මුතු බෙලි හදවත -36

“මේ තියෙන්නෙ හරි හදිස්සියෙ දික්කසාදෙ ඉල්ලන්න හේතු වෙච්ච කාරණා”

දරුවා දෑතින් අල්ලා ගත් යුවළ ඉදිරියේ ඔවුන් ගේ මග හරස් කරමින් සිට ගත් සේනක සමච්චල් ස්වරයකින් කීවේ ය. විකුම් ගේ මුහුණ මත වූයේ තාත්තා ගේ ඒ කතාව ඒ හැටි විශ්වාසයට ගත් බවක් නොවේ. ආමන්තා දිනක් සඳැල්ලට වී අසල්වැසියා සමග හස්ත මුද්‍රාවෙන් කතා කරමින් සිටියා ය. ඊට පස්සේ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සිට ඔහු ශිරෝෂි සමගින් රථ ගාල වෙත පැමිණෙමින් සිටියදී, අසල්වැසියා ගේ රියේ ඉදිරි අසුනේ සිට බැස්සේ ආමන්තා ය. ඔහු ඇගේ පෙම්වතා වන්නට ඇතැයි විකුම් අනුමාන කළේ ය. ඔහු ගේ ඇස් ගංගාරාමයේ හාත්පස පාව ගියේ ආමන්තා ව සොයා ගැනීමේ අරමුණෙනි.

ආදිත්‍යා හිටියේ හුස්ම හිර වී ගෙන ය. මේ මොහොත මේ තරම් ඉක්මනින් උදා නොවෙන සේ ඈ දෙවියන් යදිමින් සිටියා ය. නමුත් දැන් පෙනෙන්නට තියෙන්නේ දෙවියන් ට වුව ඒ වෙනුවෙන් යමක් කර ගත නො හැකි වූ බවයි. 

“නෑ”

ඇය අමාරුවෙන් උගුර පාදා ගත්තා ය. මොවුන් ගේ සුදු පිරුවට යටින් වන පිළුණු වූ ආත්මය ගැන ආදිත්‍යා නො දන්නවා නොවේ. ඇය ඒ ගෙදරින් දොට්ට බැස්සේ ඒ රංග භූමියෙහි නිළියක වන්නට රිසි නොවූ හින්දාම ය. නීති ප්‍රකාර සියලු සම්බන්ධතා ද අහෝසි කරනු වස් ඇය විසින් විජයවික්‍රමලා ට එරෙහි ව දික්කසාද නඩු පවරා තිබේ. එහි අවසන් තීන්දුව ඊළඟ නඩු වාරයේ දී ලැබෙන බව ද සිය නීතීඥවරයා විසින් දැනට ම ආදිත්‍යා ට දන්වා තිබේ. ඉතින් තව දුරටත් ඔවුන් ට බියේ මුව පියා හිඳිනු කුමටද?

“දික්කසාදෙ ඉල්ලපු හේතු නෙවෙයි මේ. ඒ හේතු ඇමති තුමාල හොඳට දන්නවනෙ…”

ආදිත්‍යා කිසි දා නොවූ ආත්ම ශක්තියකින් හිස කෙලින් තබා ගෙන කතා කළා ය. තාත්තා කියූ කටින් සේනක ට ඇමති තුමා කියා කතා කරත්දී ඇය ට මඳ අමුත්තක් නො දැනුණා ද නොවේ. නමුත් ඕ ඒ ගැන නොතකා හැරියා ය.

“දුමාල් කියන්නෙ ඔහේල මාව දික්කසාදෙ ළඟට තල්ලු කරගෙන යද්දි අතරමග හම්බ වුණ කෙනෙක්”

“හැබැයි අතරමග දාල යන්නෙ නැති කෙනෙක්”

එසේ කියමින් දුමාල් මින්දුල ව වඩා ගත්තේ විකුම් දෙස එක එල්ලේ බලමිනි. මිනිස් වර්ගයාට පොදු මානව හැඟීමක් වන ඊර්ෂ්‍යාවෙන් මිදෙන්නට ඒ මොහොතේ විකුම් සමත් වූවා නොවේ. එසේ නම් මේ ආමන්තා ගේ නොව ආදිත්‍යා ගේ පෙම්වතා ය.

