ඇය මම නිතර දෙවේලේ දකින කාන්තාවකි. සෑම සතියේ දිනකම පාහේ උදෑසන පහ හමාරේ කොළඹ 07 බසය එනතෙක් ඇය ගිරිඋල්ල බස් නැවතුමේ රැඳී සිටින අතර අසල ලැඟුම් ගෙන සිටින පරවියන්ට ආහාර ද දමයි. පුදුමය නම් ඇය අසල නිතරම පරවියන් රැඳී සිටීමය. සෑම දිනම මම රාත්‍රී වැඩමුරය අහවර වී බසයෙන් බසින විට බස් නැවතුමේ කිසිදු පරවියෙක් දැකීමට නැතිමුත්, සෑම උදෑසනකම බස්නැවතුම පරවියන්ගේ පාරාදීසයක් බඳුය.
අහිංසක , චාම් පෙනුමක් ඇති ඇයගේ දෑස් වලින් නිතරම මම දුටුවේ අමුතුම ආකාරයක වේදනාවක ප්‍රතිබිම්බයකි. එතරම් කරුණාවන්ත ඇය කවර කාරණයක් නිසා දුකට පත්ව ඇද්දැයි මගේ සිත මගෙන්ම විමසන්නට විය. මම ඇය පිළිබඳව සිතීම කෙතරම් උමතුවක් වී ඇද්දැයි මටම තේරුම් ගියේ දින දෙකකට ඉහත සිදු වූ සිදුවීමකිනි.
දෙදිනකට ප්‍රථම අද වගේම මම මෙම බස්නැවතුමට වී ඇය දෙසම බලා සිටියෙමි. එකපාරටම මා අසල බසයක් නතර කළ හෙයින් පොරකන මිනිසුන් පීරමින් මම ද බසයට නැගුනේ බසයේ අසුනක් අල්වා ගැනීමේ අදිටනිනි. ඉනික්බිතිව ඇයගේ උතුරා හැලෙන රූසපුව පිළිබඳව මෙනෙහි කරමින් දෑස් පියාගත් අතර, මම බසයේ යාමට පැමිණි මඟියකු නොව බස්නැවතුමේ වැඩමුරය සඳහා පැමිණි ආරක්ෂයකු නොවෙදැයි මට තේරුම් ගියේ පැයක පමණ කාලයක් ඉක්ම ගිය පසුවය.
එම සිදුවීමෙන් පසු මම වැඩට ආවේ අදය. දරාගත නොහැකි උණ රෝගයක් වැළඳීම නිසා දෙදිනක් නිවාඩු ගැනීමට මට සිදුවිය. අද නම් ඇය දෙස මෙසේ හොරැහින් නොබලා කෙලින්ම ඇය සමඟ කතාබහ කරන බවට මම ඉටාගතිමි. එහෙත් පුදුමයකට මෙන් ඇය පරවියන්ට ආහාර දමා අහවර වී මා අසලට පැමිණියාය.
” අයියට දැන් සනීපද?”
ඇය මා අසනීප බව දන්නේ කෙසේද?
” සනීප?… කවුද කීවේ මම අසනීප වුණා කියල?”
“කවුරුත් කීවේ නෑ. මම දන්නව…”
“ඒ කොහොමද ?”
“මම අයියා ගැන ගොඩක් දේවල් දන්නව… ඒවා මෙහෙම කියන්න බෑ.. හෙට අයියට නිවාඩු නම් අපි හම්බෙලා ටිකක් කතා කරමු.”
මුවින් කිසිවක් පැවසීමටවත් සිහියක් නොතිබුණ මගෙ හිස දෙපසට වැනුනේ ආයාසයකින් තොරවය.
“හෙට උදේ මේ වෙලාවට අයියා මෙතන්ට එන්න.. මට අයියට කියන්න ලොකු කතාවක් තියෙනව…”
ඇය එසේ පවසා නික්ම ගිය අතර මම ඇය හමුවන වේලාව එනතෙක් මඟබලා සිටියෙමි.
