බලු සුරතල්

ඔෆිස් එකෙන් ඇනුවල් ලීව් ගත්ත මටයි රොෂාන්ටයි දවස් දාහතරක නිවාඩුවක් හම්බුණා. ලියන කරන වැඩ එහෙම නිදහසේ කරගන්න කියල හිතලා අපි දෙන්න ගියේ ආණමඩුව පැත්තෙ පරිසරයට ලංවෙන්න හදපු Eco Friendly හෝටලේකට.

උදෙන්ම ගෙදරින් පිටවෙච්ච අපි දො එහෙට යද්දි උදේ එකොලහ විතර උනා. සුපුරුදු විදියට ගෙදරින් පිටත් වෙද්දි ගා් ඉන්න අම්මට කෝල් කරපු මම අම්මගෙන් මුලින්ම අහන සුපුරුදු ප්‍රශ්නෙ ඇහුවා.

“අම්මෙ පොඩි දෙන්න මොකද කරන්නේ?”

තම් කුසෙන් බිහිවෙච්ච දරුවො දෙන්න අවුරුදු තිස් ගණන්වලට කිට්ටු උනාට අපේ අම්මගෙ තුන්වෙනි දරු පවුල වෙච්ච අපේ සුරතල් බව්වො දෙන්න තමා අපෙ ගෙදර දැනට ඉන්න පොඩි දෙන්නා. ඉතින් හැමදාම කෝල් කරාම ඒ දෙන්න ගැන අහන එක මගේ රාජකාරියක්.

“මේ දවස්වල බලු පොරේනේ, අර නාකි මංගල කිංකිණි ගේ පස්සෙ මේ දෙන්නගෙ වැඩේම රස්තියාදු ගහන එක” අම්මා කියන්නෙ පොඩි අමනාපයකුත් කටහඬේ රඳවගෙන.

“එයාලා ඉතින් බල්ලොනෙ අම්මෙ. එහෙම තමයි” මං කියන්නෙ හිනා වෙවී

“බල්ලො උනාට ළමයො, ඉතින් දැන් ඉස්සර ශැගීලා ඔහොම එලියට ගියේ නෑනෙ. පුදුම රස්තියාදුවක යන්නෙ”

“එයාලා ඉතින් හොඳ බල්ලොනො. මෙයාල වල් බල්ලො නිසා වෙන්නැති. ඒ උනාට ඒ දෙන්නටත් මං ශැගීලට තරම්ම ආදරෙයි” හිනාවෙවීම අම්මට කියන මම ෆෝන් එක තිබ්බා.

දවල් එකොලහ විතර වෙද්දි හොටෙල් එකට ආව අපි දවල්ට කාල පොඩි නින්දකුත් දාල හවස ඇහැරුනේ තේ වෙලාවට වැව ඉස්සරහට ගිහින් හර්බල් ටී එකක් බොන ගමන් මොනවහරි රස කැවිල්ලක් කන්න හිතාගෙන.

කොලඹ ඉඳන් ආවෙ එදා නිසා අපි එදාට කොහෙවත් යන්න දාගෙන තිබුණෙ නෑ. අපි ඉඳපු හොටෙල් එක තිබුනෙ ආණමඩුව පහල දිවුල්වැව කියන පැත්තෙ. හෝටලේ ඉස්සරහ පොඩි වැව තිබ්බෙ මැයි මාසෙ ධාරානිපාතෙන් වැටිච්ච වැස්සට හෙමින් සැරේ පිරෙන්න මග බලාගෙන. වැව ඉස්සරහ මැටියෙන් කරල වහලට පොල් අතු හෙවිල්ලපු හෝටලේ බිම පැදුරු දාන් හාන්සිවෙලා මම කරේ දිගටම පොත් කියවපු එක, එහෙම නැත්තම් මේ දවස්වල Smart lady එකේ යන මගේ සෙනෙහස් අවාරේ කතාව ලියන්න පටන් ගත්ත එක.

“හෙට එහෙනම් අපි කූතානියාගල බලන්න යන් නේද උදේම?” කියල හොටෙල් එකේ නැචුරලිස්ට් ඇවිත් අහද්දි මමයි රොශානුයි දෙන්නම හිනාවෙලා හා කිව්ව. අපි හාන්සිවෙලා ඉන්න තැනින් පොඩ්ඩක් ඔලුව උස්සල බැලුවම පේන වෛරන්කුලම් වැවෙන් එපිට අහසෙ නිල්පාට පසුබිම කරගෙන පේන විශාල ගල් තලාව තමයි කූතානියාගල කියන්නෙ. හෝටලේ ඉඳල කිලෝමීටර් හතක් විතර දුරින් තියෙන කූතානියාගලට ඉර පායන දර්ශනය හරි ලස්සනට පේනව කිව්ව නිසාමයි අපි පස්සෙන්දා උදේ එහෙ යන්න හිතුවෙ.

ගමන පටන්ගත්තෙ උදේම. බයිසිකල් වල හීතල හුලඟ වැදි වැදි, ගස්වල පිණි බිංදු ඇඟට වට්ටවගන්න ගමන් සීතල හිරිකඩේ ගිය ඒ ගමනෙ ලස්සන වැඩිවුනේ කූතානියාගල නැග්ගයින් පස්සෙ.

ඒ ලස්සන අම්මට කියන්නයි කෝල් එක ගත්තෙ. ඒත් එක කෝල් එකකට පුලුවන් හිත ගිණි තියන්න කියල මට තේරුනෙත් ඒ කෝල් එකෙන්.

“අනේ පුතේ බ්‍රව්න් උදේ කිංකිණයි ශයිනුයි එක්ක එලියට ගියා උදේ හතරහමාරට විතරට. වෙනද මම බුදුන් වැදල ඉවර වෙද්දි පහයි කාල විතර වෙද්දි එනවා. අද තාම නෑ” කියල අම්ම අඬන්න ඕන මෙන්න වගේ කියද්දි මං වෙලාව බලද්දි හතයි.

“අනේ රොශාන් බ්‍රව්න් උදේම ගිහින් තාම ඇවිත් නෑ” කියල කියද්දි මට ඇඬුණා. පාරෙ ඉඳල අරන් ආව දෙන්නෙක් උනත් අපි කොච්චර ආදරෙන් දරුවො දෙන්නෙක් වගේ හදපු සත්තු දෙන්නා.

“අනේ අම්මෙ ගිහිල්ල බලන්න බැරිද?”

“යන්නෙ කොහෙද ළමයො? ධාරාණිපාතෙන් වැස්ස. ශයින් වැස්සෙම දුවන් ආව. එයා හරිම කලබලෙන් ඉන්නෙ. මම බ්‍රව්න් කොහෙද කියල ඇහුවම ඇඳ යටට ගියා” කියල අම්මා කියද්දි ඒ නපුරු සලකුනක් කියල නොහිත ඉන්න මට බැරිවුණා.

කූතානියාගල කොච්චර ලස්සන උනත්, වැහි පොදක්වත් නොතිබුනත් මට තවදුරටත් ඒ ලස්සන පෙනුනෙ නෑ. බයිසිකල් අරගෙන ආපහු හොටෙල් එකට බයිසිකලේ පැදන් එද්දි ඇස්වලින් කඳුලු බිංදු වැක්කිරිල හුලඟට විසිරිලා ගියා.

“අනේ තාත්තේ, අනේ ශැගී ඔයාලා කොහෙ හරි ඉඳන් අපි දිහා බලන් ඉන්නවනම් බ්‍රවුන්ට ගෙදර එන්න පාර කියන්න” ඒ කඳුලු අස්සෙන් මම හිතෙන් තාත්තටයි ශැගීටයි කිව්වා. 

“බ්‍රව්න් වතුර වලකට වැටිල ඇති”

“කවුරුහරි එයාව හිරකරගෙන එයාට ගහනවද දන්නෙ නෑ” කියල අඬ අඬ හිතන ගමන්ම “අනේ බ්‍රව්න් ඔයා හොඳ තැනක නම් ඉන්නෙ කමක් නෑ, ඒත් ඔයාට කරදරයක් නම්” කියල හිත තව හයියෙන් රිද්දගන්න මං අමතක කරේ නෑ.

සතෙක් උනත් ඒ අපේ පවුලෙ කෙනෙක්. කලින් ඉඳපු බලු පැටව් තුන්දෙනාම ලඟ ලඟ අවුරුදු තුනකයි, ඉන්පස්සෙ තාත්තයි දිව්‍යලෝකෙ යද්දි කොච්චර නම් ඇඬුවද? එහෙම එකේ ආයෙ අඬන්න, පවුලෙ තව කෙනෙක්ව නැති කරගන්න හිත හදාගන්නෙ කොහොමද?

මට එදා උදේට කන්නත් බැරිඋනා.

දවල් එකොලහ වෙද්දිත් බ්‍රව්න් ආවෙ නෑ. අම්මා වැස්ස අඩු උනාට පස්සෙ නංගි එක්ක බ්‍රව්න්ව හොයන්න හැම තැනම ගිහින් තිබුනා. “හවස් වෙද්දිත් බ්‍රව්න් ආවෙ නැත්තම් මම ගෙදර යනවා” අඬ අඬම මම එහෙම හිතුවා.

දවල් එකොලහමාරට විතර අම්මා කෝල් කරනවා.

“අනේ බලන්න ළමයො, මේ මකරාස්සය අර පටුමග පැත්තට කිංකිණි එක්ක ගිහින්, මෙයාට පාර හොයාගන්න බැරුව අතෑරල දාපු ඉඩමක වාඩිවෙලා අඬ අඬ ඉන්නව. 

මාව දැකල දුවන් ආව. මං පාරෙදිම දුන්න දෙකක්. දුවන් එන්න ආව පාර තව ටිකෙන් වාහනේකටත් හැප්පෙනවා”

හුස්මක් ගන්න පුලුවන් උනේ අම්මාගෙ ඒ වචන ෆෝන් එකෙන් ඇහුණට පස්සෙ.

ඇත්තටම හුරතලේට හදන සත්තු කොච්චර නම් අපේ ජීවිතවලට බැඳිලද නේද?

මේ කතාව ලියන අතරවාරෙ මම ආයෙ පාරක් බ්‍රව්න්ගෙයි ශයින්ගෙයි ෆොටෝ බලන ගමන් එහෙම හිතුවා.

More Stories

Don't Miss


Latest Articles