දයාබර..

අම්මාගේ සැත්කම රජයේ රෝහලක කරන්න වුණ එක ගැන ගඟන හිටියේ හිත් රිදීමෙන්. ඒත් පෞද්ගලික රෝහලක සැත්කම කරන්න ගඟනගේ අම්මා කොහොමටවත් එකඟ වුණේ නැහැ. ගඟනගේ මිතුරන් පවා  ගඟනගේ අම්මගේ අදහස වෙනස් කරවගන්න උත්සාහ කලත් ඒ උත්සාහය සාර්ථක වුනෙත් නැහැ. ඒ නිසාම ඒ සැත්කම පෞද්ගලික රෝහලක නොකර රජයේ රෝහලක කරන්න අම්මව යොමු කරන්න ගඟනට සිදු වුණා.

රජයේ රෝහලකට යොමු වෙන්න අකමැති වෙන්න ප්‍රධානම හේතුව වුණේ කාර්‍යමණ්ඩල ගැන තිබුණ අයහපත් කතා බස්. ගඟනට අත්දැකීම් නොතිබුණත් මුහුණුපොතේ ලියැවුනු කතන්දර, කාර්‍යාලයේදි සගයන් කියපු කතන්දර එක්ක ගඟනට රජයේ රෝහලක අම්මව දින තුනක් නවත්තන්න හිතුනේම නැහැ. 

” මම අම්මා ළඟ ඉන්නම්… එතකොට මුකුත් ප්‍රශ්නයක් වුනත් ඔයාට කියන්න පුළුවන් නේ..”

ගඟනගේ පෙම්වතිය වුන නිම්සාරි කිව්වා. රජයේ රෝහල් ගැන නිම්සාරි ට පැහැදිලි අත්දැකීම් නොතිබුණත්, මේ වෙලාවේ ගඟන වෙනුවෙන් ඒ වගකීම ගන්න ඇයට අවශ්‍ය වුනා. ගඟන නිම්සාරි දිහා බැලුවේ එයාට ඒක කරන්න පුළුවන් ද කියන බැල්ම එක්ක. නිම්සාරි ඒ බව පුළුවන් කියන විශ්වාසය එක්කම හිනා වුණා.

අඟහරුවාදා උදේ නිම්සාරියි, ගඟනයි , ගඟනගේ තාත්තායි ගඟනගේ අම්මාවත් එක්කරගෙන රෝහලට  ගියා.  අම්මාව රෝහලට ඇතුලත් කරගත්තාට පස්සේ ගඟනයි , තාත්තා යි ගෙදර ගියා.

” අපි දොළහට එන්නම් කෑමත් අරන් …”

ගඟන යන ගමන් නිම්සාරි ට ඇමතුමක් දුන්නා. 

ගෙදර ගියත් ගඟන හිටියේම කලබලෙන්. දුරකතන ඇමතුම් කිහිපයකින් ගඟන ෆැක්ටරි එකේ වැඩ කටයුතු ගැන හොයලා බැලුවා. ඊට පස්සේ ඉස්තෝප්පුවේ ඉඳගෙන ජංගම දුරකතනය ඔබ ඔබා ඔහේ හිටියා.

” මොකද ගඟන මෙච්චර කලබලෙන් ඉන්නේ.. ඒක ඒ තරම් ලොකු ඔපරේෂන් එකක් නෙවෙයි .. ලොකු නැන්දාත් කලේ…”

තාත්තා ගඟනට පේන මානෙන් වාඩි වුණා.

” ලොකු නැන්දා සර්ජරි එක කලේ ප්‍රයිවට් නේ තාත්තා  .. මේක එහෙම නෙවෙයි නේ.. අනෙක, අපිට ඕනි වෙලාවට ගිහින් විස්තරයක් වත් අහගන්නේ කොහොමද .? මට නම් කේන්තියි අම්මා එක්ක… මහ පුදුම හිතුවක්කාර කමක් තියෙන්නේ …. මේ සල්ලි මෙහෙම වෙලාවක නැතුව ආයේ මොකටද?… ලෝබ කම් කරන්න හොඳ නෑ…”

ගඟන කෝපයෙන් කියෙව්වා.

” මේක සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි ගඟන …. විශ්වාසය ගැන ප්‍රශ්නයක් ..!!”

තාත්තා එහෙම කිව්වට පස්සේ ගඟන ඒ කීව එක ගැන ආයෙම හිතුවා. ඒත් පැහැදිලි අදහසක් ලැබුනේ නම් නැහැ. 

” මට තේරුනේ නෑ…”

ගඟන ටික වෙලාවකින් එහෙම කිව්වා. 

” මෙහෙමයි … ඉස්සර ඉතින් අපි බැඳපු කාලේ අපිට මේ තරමට මුදල් හයියක් තිබුණේ නෑනේ… ඉතින් ඔයා ලැබෙන්ම ආවම ප්‍රයිවට් ක්ලිනික් ගියේ අන්තිම මාස දෙක තුනේ විතරයි … එතකල් අම්මා එම් ඕ එච් එකට ගියේ.. පවුල් සෞඛ්‍ය නෝනා එක්ක තමයි කතා බහ කරලා ඒ දේවල් කලේ…

කොහොමින් හරි ඔයාව ලැබෙන්න   අම්මාව හොස්පිට්ල් අරගෙන යනකොට මෙහෙට මහා වැස්ස  එක්ක ග‍වතුරකුත් පටන් අරගෙන තිබුණේ.. කොහොමින් හරි, පැයක් වගේ යනකොට  හොස්පිට්ල් එකේ වැඩට එන්න උන්න  ඩොක්ටර්ස්ලා ට හොස්පිට්ල් එකට එන්න විදියක් නැති ගානට ගංවතුර වැඩි වුනා.. ඔයාගෙ අම්මටයි තව ලේඩි කෙනෙක්ටයි ටික ටික අමාරු වෙන්නත් අරගෙන තිබුණේ..

ඒ උන්න නර්සස්ලා, ඩොක්ටර්ස්ලට පණිවිඩ කිය කියා තත්වය අප්ඩේට් කලා..

අන්තිමේදි අම්මට හොඳටම අමාරු වෙන්න ගත්තා… ක්වාර්ටස් වල උන්න ඩොක්ටර් බැකෝ එකක් ගෙන්නගෙන ඒ බැකෝ එකෙන් තමයි හොස්පිට්ල් එකට ආවේ.. වෙන කිසිම වාහනේකට එන්න බෑ ඒ වතුරේ.. පස්සේ  ඒ බැකෝ  එකේ ආව රියැදුරු මහත්තයා අනෙක් ඩොක්ටර්ස්ලටත් හොස්පිට්ල් එන්න උදව් කලා… 

ඔයා ලැබෙනකොට මැරිලා වගේලු උන්නේ.. ඒත් ඒ ඩොක්ටර්ස්ලාගේ කැපකිරීම නිසා ඔයා එදා ඇඬුවේ කියලා අම්මා අඳුනන නර්ස් කෙනෙක් පස්සේදී අම්මට කියලා තියෙනවා .. අපි තවම ඒ ඩොක්ටර්ස්ලට කතා කරනවා.. 

දැන් නම් ඒ අය මෙහෙ නැහැ…

ඔන්න ඕකයි කතාව.. අම්මා විශ්වාස කරනවා ගවර්මන්ට් හොස්පිට්ල් වල ඒ වගකීම, වගවීම, කැපවීම තියෙනවා කියලා …”

තාත්තා කිව්වා.

” ඒ වුණත් ..  අනේ මන්දා…”

ගඟන ට ඉබේටම එහෙම කියවුණා. 

“මොකක් හරි බෙහෙතක අඩුවක් තියෙනවා නම් ඒක පිටින් ගෙන්නලා දෙන්න කියලා කියනවනේ..නිම්සාරි දුව එතන ඉන්නවනේ.. ඔයා මෙතන නිකන් කලබල වෙන්න ඕනි නෑ ගඟන… වට පිටෙන් අහපු දේවල් නිසා මිසක් ඔයාට වරදක් වෙලා නෑනේ…”

තාත්තා එහෙම කියාගෙන සාලෙට ගියා. 

ගඟන එහෙමම වාඩි වෙලා බලාගෙන හිටියා. 

” අහලා තියෙන දේවල් ඇත්තටම ඇත්ත නෙවෙයි ….  වෙන්න තියෙන දේ කොහේ උන්නත් වෙනවා … ඒ හින්දා පුතා බොරුවට කලබල වෙන්න ඕනි නෑ… මට නිදහස් සෞඛ්‍ය ගැන විශ්වාසයි ….”

අම්මාගේ ඇස් වල තිබුණ විශ්වාසය ගඟනට ඇහුණා. 

දවල් රෝහලට ගිහින් අම්මාව බලලා  නිම්සාරි එක්කත් කතා කරලා ගඟන කෙලින්ම ෆැක්ටරියට ගියා. 

දවස් පහකින් අම්මාව සුව ඇතිව රෝහලෙන් ගෙදර එක්කරගෙන ආවා. ගඟන හිටියේ සැනසීමෙන්.

” අපි හිතුවට ඒ මිස්ලා එහෙම නරක නෑ අනේ.. එයාලා කෑ ගහන්නේ මිනිස්සුන්ගේම හිතුවක්කාර වැඩ වලට ….. රෑට නොකා උදේට තියටර් යන්න ලෑස්ති වෙන්න කිව්වොත් ඔන්න රෑ බඩගිනී කියලා බිස්කට් හරි කාලා…, ඇඳට වෙලාම ඉන්න කිව්වාම තනියෙන් ඇවිදලා… යූරින් පාස් වෙනකොට ඒවා මෙශර් කරන්න කිව්වම හිතලා ගානක් කියනවා.. එව්වා ඉතින් එක දිගට වෙනකොට තරහ යනවනේ…”

නිම්සාරි හවස මුණ ගැහුණම එහෙම කිව්වා.

” ඒම නැති වෙන්න  ඒ මිස්ලගෙ කෑම එක පවා පේශන්ලාට දෙනවා… මට නිදිමත නම් ටිකක් රෑට නිදාගන්න කියලා හැමදාම කිව්වා.. මං වාඩි වෙලා ඉන්නකොට.. ඒ කැපකිරීම් නම් නෙක්ස්ට් ලෙවල් …. “

ගඟන හිස සැලුවා. 

එක් නරක  සිදුවීමක් නිසා, සමස්ථ පද්ධතිය ගැනම විනිශ්චය දෙන්න හදිසි වෙන්නෝනි නැති බව තේරුම් ගත්තා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles