කතන්දර

ඕෂධී ලංකාවට ආවේ අවුරුදු හයකින්. අවුරුදු විසි පහේදී ජීවිතේ  හැමදේම නැති කරගෙන, ඩුබායි  රටට පියාබපු ඕෂධී ඊයේ ලංකාවට ආවේ ජීවිතේ බලාපොරොත්තු වුනාටත් වඩා දේවල් දිනාගෙන.  ඒ හින්දාම අවුරුදු හයකින් මේ ලංකාවට ආව ගමන ගැන ඕෂධීට දැනෙන්නේ සතුටකට එහා ගියපු ආඩම්බරයක් සහ සැනසීමක්.

ඕෂධීගේ අම්මයි, තාත්තයි, මල්ලියි ගුවන්තොටුපලට ඇවිල්ලා හිටියා. තමන් ජීවිතේ පලවෙනි වතාවට මේ ගුවන්තොටුපලට ආව ගමන ගැන අම්මගෙයි තාත්තගෙයි හිත් වල තිබුනෙත් මහ ආඩම්බරයක්.

ඕෂධී, සමරකෝන් පවුලේ වැඩිමහල් දියනිය. පවුලේ තිබුන අඟහිඟකම් නිසාම ඕෂධීට වගේම මල්ලිටත් හරි හැටි අධ්‍යාපනයක් වෙනුවෙන් ඉඩ හසර වෙන් වුනේ නැහැ. ඒත් ඕෂධීගේ අම්මයි තාත්තයි පුලුවන් හැම වෙලාවේම අඩු පාඩු පියවලා දෙන්නට උගන්නන උත්සාහ කල. සාමාන්‍ය පෙල සමත් වුනත්, ඕෂධීට උසස් පෙල සමත් වෙන්න ඉඩක් ලැබුනේ නැහැ. ආයෙම විභගය ගන්න සූදානමක් වත් නොගත්ත ඕෂධී ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාවකට ගියා. ඊට පස්සේ ඕෂධීගේ මල්ලීගේ ජීවිතේ වෙනස්ම පාරකට යන තරමේ අධ්‍යාපනයක් වෙනුවෙන් පාර කපන්න ඕෂධීට පුලුවන් වුනා. මල්ලී පේරාදෙනිය ඉංජිනේරු පීඨයට ඇතුල් වෙනකොට ඕෂධීට අවුරුදු විසි හතරක්. එතකොට ඕෂධීගේ ජීවිතෙන් අවුරුදු පහක් විතරම, ඇඟලුම් කර්මාන්තශාලාවට  දිය වෙලා ගිහින්.  මල්ලි එදා ඕෂධීව බඳාගෙන ඇඬුවා. ඕෂධීත් ඒ වගේම ඇඬුවා. දුකයි, සතුටයි අඩු නැතුව එදා රෑ ඕෂධීගේ ගෙදර ඉතිරුණා.

ඒත්  ඒ සතුට වැඩි කල් තිබුණේ නැහැ.  ඒ ඕෂධී ගේ හදිසි අසනීපයකට රෝහල් ගත වුන වෙලේ ඇය ගර්භණී වෙලා කියලා හොයාගැනීමත් එක්ක. ඕෂධිගේ ඇඟලුම් කර්මාන්තශාලාවේම වැඩ කරපු  ඒ පෙම්වතාව හොයාගෙන එදාම ගියපු මල්ලිට දැනගන්න ලැබුනේ දරාගන්න පුලුවන් ආරංචියක් නම් නෙවෙයි. ඒ ඔහු විවාහකයෙකු බව. ඊට පස්සේ හැමෝම කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වුනා. ඕෂධී ට ඕනි වුනේ මිය යන්න, ඒත්  ඕෂධීගේ වාසනාවට අම්මයි, තාත්තයි මල්ලියි ඕෂධී අත් නොහැර හිටියා. දරුවාව බිහි කරන්න ඕනි කරන හැමදේම වෙනුවෙන් අත් නොහැර පහසුකම් හැදුවා. ගමේ මිනිස්සුන්ගේ එක එක කතා වලට නොසැලී ඕෂධී ලඟින්ම උන්නා.

මාස අටකින් ඕෂධී තමන්ගේ කුළුඳුල් දරු ප්‍රසූතිය කලේ මළ දරු උපතක් විදියට. එදා ඕෂධීගේ මුහුනේ සැනසුම් සිනහවක් තිබුණා.

“මම හරි බයෙන් හිටියේ මට ඒ දරුවට ආදරේ කරගන්න බැරි වේවි කියලා ඩොක්ටර් .. අනේ එයා ගිය එක හොඳයි ..”

ඕෂධී එක්ක හිතවත්ව කතා බහ කරපු තරුණ වෛද්‍යවරියට ඕෂධී කිව්වා.

හිතේ සැනසීම එහෙම හදාගෙන ගෙදර එන්න හැදුවත්, ගමේ අය ඒ සැනසීම දුන්නේ ණෑ.

“ඕකි දරුවා මරාගන්න ඇති ..”

“ඉන්තේරුවෙන්ම මහ අම්මණ්ඩි එක්ක එකතු වෙලා මොකක්ම හරි නූල් සූත්තරයක් කරන්න ඇති…’

“පොඩි කොල්ලා ඉන්නේ නුවරලුනේ.. කවුද දන්නේ  එහෙ ගිහින් බඩ සුද්ද කලාද කියලා ….”

“අනේ ඉතින් මොන පවුකාරකමක්ද?… හුස්ම අල්ලන්න ඔන්න මෙන්න හිටපු කිරිසප්පයෙක් නේ…”

ඕෂධීට ඇහුනේ නැති වුනත්. ඕෂධීගේ අම්මටයි තාත්තටයි නම් ඒ කතන්දර දිනපතා ආරංචි වුනා. ඉඳලා ඉඳලා ගෙදරට ආව ගමේ ඕපාදූප කියවන ලීලාවතීගෙන් ඒ කතාව ඕෂධීගේ කනටත් වැටුණා.

තමන්ට එක වතාවක් වැරදුනාට පස්සේ ආයේ කවදාවත් ඔලුව උස්සන්න වෙන්නේ නැති බව ඕෂධී ආයේ ආයෙම තහවුරු කර ගත්තා.  ඒත් ඇයට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ.

ඕෂධී කටුව අස්සට රිංගගත්ත ගොලුබෙල්ලෙක් වගේ ජීවිතයක් ගෙව්වේ. ඒ අතරේ ඕෂධී එක්ක ඇඟලුම් කර්මාන්තශාලාවේ එකට උන්න මිතුරියක් ඕෂධීව හොයාගෙන ආවා.

“මම ඩුබායි යනවා…. උබත් කැමති නම් යමු …. “

ඕෂධී ගැස්සුණා. ජීවිතේ හැමදේම ත් හැරිලා තිබුන වෙලාවක මේ ආරංචිය නිසා ඇයට දැනුනේ මහා ශක්තියක්. ඇය මල්ලි එක්ක ඒ ගැන කතා කලා.

” යන්නේ මේඩ් කෙනෙක් විදියට වීම මට පොඩිවත් ප්‍රශ්නයක් නෙවෙයි .. මම කාලෙකට නාවොත් ඔයා අම්මලාව බලාගනන්වද කියලායි මම  අහන්නේ…”

මල්ලිගේ විමසීම් වලට ඕශධීගෙන් ලැබුන පිලිතුර  එක්ක. හැමෝගෙම  ආශිර්වාදය එක්ක ඕෂධී රැකියාවට විදෙස්ගත වුනා.  ඕෂධී සහ මිතුරියට රැකියාවල් ලැබුනේ එක ළැඟ ගෙවල් දෙකක වීම තුල ඕෂධීට එහෙ ජීඉව්තේ තව පහසු වුනා. ඕෂධීගේ නිවසේ හිටියේ වයස්ගත යුවලක් සහ ඔවුන්ගේ තිස් වියැති පුතා. ඔහු රැකියාවෙන් ඉංජිනේරුවෙක්. ඔහුගේ රැකියා කටයුතු වලට නිවසින් පිට වුනාම සති ගනන් ඔහු රැඳී උන්නේ නිවසින් පිට. ඒ නිසා තමයි ඔහු නිවසේ සේවයට කෙනෙක් හොයලා තිබුනේ.

ඕෂධී හරිම ඉක්මනින් සහ පහසුවෙන් ඒ නිවසේ වැඩ කටයුතු කෙරෙන තාලය හඳුනාගත්තා. වයස්ගත මවට සහ පියාට වෙන වෙනම කෑම බීම සකස් කරා. රෙදි පිරිසිදු කලා. නිවෙස පිරිසිදු කලා. ඔවුන් දෙදෙනාව ඇවිදින්න එක්කගෙන ගියා . ඇය  ගෙදරට සල්ලි යැව්වා. මල්ලිට වෙනමම සල්ලි යැව්වා. ඒ අතරේ ඇය වෙනුවෙනුත් ඉතිරි කලා. ක්‍රිස්ගේ යෝජනාවකට අනුව ඕෂධී  අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත් යොමු වුනා. ඩුබායි අහස යට ඇයට අලුත් බලාපොරොත්තු සැකසෙමින් තිබුණා.

පලවෙනි අවුරුද්ද ඉවර වෙනකොට, ඕෂධීට ඔවුන් දෙදෙනා එක්ක කතා බහ කරන්නත් පුලුවන් වුනා. ඕෂධී ඇගේ ජීවිතේ සිදු වුන හැම දෙයක්ම ඔවුන් එක්ක බෙදාගන්න තරමේ විශ්වාසයක් හැදිලා තිබුණා.

තුන් වෙනි අවුරුද්ද ඉවර වෙනකොට මේ යුවලගේ එකම පුතු වන ක්‍රිස් ඕෂධීට විවාහ යෝජනාවක් ගෙනාවා. ඕෂධී එක හෙලාම එය ප්‍රතික්ෂේප කලේ තමා වැන්නියක් ඔහුට නොගැලපෙන බව කියලා. ඒත් ක්‍රිස්ගේ අදහස වෙනස් වුනෙ නැහැ.

අවසානේදී හතරවෙනි අවුරුද්ද අන්තිමේදී ඕෂධී ක්‍රිස් එක්ක විවාහ වෙන්න තීරණය කලා. ඒජන්සියට දැනුම් දීලා රැකියාව සඳහා වන ගිවිසුම් අවසන් කලා. හය අවුරුද්ද්කට පස්සේ ඕෂධී ලංකාවට එන්නේ ඇගේ ස්වාමි පුරුෂයා සහ මාස තුනක් වයසැති කුඩා පුතණුවන් එක්ක.

 ඒ වෙනකොට ඕෂධීගේ ගෙදර ඇය බලාපොරොත්තු වුන විදියෙන්ම ගොඩ නැංවෙමින් තිබුනේ. ඕෂධී මල්ලිව බඳාගත්තා. අම්මගෙයි තාත්තගෙයි වගකීම් දරාගෙන තමන්ට වැරදුණ ජීවිතේ හයිය වෙන්න මල්ලි කල කැපකිරීම් ගැන ඕෂධී සතුටින් කඳුළු සැලුවා.

හැමෝම හිටියේ සතුටින්. තමන්ගේ කඩවසම් මස්සිනා එක්ක මල්ලි ගම පුරාම රවුම් ගැහුවා. ඕෂධීගේ අම්මටයි තාත්තටයි අහස උසට වැඩ. මුණුබුරාගේ කෝලම් බලන එක ඒ හැම දේකටම එහා. ඒත් ඒ සතුට ක්ශය වෙන්න වැඩි දවසක් ගියේ නෑ.

“ආන් අර කෙල්ල ඒ පාර සුද්දෙක් එල්ලගෙන ඇවිල්ලා…”

” කී දෙනෙක් එක්ක බුදියගෙනද දන්නේ නෑ ඔය සුද්දා එල්ලගත්තේ..”

“ඔය රට යන ගෑණුන්ට ගෙවල් වල වැඩ කරනවා වගේම ඒ ගෙවල් වල මිනිස්සුන්ගේ ඇඟ පත අත ගාන වැඩත් කරන්න වෙනවලු … කවුද දන්නේ ඉතින් මොන මොනව කරලා අල්ලගත්තාද කියලා..”

” කිරිසප්පයෙක් මරපු ගෑනිනේ… පුදුමයි කුසට තව දරුවෙක්  ආව එකත් ….”

ඕෂධී මල්ලිත් එක්ක නගරයට  ගිහින් එන ගමන් ඔය කතා ඔක්කොම එකම තැනකින් අහගන්න ලැබුනා.

“ඔන්න ඕමයි ගමේ උන් කතා කියන්නේ..උඹ මේ කරන්න යන දේ කරන්න ඕනිද කියලා ආයෙම හිතලා බලන්න ළමයෝ …  මෙහෙම විසකුරු මිනිස්සුන්ට කොච්චර කලත් එකයි …”

ඕෂධී ගමට එනකොටම ගමේ ඉන්න හැම දරුවෙක් වෙනුවෙන්ම යමක් කරන්න ඕනි කියන අදහස එක්කමයි ආවේ.  ගමේ පාසැලේ විදුහල්පතිනිය එක්ක කතා කලාම දැනගන්න ලැබුනා ළමයින්ට උදේ කෑම  නොලැබෙන නිසා අධ්‍යාපන කටයුතු වෙනුවෙන්  ඒක බාධාවක් වෙන බව. ඊට පස්සේ ක්‍රිස් ඔහුගේ සමාගම එක්ක කතා කරලා වසර දෙකක් යන තුරු උදෑසන ආහාර වේල සදහා වෙන වියදම ලබා ගන්න කටයුතු කලා.  ඒ මුදල්  විදුහල්පතිනිය සහ ආචාර්‍ය මණ්ඩලය හරහා භාවිතා වෙන විදියට ක්‍රමවේදය සකස් කරන්න පාසැලට ගිය වෙලේ තමයි ඔය කතාව අහන්න ලැබුනේ.

“ලෙට් දෙම් ටෙල් එනිතින් බේබි ..”

මේ කතාව පැහ්දිලිව අහගත්තට පස්සේ ක්‍රිස් ඕෂධීගේ හිත හැදුවා.

ආහාර ලබා දෙන වැඩසටහන ආරම්භ කරන දවසේ මුලු ගමම පාසැලට කැඳවලා තිබුනා.

” ඕෂධී දුව සහ ඇගේ ස්වාමිපුරුෂයා තමයි අවුරුදු දෙකක් යනකල් අපේ පාසැලේ ළමයි අසූ අට දෙනාටම උදේ සහ පාසැල නිම වුනාම දිවා ආහාර වේල් වෙනුවෙන් මුදල් ලබාදීලා තියෙන්නේ. පාසැලට විතරක් නෙවෙයි, පෙර පාසැලේ දරුවෝ විසි දෙනාටත් ඒ විදියටම ආහාර සැපයෙනවා. ඒ වගේම පෙර පාසැල් නොයන ආහාර සපයාගන්න අපහසුවක් තියෙන  පවුල් වල දරුවන්වත් පාසැලේ ආහාර කමිටුවේ ලියාපදිංචි කලාම ඔවුන්ටත් මේ විදියටම ආහාර ලබා දෙනවා. විශේෂයෙන්ම ඕෂධී දුව ඉල්ලීමක් කරලා තියෙනවා පෝෂණ ගුණයෙන් ඉහල ආහාර වේලක් දරුවන්ට ලබා දෙන්න කියලා. හැම දරුවෙක්ටම විවේක කාලයේ කිරි වීදුරුවක් සහ බිස්කට් වැනි ආහාරයක් ලබා දෙන්නත් ක්‍රිස් මහත්මයා අපිට මුදල් සොයා දෙන්න පොරොන්දු වුනා…. විශේෂයෙන්ම අපේ දරුවොන්ගේ පෝෂණය ඉහල යෑම ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලොකු ආයෝජනයක් වේවි…. ඒ වගේම අපේ වෛද්‍යතුමා, මහජන සෞඛ්‍ය පරීක්ශකතුමා, මිඩ් වයිෆ් මිස්, කෘෂිකර්ම උපදේශක මහත්තයටත් මම ස්තූතිවන්ත වෙනවා මේ වැඩසටහන වෙනුවෙන් ස්ව කැපවීමෙන් ලබා දෙන දායකත්වයට… නැවතත් මම ඕෂධී දුවට පින් දෙනවා මේ සංකල්පය වෙනුවෙන්….”

මුළු ගමම හෙල්ලුනා. උදේට බඩගින්නේ ඉස්කෝලේ යන  දරුවන්ගේ ඇස් හැම කෙනෙක්ටම මැවුනා.

“කෙල්ලට ජීවිතේ වරදින්න විදියක් නෑ… අම්මා තාත්තට සලකන දරුවන්ට කොහොමටත් හරි යනවා…”

“ක්‍රිස් මහත්තයා වෙන්න ඇති කෙල්ල සංසාරේ පතාගෙන එන්න ඇත්තේ.. ඒ ඒරොප්පෙට යන්න පාර කැපෙන්න තමයි අර ඔක්කොම වෙන්න ඇත්තේ..”
” කෙල්ලට මේ පිනම ඇති ඉතින්…”

ඕෂධී ට ඒකතන්දරත් ආරංචි වුනා.

“දැන් අපේ අක්කා තමයි මේ ගමේ විහාරමහාදේවිය.. දැක්කද අක්කේ…. මම ඔයාට කිව්වේ, මිනිස්සු හැමදේම බලන්නේ තමන්ට වාසි ඇස් වලින් … අපි දේවල් කරගන්න ඕනි අපිට සුව පහසුවට … එච්චරයි ..”

ඕෂධීගේ මල්ලි කියනකොට ඕෂධී හිස සලලා හිනා වුණා

අපේක්ෂා ගුණරත්න 

More Stories

Don't Miss


Latest Articles