සැරිසරන්නී – 38

දානය වෙනුවෙන් පවුලේ කාන්තාවන් එක් වී කෑම පිසීම චිරාගත සම්ප්‍රදායානුකූල ක්‍රමය ය. එයත් පුරා රැයක් නිදි වරන්නට වන දිනයකි. එහෙව් දානමය පින්කම් රැසක් මම කෙටි දිවිය තුළ මම ගෙවා ඇත්තෙමි. පවුලේ එය කොහොමටත් හැම දා ම සිටින්නේ එක ළඟ එක ට පේනා මානයක ය. නමුත් මෙහෙව් අවස්ථාවක් උදා වෙනවා ට හැම කෙනෙකු ගේ ම  වන්නේ සතුටකි. මාත් එසේ ය. අද විශේෂයෙන් ඒ සතුට වැඩි ය. ඒ රවීන් ද සීයා ගේ දානයට සම්බන්ධ වන බැවිනි. නමුත් සතුටට වැඩි ගැස්මක් පපුවේ වන බව ද පිළි ගත යුතුව තිබේ!

ළමා වියේ දී නම් මෙහෙම දවසක් අපට වැදගත් වූයේ හෝරා ගණනාවක් එක දිගට සෙල්ලම් කළ හැකි වූ බැවිනි. ඒ සෙල්ලම කෝච්චියක් වාගේ දිග එකක් වූ බව මතක ය. ඒ අතරේ කිහිප  වතාවක් ම අප එක එක්කෙනා තරහ වෙමින් ද යාළු වෙමින් ද නැවත තරහ වෙමින් ද සිටියෙමු.

ජීවිතේ කියන්නේ ළමා වියේ කළ සෙල්ලමක් නොවන බව දැන් අපි දන්නෙමු.

රවීන් සම්පූර්ණයෙන් සුවය ලබා නො සිටියේ ය. ඔහු ටිකට් කප්පා ගෙන තියෙන්නේ බලයෙන් වග මා දැන ගත්තේ ලොකු අයියා ගෙනි. සීයා ගේ දානය තියෙද්දී රෝහලට වී ඉන්නට ඔහු ට නොහැකි බව, රවීන් මට කියා එවා තිබිණ.

“දානෙ වගේද ඔය තුවාල තාම හොඳ නෑ. මොකක් හරි වුණොත් එහෙම මොන දෙයියන්ට කියන්නද…”

ප්‍රේමයේ දී උනුන් ගැන දැනෙන්නට ගන්නා තමන්ගේ කියන ප්‍රබල හැඟීමෙන් මම ප්‍රශ්න කළෙමි. මෙහෙම ප්‍රශ්නයක් මතු කරත්දී රවීන් ගේ දෙතොලතර නැගෙනා දඩබ්බර සිනහව දැන් මට මවා ගන්නට පුළුවන.

“අවුලක් වුණොත් ප්‍රයිවට් සෙක්ටර් එකට යනව කියලයි හිතුවෙ”

එහෙම කරන එක හොඳ ය කියා මම ද සිතුවෙමි. නමුත් වෙළුම් පටි සහිත ඔහු ගේ තුවාල ගැන බියක් මවෙත නොවුණා ම නොවේ.

ඒ දවස මගේ මතක ඉතිහාසයේ සනිටුහන් ව ඇත්තේ චමත්කාර ජනක හීනයක් වාගේ ය. දැන් අපේ සම්බන්ධය යනු රහසක් නොවේ. එය මුළු වත්ත ම දන්නා දෙයකි. එසේ ම ඊට අපේ ගෙදරින් කැමැත්තක් නොවන බව ද නො දන්නා කෙනෙකු නැත. එහෙයින් අප දෙදෙනා සිටියේ දුරිනි. නමුත් හිතෙන් ළඟිනි. අපට වචනයක් දෙකක් හෝ කතා කරන්නට ලැබුණේ ඉතා කළාතුරකිනි. නමුත් අපි ඇස් වලින් නිතර දොඩමළු වුණෙමු. රවීන් අනිත් ළමයින් සේ අපේ ගෙදරට දිව ආවේ නැත. නමුත් ඔහු ලොකු අයියා සහ සුනෙත් ඇතුළු වෙනත් පිරිමි ළමයින් සමග ද කතා බහ කරමින්, ලොකු අයියලාගේ ගෙදරත් අපේ ගෙදරත් අතර පාරේ තැනෙක ප්ලාස්ටික් පුටු තියා ගෙන වටමේස සාකච්ඡාවක යෙදී සිටියේ ය. කාත් එක්ක කතා කළත් මා එළි පෙහෙළියේ නම් ඔහු ගේ ඇස් තිබුණේ මා ළඟ ය.

