සෙනෙහස් අවාරේ 21

සුමධුර හිත හදාගත්තේ බොහෝ දවසක් බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් පසුවය. 

“සිසිමාධවීට ආදරේ කලේ මම නෙ. ඒ ලමය මාත් එක්ක වැරදි විදියකට හිනාවෙලා කතා කරලවත් නෑ. කොටින්ම හිනාවෙලා කතාකරල තියෙන්නෙ එක දවසක් හරි දෙකක්ද කොහෙද. එහෙම එකේ ඒ ලමය ගැන කිසිම දෙයක් හරියට හොයන්නෙ කරන්නෙ නැතුව මම හිතෙන් දාහක් දේවල් හිතුව එකනෙ වරදෙ. එතන ඒ ලමයගෙ වරදක් නෑ. වරදක් කරා නම් කරේ මං මිසක් ඒ ලමය නෙවෙයිනෙ” කියා සුමධුර බොහෝ වර තමන්ටම කියාගත්තේය. සුමධුර හිත හදාගත්තේ තමන් විසින් තමන්ටම කියන්නට යෙදුණ ඒ වදන් වලින් ලබාගත් ජීවිතාවබෝධය ඔස්සේය.

සිසිමාධවී සුපුරුදු පරිද්දෙන් තිලකරත්න නිවසට වැඩට ආවේ ගියේ මේ කිසිවක් ගැන අංශුවකවත් හැඟීමක් නැතුවය. ඇය හැමදාම උදයේ සිනා සෙමින් බෝගන්විලා මල් පෙති විසිරුණු උඳුපියලිය ගොල්ල මතින් ඇවිද ගියාය. උදාඅසන ආහාරය සකසා අයිරාංගනීට දෑතින්ම ගෙන ගොස් පිලිගැන්වුවාය. ගේ දොර අස්පස් කර පිරිසිඳු කරාය. තනියට අයිරාංගනී සමග දොඩමලු වූවාය. හවස තේ සකසා සුමධුර වෙනුවෙන් තේකක් උණුවතුර බෝතලට පුරවා තැබුවාය. 

බොහෝ කාලයකට පසු තිලකරත්න මැදුර තිබුණේ ගැහැණියකගේ උණුසුම් පාද ස්පර්ශයෙන්ද දෑතක ස්පර්ශයෙන්ද පණ ගසමිනි. සුමධුර ඒ උනුහුමට ආලය නොකලාය ලොල් නොවුනාය කියන්නට නොහැක. සුමධුර සිසිමාධවී ගැන ඇත්ත දැනගත්තයින් පසුව ඇයව සැලකුවේ දිදුලන  නිල් පැහැ ජලය පිරුණ දිය කඩිත්තක පිපුණු ලා රත් පැහැති නෙලුම් මලක් මෙනි. ඒ මල.පිපී තිබුනේ තමාට ලං වෙන්නට නොහැකි ඉසව්වක   බව සුමධුර සිසිමාධවී දකින හැම මොහොතකම හිතට නිරත්තරයෙන් කීවේය. එහෙත් ඒ නිසාවෙන්වත් සිසිමාධවී විසින් තිලකරත්න නිවසේ මවන්නට යෙදුණ අසිරියද පුරවා තබන්නට වූ උණුහුමද නොදැක්කා සේඉන්න සුමධුරට හැකිවූයේ නැත.

මේ නිවස ඇතුලේ  බොහෝ කාලයකට පෙර මෙවන්ම වූ උණුහුමක් අසිරියක් අම්මා විසින්ද මවාලූ බව සුමධුරට මතකය. ඒ මව්වත් උණුහුම අසිරිය ම්මා අසනීප වූවයින් පසු බිඳෙන් බිඳ අඩු වී ගිය අයුරුත් අවසානයේ තමන්ට අමතකම වී ගිය අයුරු සුමධුර ආයේ මතක් කරේය.මේ යලිත් ගේ ඇතුලේ.පිරී ගොස් තිබෙන්නේ ඒ මව්වත් උණුහුමය, සුවඳය.

“දරුවො දෙන්න දවාලට ඉස්කෝලෙ ඇරිල ඇවිත් මොකද කරන්නෙ ළමයො?” අයිරාංගනී ඇසුවේ සිසිමාධවී කාමරය අස්පස් කරන තුරු සඳලුතලයට වී මිදුලේ වවා තිබෙන ගස් කොලං දෙස බලාගෙනය.

“මහත්තය ඉන්නවනෙ නෝන. දරුවො දෙන්න ඉස්කෝලෙ ඇරිලා කෙලින්ම ගෙදෙට්ට එනවා. කාල බීල සෙල්ලම් කර කර ඉන්නව” සිසිමාධවී කිව්වේ වේගයෙන් කට් සිමෙන්තිය මත ඇලවී තිබුණ කලු පැල්ලමක් යවන්න පිරිමැද්දාය. 

“මහත්තයට දැන් කොහොමද ළමයො?” අයිරාංගනී ඇසුවේ වඩා මුදු හඬකිනි. සිසිමාධවී හුස්මක් ගනිමින් මදකට බිම වාඩි වුණාය.