“මං බාර ගත්තෙ තාත්ත කෙනෙක් නැති දරුවෙක්ව. කණෙක් ට අගේ දැනෙන්නැති මැණිකක් වගේ ගෑනියෙක්ව. ඒක නිසා ප්ලීස්…අපිට අපේ පාඩුවෙ ඉන්න දෙන්න”

ඒ ඉල්ලා සිටීමක් නොවේ. දැනුම් දීමකි. දුමාල් වෙත බියක සලකුණකුදු වූයේ නැත. ඒ ඇස් වල ගැඹුරේ ම වූ ආලෝක ධාරාවක්, කිරණක් ව විත් විකුම් ගේ මුහුණ මත හැපිණ. ඔහු ගේ අභ්‍යන්තරයේ ගැස්මක් ඇති වෙනවා විකුම් ට දැනුණේ ය. 

“යං ආදි”

දුමාල් ආදිත්‍යා ගේ බඳෙහි අත තබා ඇය ව ඉස්සරහට කරමින් තාත්තලා පුතාලා වෙතින් නික්මුණේ ය. විකුම් ඔවුන් යන දෙස බලා සිටියේ ගිනි ගත් දෑසකිනි. ඇය ඒ තරම් ඉක්මනින් වෙන කෙනෙකු ට අයිති වේවි යයි ඔහු සිතුවේ හෝ නැත. ඇරත් ඔටිසම් දරුවෙකු සමග ආදිත්‍යා ව බාර ගන්නට තරම් ඔළුවේ අමාරුවක් ඇති  පිරිමියෙකු මෙලොව වසතැයි ඔහු ට තවමත් විශ්වාස කර ගත නො හැකි ය. 

මිනිසුන් වශයෙන් අපට ඕනෑ ම දෙයක් වටින්නේ අප සතු ව නො පවතිනතාක් පමණි. එය අප සතු කර ගන්නට අපි ඕනෑ ම දෙයක් කරමු. ඕනෑ ම කැප කිරීමක් කරමු. නමුත් එහි අගය පවත්නේ ඒ අපේ ම කර ගන්නා තුරු පමණකි. ඉන්පසු එය තවත් නො වැදගත් දෙයක් පමණක් බවට පත් වන්නේ ය. 

විකුම් ට ආදිත්‍යා ගැන මුලදී වටිනාකමක් දැනුණේ ත් නැත. සඳසීලිගේ උවමනාවට ඒ විවාහය සිදු වූවා මිස, ආදිත්‍යා ගැන කිසිදු ලෝභී සිතිවිල්ලක් විකුම් වෙත වූවා නොවෙ. ඇය ඔහු ගේ අනාගත මැති ඇමතිකම් අරබයා වීදුරු කැබිනට්ටුවක දමා තැබූ පිළිමයක් පමණක් විය. 

දැනුත්, ඈ අහිමි වූයේ අපරාදේ යයි හැඟීමක් ඔහු ගේ තුන් හිතකවත් නැත්තේ ය. නමුත් ඔහු ට අයිති ව තිබූ දෙයක් අන් සන්තක වෙනු බලා ඉන්නට බැරි ඊර්ෂ්‍යා සිතිවිල්ලක් නම දැන් ඔහු ගේ හිතේ කටුවක් සේ ඇමිණෙමින් පෑරුම් දෙවයි.

“එහා ගෙදර එකා. බැල්කනියට වෙලා සෙවල හලනකොට මං හිතුවෙ ආමන්තාට කියල. බලාගෙන යනකොට මූ මේ ලෙඩ ළමයෙක් ඉන්න ගෑනියෙක්ටනෙ බැල්ම හෙලල තියෙන්නෙ”

ඔවුන් පිටුපා යන දෙස බලා සිටිමින් ම විකුම් මිමිණුවේ ය. ඔහු ගේ හඬෙහි ද්වේශී බවක් තැවරී තිබිණි.

සේනක ට දැනුණ හැඟීම ඊට වඩා වෙනස් ය. එය වෛරී සිතිවිල්ලකි. ආදිත්‍යා ඔහු ව ගණන් නොගත් අයුරු තවමත් සේනක ට අමතක කළ නො හැක. ඒ තරම් ඇය ඔහු ට ගණන් පෙන්වා තිබෙන්නේ අසල්වැසියා නිසා යයි සිහි වෙත්දී සේනක ගේ ඇඟේ ලේ කෝප විය. 

“මේක ලේසියෙං අතාරින්න බෑ විකුම්”

පුතාටත් වඩා මෙය මදි කමක් වූයේ තාත්තා ට ය. ඔහු ඕනෑ තරම් හැඩ රුව ඇති ගැහැනුන් මෙල්ල කර ගත් සෙල්ලංකාරයෙකි. නමුත් ගේ ඇතුළේ උන් කිරිල්ලිය අසල්වැසියා ගේ අතේ වසන තුරු කිසිත් කර ගත නො හැකි වූවා කියන හීන මානය තදින් ම සේනක පෙළමින් තිබිණි.

“මං බලා ගන්නං ඌ ගැන. විකුම් කිසි දේකට ගෑවෙන්නෙ නැතුව ඉන්න. විකුම් ගෙ නම සවුත්තු කර ගෙන බෑ මේ වෙලාවෙ”

සේනක ලහි ලහියේ සැලැස්මක් පිළියෙල කරමින් සිටියේ ය. 

රියට ගොඩ වූ ගමන් ආදිත්‍යා වතුර බෝතලය මුව තබා  බී ගෙන බී ගෙන ගියා ය. එහෙම බියක් කවදාවත් ඇය ට දැනී නැතිවා විය යුතු ය. සේනක හා විකුම් ඉදිරියේ හිත හයිය කර ගෙන මොනවා කතා කළ ද ඒ සැබෑව නොවන බව දැන් ඇය ට වැටහෙයි.

“ඔයා බය වෙලානෙ”

රිය පදවා ගෙන මඳ දුරක් ගිය ඉක්බිති දුමාල් ආදිත්‍යා දෙස බලා කීවේ ය. ඇගේ ඇස් පියන් විසල් ව දැල්වී තිබිණි.

“මං ගැන නෙවෙයි. ඒ මිනිස්සුන්ට මගෙං ඇති වැඩක් නෑ. ඒත් දැං ඔයාට වෛර කරනව දුමාල්”

ඔහු ගේ බටිති තොල් පෙති සිනහවකට විවර විය. ඒවායේ වූයේ දඩබ්බර බවකි. ඔහු රිය පදවන ගමන් ම වමතින් ආදිත්‍යා ගේ හිස පිරිමදින්නට වූයේ ය.

“මං ගැන බය වෙන්න එපා”

“ඔයා මේක මෙච්චර සැහැල්ලුවට ගන්නෙ ඒගොල්ලො ගැන දන්නෙ නැති නිසා දුමාල්”

“මං පරිස්සං වෙන්නංකො. ම්…ඔයා දැං ඒ ගැන හිතන්න ඕන නෑ”

“මං ඒකයි කිව්වෙ මුල ඉඳලම…ටික කලකට අපි මුණනොගැහි ඉමු කියල”

“හරි හරි ඉතිං අපි බලමුකො මොකද වෙන්නෙ කියල. එක හීනෙං එළි වෙන්නෙ නෑනෙ. අනිත් එක ඩිවෝස් වෙන්න කැමති වෙලා ඉන්න එකේ ඒගොල්ලො ආයෙ මේක චොර කර ගන්න හිතන එකකුත් නෑ. ඉලෙක්ෂන් එකකුත් එනවනෙ”

දුමාල් ඒ හැම දේ ම කීවේ ආදිත්‍යා සනසන්න ය. ඒ වෙලාවේ විකුම් ගේ ඇස් වල තිබුණ ඊර්ෂ්‍යාවත්, සේනක ගෙන් දැකිය හැකි වූ වෛරයත් ඔහු ගේ හිතේ නොමැකෙන ලෙස සටහන් වී තිබුණේ ය. නමුත් එන දේකට මුහුණ දෙන්නට දුමාල් හිතා ගෙන සිටියේ ය. 