දානය පැවැත්වෙන්නේ අපේ ගෙදර නිසා සංග්‍රාහක නිවස අපේ ගෙදරයි. ඒ නිසා නිදි වරන්නන් වෙනුවෙන් තේ හැදුණේත් කෑම බීමෙන් සංග්‍රහ කෙරුණේත් අපේ ගෙදර ය. සාංඝික දානයක් පැවැත්වෙත්දී කළ යුතු වෙනත් බොහෝ කටයුතු පිරිමින් අතින් සිදු විය. සාංඝික දානයක් කියන්නේ සැබවින් වැඩ බහුල කටයුත්තකි.

තේ බන්දේසියක් ගෙන වරක් මම පාරට ආවෙමි.

“තව කවුද තේ ගත්තෙ නැති අය ඉන්නෙ…”

කියා අසමින් වට පිට බැලුවෙමි.

“බොරුව කරන්නෙ මොකටද…උඹට ඕනෙ ඔය තේ ටික මෙතනට අරං එන්නනෙ”

ලොකු අයියා හයියෙන් කීවේ ය. මා ඉක්මන් ගමනින් එතනට ගියේ ලැජ්ජාව හංගා ගෙන ය. රවීන් ගේ ඇස් සිනහ වෙමින් තියෙනා වග ඔහු දෙස නො බලා ම වුව මට පෙනේ.

“වැඩේමයි මෙයාට තේ පොවන්න”

මම අයියා වෙත බන්දේසිය අල්ලන ගමන් ඔහු ට රවමින් කීවෙමි.

“හරි හරි කෝකටද  සීනි වැඩියෙන් දැම්මෙ කියපං. නැත්තං අපි ඒක ගනී. නැද්ද සුනෙත්…”

සුනෙත් සිනහ වෙවී සිටියේ ය.ු

“ඔයා ටිකක් නිදා ගන්න අයියෙ. නැත්තං ඔළුව කැක්කුම එයි”

රවීන් තේ එක ගත්දී මම හෙමිහිට කීවෙමි. නමුත් ලොකු අයියා ගේ කන් වලින් ඒ සැඟවිය නො හැකි වූයේ ය.

“බලපංකො සුනෙත් ඒක”

රවීන් ගේ ඇස් ආදරයෙන් මා හිස පිරිමැද්දා සේ මට දැනිණ.

“මිනිහව නිදි කරෝල තියල අපිට කියල වැඩ කරවගන්න හදන්නෙ”

මා වහා වට පිට බැලූයේ ඒ කතාව කාට හෝ ඇසුණාද කියා සැක හැර දැන ගන්නට ය. නමුත් කිසිවෙකු ගේ අවධානය අප වෙත යොමු වී තිබුණ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

“ඕගොල්ලො වගේයැ…එයා ලෙඩ වෙලානෙ ඉන්නෙ”

“ආ…යකෝ බීල බීල වාහනේ හප්පගෙන තුවාල වුණා කියන්නෙ ලෙඩ වෙලා කියන එකද…”

“කටනං මෙයාගෙ”

කියමින් මම එතැනින් නික්ම ගියෙමි. ලොකු අයියා ගේ කටට පාලනයක් නැති බව මම දන්නෙමි. මේ එක විහිළුවක් අම්මා ගේ කනට වැටීම ලොකු අවුලක් ඇති කරන්නට පුළුවන. තාත්තා ගේ තරහ ඇවිස්සීම ඊට වඩා බරපතල විනාශයකට හේතු වන්නට පුළුවන.

ආච්චා සතුටෙන් සිටියා ය. ඇයත් එක්ක ජීවිත කාලයක් දුක සැප බෙසා ගෙන ජීවත් වූ පුරුෂයා වෙනුවෙන් කරන්නට ඇති එක ම යුතුකම දරුවන් පිරිවරා ගෙන කරන්නට ලැබීමේ සතුට ඒ ය.

“මං ඉන්න හින්දා තාත්තා ටග කටයුතු මේ විදිහට කරයි. මං නැති දාක මේව කෙරෙන්නෙ නැති බව මං දන්නව. ළමයින්ගෙ දාහක් වැඩ අතරෙ ඒව නොකළයි කියල දෙමව්පියො මළත් තරහ ගන්නෙ නෑ. ඒත් මෙහෙම දකිනකොට මට ආසයි. අපේ දරුවො අපි වෙනුවෙන් කරන්න ඕන දේවල් කොහොම හරි කරනවනෙ කියල හිතෙනව”

ආච්චා මාත් එක්ක කීවා ය. අපි මිනිස් ජීවිතයක පරමායුෂ සීමාව ගැන දන්නෙමු. දිනෙන් දින ඒ සීමාව වෙත ලං වෙත්දී සිතෙන්නේ ම මරණය දැන් ඉතින් ළඟ ළඟ ම එනවා ඇත කියා ය. එය අමතක වූවා සේ සිනහ වී ඉන්නට අප උත්සාහ දරන බව ඇත්ත ය. නමුත් හදවතේ ඉසිහින් සන්තාපයක් ඇති වීම මිනිස් ස්වභාවය ය. අපි මේ ජීවිතයට ආශා කරමු. තව එක දවසක් හෝ වැඩිපුර ජීවත් වන්නට ආශා කරමු!

රාත්‍රියේ වූ මිහිරියාව විනාශ කොට දමන්නට උවමනා වූයේ චමත්කා ට ය. ඒ වෙලාවේ මා ගොක් අත්තක් ගෙන රවීන් ලා සිටි පැත්තට ගියේ ලොකු අයියා ට එය වියන එක බාර දෙන්නට ය. නමුත් ඔහු ඒ මොහොතේ එතැන උන්නේ නැත. සුනෙත් හෙමිහිට පල්ලම් බැස්සේ අප ට කතා කරන්නට මොහොතක ඉඩක් ලබා දෙමින් විය යුතු ය. මම රවීන් දෙස බැලුවෙමි. ඔහු හිස මඳක් ඔසවා දෙතොල් තද කොට සිනහා වූයේ ය.

“ටිකක් නිදා ගත්තෙ නෑනෙ ඔයා”

මගේ හඬ තුළ ඒ තරම් ආදරයක් වූ එක ගැන මට ම පුදුම ය.

“ගාණක් නෑ. මුකුත් වෙන්නෙ නෑ. ඔයා මෙතන ඉන්නව කියල මතක් වෙද්දි රූම් එකට වෙලා නිදා ගන්නෙ කොහොමද කියන්නකො”

“අනේ අනේ සනූ”

මා තිගැස්සී ගිය බව සහතික ය. චමත්කා දෑත් ඉණෙහි තබා ගෙන මට රවා බලා ගෙන සිටියා ය.

“ඔයාට කියලනෙ තියෙන්නෙ රවීන් එක්ක ඇයි හොඳයියක් තියා ගන්න එපා කියල. මේ මනුස්සය ඇක්සිඩන්ට් වෙන්න හේතුවත් ඔයා. ඇයි මේ කොල්ලන්ට පාඩුවෙ ඉන්න නොදී ඇඟේ එල්ලෙන්න එන්නෙ…ගෙදරින් කැමති විදිහෙ කෙනෙක් අල්ලගන්නකො මේ අහිංසකයට පාඩුවෙ ඉන්න දීල”

සාමාන්‍යයෙන් මා අහිංසක කෙල්ලක නොවේ. ඕනෑ ම කෙනෙකු කියනා ඕනෑ ම දෙයක් කර බා ගෙන ඉවසා ගන්නවා වෙනුවට සාධාරණය වෙනුවෙන් කෑ ගැසීම මගේ හැටිය ය. නමුත් මේ වෙලාවේ මා සිනහවකින් ඉවත බැලූවේ චමත්කා වගේ කෙනෙකු සමග ප්‍රේමය හෝ පිරිමින් ගැන කතා කිරීම විහිළුවක් බව හොඳින් දන්නා නිසා ය.

“රවීන් ට වෙලා තියෙන දේවල් හොඳට ම ඇති. කරුණාකරල ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්නවද…එයා අපේ ගෙදර ඉන්න කෙනෙක්නෙ. අපි බලා ගන්නං එයා ගැන”

ඇය යන්නට හැරුණා පමණි.

“චමත්කා”

ඒ ගොරෝසු හඬ ලොකු අයියා ගේ ය.

“මොකද්ද දැං මෙතන වෙන්නෙ…මොකද්ද උඹ මේ සද්දයක් දානව ඇහුණෙ…”

“නෑ අයියෙ මං කියන්නෙ…රවීන්ට මෙ ඔක්කොම කරදර මෙයා නිසානෙ. මේ ළමයට පාඩුවෙ ඉන්න දුන්නනං ඉවරනෙ. තවත් මෙතනට ඇවිත් කොඳුරනව”

“උඹ මගෙං මැරුම් නොකා ගෙදර යනවද…”

ලොකු අයියා එහෙම කීවේ හඬ ඉතා බාල කොට ය. නමුත් එහි තැවරී තිබුණේ දැවැන්ත කෝපයකි.