“අනේ හොඳක් කියල දෙයක් නෑ නෝන, හොඳක් වේය කියල හිතන් උන්නට ඉතින් අපි වගේ අය හිතන පතන ඒව එහෙමම වෙනව නම් බැරිය නෝන. හොඳක් වෙන්න කියල හැමදාම උදේ හවා පහන පත්තු කරද්දි දෙයියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලනවා. ඒ ඇරෙන්න ඉතින් වෙන වෙනසක් අපේ ජීවිතේ නෑනෙ නෝන”” කතාව එසේ අවසන් කරමින් සිසිමාධවී අයේ වතාවක් කට් සිමෙන්තිය මත වූ කලු පැල්ලම වේගයෙන් ඇතිල්ලුවාය.

“මහත්තයගෙ මහගෙදර උදවිය එහෙම කොහොමද?” 

“එහෙම ලොකු හොඳක්වත් වරදක්වත් කියන්න දෙයක් නෑ නෝන. කෝසල අසනීප වෙන්න කලින් නම් එහෙම ලොකු උදව්වක් පදව්වක් කියල දෙයක් කරේ නෑ. හැබැයි බොරු කියන්න ඕන නෑනෙ කෝසල අසනීප වුණ විත්තිය දැනගත්තයින් පස්සෙ නම් අම්මා සෑහෙන්න වෙනස් වුණා නෝනා. දැන් නම් ඇත්තටම හොඳයි කියන්න පුලුවන්. දවාලට කෝසල හිටියට අම්මත් දරුවො දෙන්නව හිටන් බලාගන්නවා”

“ඒකම හොඳයිනෙ. ඕක තමා ළමයො කියන්නෙ හැම කලු වලාකුලක් අස්සෙම රිදී ඉරක් තියෙනව කියලා.ඇත්තටම මට වෙලාවකට සිසිමාධවී ගැන පුදුමත් හිතෙනවා ආඩම්බරත් හිතෙනවා” අයිරාංගනී එසේ කියද්දී සිසිමාධවී කලේ හෙමින්සැරේ ඔලුව උස්සා ඇය දෙස බලා සිනාසුණ එකය.

“නෝන වගේ කෙනෙක් මං වගේ කෙනෙක් ගැන ආයේ මොකටද ආඩම්බරෙන් හිතන්නෙ?”

“නෑ මම ඒක ඇත්තටම කිව්වේ, සිසිමාධවීට මූණ දෙන්න වුණා වගේ ප්‍රශ්නවලට මට දෙන්න වුනෙ ඇත්තටම සුමධුරයි කල්පනයි තමන්ට කියල තනියෙන් දෙයක් කරකියාගන්න පුලුවන් කාලෙනෙ. මම අසරණ වුණා කියල ඒ කාලෙ හිතුවත් සිසිමාධවීව දකිද්දි මට හිතෙනව මම කොච්චර අඩුවෙන්ද අසරණ වෙලා තියෙන්නෙ කියලා. ඔය දරුවා මටත් වඩා අසරණ වුණාට දරුවො දෙන්නවයි මහත්තයවයි බලාගෙන හයියට ඉන්නවනෙ”

“අසරණකමට තත්ත්වයක් තරාතිරමක් නෑ කියනව නෝන. එදා අසරණ වෙච්ච නෝනයි, අද අසරණ වෙලා ඉන්න මමයි කියන්නෙ දෙන්නම අසරණ වෙච්ච ගෑණු දෙන්නෙක්”

ඉන්පසුව විනාඩි කිහිපයක් යනතුරු එහි වාතාශ්‍රය පිරී තිබුණේ නිහැඬියාවකිනි. ඒ නිහැඬියාව ඇතුලත එකමාකාරයෙන් දෙතැනකදී අසරණ වූ ගැහැණුන් දෙදෙනෙකුගේ ආත්මයන් එකිනෙකා සනසාලනු පිණිස එක්වී තිබුණි.

“මහත්තයගෙ අක්කද නංගිද ළමයො කසාද බැන්ද කිව්වෙ?”

“අක්කනෙ නෝන. අක්ක බඳිද්දි තිස් පහත් පැනලනෙ. කෝසලගෙ  අම්මා හරි හිත් කරදරෙන් හිටියෙ ඒ ගැන””

“ඒ කසාද බැන්දෙ යාලුවෙලාද?”

“නෑ නෝන යෝජනාවකින් හොයාගත්ත එකක්. හොරණ පැත්තෙ මිනිස්සු කට්ටියක්ලු”

“හොඳ කට්ටියක්ද?”

“මං එහෙම ලොකුවට ඒ උදවිය ගැන දන්නෙ නම් නෑ නෝන. හැබැයි ඒ අයියා නම් හොඳයි වගේ. අපේ දරුවන්ට එහෙමත් හරි ආදරෙයි”

“ඒකම වටිනවනෙ නේද? අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ මිනිස්සු එක්ක තියෙන හිතවත්කම් විතරනෙ” අයිරාංගනී එසේ කියා දෙනෙත් පියාගෙන මිදුලේ සිට හමාගෙන එන මද සුලඟ වින්දාය. 

සුමධුර එදා කළින් ගෙදර ආවේ සිසිමාධවී හම්බෙන්නටම හිතාගෙනය. සිසිමාධවී ගැන හිතේ පුරවාගෙන හුන් ආදරණීය සිතුවිලි තමන්ටවත් සොයාගන්නට නොහැකි තැනක හංගා තියන්න සුමධුර කටයුතු කරද තවදුරටත් මෙය නාසා නිහඬව ඉන්න හැකියාවක් සුමධුරට තිබුනේ නැත. හිතේ විචිකිච්චාවක්, ගැටලුවක්, ප්‍රශ්නයක් පුරවාගෙන නිදහසේ නිදාගන්නට බැරි බව විශ්වාස කල මිනිසෙකු වූ සුමධුරට ඕන උනේ “වෙන දෙයක් වෙච්චාවෙ” කියා සිසිමාධවිගෙන් මේ ගැන විමසා ඉවරයක් කරන්නටය.

සුමධුර එදා වෙනදාට වඩා කළින් ගෙදර ආවේ ඒ කටයුත්ත ගැන සිසිමාධවීගෙන් අහන්න හිතාගෙනමය. අම්මා සමග දින දෙක තුනකට පෙර ඒ ගැන කතා කර තිබුණ නිසාවෙන්ම සුමධුරට තමන් මේ අසන්නට යන කාරණාව ගැන සිසිමාධවී වරදක් හිතාවි යැයි හිතන්නට හේතුවක් තිබුණේ නැත.

ගෙදර යන්නට කළියෙන් සිසිමාධවී සුමධුරගේ කාර්‍යාල කාමරයට ආවේ උණුහුම් තේ කෝප්පයක්ද රැගෙනය. සුමධුර හවසට කහට කෝප්පයක් බොන්නට කැමති වග සිසිමාධවී දැනගත්තෙ පෙර දිනක හදා දුන් කහට කෝප්පය අවසන් වූ පසු සුමධුර කුස්සියටම විත් තවත් තේ කෝප්පයක් ඉල්ලූ මොහොතේය.

දොර හැර තිබුනද සිසිමාධවී හෙමින් සැරේ අතැඟිලි නවා දොරට තට්ටු කරාය. සුමධුර උන්නෙ හිස මේසයට ඔබාගෙන පොතක කුමක් හෝ දෙයක් අඳින්නට පැන්සලකුත් අඩිරූලකුත් මෙහෙයවමිනි. ඒ සිසිමාධවී මිස වෙන කෙනෙක් වන්නට නොහැකි බව දන්නා නිසාම සුමධුර හිස නූස්සාම “එන්න” කියා පැවසුවේය.

“මහත්තය තේ එක” කියා තේ කෝප්පය මේසය මත තැබූ සිසිමාධවී තැනුවේ පිටව යන්නටය. එහෙත් සුමධුරගේ ගැඹුරු එහෙත් මධුර හඬ ඒ වැළකුවේය.

“මාධවී”

සිසිමාධවී තිගැස්සුනේ ඒ හඬටය. 

සුමධුර තිලකරත්න මින් පෙර තමාව ඇමතුවේ කිසිදු නමක් හෝ ආමන්ත්‍රණයක් නොමැතිවය. “ඔයාගෙ නම දිග වැඩි ඒ හන්දා මෙහෙදි සිසී කියල කතාකරන්නම්” කියා මුල්ම දවසේ කිව් කල්පනා නෝනා දිගටම කතා කරේ ඒ නමිනි. අයිරාංගනී මහත්මිය විටෙක නම කියාත්, විටෙක දරුවෝ කියාත් කියද්දි සිසිමාධවී ඒ භාරගත්තේ අම්මා කෙනෙකු කතාකරනවා කියා සිතාය. තමන්ගේ මේ අවුරුදු විසි නවයක පමණ ජීවිත කාලය තුළ තමාව සිසී කියාත්, මධූ කියාත් බොහෝ අය ඇමතුවද මාධවී කියා කිසිවෙක් තමාව ඇමතූ වගක් සිසිමාධවීට මතක නැත. අනෙක් අතට සුමධුර තිලකරත්න වන් මිනිහෙක් කිසිසේත්ම තමන් වැනි යටහත් සේවිකාවට එසේ කතා කල යුතුද කියාත් සිසිමාධවී ඔහු දෙසට හැරෙන අතරම සිතුවාය.

“මහත්තයා?”

“මම මාධවී එක්ක දෙයක් කතාකරන්න හිටියෙ. මං මෙහෙම අහන එක ගැන වරදක් හිතන්න එපා මුලින්ම කියන්න ඕන. නරක අදහසකින්වත් ඔයාව පල්ලෙහට දාලවත් හිතල අහන දෙයක් නම් නෙවෙයි”

සුමධුර කියාගෙන ගියේ ඉවසිල්ලේය. නැවතිල්ලේය.

ඒ ඇසිල්ලේ සිසිමාධවීගේත් සුමධුරගේත් හදවත් ගැහෙමින් තිබුණේ එකම රටාවකටය. එකම තිගැස්මකටය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles