එකම පවුලේ හතරදෙනෙක්ම මරු තුරුලට යැවූ උන්මත්තක ඝාතකයා…

අභිරහස් මරණ සහ දාම ඝාතන සිදුවීම් ගැන උනන්දුවෙන් හොයලා බලන බොහෝ දෙනෙක් දන්න සිදුවීමක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ සිදුවීම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නම් “සෙටගයා සිද්ධිය” කියලා. එහෙම ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මේ අභිරහස් මරණයන් හා බැඳුණ සිදුවීම් සිදුවෙන්නේ, ජපානයේ, ටෝකියෝ අග නගරයේ සෙටගයා කියන ප්‍රදේශයේ වීම.

එකම පවුලේ හතර දෙනෙක් 

2000 අවුරුද්දේ දෙසැම්බර් තිස් එක් වෙනිදා හරියටම උදේ 10.40 ට හරුකෝ කියන අත්තම්මා තමන්ගේ දියණියගේ නිවසට එන්නේ එලැඹෙන අවුරුද්ද වෙනුවෙන් සකස් කරපු කෑම වර්ග කිහිපයක් අරගෙන. ඒ තමන්ගේ මුණුබුරා සහ මිණිබිරිය වෙනුවෙන්. ඒත් ඒ වෙලාවේ  නිවසට ඇතුලු වෙන හරුකෝ අත්තම්මාට දකින්න වෙන්නේ හීනෙකින්වත් බලාපොරොත්තු වුන දෙයක් නම් නෙවෙයි. තමන්ගේ දියණිය වුන හතලිස් එක් හැවිරිදි යසුකො මියසාවාත්, බෑණා වුන හතලිස් හතර හැවිරිදි මිකියෝ මියාසාවාත් , අට හැවිරිදි නිනා සහ හය හැවිරිදි රෙයි කියන මුණුබුරා සහ මිණිබිරිය ප්‍රාණය නිරුද්ධව නිවසේ වැටී සිටින බව දකින ඇයට පියවි සිහියට එලැඹෙන්න යම් වෙලාවක් ගත වෙනවා. 

මිකියෝ, යසුකෝ සහ නිනාගේ ශරීර වල තියෙන්නේ ඉතාම දරුණු පිහි ඇනුම්. කුඩා රෙයි ගේ බාහිර තුවාල නැති වුනත් ඔහු ගෙල සිර කරලා මරලා දාලයි තිබුණේ. වහාම සිහි එලවා ගන්නා හරුකෝ මේ ගැන ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිසියට වාර්තා කරනවා. 

ඝාතකයා ගැන පොලිස් විමර්ශන 

වහාම සිදුවීම පිළිබඳව සොයා බලන්න සෙයිජෝ පොලිස් ස්ථානයේ ප්‍රධානියා වුන ටකෙශි ට්සුචිඩාගේ ප්‍රධානත්වයෙන් යුක්තව පරීක්ෂණ කණ්ඩායම් අනියුක්ත කරනවා.  ඔවුන් වහ වහා ඔවුන් සතු සියළු ශක්තීන් යොදා මේ සමූල ඝාතකයා සොයා ගැනීම වෙනුවෙන් වෙහෙසීම අරඹනවා.

දෙසැම්බර් තිස් වෙනිදා රාත්‍රී 11.30 ත් 31 වැනිදා පාන්දර 12.05 ත් අතර මේ පවුලම ඝාතකයා ගේ ග්‍රහණයට අසු වෙන්නට ඇති බවට මේ  පරීක්ෂණ අතර වාරයේ ඔවුන් නිගමනය කරනවා. ඒ වගේම සාමාජිකයන් හතර දෙනාම ඝාතනය කිරීමෙන් පස්සේ තවත් පැය කිහිපයක් ම ඝාතකයා ඒ නිවසේ රැඳී සිටින්නට ඇති බවටත් ඔවුන් අනුමාන කරනවා.  

ඝාතකයා ආ මඟ පොලිසීයේ උකුසු ඇසට 

සෙටගයා වල තිබුණ සොශිගයා කියන උද්‍යානයට යාබදව තිබුණ මිකියෝ ගෙ නිවසට  ඇතුළු වෙන්න ඝාතකයා මාන බලලා තිබුණේ ඒ උද්‍යානයේ එක් පසෙකට වෙලා. නිවසේ දෙවෙනි මහලේ නාන කාමරයෙන් නිවෙසට ඇතුළු වෙන ඝාතකයාගේ ග්‍රහණයට ඉස්සෙල්ලාම අහුවෙන්නේ රෙයි. රෙයිගේ මරණය සිදුවෙලා තිබුනේ නින්දෙදීම බවත් පොලිස් කණ්ඩායම් අනාවරණය කරගන්නවා.

මේ අතරේදී රෙයිගේ කාමරයෙන් ඇසුණ හඬ සහ එය පිළිබඳව විමසීමේදී යළි පෙරලා රෙයි පිළිතුරු නොදීම නිසා කලබල වෙන මිකියෝ ඉතා ඉක්මනින් දෙවෙනි මහලට එන්නට ඇති බවට පොලිසිය සැකකරනවා. එක් වරම බලාපොරොත්තු නොවුන විදියට මිකියෝ ට මුහුණ දෙන්න සිදුවීම නිසා ඝාතකයා ඔහු සතුව තිබුණ සෂිමි කියන වර්ගයට අයිති පිහියකින් මිකියෝට පහර දෙන්නට ඇති බවත්, එතැනින් අඩපණ වුණ මිකියෝ ට තවත් පිහි පහර එල්ල කර මරා දමන්නට ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සොයාගන්නවා. පිහියෙර් කොටසක් මිකියෝ ගේ හිසේ සිරවී තිබී සොයා ගැනීම තුළ මේ සොයාගැන්ම තහවුරු වෙනවා.

කැඩුණු පිහියෙන් යසුකෝ සහ නිනාට පහර දෙන ඝාතකයා, ඔවුන් මරා දමන්නට නිවසේ තිබුණ සන්තුකෝ කියන වර්ගයට අයත් පිහියක් තමයි භාවිතා කරලා තියෙන්නේ. 

උන්මත්තක හැසිරීමක් 

පවුලම ඝාතනය කරාට පස්සේත් ඝාතකයා එතැනින් පල නොගොස් පැය දෙකේ සිට දහය දක්වා අතර කාල සීමාවෙන් යම් කාලයක් නිවසේ රැඳී සිටින්නට ඇති බවට නිරීක්ෂණ වාර්තා වලින් කියැවෙනවා. නිවසේ ශීතකරණය තුළ තිබුණ බාර්ලි, තේ , කොමඩු සහ අයිස්ක්‍රීම් ඔහු විසින් පරිභෝජනය කරලා තියෙනවා. ඒ වගේම නිවසේ වැසිකිළියේ මළපහ කිරීමෙන් පස්සේ, ඒ මළපහ වැසිකිළිය තුළ එහෙමම රැඳී තියෙන්නටත්  ඝාතකයා කටයුතු කරලා බව නිරීක්ෂණය වෙනවා.

මිකියෝ සමඟ පොර බඳිනකොට ඇතිවුන තුවාල සඳහා ඔහු ප්‍රතිකාර කරගන්නේ නිවස තුලදීමයි. 

ඒ වගේම නිවස තුළ යම් සොරකමක් වුන බව පෙනෙන ආකාරයට ඔහු ලාච්චු සහ කොළ කැබලි එහෙ මෙහෙ ඇදලා දානවා. ඇතුළු ලාච්චු වල තිබුණ මුදල් බිම විසිරුවලා දාලා තියෙන බවත් පොලිසියට නිරික්ෂණය වෙනවා. ඒ විතරක් නෙවෙයි පොලිසියට ඉතාම පහසුවෙන් හඳුනාගන්නට හැකි සාක්ෂි දහයක් ඝාතකයා විසින් නිවසේ අත් හැර දාලා යනවා. ( පිහිය, ස්කාෆ්,බෑගය, ස්වීටරය, ජැකට් එක, තොප්පිය, අත් වැසුම්, සපත්තු, අත් ලේන්සු දෙකක් ) 

පරිඝණකයේ සාක්ෂි 

මිකියෝ ගේ පරිඝණකය 31  වැනිදා පාන්දර 1.38 ට අන්තර්ජාලය ට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම 31 වෙනිදා උදේ 10.00 ට  ආසන්න වෙලාවකත් අන්තර්ජාලය ට සම්බන්ධ වෙලා තියෙනවා.  දෙවෙනි වර සම්බන්ධ වීම මිකියෝ ගේ නැන්දම්මා අතින් මූසිකය චලනය වීමකින් සිදුවෙන්න ඇති බව පොලිසිය නිගමනය කරනවා. ඒ වගේම ඝාතකයා 31 වෙනිදා පාන්දර 1.38 වෙනකොටත් නිවසේ සිටින්නට ඇති බව ඔවුන් තහවුරු කරගන්නවා. 

ඝාතකයා පසුපස 

ඝාතකයා පිළිබඳව තොරතුරු හොයාගන්න පුළුවන් වුනත්, ඝාතකයා ගේ අනන්‍යතාවය ගැන හොයාගන්න එක පහසුවෙන්නේ නැහැ මළපහ විශ්ලේෂණය මඟින් ඔහු පෙර දිනයේ ඉඳි ඇට සහ තල ඇට ආහාරය ට ගෙන ඇති බව හොයාගන්නවා. ඔහු අත් හැර ගියපු ඇ‍ඳුම් සහ පිහිය කගනාවා ප්‍රාන්තයෙන් මිලයට අරගෙන ඇති බවත් තීරණය කරනවා. 

ඒ වගේම ඝාතනය සිදුවූ ස්ථානයේ තිබුණ රුධිර පැල්ලම් වලින් මිකියෝ පවුලට අයත් නොවුන ඩී එන් ඒ දාම තොරතුරුත් ලැබෙනවා. ඒත්, ඒ කිසිම දෙයක් ඝාතකයා ගැන ඍජු තොරතුරක් වෙනුවෙන් සෑහෙන්නේ නැහැ. 

ඔපරේෂන් රෝලර් 

මේ අතරේ, ප්‍රදේශයේ වෙසෙන සියලුම දෙනාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ, විශේෂ පොලිස් කණ්ඩායම් එක්ක  ඔපරේෂන් රෝලර් කියන නමින්. 

ඔහු දමා ගොස් තිබුණ ස්විටර ඒකක 130ක් නිශ්පාදනය කරලා තිබුණ බවත් මේ විශේෂ පොලිස් කණ්ඩායම සොයාගන්නවා. ඉන් දොළහක් මිලයට ගත්ත පුද්ගලයන්ගේ අනන්‍යතාවය සොයාගන්නටත් පොලිසියට හැකි වෙනවා. ඔහුගේ පාවහන් යුගල දකුණු කොරියාවේ නිශ්පාදනය කරන ලද්දක් බවත්, බෑගයේ තිබූ වැලි ස්වල්පයක් විෂ්ලේෂණය මඟින් එම වැලි කැලිෆෝනියාවේ එඩ්වර්ඩිස් ගුවන් හමුදා කඳවුර ආශ්‍රිත භූමියට අයිති වගත් සොයා ගන්නවා 

මේ තරමින් තොරතුරු සොයාගත්තත් ඝාතකයා ගේ අනන්‍යතාවය තවම තියෙන්නේ හැංගිලා. මේ ඝාතනයන් පිළිබඳව සාක්ෂි 12546ක්  එකතු කරලා තියෙන බවත් වාර්තා වෙනවා.  ඒ වගේම ඝාතකයා අත් අඩංගුවට ගැනීමට හැකි තරමේ සාක්ෂියක් වෙනුවෙන් ජපාන මුදලින් මිලියන විස්සක් ප්‍රධානය කරන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලයි තියෙන්නේ.

සැඟවුණ ඝාතකයා 

2015 දී පුර්ණකාලීන නිළධාරීන් 45 දෙනෙක් යටතේත්, 2019 දී තවත් නිළධාරීන් 35 දෙනෙකු යටතේත්  විශ්ලේෂණය වෙන මේ  නඩුවේ  සමූල ඝාතකයා ගැන තවම කිසිම ආරංචියක් නැහැ. ඝාතන ස්ථානයෙන් සොයාගත්ත ඩී එන් ඒ පදනම් කරගෙන මේ වෙද්දීත්,  සෙටගයා ඝාතකයා ගැන පරීක්ෂණ කෙරෙනවා. 

ඉතින්.., ලෝකේ   තාක්ෂණය  නීතිය කොයි තරම් දියුණු වුනත්  සමහර හිස් තැන් වලින්  රිංගන්න තරම් හැකි  මිනිසුන් ඉන්න බව මේ වගේ සිදුවීම් වලින් පැහැදිලි වෙනවා නේද ? 

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles