ප්‍රාර්තනා

“මේ බලන්නකො ප්‍රාර්තනා ආයෙ මැරි කරන්න යනවලු”

රිද්මි එහෙම කිව්වෙ ෆෝන් එකෙන් කාගෙහරි වෙඩින් එකක ප්‍රී ශූට් එකක ෆොටෝස් බලන ගමන් කියල චේතනා දැක්කා. ඒ වුණාට ඔය කියන ප්‍රාර්තනා කවුද කියන එකවත්, ආයෙ බඳිනව කියන කතාව ඔච්චර සමච්චලෙන් කියන්න දෙයක් වුනේ ඇයි කියන එකවත් චේතනාට හිතාගන්න බෑ.

“කවුද අනේ ප්‍රාර්තනා කියන්නෙ?” චේතනා රොටේටින් චෙයා එකෙන් අනිත් කට්ටිය ඉඳපු පැත්තට හැරිල ඇහුවෙ එකදිගට වැඩ කරල, ලැප්ටොප් එක දිහා බලාගෙන ඉඳල ඇස් දෙකත් රිදෙන නිසා.

චේතනාගෙ පුටුව එහා පැත්තෙ වාඩිවෙලා උන්න තරුකි චේතනා දිහාට හැරුනෙ ඒ විස්තර කියන්න කට හදාගෙනමයි.

“ප්‍රාර්තනා ඉස්සර මෙහෙ වැඩ කල ඇසිස්ස්ටන්ට් කෙනෙක් අනේ”

“ආහ් ඔයාල එද්දිත් හිටියද?”

“මං එද්දි නම් හිටියෙ නෑ. ඔය අපේ රිද්මිල, සුපේශලාල එක්ක එහෙම ඒ ළමය හිටියෙ. හැබැයි ඉතින් රිද්මිල කියපු ඒවයි හැටියටනම් මමත් දැන් එයාව දන්නවා” කියල තරුකි හිනා උනා.  තරුකිගේ ඒ හිනාව යට අමුතුම අන්දමේ කතාවක් හැංගිල තියෙනව කියල තේරිච්ච හන්දමයි චේතනාට ඔච්චර ඔය ප්‍රාර්තනා කියන කෙනා විශේෂ වෙන්නයි කතාබහට ලක්වෙන්නයි හේතුව මොකක්ද්ද කියල දැනගන්න ඕන උනේ.

“කියන්නකො බලන්න ඉතින් මටත් මොකද්ද ඔච්චර රස කතාව” කියල චේතනා අහද්දි ටිකක් එහයින් වාඩිවෙලා ෆෝන් එක බල බල උන්නු රිද්මියි සුපේශලයිත් චේතනාලාල ලඟට ආවෙ එයාලටත් බලන්න ෆෝන් එක දික් කරගෙන.

ලංකාවෙ ටිකක් ප්‍රසිද්ධ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙච්ච ශෙනාල් ගුණසේකර අරගත්ත ලස්සනම ලස්සන ප්‍රී ශූට් ෆොටෝස් වල උන්නෙ ලස්සන කෙල්ලෙක්. කට්ටියම මේ සමච්චලේට හිනාවෙන ප්‍රාර්තනා එයා වෙන්නැති කියලා හිතන ගමන්ම තමා චේතනා ෆෝන් එක ආපහු රිද්මිට දුන්නෙ.

“ප්‍රාර්තනා මෙහෙ වැඩට එද්දි කැම්පස් අවුට් වෙච්ච ගමන්ම වගේ. දක්ශයි, ලස්සනයි, ඒ උනාට ඉතින් අනිත් පැත්ත නම් හරි නෑ”

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ කාලෙන් කාලෙට එක එක කොල්ලො. ඔන්න හරිද කැම්පස් අවුට් වෙලා මෙහෙ එද්දි කැම්පස් එකේ කොල්ලෙක් එක්කම තමයි යාලු වෙලා හිටියෙ. ඉස්සර ඒ කොල්ල එනව වැඩ ඇරිල මෙයාව එක්කරගෙන යන්න මෙතෙන්ටත්. කොහොමහරි මෙහෙට ජොයින් වෙලා මාස හයක් යන්න කලින් දෙන්න බ්‍රේක් අප් උනා”

“රිද්මිට මතකද අපිට ඇවිල්ල කිව්වා ඒ කොල්ල එයාලගෙ ඔෆිස් එකේ වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා, ඒකයි බ්‍රේක් අප් උනේ කියල” සුපේශලත් කතාවට සම්මාදම් වුණා.