පසුදින උදෑසන පහට පමණ මම වෙනදාට වඩා පෙනුමට ඇඳුම් ඇන්දෙමි. මට සුවඳවත් සුවඳ විලවුන් නැති නිසාම ඕඩික්ලෝන් බෝතලයක් රැගෙන් විත් එය ගතේ තැවරුවෙමි. ඉනික්බිතිව හිමිදිරි පාන්දරම ඇයව සොයා පියමැන්නේ ඇයගේ මුහුණින් දිස්වන දුක්ඛදායී පෙනුමට කරුණු විමසීමේ අරමුණිනි.
“ආ අයියා කලින්ම ඇවිත්…”
ඇය එනතෙක් මඳ වෙලාවක් මට බලා සිටීමට සිදුවිය. පුදුමය නම් පරවියන් පැමිණියේ ඇයත් සමඟ වීමය. ඇය බස්නැවතුමට ආවා පමණි, පරවියන් වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් බස්නැවතුම වසා ගන්නට විය. ඇයගේ පෙනුමද වෙනදාට වඩා වෙනස්ය. ඇය ඇඳ සිටියේ රත්පැහැ බතික් රටාවකින් අලංකාර වූ සුදුපැහැති ගවුමකි. එහි වූ රත්පැහැය රුධිරයට බෙහෙවින් සමානය. ඇයගේ හිස්කෙස් වෙනදා මෙන් පැත්තට පීරා කොණ්ඩය කරලට ගොතා නොතිබිනි. එය අවුල් වී ඇත. දෑස්වල වූයේ දරාගත නොහැකි වේදනාවකි . ඇගේ දෑස් දුටු මගේ ද හිත දරාගත නොහැකි වේදනාවකින් වෙලී යන්නට විය. වෙනදා මෙන් ඇය පරවියන්ට ආහාර දැමුවේ ද නැත. ඇගේ පැමිණීමත් සමඟම පැමිණි කොළඹ 07 බසයට ඇය නැඟුනේ මටද ඇය පසුපස පැමිණෙන මෙන් ඉඟි කරමිනි. සිදුවන වෙනස්කම් සමඟ මගේ සිත ඇය සමඟ නොයන සේ මට පැවසුවත් මගේ දෙපා ඇයව අනුගමනය කරන්නට විය.
මට තවමත් සිතාගන්නට නොහැකි ඇයි මම ඇය පසුපස විත් මෙසේ කාත්කවුරුත් නොමැති පාලු හිස් භූමියක නතර වූයේද යන්නය.
“නංගි… නංගි…”
සිහිනයෙන් අවදිවූවකු මෙන් මම ඇයව සොයන්නට වුණෙමි. මට මතක ඇයව බස්නැවතුමේදී හමු වූ හැටි පමණි. දැන් මම සිටින්නේ පාලු හිස් භූමියකය. හිමිදිරි උදෑසන ඇයත් සමඟ පිටවුන මම තවමත් සිටින්නේ සූර්‍යාලෝකයට හුඟක් ඈතිනි. මම මගේ අතෙහි වූ ඔරලෝසුව දෙස බැලුවේ වෙලාව දැනගැනීමේ දැඩි උනන්දුවකිනි.
“නෑ… මේක වෙන්න බෑ… මම උදේමනේ පිටත් වුණේ. එතකොට මම… අනික මේ වෙනකම් මොනාද සිද්ධ වුණේ? මගෙ අත්වල ලේ… නෑ… මගෙ කමිසයෙත් ලේ… මට මොකද වුණේ… අයියෝ මට පිස්සු හැදෙන්න වගේ…”
මම දෑතින්ම මගේ හිස බදාගෙන හිසකෙස් අදිමින් ශබ්ද නඟා කෑගැසුවෙමි. හදිසියේම පැමිණි දෑතක් මගේ දෑත් පිටුපසට තද කරනවා දැනුණෙන් මම දෑස් විවර කර බැලුවෙමි. ඒ පොලිස් නිලධාරීන් ය. ඔවුන් මාගේ දෑත්වලට මාංචු පළඳවමින් සිටි අතර මට සිදුවන කිසිවක් තේරුම් ගැනීමට නොහැකිව සිටියෙමි. හදිසියේම මගේ දෑස් නිලංකාරවෙන්නාක් මෙන් මට දැනුණි.
…………………
“ඩොක්ට, ඒ ලෙඩා ළඟට යන්න එපා…”
” ඒ මොකද මිසී…”
“ඩොක්ට අලුතින් නේ ආවේ… ඒ මනුස්සයා ගැන දන්නෑනේ… ඒ මනුස්සයා මිනිස්සු හතර දෙනෙක් මරපු කෙනෙක්…”
“එහෙනම් ඉතිං මිනිහ ඉන්නෝන හිරේ නේ.. ඇයි මේ මානසික වාට්ටුවෙ නතර කරන් ඉන්නෙ…”
“ඒක දිග කතාවක් ඩොක්ට ..ඩොක්ට එන්නකො මම විස්තරේ කියන්න…”
මැදිවියේ පසු වූ හෙදිය තරුණ වෛද්‍යවරිය සමඟ ගියේ ප්‍රධාන වෛද්‍යවරයාගේ කාර්‍යාලය වෙතය. ඉනික්බිතිව ඇය කබඩයකින් පරණ යැයි කිවහැකි ලිපිගොනුවක් පිටතටගෙන තරුණ වෛද්‍යවරියේ අතට දුන්නාය.
“ඩොක්ට, ඔය ලෙඩා මිනීමැරුම් සිදුකළ ස්ථානයේදිමයි අත් අඩංගුවට අරන් තියෙන්නේ. පස්සෙ උසාවි දැම්මට පස්සෙ කියල ඒ මිනීමැරුම් හතරම කළේ මිනිහ කියල. ඒ පලිගන්නලු. මිනිහ ආදරේ කරපු කෙල්ලව මෙයාලා දූෂණය කරල මරල හංගල. ඒ තැනටම මේ හාදය අර මිනිස්සු ගෙනත් කෲර විදිහට මරල දාලා. පුදුමෙ කියන්නෙ මිනිහ කියපු තැන හාරලා කෙල්ලගෙ මිනියත් හොයාගෙන ඒත්, දෙවන උසාවි වාරයේදී මිනිහ කෑගහල මිනිහ කිසිම දෙයක් කීවෙත් නෑ. කිසිම මිනීමැරුමක් කරෙත් නෑ. ඔය කියන කෙල්ලව දන්නෙත් නෑ කියල… අන්තිමට මිනිහගෙ මානසික මට්ටම හොඳ නෑ කියල මෙහාට ගෙනත් දැම්මා…”
“ඇත්තටම මිසී, මේ ලෙඩාව සනීප කරන්න බැරිවුණේ ඇයි?”
“අපේ ලොකු සර් ගොඩක් උත්සහ කරා. කරන්ට් පවා ඇල්ලුවා.. ඒත් බැරිවුණා ඩොක්ට… මිනිහ කීපවාරයක්ම සියදිවි නසාගන්න හදපු නිසා ඔහොම හිරකරල බැඳල තියෙන්නෙ…”
තරුණ වෛද්‍යවරිය අසල වූ පුටුවක් අසුන්ගෙන තම අත වූ ලිපිගොනුව එකිනෙක පරීක්ෂා කරන්නට වූයෙන් හෙදිය එතනින් නික්ම ගියාය.
“මොනවා… නිම්නා…”
ඇය ලිපිගොනුවේ සඳහන් වූ ප්‍රකාශයක් දැක තරමක් තිගැස්සී ගියාය. ඉනික්බිතිව ලිපිගොනුව මේසය මත එසේ තිබෙන්නට හැර ඉක්මන් ගමනින් රෝගියා සිටි කාමරය වෙත දිව ගියාය.
“තමුසෙ කොහොමද නිම්නාව දන්නෙ? කියනවා…”
තමන් වෛද්‍යවරියක් යන්නත් අමතකව ඇය රෝගියා සිටි කාමරයට පිවිස ඔහුගේ කමිසයෙන් අල්වා කෝපයෙන් ගුගුළාය.
……………………….
තරුණයාගේ නම අයන්තය… දෙමාපියන් හෝ නෑදෑ හිතමිත්‍රාදීන් නොමැතිව ජීවත් වූ ඔහු හැදීවැඩුනේ අනාථ නිවාසයකය. නිසිවයසට පත් වූ පසු බස්නැවතුමක ආරක්ෂක තනතුරට ඔහු පත්විය.
එසේ ඒකාකාරී දිවිපෙවෙතක් ගත කළ ඔහු මානසික රෝගියෙක් බවට පත්වූයේ කෙලෙසක්දැයි කිසිවකුත් දැන සිටියේනැත. එහෙත් එම අභිරහස තරුණ වෛද්‍යවරියට දැන් පැහැදිලිය. ඔහුට එම ජීවිතය උරුම විය යුත්තක්ම බව ඇය සිතුවාය.
“කියපං මිනිහෝ… උඹ කොහොමද මගෙ නංගිව දන්නේ?”
“නි … නි… නිම්නා… මට සමාවෙන්න මිස්. මට සමාවෙන්න මිස්… එදා මම බය නොවී මිස්ව බේරගන්න තිබ්බා.. මට සමාවෙන්න මිස්…”
මඳ වේලාවක් ඇය දෙස තුෂ්නිම්භූතව බලා සිටි ඔහු විලාප තියන්නට විය. එහෙත් ඒ විලාපය ඔහුගේ මුවේ රැඳුනේ මඳ වෙලාවකි… එසැනින් ඔහුගේ ස්වරයද දෑස් වල වූ වරදකාරී හැඟිමද වෙනස් විය.
“අක්කා…”
“චූටි… මේ ඔයාද?”
“ඔව් අක්කා… මම ම තමයි…” අයන්ත අමනුස්ස කටහඬකින් ඉකිබිඳ මින් පැවසුවේ වෙද්‍යවරිය දෙස බලමිනි.
“අක්කා… එදා සෙමිනා එක ඉවරවෙලා මම එද්දි රෑ වුණානේ. කුරුණෑගලට ගිය බස් එකෙන් මාව බලෙන්ම වගේ ගිරිඋල්ල බස්නැවතුමෙන් උං බස්සගත්තා. මට උදව් කරන්න කවුරුත් හිටියෙ නෑ අක්කා… මූ විතරයි හිටියෙ, මූත් අහක බලන් හිටිය. මම පුළුවන් තරම් හයියෙන් කෑගැහුව. මූ නෙවෙයි හැරිල බැලුවෙ. පස්සෙ අරුන් මාව උන්ගෙ වාහනේක දාං අරං ගිහින් නැත්තටම නැති කරා අක්කා… ” අයන්ත ඉකිබිඳිමින් අමනුස්ස හඬකින් යුතුව පැවසුවේ තරුණ වෛද්‍යවරියගේ දෑස් කඳුලින් තෙත් කරමිනි.
“දන්නවද අක්කා.. . උන් මාව ඇල්කොහොල් දාල පණපිටින් පිච්චුව. අන්තිමට මාව පිට්ටනියෙ වැළලුවා. ඒත්… ඒත්…හෙහ් හෙහ් හේ… ඒත් මම උන් ඔක්කොම මැරුවා… මූ මාර්ගයෙන් මම ඔක්කොගෙන්ම පලිගත්තා. ඒත් අක්කා, මූ පොලීසියට හරි කීවා නම් මම බේරෙන්න තිබ්බනෙ… ඒකයි මූට්ත් දඬුවම් දුන්නෙ…!”
ඇය විටෙක ඉකිබිඳිමින් ,විටෙක උමතුවෙන් මෙන් සිනහාසෙමින් පැවසුවාය. එහෙත් ඇගේ අවසාන් වාක්‍යට තමන් කුමක් කළ යුතුද යන්න තරුණ වෛද්‍යවරියට සිතාගත නොහැකිවිය.
“අක්කා… මූව හොඳ කරන්න කියල හිතල මට යන්න නම් කියන්න එපා.. මම යන්නෑ අක්කා.. කවදාහරි මම ගියත් යන්නේ නේවත් අරං…හහ් හහ් හා…!”
……………. සමාප්ති…………….
©හංසි රණසිංහ