ආදිත්‍යා සිය අසල්වැසියා සමග විවාහ වෙන්නට යන බව සේනක ගේ සමච්චල් හඬින් ඇසූ සඳසීලී ට එය විශ්වාස කර ගත නො හැකි විය. ආදිත්‍යා කියන්නේ වැදගත් කමට හැදුණ සංවර ගැහැනු ළමයෙකු බව ඇය ඉඳුරා දැන සිටියා ය. ඉතින් සේනක කියනවා වගේ දෙයක් වෙන්නට පුළුවන් යයි ඇය ට විශ්වාස කළ නො හැක. ඊටත් වඩා ඇය අන්තිම මොහොත තෙක් ම මින්දුල ගේ පීතෘ අයිතිය වෙනුවෙන් සටන් කළා ය. එය නො ලැබෙත්දීත් තනි ව දරුවා වෙනුවෙන් යුතුකම් ඉටු කර ගෙන විකුම් පායට වී සිටියා ය. ඇය නික්ම ගියේ සේනක ගේ නොහොබිනාකම් නිසා බව සඳසීලී තරම් දන්නා වෙන කෙනෙකුට වී නම් එ් ආදිත්‍යා ම පමණකි.

කෙසේ වෙතත් ඕ තොමෝ පසු දා ආදිත්‍යා ව හමු වන්නට පෙර පාසල් ගොඩනැගිල්ල වෙත ගියා ය. ඉරිදා ට එය වසා දමා ඇතත් සඳසීලී ආදිත්‍යා ව මුණගැසිය යුතු බව කීවා ය. ඒ කිනම් කාරණයකට දැයි ආදිත්‍යා ඉවෙන් මෙන් වටහා ගත්තා ය.

“සඳසීලි ඉස්සරහ වුණත් ඇඹරෙන්න යන්න එපා. ඔයා වරදක් කළේ නෑ කියන විශ්වාසෙං කතා කරන්න. දැං එයත් විජයවික්‍රම කෙනෙක් ම වෙයි. ඒකෙ දෙකක් නෑ. එයාගෙ ජරා පුතා නිසා තමයි එයා විශේෂ නැන්දම්ම කෙනෙක් වගේ ඔයා ඉස්සරහ රඟපෑවෙ. දැං ඔය නර්සරි එක කරන ගේත් ඉල්ලයි. ඒ කොහොම වුණත් කවුරු ඉස්සරහවත් ඇඹරෙන්න එපා”

ආමන්තා කල් ඇතිව ම ආදිත්‍යා ව දැනුවත් කළා ය. නහයට උඩින් වතුර දැමූ එකේ ඉහට උඩින් ගියත් කිම් දැයි සිතින් ආදිත්‍යා පෙර පාසල් ගොඩනැගිල්ල වෙත ගියා ය. සඳසීලී එහි ආවේ තවත් අඩ හෝරාවකට පමණ පසු ය.

“මං දන්නව අම්ම අහන්න යන දේ”

ආදිත්‍යා මඳහසක් නගා ගත්තා ය. සඳසීලී සිය හිටපු ලේලිය විනිවිද බැලුවා ය.

“මං දන්නව ඒගොල්ලො එහෙම කිව්වට…එහෙම වෙන්න බෑ කියල”

සඳසීලී ට විශ්වාස කරන්නට අවැසි වූයේ එසේ ය.

“මට අම්මට බොරු කියන්න ඕන නෑ. දුමාල් කැමැත්තෙන් ඉන්නව ඩිවෝස් එකෙන් පස්සෙ අපි දෙන්නව බාර ගන්න”

ඒ තරම් දරුනු වදනක් මින් පෙර අසන්නට ලැබී නැතිවා සේ සඳසීලී කැළඹී ගියා ය. සියල්ල මේ වගේ තැනකට එළඹ මහ කාලයක් වූයේ නැත. ඒ කියන්නේ ආදිත්‍යා මීට කාලයකට පෙර සිට ඒ තරුණයා සමග ඇයි හොඳයියක් පැවැත්වූ බව ද යන සැකය සඳසීලී තුළ ඇති විය.

“මං හිතුවෙ නෑ ඔයා මෙහෙම කෙනෙක් කියල”

ඇය සැබවින් ම ඇය ට හිතුණ දේ කීවා ය. 

“අම්ම…මං ගැන මේ අන්තිම මොහොතෙත් අම්ම වැරදියට හිතන්නැතුව ඉන්නවනං මං කැමතියි. මොකද…හැම වෙලේම අම්ම මාව තේරුං ගත්තා”

“මොනාද ආදිත්‍යා තේරුං ගන්න තියෙන්නෙ. ඔයත් අනිත් ගෑනු වගේ තමයි. ඔය කියන හාදයත් එක්ක සම්බන්ධයක් තියාගෙන ඔයා අපේ ගෙදරින් පිට වෙන්න හේතු හොය හොයා හිටිය කියලයි දැං මට හිතෙන්නෙ”

“හීනෙකිංවත් එහෙම හිතන්න එපා අම්ම”

ආදිත්‍යා ගේ ඇස් වලට කඳුළු පුරා ආවේ ය. 

“මං ඒ වගේ බොරුවක් කියනවනං මට හොඳක් සිද්ද වෙන්න එපා. ඒ දුමාල් ලං වුණේ මට නෙවෙයි අම්ම. පුතාට…”

“ඒ කිව්වෙ…”

“අපි බැල්කනි එකේ ඉද්දි වුණත්…එයා පුතා දිහා බලං ඉඳල තියෙනව. මං එයාට ලං වුණේ අපේ නංගි නිසා. මං හිතුවෙ එයා නංගිට කැමැත්තෙන් ඉන්නව කියල. දුමාල් පුතාට පුදුම විදිහට ආදරෙයි අම්ම. මං කවදාවත් දැකල නෑ විකුම් ගෙ ඇස් වල පුතා වෙනුවෙන් එහෙම ආදරයක්. මාත් අම්ම කෙනෙක්නෙ අම්මෙ. මගෙ ළමය එයාගෙ තාත්තට තාත්ත කියන්න අයිතියක් නැතුව හිටිය අසරණයෙක්. එහෙම අසනීප දරුවව දුමාල් පපුවට තුරුල් කර ගන්නකොට…මින්දුල ගෙ අම්ම විදිහට මට ඒක දැනෙන්නෙ නැද්ද අම්මෙ…මං විකුම්ට කොච්චර පිණ්සෙණ්ඩු වෙලා තියෙනවද…අපේ පුතාව අපි සනීප කර ගමු කියල. ඒත් එයාට ඕන වුණේ දරුවව අනාත නිවාසෙකට දාන්න. අම්ම දන්නවද විකුම් මට කිව්ව මගෙ දරුවව වළලපං කියල. මං ඒ හැම දේම මේ පපුවෙං උහුලං හිටිය ගෑනියෙක් අම්මෙ. මගෙ අසරණයට එයාගෙ තාත්ත නැති වෙලා ඉද්දි…පිට මිනිහෙක් හරි ඒ දරුවට තාත්තෙක් වගේ ආදරේ කරනකොට මං ඒ මනුස්සය දිහාට ඇදෙන්නෙ බැඳෙන්නෙ නැද්ද…අම්මටත් තියෙන්නෙ ගෑනු හිතක් නිසා පුළුවන් නං මාව තේරුං ගන්න”

ආදිත්‍යා ගේ කොපුල් තලා දිග කඳුළු ගලා යමින් තිබිණි. සඳසීලී බලා සිටියේ හද ගැස්මෙන් යුතුව ය. 

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...