“ඉතින් එහෙම වෙන්න බැරිද?” කියල චේතනා ඇහුවෙ කට්ටියගෙන්ම පොදුවෙ. අෆෙයාර්ස් තියෙනව, බ්‍රේක් අප් වෙනව කියන එක ඉතින් අමුතු දෙයක් නෙවෙයිනෙ කියල චේතනා හිතුවට මොකෝ ඒ ප්‍රශ්නෙට කට්ටියගෙ මූනවල් ඇදවෙච්ච විදියට මොනාහරි ඇති කියල චේතනාට නොහිතුනා නෙවෙයි.

“එහෙම වෙන්න තිබුණා ඒ ප්‍රාර්තනා නොවී වෙන කෙල්ලෙක් උනානම්”

“ඇයි එහෙම කිව්වෙ?”

“ඒ කැම්පස් කොල්ල එක්ක බ්‍රේක් අප් වෙලා මාස හතරක් ගියේ නැතුව ඇති මෙන්න මෙයා අකවුන්ටින් ඩිපාට්මන්ට් එකේ මල්ලි කෙනෙක් එක්ක යාලු උනා හරිද. කැම්පස් කොල්ලට ඇත්තට ආදරේ කරා නම් ඔහොම එකපාර බ්‍රේක් අප් වෙච්ච ගමන් තව එකෙක් හොයාගන්නෙ නෑනේ. අනික කිසි දුකකින්වත් නෙවෙයි හිටියෙ. වෙනද වගේම හොඳට ආතල් එකේ හිටිය. අපි ඒත් ඒ දවස්වල කතා කරා අපි ඔහොම බ්‍රේක් අප් උනානම් අවුරුදු ගණන් අඩ අඬ ඉන්නවනෙ අනේ අවංක ආදරෙ එහෙමනෙ කියල”

“ඉතින්?”

“කොහොමහරි පස්සෙ මෙයා ලොකු සැලරි ඉන්ක්‍රිමන්ට් එකකට වෙන ඔෆිස් එකක මැලේසියා වල බ්‍රාන්ච් එකට ප්‍රමෝට් උනා. ඒ යන්න කලින් අර අපේ අකවුන්ටින් එකේ බෝයිව මැරිකලා. මැරිකලා කියන්නෙ වෙඩින් එකක් ගත්තෙ නෑ, පොඩියට රෙජ්ස්ට්‍රේශන් එක ගත්තෙ, අපිටත් කේක් එහෙම ගෙනාවා.

අපි හිතුවෙ තාම ඒ මනුස්සයව මැරිකරල හොඳට ඇති කියල මොකෝ රට ගියාට පස්සෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඩිඇක්ටිවේට් කරල. දැන් මෙහෙන් ගිහිල්ලත් අවුරුදු පහක් වගේ. අපි හිතුවෙ නිකන් ඩිඇක්ටිවේට් කරල කියල. ඒ උනාට වෙන නාඩගම් නෙ නටල තියෙන්නෙ.

මෙහෙම කෙල්ලන්ට අහුවෙන කොල්ලො ඇත්තටම පව්. දැන් ඔය ප්‍රී ශූට් එක කරන්න අල්ලගෙන තියෙන කොල්ලටත් ඔච්චර තමා. අනික ඇඳන් ඉන්න එක බලන්නකො, නිකන් මේ දහ අටේ විස්සෙ එකියක් වගේ. ලැජ්ජ නැතිකම අර මොකද්ද එකටත් වඩා ලොකුයි කියනවනෙ” කියල කියන ගමන් තමයි රිද්මි ආපහු තමන්ගෙ ඩෙස්ක් එකට ගියේ.

කතාව එතනින් ඉවර උනාට චේතනාට ඇත්තටම තව සෑහෙන වෙලා යනකම් ප්‍රාර්තනාවයි, එයාගෙ කතාවයි ඔලුවෙන් අයින් කරන්න බැරිඋනා.

සමහරවිට අපි නොදන්න, ප්‍රාර්තනා විතරක් දන්න කතාවක් එයාගෙයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලගෙයි තිබුණද කියල අපි දන්නවද?

එහෙම බැලුව කතා හදන, තව කෙනෙක්ට චරිත සහතික දෙන මිනිස්සු ඇත්තටම ඒ කතා හදන්නෙ කිසිම දෙයක් ගැන හරි විස්තරයක් නොදැන නේද කියල සිතුවිල්ල එදා දවස පුරාවටම හිතෙන් අහක් කරන්න චේතනාට බැරිවුණා.

ඇත්තටම අපිව දන්නෙ අපි විතරමයි නේද?

ලෝකෙ මිනිස්සු අපි ගැන, අපේ කතා ගැන මොනවද දන්නේ?

හවස චේතනා ෆේස්බුක් පෝස්ට් එකක් ඒ විදියෙ වචන පේළියක් එක්ක ශෙයා කරේ ප්‍රාර්තනාට හිතෙන් සුබ පතන ගමන්මයි.

More Stories

Don't Miss


Latest Articles