සමේ තෙතමනය ආරක්ෂා කරන ආහාර

වියළි සම , එහෙමත් නැත්නම් විජලනය වූ සම සඳහා ඔබට කළ හැකි හොඳම ප්‍රතිකාරය නම් ශරීර අභ්‍යන්තරයට නිසි පෝෂණය ලබා ගැනීමයි. මෙමගින් සම ආශ්‍රිත ගැටලු බොහොමයක් විසඳා ගත හැකි වනවා. වියළි සම සඳහා බාහිරින් මොයිස්චරයිසර් ආලේප කිරීමම ප්‍රමාණවත් නොවන අතර සමෙහි විෂ ද්‍රව්‍ය ඉවත් කරන සහ තෙතමනය ආරක්ෂා කරන ආහාර ලබා ගැනීම වැදගත්. සම වියලීම නිසා වයස්ගත පෙනුමක් ඇති වීම , සමේ රැලි ඇති වීම , සම එල්ලා වැටීම , අඳුරු පැහැ ලප මතු වීම සහ ඇස් වටා අඳුරු පැහැයක් ගැනීම සිදුවන්නට පුළුවන්. මේ තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා ඔබට ගත හැකි ආහාර ගැනයි මේ ලිපිය.

පිපිඤ්ඤා

වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා පිපිඤ්ඤා ඉතා විශිෂ්ට තේරීමක් ලෙස සැලකෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක ජලය ග්‍රෑම් 287 ක්, විටමින් A, C සහ K, folate, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, සෙලේනියම්, පොස්පරස්, ඔමේගා-3 මේද අම්ල සහ ආහාරමය තන්තු අඩංගු වනවා. පිපිඤ්ඤා වල ඇති අධික ජල අන්තර්ගතය නිසා ඒවා නිරන්තරයෙන් ආහාරයට ගැනීම මගින් සමේ තෙතමනය ආරක්ෂා කර ගත හැකි වෙනවා.

පිපිඤ්ඤා යුෂ පානය කිරීම , ලුණු සහ ගම්මිරිස් සමග පිපිඤ්ඤා ආහාරයට ගැනීම , සලාද , සැන්විච් හෝ ඩිටොක්ස් වතුරට එකතු කර වුවත් පිපිඤ්ඤා පරිභෝජනය කළ හැකියි.

අලිගැටපේර

පිරිසිදු අලිගැට පේර කෝප්පයක විටමින් C 23 mg, විටමින් E – 4.8 mg, විටමින් A – 16.1 µg, විටමින් K – 48.3 µg, omega-3 මේද අම්ල – 253 mg සහ folate 183 µg අඩංගු වන අතර මෙම පෝෂ්‍ය පදාර්ථ සමේ පටක යථා තත්ත්වයට පත් කිරීමට, සමේ සෛල නැවත සජලනය කිරීමට, සම නම්‍යශීලී කිරීමට සහ රැළි අඩු කිරීමට උපකාරී වනවා.

අලිගැටපේර සළාද වලට එකතු කිරීම, ස්මූති හෝ ටෝස්ට් සමඟ පරිභෝජනය කිරීම වගේම ෆේස් මාස්ක් වලටත් භාවිතා කළ හැකියි.

කෙසෙල්

කෙසෙල් විටමින් A, B, C, සහ D , තඹ, සින්ක්, යකඩ, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, folate සහ ආහාරමය තන්තු වලින් පොහොසත් වෙනවා . කෙසෙල් වල ඇති ආහාරමය තන්තු මගින් ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වන අතර එමඟින් සම පුනර්ජීවනය කිරීමට සමේ සෛල වර්ධනය කිරීමට උපකාරී වෙනවා. කෙසෙල් නිතිපතා ආහාරයට ගැනීමෙන් ඔබේ සමට අවශ්‍ය දීප්තිය සහ සිනිඳු බව ලබා දිය හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.

දිනකට අවම වශයෙන් එක් කෙසෙල් ගෙඩියක් හෝ දෙකක් ආහාරයට ගත හැකි වන අතර ඔබට එය අතුරු පසට , ස්මූති ලෙස , පෑන් කේක් ,මෆින් , හෝ ඕට්ස් සමඟ ආහාරයට ගත හැකියි. ඒ වගේම මී පැණි සහ යෝගට් සමඟ මිශ්‍ර කර ෆේස් මාස්ක් එකක් ලෙසද භාවිතා කරන්නට පුළුවන්.

මාළු

සැමන්, ටූනා සහ හුරුල්ලන් වැනි මාළු ඔබේ සමස්ත සෞඛ්‍යයට ඉතා හොඳ ප්‍රතිලාභ ලබාදෙනවා. මෙම මාළු ඔමේගා-3 මේද අම්ල වලින් පොහොසත් වන අතර ඒවා ආහාරයට ගැනීමෙන් දැවිල්ල අඩු කිරීමට, විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට සහ ඔබේ සමේ තෙතමනය අවහිර කර තබා ගැනීමට උපකාරී වනවා.ඔබේ සමට හොඳ පෝෂණයක් ලබාදීමට මාළු වර්ග සුදුසු වන අතර එමගින් ඔබේ සම මෘදු කිරීමට හේතු වෙනවා. ඒ වගේම මාළු යනු ඔබේ සෛල ක්‍රියාශීලීව තබා ගැනීමට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථවල හොඳ ප්‍රභවයක් ලෙස සැලකෙනවා.