“මෙයාට යන්න කියන්නකො. ඊළඟට රවීන්ට මොනා වෙයිද දන්නෑ මෙයා නිසා”

“උඹ මෙතනිං යනවද නැද්ද…”

එවර ලොකු අයියා රෞද්‍ර ලෙස ගුගුළේ ය. ඒ ගෙරවුම් හඬ අහල පහල සාමාන්‍ය හඬවල් ඉක්මවා නැගුණ නිසා, වෙන වෙන කටයුතු වල නිරත ව සිටි බොහෝ නෙතු අප වෙතට හැරෙන්නට ඇත.

“තමුසෙ හැමදාම ගත්තෙ මෙයාගෙ පැත්තනෙ. තමුසෙගෙ නංගි මං නෙවේ මෙයානෙ”

යනුවෙන් හැඬුම්බර ස්වරයකින් කියූ චමත්කා වේගවත් ගමනෙන් ගේ දෙසට යන්නට ගියා ය. ඈ යනකොට ම නයනා නැන්දා ඉක්මන් අඩි තබා අප වෙමින් එන්නට වූවා ය.

“මොකද ලොකු ළමයා කෑ ගහන්නෙ…ඔයාට අර කෙල්ලව පේන්න බැරි මොන කරුමයක් නිසාද..”

ඇය එසේ අසමින් මදෙස බැලුවේ ඒ කරුමය මා යයි හඟින්නා මෙනි.

“මතක තියා ගන්නව ඒ ඔයාගෙ නංගි කියල”

ඔයාගෙ නංගි යන වචන දෙක බර කොට කියමින් නැන්දා ඔවුන් ගේ ගේ දෙසට යන්නට වූවා ය. ඇය ඒ ඇනුම් පදයත් එල්ල කළේ මට ය.

“එකෙක්ගෙ ජීවිතේ කාලකන්නි කරල දැම්ම. අනිත් එකාට වෙන්නෙත් ඒකම තමයි”

ලොකු අයියා සිය හඬ බාල කරන්නට හිතුවේ මෙතැන සිදු වෙමින් තිබෙනා වූ දානමය කටයුත්ත ගැන සිතා විය යුතු ය. නැත්නම් ඔහු නයනා නැන්දා ගේ කටේ සැරට මෙල්ල කළ හැකි විදිහේ නාලාගිරි ඇතෙකු නොවේ!

“සරුංගලේ වගේ එළියෙ කැරකෙන්න යන්නෙ නැතුව ගෙයි තියන වැඩක් බලා ගන්නවද…”

එම සිදුවීමෙන් පසු අම්මා මට තදින් කීවා ය. මම තාත්තා එක්ක එක්ව පළතුරු වට්ටි සකසන්නට වූයෙමි.

“සීයා නැති වෙලා අවුරුදු පහළොවක් ගත වෙලත් ආච්චා තාම එයාව ගෞරවෙං මතක් කරනව. එයා ගැන ආදරෙන් හිතනව. එහෙම බැඳීම් හරි වටිනව සනූ. දැන් කාලෙ අපි දකින්නෙ අද ඇති වෙලා හෙට නැති වෙලා යන බැඳීම්. අද කසාද බැඳල හෙට දික්කසාද වෙන විදිහෙ බැඳීම්..අපි අපේ ජීවිතේ දිහා බලන්න ඕනෙ මෙන්න මේ වගේ සංකල්පත් එක්ක. ජීව්තේ කියන්නෙ එකම එක සිදුවීමක් නෙවෙයි. සිදුවීම් ගොඩක එකතුවක්”

ඒ අතරේ තාත්තා ජීවිතේ ගැන දේශනයක් කළේ ය. ඔහු ගේ කතා අසන්නට කවදත් මා ආස බව තාත්තා දනී. නමුත් වෙනදාට වඩා මේ කතාව මගේ හද බර කළ බවක් දැනිණ.

දානය බෙදත්දී ඒ කටයුතු වලට වැඩිපුර මැදිහත් වූයේ පිරිමි පාර්ශවය ය. රවීන් හැරෙන්නට කවුරුත් එහි වූහ. මම ඉස්සරහා ගේට්ටුවෙන් එබී බැලුවෙමි. ඔහු ප්ලාස්ටික් පුටුවේ තනි ව හිඳ සිටියේ ය. දුවගෙන ඔහු වෙත යන්නට පුළුවන් කමක් මට වූයේ නැත.

“රවීන්..කෝ එමු එමු දානෙ බෙදන්න”

මා පසු කොට ගේට්ටුවෙන් පිටතට ගිය තාත්තා යළි පැමිණියේ ඔහු ත් එක්ක ම ය. මගේ ඇස් වල මල් පෙරහැරක් යමින් තිබිණි. දෙවියනි, තාත්තා කියන ජීවිතය ඒ මල් පෙරහැර නොවේ ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles