සෙනෙහස් අවාරේ 32

“මම කැමති නෑ පුතා”

අයිරාංගනී එසේ කියා සුමධුර දෙසම මොහොතක් බලා උන්නාය. අම්මා අකමැති වනු ඇතැයි හිතමින් උන්නද එය ඇගේම හඬින්, ඇඟේම වචනවලින් ඇහෙද්දී සුමධුරට දැනුනේ හිත කැඩී යන්නට වෙර දරන බවකි.

සමහර දේවල් මෙයාකාරයෙන් සිදුවනවා යැයි හොඳාකාරවම දැන උන්නද, ඒ මොහොත භාරගන්නට හිත කලින්ම හදාගෙන ඉන්නවා යැයි හිතුවද එය සිදු වන මොහොතේ හිත පසාරු කරගෙන හිත අස්සට සීතලට ගලායන වේදනාව දරාගන්නට අපහසු බව සුමධුරට දැනුනේය.

කරන්නට දෙයක් නැත. අම්මා වයසය. අම්මාගේ අකමැත්තෙන් තීරණයක් ගැනීම ඇය ජීවත්වන කෙටි කාලයේදී ඇගේ හිත තලන්නට හේතුවක් වනු ඇත. පුතෙක් ලෙස තමාට එය කරන්නට නොහැක. සිසිමාධවී නොදන්නා නිසා මේ ආදරය සදාකාලිකවම තම හිත අස්සේම පමණක් තබාගන්නට තමාට බැරිකමක් නැත. එහෙත් සුමධුරට අම්මාගෙන් දෙයක් අහන්න තිබුණි.

“මම අම්මට විරුද්ධ වෙන්නෙ නෑ අම්මා. ඒත් අම්මා මට කියනවද අම්මා ඇයි මාධවීට අකමැති කියල?”

“මම මාධවීට අකමැති නෑ පුතා” අයිරාංගනී කිව්වේ එක මොහොතකට සුමධුරගේ දෙනෙත් මතින් තම දෙනෙත් මුදා ගෙන කෑම මේසයේ හිඳ බලද්දී ඉස්සරහ බිත්තියක එල්ලා තිබෙන ලලිත් ගේ ජායාරූපය දෙස බලාගෙනය.

බොහෝ කාන්තාවන් තම ආදරණීයයන් මිය ගිය විට ඔවුන්ගේ ජායාරූපවලට මල්මාලා දා තිබෙන බව දැක තිබුනද අයිරාංගනී කිසිම දවසක ලලිත්ගේ ජායාරූපයට මල් මාලයක් දැම්මේ නැත. මේ මුලු ලෝකයටම ලලිත් මිය ගොසින් උන්නද තමාට ඔහු මිය ගොසින් නැත. ඉතින් හිත ඇතුලේ ජීවමානව හිඳින මිනිසාගේ ජායාරූපයට මල් මාලා දමන්න අයිරාංගනීට හිත දුන්නේ නැත.

ආදරය වනාහී ආදරයම මිස වෙන කිසිම දෙයක් නොවන බව ලලිත්ට ආදරය කල කාලය පුරාවටම අයිරාංගනී වඩා හොඳින් තේරුම් ගත්තාය. පොත්පත් වලින් කියවා තිබූ ද චිත්‍රපට ඔස්සේ ද බලා තිබූ ආදරය ඇත්තට ජීවිතයේ එයාටත් වඩා සුන්දර බවද අයිරාංගනී දැන ගත්තේ ලලිත් ඇසුරේය.

ඉතින් දැනෙනවානම් දැනිය යුත්තේ ආදරයම මිස වෙන කිසි හැඟිමක් නොවේය ලෙස විශ්වාස කල අයිරාංගනීට ආදරය වෙනත් කිසි හැඟීමක් සමග තනුක කරන්නට හැකිද යන පැනය තිබුණාය.

“ඔයා සිසිමාධවීව තෝරගන්න එක මට ගැටලුවක් නෑ පුතා. මං අවංකවම ඒ ලමයට කැමතියි. අපේ පවුලට ගැලපෙනවද, කලින් බැඳලද, ලමයි ඉන්නවද කියන දේවල් මම ඇත්තටම හිතන්නෙ නෑ. මොකද මම තව අවුරුදු දහයක්වත් ඉඳිද දන්නෙ නෑ. ඉතින් එහෙම එකේ පුතා තමන් කැමති කෙනෙක්ව අතෑරල අපි කැමති, පවුලට ගැලපෙන කෙනෙක් බැඳගෙන තමන්ගෙ ජීවිතේ ඉතුරු කාලෙ දුක් විඳින්න ඕන කියල මම හිතන්නෙ නෑ.

හැබැයි ඔයා ඒ දරුවව හරි වෙන කිසිම කෙනෙක්ව හරි බඳිනවනම් එයාව තෝරගන්න ඕන ආදරේ හන්ද මිසක් ආදරේද අනුකම්පාවද කියල හිතාගන්න බැරුව ඉද්දි නෙවෙයි. ඒකයි මම කිව්වෙ මම කැමති නෑ කියල.

සිසිමාධවී තරුණ කාලෙ දෙමව්පියන්ට මුරණ්ඩු වෙලා, පැනල ඇවිල්ල කසාදයක් කරගත්ත එක්ක වරදක් වෙන්න පුලුවන්. ඒත් ඒ ළමය කොච්චර කරදර ගොඩක හිටියත්, අවසාන මොහොතෙදිවත් තමන්ගෙ මනුස්සය වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කල ගෑණියෙක්. හැම ගෑණිම එහෙම කරන්නෙ නෑනෙ. ඒ නිසාමයි ඔයා අනුකම්පාවට ඒ ළමයව තමන්ගෙ ජීවිතේට එක්කහු කරගන්න හදන තීරණේට මට එකඟ වෙන්න බැරි. එහෙම ගෑනියෙක්ට ඕන අනුකම්පා කරන මිනිහෙක් නෙවෙයි පුතා ආදරේ කරන මිනිහෙක්. ජීවිතේ ඉස්සරහ කාලෙත් ඒ ළමයට දැන් වගේම බය නැතුව දහිරියෙන් ඉස්සරහට යන්න උදව් කරන මිනිහෙක්. පුතාගෙ හිතේ සිසිමාධවී ගැන තියෙන්නෙ ආදරයක් නෙවෙයි අනුකම්පාවක් නම් ඔයා දැන් ඉන්නව වගේම සද්ද නැතුව ඉන්නවට මම කැමතියි ඒ ළමයගෙ හිතට අලුතෙන් ප්‍රශ්නයක් එක්කහු නොකර.

සිසිමාධවී වගේ කෙල්ලන්ට අපි කාගෙවත් අනුකම්පාව ඕන නෑ පුතා. ඒ ළමයගෙ හිතේ තියන හයියම ඇති දරුවො දෙන්න එක්ක ගොඩයන්න. ඔයා මට කිව්ව විදියට ඒ ළමයට මැශින් එකක් එහෙම අරන් දීල මහන බිස්නස් එකට උදව් කරන්න. මගෙ කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි තනිකම මකාගන්න කියල හිතලවත්, අනුකම්පාව නිසාවත් ගෑනියෙක්ව ගන්න එපා.

සිසිමාධවීව විතරක් නෙවෙයි කිසිම ගෑනියෙක්ට එහෙම කරන්න එපා” කියමින් අයිරාංගනී කෑම මේසයෙන් මදක් පිටුපසට රෝද පුටුව රැගෙන තමන්ගේ කාමරයට යන්නට ගියාය.

සුමධුර උන්නේ අම්මාගේ වචන ඔස්සේ ගල් ගැසීය. තමන්ගේ සිතුවිලි අදහස්ගැන ලැජ්ජාවෙන් බරිතවය.

“ සැමියා නැතිව දරුවන් දෙදෙනෙකු සමග අසරණ වූ සිසිමාධවී”
ලෙස තමා ඇයට අනුකම්පා කරත් අම්මා මෙතුවක් කාලයක් පුරාවට ඇයව දැක තිබෙන්නේ වෙනස්ම ආකාරයට බව සුමධුර දැනගත්තේ මේ වෙලාවේය.

තමා ඇයට අනුකම්පා කිරීම, ඇය අසරණ යැයි සිතීම ආදරය යැයි වරදවා වටහා ගැනීමම ඇයට කල බරපතල වරදක් බව අමතක කරන්නට සුමධුරට හැකියාවක් තිබුනේ නැත.

ඒ කල්පනාව ඉනුත් බොහෝ දිනක් යන තුරු සුමධුරව පෙලන්නට හේතු වූ කාරණාවකි.

අප බොහෝ විට අනුකම්පාව, ආකර්ෂණය ආදරය යැයි වරදවා වටහාගන්නා තැන් තිබෙන බව අසා තිබුණද තමා විෂයෙහි එය ඇත්තක් වෙනු ඇතැයි සුමධුර සිතා තිබුනේ නැත.

කල්පනා එදා විත් කෑකොස්සන් ගසා ගියයින් පසු සිසිමාධවී දරුවන් දෙදෙනාව ගෙදර තබා “අම්මා එනකම් පරිස්සමෙන් ඉන්න පුතේ” කියා දෙව්මිත් චනුකවත් බලන්න යැයි අසල්වාසී පවුලක හිතවතියකට කියා ආවෙ ඇත්තටම කල්පනා එදා දරු දෙදෙනා ඉලක්ක කරගෙන කියු හිත රිදෙන වචන ගලේ කෙටූ පරිද්දෙන් හිතේ සනිටුහන්ව තිබූ නිසාවෙනි. කෝසල වන් උතුම් මිනිසෙකුගේ ලෙයින් ජනිත දරුවන් දෙදෙනෙකු වූ දෙව්මි සහ චනුකට කොතරම් දුප්පත්කම් අසරණකම් තිබුණද මිනිසුන්ගෙන් කතා අහන්නට ඉඩ සැලසීම ඉන්න තැනක හිඳ විඳවන්නට කෝසලට හේතු කාරණා සපයනු ඇතැයි සිසිමාධවී සිතුවාය. එනිසාම දරුවන් නැවත කිසිදිනක තිලකරත්න නිවසට රැගෙන යන්නේ නැතැයි ඇය තමන්ටම පිළිණ දුන්නාය.

සුමධුරගේ උදව්වෙන්ද, ඔහු විසින් ලබාදුන් මහන මැශිමේ පිහිටෙන්ද ආයෙම වතාවක් මැහුම් වැඩ පටන්ගන්නට හැකිවීම ගැන සිසිමාධවී උන්නේ සතුටෙනි.

මුලින් මුලින් උදේ සිට තිලකරත්න නිවසේ වැඩපල කර ගෙදරට විත් ආයෙම අත පය රිදෙන තුරු මැහුම් වැඩපල යෙදීම අමාරු උනේ නැතැයි කියන්නට නොහැක. තිලකරත්න නිවසේ අස්පස් කිරීම් කටයුතුද ඉවුම් පිහුම් කටයුතුද කර ගෙදර විත් ආයෙම ගෙවල් දොරවල් අස්පස් කර දරුවන්ට කවාපොවා, පාසල් වැඩ බලා ඔවුන් නින්දට යවා සිසිමාධවී මහන මැශිම ලඟ වාඩි වෙන්නෙ මරන්න ගෙනියන හරකෙකු මෙන් අමාරුවෙනි. ඒ වෙලාවට “නෑ මං කොහොමහරි එක ඇඳුමක් හරි ඉවර කරල තමා මෙතනින් නැගිටින්නෙ” කියා සිතමින් ඒ සිතුවිල්ලට හයිය ගන්නට සිසිමාධවී කලේ මේසය මත ජායාරූපයක් ඇතුළට වී හිනාවෙමින් උන්නා කෝසල දෙස බලන එකය.

“ඔයා උන්න නම් මම මහද්දි මෙතනට වෙලා වාඩිවෙලා ඉන්නව නේද කෝසල? අපිට එහෙනම් අපේ ඉස්සර දවස් ගැන කතාකර කර ඉන්න තිබ්බා. දරුවො ගැන කතාකරන්න තිබ්බා. ඔයා නැතුව මට දැනෙන පාලුවයි, අසරණකමයි කොච්චරද කියල කියන්න මට තේරෙන්නෙ නෑ කෝසල

මං කොහොමහරි මේ දහිරිය දාලා ඔලුව උස්සන්න හදන්නෙ ඔයා වෙනුවෙනුයි දරුවො වෙනුවෙනූයි කෝසල. මං විතරක් වුනානම් ඔයා ඔය ගමන යද්දි මාත් ඔයා එක්කම එන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඒත් දරුවො දෙන්න හන්දා මට ඒ ගමන එන්න වෙන්නෙ නෑ. දරුවො ලොකු මහත් වෙලා තමන්ට කියල දෙයක් කරගත්ත කාලෙක ඔයා ලඟට එනකම් තමා කෝසල මම මේ හැම දුකක්ම විඳින්නෙයි ඉවසන්නෙයි”

කෝසලට නොඇසෙන බව දැන උන්නද මහන අතරම, අතත් කකුලත් වැඩ කරන වේගයෙන්ම සිසිමාධවී තමන්ගේ සිතුවිලි ඒ විදියට වචන කලේ හිතේ බර ටිකක් හෝ නිදහස් කරගනු
පිණිසය. මිනිසෙකු මැරුණ පසු ඔහුට කුමක් වේදැයි නිශ්චිතවම අප නොදන්නා නමුත් අසරණ වූ අවස්තාවල “අනේ කොහෙ හරි ඉඳල මං දිහා බලන්න” යැයි අපි දෙවියන්ට පෙර ඉල්ලන්නේ අපව දමා නොපෙනෙන ලොවකට ගිය අපේ ඒ ආදරණීයයන්ගෙනි.

සිසිමාධවී විෂයෙහිද එය එසේම විය.

මේ සියල්ල අතරවාරයේ ඇයත් නොදැනුවත්වම විෂකුරු දෙනෙතක් මහ රාත්‍රියෙත් මහන අතරවාරයේ සාලයේ රස්නය නැති කරගනු පිනිස ඇර තිබෙන ජනේලයෙන් පෙනෙන ඇය වෙත එල්ල වී තිබුණි.

ඒ වනාහී මහා කුණාටුවක ඇරඹුමක් විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles