ..”
යුවතිය කිව්වා. දසුන් ගෙදර ගිහින් කාමරයට රිංගගත්තා. පාර්සලය විවෘත කලා.
ඒකේ තිබුණේ සුදු ගවුමක්. ඒකෙන් මෘදු සුවඳක් වහනය වුනා.
ඒ ගවුම උඩින් ලියුමක් තිබුණා.
” එදා ඔයා අපේ ගෙදර ළඟ අම්මගෙයි මගෙයි කතාව අහගෙන හිටියා කියලා මම දන්නවා.. අපේ ජීවිතේ වෙනස් වුනේ ඒ නිසා කියලත් මම දන්නවා.. ඔයාට හිටපු ලොකුම තරඟකාරය මම පන්තියේ… එහෙම වෙලත්, මං වෙනුවෙන් එච්චර දෙයක් කරන්න හිතක් තියෙනවා කියලා තේරුම් ගත්ත දවසේ ඉඳන් ඔයාට ආදරේ කලා… ටිකෙන් ටික දේවල් තේරෙනකොට ඔයා මාව මඟෑරලා ටව්න් එකේ ඉස්කෝලේට යනකොට මරන්න තරම් තරහක් ආවා… ඒත් අන්තිමේදි තේරුම් ගත්තා හූරන්න තරමටවත් රිදුමක් හැදෙන්නෙ නෑ කියලා .. එදා ඉඳන් මේ සුදු ගවුම තනි රැක්කා.
. ඔයා මෙච්චර ඉක්මනට ඒවි කියලා හිතුවේ නැහැ… ඒ නාවා නම් , කොන්වර්කේශන් එකෙන් පස්සේ, මම ඔයාව හොයාගෙන එනවා කොහොමටත් …”
දසුන් සුදු ගවුමයි, ලියුමයි දෙකම අරගෙන අම්මායි තාත්තායි ලඟින් ඉඳගත්තා.
ජීවිතේ .. එහෙම මල් යායක් වේවා…!!!!
| අපේක්ෂා ගුණරත්න |