ඉගෙනීම උතුම්ම ධනයයි

දිනක් බස් නැවතුම්පලක තම අත්තම්මා සමඟ සිටි මිණිබිරියක් එක්තරා පුද්ගලයෙකු පෙන්වා මෙහෙම ඇහුවා.

“ඇයි අත්තම්මේ අර මාමා ඉරුණ ඇඳුම් ඇඳගෙන අනිත් අයගෙන් සල්ලි ඉල්ලන්නෙ”..

තම මිණිබිරිය පෙන්වූ දෙස බැලූ අත්තම්මා දුටුවේ එක් අතක් නැති සිඟමන් යදින මැදිවියේ පුද්ගලයෙක්. කුඩා මිණිබිරිය දෙස බලා ඇය මෙසේ කිව්වා.

“ඒ මාමාගේ අතක් නෑ පුතේ ඔයා දැක්කද? එයාට රස්සාවක් කරන්න බෑනේ ඒකයි අනිත් අයගෙන් සල්ලි ඉල්ලගෙන ජීවත් වෙන්නේ”.

“එහෙනම් අත්තම්මේ අර මාමාගෙත් අතක් නෑ නේ” කියමින් පුංචි දියණිය තවත් දිසාවකට අත දිගු කළා.

එවර ඇය පෙන්වූයේ එම ප්‍රදේශයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන ටියුෂන් ගුරුවරයෙකුගේ දැන්වීම් පුවරුවක්

එවිට අත්තම්මා මිණිබිරියට මෙහෙම කිව්වා.

“ඉගෙනීම තමයි පුතේ ඒ මාමලා දෙන්නව වෙනස් කරලා තියෙන්නෙ.
පුතා පෙන්වපු දෙවනි කෙනා මගේ පංතියේ ඉගෙනගත්තු දරුවෙක්.
එයා කුඩා වයසේදීමයි අනතුරකින් අත නැති වුණේ. හැබැයි එයා හැමදාම කිව්වේ”,

අත නැති වුණාට මට ඉගෙන ගන්න ශක්තිය තියනවා. මං වගේ අයට ඉගෙනීම තමයි ලොකුම ධනය” කියලා…

ආබාධිතයි කියන්නේ ජීවිතේ පසුබසින්න හේතුවක් නෙමෙයි. දෑස් නොපෙනෙන, කන් නෑසෙන, අත් පා අහිමි මිනිසුන් තමන්ගේ සිහින ජයගත් කතා මෙලොව කොතරම් ඇත්ද? ඉන් අපි දන්නා කතාද බොහොමයක් ඇත..

ඉතින්……

ජීවිතයේ කුමන හෝ අවස්ථාවක ඇතිවන බාධාවකින් ඔබේ ගමන කිසිසේත්ම අත් හැර දමන්න එපා.
ජීවිතය කියන්නෙම අභියෝගයක්. අපි අම්මගේ කුසෙන් මේ ලෝකෙට එන්නෙම ලොකු වෙහෙසක් දරලා. එහෙම ලැබුණ ජීවිතයට බාධා එකක් නෙමෙයි සිය දහසක් ආවත් වැටෙන්න එපා තමන්ගේ අනාගතය ගැන සිහින මවන්න. තමන් කැමති මොකක්ම හරි දෙයක් ඉගෙනගන්න. ඒ ඉගෙනීම හා එයට තියන ආශාව ඔබව ඉහළටම රැගෙනයාවි…

-වීණා-

More Stories

Don't Miss


Latest Articles