සෑම විටම ආහාරයට ගැනීම සඳහා නැවුම් මාළු තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතු අතර ව්‍යංජන ආකාරයෙන් , ග්‍රිල් හෝ බේක් කර සලාද , ටෝස්ට් සමඟ මාළු ආහාරයට ගත හැකියි.

බිත්තර

බිත්තර විටමින් A, D, සහ E, folate, choline, protein, omega-3 සහ omega-6 මේද අම්ල, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, සෙලේනියම් සහ සෝඩියම් වලින් පිරී තියෙනවා.සමේ සෛල පටලවල අඛණ්ඩතාව වැඩි දියුණු කිරීමට උපකාර වන මේද ද්‍රාව්‍යය සහ විටමින් බිත්තර වල අඩංගු වනවා .කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමේ සහ හෘද රෝග ඇතිවීමේ අවදානම නිසා බිත්තර ප්‍රමාණය ඉක්මවා පරිභෝජනය කිරීමෙනුත් වැළකිය යුතුයි.

උදෑසන ආහාරය සඳහා තැම්බූ බිත්තර එකක් හෝ දෙකක් ආහාරයට ගත හැකි අතර ටෝස්ට් සමඟ , සලාදයකට එකතු කර හෝ ව්‍යංජන ආකාරයෙන් වුවත් බිත්තර පරිභෝජනය කළ හැකියි.

දෙළුම්

සමේ ගැටළු සඳහා ප්‍රතිකාර කිරීමට දෙළුම් යුෂ පමණක් භාවිතා කිරීම ප්‍රමාණවත් නොවන අතර දෙළුම් බීජ ආහාරයට ගැනීමත් කළ යුතු වෙනවා.දෙළුම් බීජ වල ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු වන නිසා සමේ නම්‍යතාවය වැඩි දියුණු කිරීමට , සමේ දැවිල්ල සහ කැසීම් තත්වයන් සමනය කිරීමට , උපකාරී වෙනවා. දෙළුම් ජලය, විටමින් A සහ ​​C සහ ඛනිජ ලවණ වලින් පොහොසත් වන නිසා සමේ සෛල සජලනය කිරීමට සහ වියළි බව නිසා ඇතිවන ඉරිතැලීම් සුව කිරීමට දායක වෙනවා.

දිනකට දෙළුම් කෝප්ප බාගයක් ආහාරයට ගැනීම සෞඛ්‍යවේදීන් නිර්දේශ කරන අතර ඔබේ උදෑසන ආහාරය සමඟ හෝ ස්නැක් එකක් ලෙස , අතුරුපසක් ලෙස දෙළුම් පරිභෝජනය කළ හැකියි.

බතල

බතල විටමින් A, B6, B3, B2 සහ B1, පැන්ටොතනික් අම්ලය, බයෝටින්, තඹ, පොටෑසියම්, පොස්පරස්, ආහාරමය තන්තු සහ කැරොටිනොයිඩ් වලින් පොහොසත් වනවා . බතල වල ඇති කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ප්‍රතිඔක්සිකාරක එන්සයිම වල ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමට සහය ලබා දෙනවා. බතල ආහාරයට ගැනීමෙන් ඔබේ සම සමනය කර විෂ ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට හැකි වන අතර අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ බතල මගින් වේදනාකාරී සහ ඉරිතලා ඇති සම සුවපත් කිරීමට හැකියාව ලැබෙන බවයි.

බතල ව්‍යංජන ලෙස , ග්‍රිල් කර හෝ බේක් කර ආහාරයට ගත හැකි වන අතර බැදපු බතල පෙති මගින් සලාද සකස් කර පරිභෝජනය කළ හැකියි.

කිවි

කිවි විටමින් සී සහ බීටා කැරොටින් වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එය සමට හානි කළ හැකි විවිධ ආසාත්මිකතා සහ බැක්ටීරියා සමඟ සටන් කිරීමට උපකාරී වනවා . විටමින් C කොලජන් සංස්ලේෂණයට සහය වන අතර, එය ස්ථීර සහ තරුණ සම පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වනවා. කිවි ආහාරයට ගැනීම මගින් සමේ කැළැල්, වර්ණක සහ කුරුලෑ ඇතිවීම අඩු කළ හැකි බවයි.

කිවි ඔබට අතුරුපසක් ලෙස , සලාද වලට , චියා පුඩින් වලට , ස්මූතිස් වලට හෝ ඕට්ස් වලට එකතු කර පරිභෝජනය කළ හැකියි.

මේ ආහාර දිනපතා ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම මගින් ඔබේ සමට අභ්‍යන්තරයෙන් පෝෂණය ලබා දෙමින් තෙතමනය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles